Pages

Monday, September 16, 2013

ඉන්දියාව රත්කරන හින්දු - මුස්‌ලිම් ගැටුම

උත්තර් ප්‍රදේශය ඉන්දියාවේ ප්‍රාන්ත අතුරින් වැඩිම ජනගහනයක්‌ වෙසෙන ප්‍රාන්තය වන අතර එහි ජනගහනය සමස්‌ත රුසියාවේ ජනගහනයටත් වඩා වැඩිය. බෞද්ධ ඉතිහාසයේ නිතර කියවෙන මගධ රාජ්‍යය පිහිටා තිබුණේද මෙහි වන අතර ගංගා නදිය හා යමුනා නදිය එක්‌වන්නේද මේ ප්‍රාන්තයේ පිහිටි අලහබාද් නගරය අසලය. මිලියන දෙසීයක එනම් කෝටි 20 ක ජනකායක්‌ මෙහි වෙසෙන අතර ඒ පිරිසෙන් 72% ක්‌ හින්දූන් වන අතර 27% ක්‌ මුස්‌ලිම් වේ.

උත්තර් ප්‍රදේශය පිළිබඳ මේ දිනවල ඉන්දීය මාධ්‍යය නිතර කතාබහ කරන්නේ හින්දු මුස්‌ලිම් ගැටුමක්‌ එහි ඇවිළී ඇති නිසාය. නවදිල්ලි නුවරට සැතපුම් 80 ක්‌ ඈතින් පිහිටි මුෂාµනගර් දිස්‌ත්‍රික්‌කයේ මේ ගැටුම් ඇවිළී ඇති අතර දැනට මියගොස්‌ ඇති පිරිස හතළිහකට ආසන්නය. මුෂාµනගර් දිස්‌ත්‍රික්‌කයේ කවාල් ග්‍රාමයේ වෙසෙන හින්දු දැරියක්‌ තමන්ට මුස්‌ලිම් තරුණයකු විසින් කළ අවලාදයක්‌ ගැන සිය වැඩිමහළු සහෝදරයාට දැන්වූවාය. මේ ගැන උරණ වූ දැරියගේ අයියා හා තවත් ඥතියෙක්‌ වහාම පෙර කී මුස්‌ලිම් තරුණයා සොයා ගොස්‌ ඔහුගේ නිවසේදීම වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි. එයින් පසුව උරණ වූ මුස්‌ලිම් ගම්වැසියෝ දැරියගේ සහෝදරයා හා අනෙක්‌ පුද්ගලයාට පහරදී ඝාතනය කරනු ලැබූහ. මේ ගැටුම කෙතරම් දුරට උග්‍ර වූයේද කිවහොත් හින්දු - මුස්‌ලිම් වැසියන් දසදහසක්‌ පමණ සිය නිවෙස්‌ අතහැරදා පළායැමට තරම් ප්‍රශ්නය උඩුදුවා ඇත. උත්තර් ප්‍රදේශය නිරන්තරව හින්දු - මුස්‌ලිම් ගැටුම් ඇවිලෙන ප්‍රාන්තයක්‌ බවට පත්ව ඇත. 1992 දී හින්දු අන්තවාදීහු අයෝධ්‍යා නගරයේ ඉදිකර තිබූ 16 වැනි සියවසට අයත් බාබ්රි මුස්‌ලිම් පල්ලිය පොලොවට සමතලා කළ අතර එයින් පසුව ඇතිවූ හින්දුමුස්‌ලිම් ගැටුම්වලින් පුද්ගලයන් දෙදහසක්‌ ඝාතනයට ලක්‌විය.

මේ හින්දු මුස්‌ලිම් ගැටුම වඩා පැතිර යැමට හේතුවක්‌ වූයේ පුද්ගලයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කරන වීඩියෝවක්‌ ජංගම දුරකථන හරහා සංසරණය වීමය. ඇත්තෙන්ම මෙම වීඩියෝව උත්තර් ප්‍රදේශයට සම්බන්ධයක්‌ නැත. එය 2010 දී පකිස්‌තානයේදී වීඩියෝගත කරන ලද්දකි. කෙසේ නමුත් මුෂාµනගර් වැසියෝ සිතුවේ මේ වීඩියෝව තම ගැටුමට සම්බන්ධ වූවක්‌ ලෙසය. ශරාත් ප්‍රධාන් ලක්‌නව් හි වෙසෙන දේශපාලන විචාරකයෙකි. ඔහු පවසන්නේ මේ ගැටුම් ඇතිව තිබෙන පළාතේ පුද්ගලයන්ගේ හැසිරීම වඩා සාහසික බවත් ජීවිතවල වටිනාකම ගැන කිසිම සැලකිල්ලක්‌ නොදක්‌වන බවත්ය. මේ ගැටුම් නිසා තුවාල ලැබූ පිරිස අතර අවුරුදු තුනේ හතරේ දරුවන්ද වේ.

