ඒ කාලයේදී හිමාලයානු ආචාර්යවරයෝ සත්‍යයක්‌ම වූහ. එච්.පී.බී. ඒ කල යුරෝපයේ වැඩ කරමින් සිටියේය. අද්යාරයේ සිටි ටී. සුබා රෝ, කූපර් - ඕක්‌ලි ප්‍රමුඛ ඒ පිරිස විසින් එච්.පී.බී. ටත් වඩා ගුප්ත විද්‍යාවන්හි දක්‌ෂයෙකැයි පිළිගනු ලැබීය. අද්යාරයේදී බුදුන් වහන්සේට ලැබී තිබුණ තැන කෙමෙන් ශංකරාචාර්යටත් ඔහුගේ අද්වෛත වාදයටත් ලැබෙමින් පැවතිනි. අද්යාරයේ ගුප්ත විද්‍යා කාමරය ගලවා දමන ලදී. එහි ගුරුවරු එ තැනින් ඉවත් වී ගොස් සිටියහ. එච්.පී.බී. ලන්ඩනයේ තම ගුප්ත විද්‍යාත්මක පරම විඥානාර්ථ පාසල අරඹා තිබුණි. සුබා රෝ මිය ගොස් සිටියේය. අද්යාරය ව්‍යාපාරික ස්‌ථානයක් බවට පත්වී තිබුණි. එහි පුස්‌තකාලයක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණේය. පරම විඥානාර්ථවාදී සමාගම සාර්ථක කරගනු සඳහා බලවත් වෙහෙසකින් ලංකාවේ වැඩ කරගෙන ගියෙමි. මෙහිදී මට සී.පී. ගුණවර්ධන, විලියම්ස් ආබ්‍රෑ, දොන් කරෝලිස් හා වෙනත් ස්‌වල්ප දෙනෙකුන් ගේ නොමඳ සහයක් ලැබුණි. මේ ව්‍යාපාරයට මුදල් ආධාර දුන් මගේ මුත්තා එහි සභාපතිවරයා වීය. කෙටි කැතිකීස්‌මයක් සූදානම් කරන ලෙස ඕල්කට්‌තුමා ලෙඩිබීටර් ගෙන් ඉල්ලා සිටියේය. ලොකු එකෙන් ඔහු කෙටි එකක් සම්පාදනය කළේය. ඉක්‌බිතිව සෙන්පති ඕල්කට්‌තුමා එය සිංහලයට පරිවර්තනය කරන ලෙස මට දැන්වූයෙන්, මම සුමංගල නා හිමියන්ගේද ආධාර ඇතිව එසේ කළෙමි. ලෙඩ්බීටර් විසින් සම්පාදනය කරන ලද එහි දෙවැනි කොටස බෞද්ධ ඉංග්‍රීසි පාසල් ගුරුවරුන් වූ ජේම්ස් පෙරේරා සහ විමලසූරිය විසින් පරිවර්තනය කරන ලදී. මේ සංස්‌කරණ දෙකම, ණයකර නිකුත් කිරීමෙන් උපයා ගත් මුදලින් සෙන්පති තුමා පිහිට වූ බෞද්ධ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කරන ලදී. මගේ මුත්තාට එහි කොටස් 50 ක් තිබුණ අතර, අනෙක් අයට ඊට වඩා අඩුවෙන් තිබුණි. මම ඒ එක් එක් අය වෙත ගොස් තම තමන් ගේ කොටස් සමාගමට පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා සිටියෙමි. මුලින්ම මගේ මුත්තා ළඟට ගිය මම ඔහුගේ කොටස් සමාගමට පරිත්‍යාග කරවා ගැනීමෙන් පසු ඉතිරි වැඩ කොටස ලෙහෙසි විය. එක් තැනැත්තෙකු හැර අන් සියලුම දෙනා තම තමන්ගේ කොටස් සමාගමට පරිත්‍යාග කළහ. මෙයින් මුද්‍රණාලය බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ දේපොලක් බවට පත්විය. මම බොහෝ මහන්සියෙන් වැඩ කොට, "සඳරැස" ණය බරෙන් මුදවාගෙන ස්‌ථිර අඩිතාලමක පිහිටුවා ගතිමි. මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමෙන් ගමට යමෙන් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේවන විට ලේඩිබීටර් මහතා සිය ඉරු දින පාසල් කොළඹ අරඹා තිබුණි. පසුව ශිෂ්‍යයන් ස්‌වල්ප දෙනෙකුට ඉගැන්වීම සඳහා ඉංග්‍රිසි පාසලක්‌ද ආරම්භ කළේය. ඒ ශිෂ්‍යයන්ගෙන් කෙනෙකු දැන් ප්‍රකට ජිනරාජදාස. ඔහු ජිනරාජදාසට මහත් සේ ඇලුම් කළේය. තමා සමඟ ඔහු ලන්ඩනයට යතොත් මැනවැයි ඔහු කල්පනා කළේය. එහෙත් ඔහු ගේ පියා එයට ඉඩ දුන්නේ නැත. එහෙත් කල් යාමේදී තරුණ ජිනරාජදාස රැගෙන යාමට ඔහු සමත්විය. නාහිමියන් සමඟ සාකච්ඡා කළ ලෙඩ්බීටර්, සත් අවුරුද්දකට පසුව තරුණයා කැටුව අවුත් භික්‌ෂු ශාසනයට ඇතුළුවන බව කීය. එහෙත් සත් අවුරුද්දක් ලන්ඩනයේ ගත කළ ජිනරාජදාසට ලංකාව අමතක වූයේය. ඒ කාලය අවසානයේදී ලංකාවට ආපසු ඒම ඔහු ප්‍රතික්‌ෂේප කළේය.
