පිංවතුන්ලා සමථ විදර්ශනාව වැඩීමට පෙර පාරිසරික හේතූන් නිසා සකස්‌වෙන ධර්මතාවයන් වන ශීතල, උෂ්ණත්වය, පින්න, සුළඟ, වැස්‌ස නිසා සකස්‌වෙන බාධාවන්ට මුහුණදීමට වීර්ය ඇතිකර ගත යුතු වෙනවා. එසේ නොවුණහොත් ඉහත පාරිසරික බාධාවන් ඔබ ඉදිරියට පැමිණීමේදී ඔබ ගැටෙන සිතක් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ එදිනෙදා ජීවිතයේදී විවේකයක් ලද සෑම මොහොතකම මේ පාරිසරික හේතූන් නිසා සකස්‌වෙන බාධාවන් නුවණින් මෙනෙහි කිරීමට වීර්යය ගන්න. මොකද වැස්‌ස, අව්ව, පින්න සුළඟ කියන කාරණාවන් ඔබ හේතුඵල ධර්මයන් වශයෙන් නුවණින් නොදැක්‌කොත් ඒවා නිසා ගැටෙන සිත් ඇති කොටගෙන නැති ආස්‍රවයන් ඇතිකර ගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා.
භික්‍ෂුවට මතකයි ධර්ම දේශනාවක් අතරමගදී ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලුනා. ඒ නිසාම ධර්ම දේශනාව පවත්වන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. උතුම් සද්ධර්මයක් ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වුණු දහස් ගණනක් තෙමී සිටි පිංවතුන් වැස්‌සට දොස් කියනවා, දෙවියන්ට බණිනවා, මාරයාට චෝදනා කරනවා භික්‍ෂුවට ඇසුණා. ඒ නිසාම සමහරක් පිංවතුන් නැති ආස්‍රවයන් ඇතිකරගත්තා.
භික්‍ෂුවට අද පිණ්‌ඩපාතයේ වඩින්න කුටියෙන් එළියට බසිනවිට කිසිම වැසි සලකුණක් පෙනෙන්නට තිබුණෙ නැහැ. නමුත් ගමන අතර මගදී අහස කළු කරල පොද වැස්‌සක් වැටෙන්න පටන් ගත්ත. නමුත් භික්‍ෂුව වැස්‌ස කියන කාරණය සිතෙන් අතහැරලයි තිබුණේ. ඒ නිසාම භික්‍ෂුව ටිකක් තෙමුණත් වැස්‌සට බනින්න ගියේ නැහැ. කුඩය නොගෙනවා කියල කුඩය සමග ගැටෙන්න ගියේ නැහැ. තේජෝ මනසිකාරය වඩමින් පොද වැස්‌සේම පිණ්‌ඩපාත මඩුවට වැඩියා. පිංවත් ඔබ නුවණින් විමසා බලන්න ඔබේ ජීවිත කාලය තුල පාරිසරික හේතූන් නිසා ඔබ කොච්චරනම් නැති ආස්‍රවයන් ඇති කරගෙන තිබෙනවාද? ඇති ආස්‍රවයන් වර්ධනය කරගෙන තිබෙනවාද කියල. එම නිසා නැවත පාරිසරික හේතුවක් වුවද ධර්මානුකූලව ගලපා ගැනීමට පිංවත් ඔබට වීර්යය අත්‍යවශ්‍ය කාරණයක් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුළඟට අධිගෘහිත දෙවියෙක් සිටිනවා. එම දෙවියන්ට කියන්නේ වාතවළාහක දෙවියන් කියල. මේ වාතවළාහක දෙවියන් සිතනවා දැන් අපි කම්සුව විඳිමුයි කියලා. වාතවළාහක දෙවියන්ට කම්සුව විඳිමුයි කියලා සිත පහළ වුණ හැටියේම දැඩි සුළඟ ඇති වෙනවා. වැස්‌සට අධිගෘහිත වැස්‌ස වළාහක දෙවියන් සිටිනවා. වැස්‌ස වළාහක දෙවියන් කම්සැප විඳීමට සිතක් ඇතිවූ සැනින්ම වැසි ඇති වෙනවා. හිරුට අධිගෘහිතව ජීවත්වන උෂ්ණවළාහක දෙවියන් කම්සුව විඳිනකොට සාමාන්‍ය නොවන දැඩි උණුසුමක් ඇති වෙනවා. ඒ වගේමයි අබ්හවළාහක දෙවියන්ට කම්සුව විඳිමුයි සිතක් පහළවී කම්සැප විඳිනවිට ආකාසය පුරා වළාකුළු වැඩි වශයෙන් පිහිටනවා. ඒ වගේමයි ශීතලට අධිගෘහිත සීතවලාහක දෙවියන් කාමච්ජන්දයන් විඳිනකොට අධික ශීත දේශගුණයක් ඇති වෙනවා. ඉහත දේශගුණික තත්ත්වයන් ඇතිවීමට බලපාන එක හේතුවක් තමයි ධර්මයට අදාළව භික්‍ෂුව ඉහතින් සටහන් කළේ.