බිලියන 1.2 ක ජනගහනයක්‌ වෙසෙන ඉන්දියාවේ හින්දු ප්‍රතිශතය 80% ක්‌ වන අතර මුස්‌ලිම් ප්‍රතිශතය 13% කි. සංඛ්‍යාත්මකව ගත් කල ඉන්දියාවේ වෙසෙන මුස්‌ලිම්වරුන්ගේ ප්‍රමාණය පකිස්‌තානයේ ජනගහනයටත් වඩා වැඩිය. කවරක්‌ නමුත් ඉන්දියාවේ ආගමික ගැටුම් විශේෂයෙන් හින්දු මුස්‌ලිම් ගැටුම් වර්ධනය වීමක්‌ දක්‌නට ලැබෙන බව එරට රජය කියයි. ඉන්දීය කැබිනට්‌ ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවකට අනුව 2012 වසරේදී ආගමික ගැටුම් 410 ක්‌ වාර්තා වී ඇති අතර මේ වසරේ මේ මාස 9 ඇතුළත ගැටුම් 451 ක්‌ වාර්තා වී ඇත. එයින්ම දෙපාර්ශ්වය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය ගැන මනා වැටහීමක්‌ ලැබේ. උත්තර් ප්‍රදේශයේ ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අගමැති මන්මෝහන් සින් ප්‍රාන්ත මහ ඇමැති අකිලේෂ් යාදෙව් දුරකථනයෙන් අමතා තොරතුරු විචාරා ඇති අතර මධ්‍යම රජයෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. දැනටමත් මේ ප්‍රදේශයේ ආරක්‍ෂාව සඳහා හමුදා භටයන් දහසක්‌ ද ප්‍රාන්ත පොලිසියේ නිලධාරීන් දසදහසක්‌ ද ක්‍ෂණික විහිදුම් බළකායේ 1200 ක්‌ ද සේවයේ යොදවා ඇත. හමුදාව යෙදෙව්වද තත්ත්වය පාලනය කිරීම අපහසු වී ඇති නිසා කලහකාරීන්ට දුටු තැන වෙඩි තබන ලෙස නියෝග ලැබී ඇත.

හින්දුමුස්‌ලිම් ගැටුම වර්ධනය වීම ගැන කොංග්‍රස්‌ පක්‍ෂය මෙන්ම භාරතීය ජනතා පක්‍ෂයද ප්‍රාන්ත මහ ඇමැති අකිලේෂ් යාදෙව්ට චෝදනා කර ඇත. සමාජවාදී පක්‍ෂයට මුස්‌ලිම් ඡන්ද පදනමක්‌ ඇත. අකිලේෂ් යාදෙව්ගේ පියා එනම් මුලියාම් සින් යාදෙව්ට 1990 දී මුස්‌ලිම් ආගමික නායකයන් විසින් 'මවුලානා' යන ගෞරව නාමයද පිරිනමන ලදී. කෙසේ වෙතත් වර්තමානයේ උද්ගතව ඇති ප්‍රශ්නය නිසා නම් අකිලේෂ් යාදෙව්ට මෙන්ම එම පක්‍ෂයට විරුද්ධව මුස්‌ලිම්වරුන්ගේ විරෝධය එල්ල වී ඇත. ඉකුත් බදාදා දිනයේ උත්තර් ප්‍රදේශයේ මුස්‌ලිම් සංවිධාන නිවේදනය කර සිටියේ වහාම මහ ඇමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු බවත් මේ ප්‍රාන්තය ජනපතිගේ පාලනයට ගත යුතු බවත්ය. සික්‌ අන්තවාදය පැවති කාලයේ පන්ජාබ් ප්‍රාන්තයද ජනපතිගේ පාලනයට නතුකර තිබිණි. මුස්‌ලිම් නායකයන් ප්‍රකාශ කරන්නේ සමාජවාදී පක්‍ෂය පාලන බලය පැවති පසුගිය වසර දෙක ඇතුළත උත්තර් ප්‍රදේශයේ හින්දු මුස්‌ලිම් ගැටුම් 105 ක්‌ ඇතිව තිබෙන බවයි. මේ ගැටුම් වර්ධනය වීම තුළින් වත්මන් පාලනයේ දුර්වලතාවය මනාව පෙන්නුම් කරන බව මුස්‌ලිම් නායකයෝ පවසති.