1889 දී ජපානයේ බෞද්ධයන්ට සෙන්පති ඕල්කට්‌තුමා ලංකාවේ ඉටුකළ සාර්ථක කාර්යභාරය ගැන දැන ගන්නට ලැබීමෙන් එතුමා ජපානයට කැඳවාගෙන යාමට ඔවුහු ජපන් නියෝජිතයෙකු එවූහ. 1888 දෙසැම්බර් මාසයේදී ඔහු කොළඹට පැමිණියේය.. ඔහු ආපසු යනතුරු මම ඔහුට සංග්‍රහ කළෙමි. මෙහිදී ඔහු මා ගැන කෙතරම් පැහැදුණේ ද යත් ඔහු සමඟ ජපානයට යාමට එන ලෙස ආරාධනා කළේය. ඔහු මා කැඳවාගෙන යාමට සෙන්පතිතුමාද පොළඹවා ගත්තෙන් අපි තිදෙන ජපානයට ගියෙමු. හිරු උදාවන ඒ රටෙහි සෙන්පති ඕල්කට්‌තුමා ජයග්‍රාහාත්මක අන්දමෙන් සංචාරය කළේය. Fortnightly Review සඟරාවේ පළ වී තිබුණු ලිපියක් කියවීමෙන් 1887 දී මට ජපානයට යැමේ අදහසක් පහළ වී තිබුණි. මේ අභිලාෂය 1889 දී ඉටුවිය. 1888 දී චිතගොංහි බෞද්ධයෝ "බෞද්ධ බන්ධු" යන නමෙන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් මාසිකයක් ආරම්භ කළහ. ලංකාවේ බෞද්ධයන්ට ද ඉංග්‍රීසි සතිපතා ප්‍රකාශනයක් ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි මම කල්පනා කළෙමි. මම මගේ මිතුරන්ගෙන් රුපියල් දහය බැගින් එවන ලෙස ඉල්ලා සිටියෙමි. රුපියල් 300 ක් එකතු වූ විට මම මදුරාසියෙන් ඉංග්‍රීසි අකුරු ගෙන්වා ගතිමි. අනතුරුවThe Buddhist සඟරාව 1888 දෙසැම්බර් මාසයේදී ලේඩ්බීටර් මහතාගේ සංස්‌කාරත්වයෙන් ආරම්භ කරන ලදී. එය "සදරැස" නමැති සිංහල පුවත්පතෙහි අතිරේකයක් වශයෙන් නිකුත් කරන ලද්දේය. ලංකාවේදී මම සෙන්පති ඕල්කට්‌තුමා, ලෙඩ්බීටර් මහතා, සී.එෆ්. පවල් සහ ආචාර්ය ෙ-. බෝල්ස් ඩැලි සමඟ වැඩ කළෙමි. 1890 දෙසැම්බර් මාසයේදී කොසෙන් ගුණරත්න නමැති ජපන් බෞද්ධ භික්‌ෂුව සමඟ මම අද්යාරයේ සම්මේලනයට සහභාගි වීම සඳහා ලංකාවෙන් පිටත් වී ගියෙමි. සම්මේලනයෙන් පසුව අපි දෙදෙනා ඉසිපතන, බරණැස හා බුද්ධගයා යන ස්‌ථානවලට වන්දනා ගමනක් ගියෙමු. 1891 ජනවාරි මාසයේදී අපි එහි ළඟා වුණෙමු. මෙයින් මා ගේ ජීවත කාර්යයේ පළමුවන කොටස අවසන් වෙයි.
(අනගාරික ධර්මපාලතුමන්, ශ්‍රී දේවමිත්ත නමින් පැවිදි බිමට සැපත්ව 1933 මැයි/ජුනි මහබෝධි සඟරාවට ලියන ලද මෙම ලිපිය එතුමන් විසින් ලියන ලද අවසන් ලිපිය වන්නේය. එම ලිපිය 1933 මැයි/ජූනි මහබෝධි කලාපයේ පළවන විට 1933 අප්‍රේල් මස 29 වන සෙනසුරාදා පස්‌වරු 3.00 ට බරණැස සාරානාත් මූලගන්ධකුටි විහාරයට මුහුණලා ඇති මහා බෝධි ගොඩනැගිල්ලේදී අපවත් වී සිටියහ.) ස්‌වයං චරිතාපදානයේ පළමු පරිච්ඡේදය පමණක් නිමකරන්නට උන්වහන්සේට හැකිවිය. අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දිනය 2015 සැප්තැම්බර් 17 වෙනි දිනට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙන් පළ වෙන්නකි.
අනගාරික ධර්මපාල තරුණ පදනමේ සභාපති
විමලසේන කළුගමගේ
Pic Source
සබැඳි ලිපි -
[
[
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් - 2http://denethharinna.blogspot.com/2015/09/2.htmlඅනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් 1http://denethharinna.blogspot.com/2015/09/blog-post_84.htmlදම්පල් තුමාණෝ සිදු කළ මෙහෙවර සදානුස්‌මරණීයයිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_33.htmlජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_59.htmlතම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක් ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක් ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]
0 comments:
Post a Comment