පිංවත් ඔබ නුවණින් දකින්න, මනුෂ්‍යයින් වන ඔබ කම්සැප විඳින අවස්‌ථාවක්, මඟුල් ගෙදරක්, රාත්‍රී සැණකෙළියක්, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය ගන්නකෝ. ඔබ මෙවැනි අවස්‌ථාවල මොහොතක්‌වත් සිතනවාද, මත් වතුර බීලා, කන් බිහිරි කරවන සංගීතය, නැටුම්, රතිඤ්ඤා හඬ ආදී මේවායින් අසල්වැසියාට, රෝගියාට, කුඩා දරුවන්ට පීඩාවක් වෙනවා කියලා. කාමච්ඡන්දයන් විඳින දෙවියනුත් එහෙම තමයි. දෙවියන්ගේ ආශ්වාදය ගැන සිතනවා මිස එම ආශ්වාදයන් නිසා පීඩාවට පත්වන සත්ත්වයින් ගැන සිතන්නේ නැහැ. මේ චිත්තයන් හේතුවෙන් දෙවියන් නිරතුරුවම අකුසල් මූලයන්මයි රැස්‌කර ගන්නේ. නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නවා.
මීළඟට කායික හේතූන් නිසා සකස්‌වෙන බඩගින්න, පිපාසය, කැක්‌කුම්, වේදනා, වීර්යයෙන් යුතුව ඉවසීමට ඔබ පුහුණුවිය යුතු වෙනවා. එසේ නොවුණහොත් ඉහත හේතූන් නිසා පිංවත් ඔබ ගැටෙන සිත් ඇතිකොටගෙන, නැති ආස්‍රවයන් ඇතිකොටගන්නවා. පිංවත් ඔබ ඔබේ ජීවිතය දෙස නුවණින් බලන්න. ඔබට අතීතයේ ඇතිවූ කුසගින්න, පිපාසය, වේදනා, කැක්‌කුම් නිසා ඔබ කොපමණ ගැටෙන සිත් ඇතිකොටගන්න ඇතිද? පිංවත් ඔබ ගෙදර අම්මා, බිරිඳ බත් පිඟාන බෙදලා දෙන්න පරක්‌කු වුණාය කියලා, බෙදා දුන්නු බත් පිඟාන රස නැතිය කියලා, නොඉවසිලිමත්භාවය නිසාම කොපමණ ගැටෙන සිත් ඇතිකොටගෙන තිබෙනවාද? කුසගින්නක් පිපාසයක් දැනුනහම, ආස්‍රවයන් ඇති නොවන ලෙස වීර්යයෙන් යුතුව ඉවසීමට ඔබ පුරුදු වෙන්න. දක්‍ෂයා ආහාරය තුළින් ආයුෂ, වර්ණය, සැප, බලය, දියුණුකොට ගන්නවා. වඩාත් දක්‍ෂයා ආහාරයක් නොලැබීම තුළින් ආයුෂ, වර්ණය, සැපය, බලය ඉක්‌මවා ගිය විදර්ශනා නුවණ මතුකොට ගන්නවා.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/10/04/feature06.html
0 comments:
Post a Comment