මෙම ගැටුම නිසා සමාජවාදී පක්‍ෂයේ අභ්‍යන්තරයද දෙදරීමකට ලක්‌ව තිබේ. සමාජවාදී පක්‍ෂයේ ප්‍රමුඛතම මුස්‌ලිම් නායකයා වන අසාම් ඛාන් අග්‍රාහි පැවති පක්‍ෂ විධායක කමිටු රැස්‌වීමට සහභාගි නොවීම මේ දෙදරීමට වඩා හොඳ උදාහරණයකි. සමාජවාදී නායක මුලයාම් සින් යාදෙව් පවසන්නේ මේ ප්‍රශ්නය නිසා ප්‍රාන්ත මහ ඇමැති ඉල්ලා අස්‌නොවන බවයි. මුෂාµනගර් හි ඇතිවූ සිද්ධිය ඛේජනක නමුත් එය ආගමික ගැටුමක්‌ නොවන බව යාදෙව් කියයි. මේ ගැටුම ආරම්භ වූ අවස්‌ථාවේ මහ ඇමැති අකිලේෂ් ප්‍රකාශ කර සිටියේ මේ ගැටුම පිටුපස සිටින්නේ භාරතීය ජනතා පක්‍ෂය බවයි. භාරතීය ජනතා පක්‍ෂය ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණයට වාසි ලබාගැනීම සඳහා මේ ගැටුමට අත දමන බව අකිලේෂ් පවසා ඇත.

1947 දී ඉන්දියාව දෙකට බෙදා පකිස්‌තාන රාජ්‍යය නිර්මාණය කරන විටද හින්දු මුස්‌ලිම් ගැටුම් ඇතිවිය. ඒ නිසා මියගිය පිරිස ලක්‍ෂ ගණනකි. ඉන්දියාවේ වැඩිම ජනගහනයක්‌ වෙසෙන ප්‍රාන්තය ලෙස උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ආගමික ගැටුම් මෙන්ම කුලය පදනම් කරගෙනද විවිධ ගැටුම් නිරන්තරව ඇතිවේ. ජවහර්ලාල් නේරු සරසවියේ මහාචාර්ය සුදා පායි පවසන්නේ මුෂාµනගර් හි වෙසෙන "ජත් හින්දු" කුලය අතීතයේ සිටම මුස්‌ලිම්වරු සමග සහයෝගයෙන් ජීවත් වූ බවත් දෙපාර්ශ්වයට සාමකාමී අතීතයක්‌ පැවති බවත්ය. නමුත් වර්තමානයේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්‌ය. කලහකාරීහු කුඩා දරුවන් පවා කපා කොටා ඇත. 

උත්තර් ප්‍රදේශය යනු ශ්‍රී ලංකාව මෙන් දහසය ගුණයක්‌ විශාල ප්‍රදේශයකි. එහි දිස්‌ත්‍රික්‌ක 75 ක්‌ ඇත. ඉන්දීය දේශපාලනයේ ප්‍රමුඛතම දේශපාලන නායකයන් බිහිවූයේ උත්තර් ප්‍රදේශයෙයි. රාහුල් ගාන්ධිගේ ඡන්ද බලප්‍රදේශයද පිහිටා ඇත්තේ මෙහිය. කවරක්‌ නමුත් මේ ගැටුම ඉදිරි මහ මැතිවරණයේදී ද ප්‍රධාන මාතෘකාවක්‌ වන බව නම් පැහැදිලිය. එයින් වාසි ලබාගත්තේ භාරතීය ජනතා පක්‍ෂයද නැත්නම් කොංග්‍රසයද යන්න ගැන අපට අනාවැකි පළ කළ නොහැකිය. නමුත් මේ හින්දු - මුස්‌ලිම් ගැටුමෙන් ඉන්දීය දේශපාලනය රත් වී ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/09/15/forign.html

සබැඳි ලිපි -
[

ඉන්දියාවේ මුස්‌ලිම් ආගමික ගැටුම් වැඩිවෙයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_7652.htmlඉන්දීය උත්තර ප්‍රදේශයේ හින්දුමුස්‌ලිම් ගැටුම්වලින් 15 ක්‌ මියයති
http://denethharinna.blogspot.com/2013/09/15.html
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු-මුස්‌ලිම් ගැටුම් 12 ක්‌ මරු දකිතිhttp://denethharinna.blogspot.com/2013/09/12.html
]

0 comments: