Pages

Monday, September 23, 2013

නුවර වැවේ මළගෙදරට පෙර...


මෙලක රාජාභිෂේකයෙන් විරාජමාන වූ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයෝ සැබැවින්ම දෙහදක්‌ ඇත්තෙකි. ඔහුගේ හදවතේ එක්‌ පසෙක වෛරයය. ක්‍රෝධයය. පළිගැනීමේ චේතනාවය. අනෙක්‌ පසෙහි සොඳුරු සිතිවිලිය. චමත්කාර බව වින්දනය කරන මුදු මොළොක්‌ අදහස්‌ය. දැ හිතකාමී බවය.

එය එසේම බව සාක්‌ෂාත් වන්නේ එදා ඇහැලේපොල කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීමත් ඇයගේ දරුවන්ට කෲර වධ හිංසා කොට මරා දැමීමත්, සිදු කළ රාජසිංහයෝම මහනුවර ඓතිහාසික බව ඔප්නැංවීමත් සොබා සිරිය රැකගැනීමත් උදෙසා "මහනුවර වැව" ඉදිකළ නිසාවෙනි.

ක්‍රිස්‌තු වර්ෂ 1810-1812 කාලයේදී ඉදිකරන ලද මහනුවර වැව කිරි මුහුද යෑයි නම් දරමින් ශ්‍රී ලාංකේය අභිමානය ලොවට ගෙන යන්නා වූ, සෞන්දර්යාත්මක බවින් පෘථුල සිත්තමක්‌ වැනිය.

සෑම ඇසිල්ලකදීම දළදා හිමියන් සිසිලසින් නහවන වැව්හි සිසිරකර අතිශයෝක්‌තියෙන් තොරවම ජනයාටද සොඳුරු පහසක්‌ දනවයි. 

අමිල වටිනාකමකින් හෙබි මහනුවර වැව රැකගැනීම උදෙසා වරින් වර විවිධ බලවත්හු විවිධ යෝජනා ගෙන එමින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළහ. ඒවායෙහි, හොඳ සහ නරකද එක ලෙස තිබේ. 

ඵලක්‌ නැත්තේම නැති වුවද අධික මිලක්‌ ගෙවා සවි කොට ඇති මලක්‌ තිබේ. ඒ වැව මධ්‍යයට ආසන්නයේ දැනුදු දක්‌නට ලැබෙන මතුපිට මට්‌ටමේ සවි කරන ලද අවල් වාතන පද්ධතිය හෙවත් වතුර මලකි. මෙවැන්නක්‌ අධික වියදම් දරා සවිකළ යුත්තේ සොබා සිරිය ඔප්නැංවීම උදෙසා නොවේ. වැවේ එක්‌ රැස්‌වන ද්‍රව්‍ය ඔක්‌සිජන් මට්‌ටම ඉහළ නැංවීම පිණිසය. වැව් ජලයේත්, එහි වෙසෙන ජීවීන්ගේත් අවට වායුධාරාවන්හිත් ආරක්‌ෂාව. පැවැත්ම ර¹පවතින්නේ එවිටය.

මහනුවර වැවෙහි පරිධිය කිලෝ මීටර් 3.4 ක්‌ වන අතරම උපරිම ගැඹුර ආසන්න වශයෙන් මීටර් 14 ක්‌ වෙයි. එය හෙක්‌ටයාර දහඅටක භූමි භාගයක්‌ ආවරණය කරන අතර ලීටර් 8.41Ù108 ක ධාරිතාවකින් යුක්‌තය. සාමාන්‍යයෙන් වැවේ සොරොව්ව වසා තැබෙන අතර නිරිත දිශාවෙන් පිටවාන පිහිටා තිබේ.

වැව පෝෂණය වන්නේ වැවට ගිණිකොණ දෙසින් පිහිටි කුඩා ජල පහරකිනි. මෙයට අමතරව වැව අවට පිහිටා ඇති නිවාස, පාසල්. හෝටල් හා අනෙකුත් ස්‌ථානවලින් පිටකරන අපද්‍රව්‍ය රැගෙන එන කෘත්‍රිම හා ස්‌වාභාවික ඇළවල්ද පිහිටා ඇත. වැසි කලට මේවායෙහි කාර්යක්‌ෂමතාව මොනවට පැහැදිලි වෙයි. ඇල් ගී විශේෂ වැවීමට ඉඩ හැරීමද තවත් සාධකයකි.

වැව් ජලය පිට කිරීමේ යාන්ත්‍රණය දුර්වල වීම නිසා ජලය අනියත කලක්‌ රඳා පවතී. එහෙයින්ම කාබනික සහ අකාබනික ද්‍රව්‍ය එක්‌රැස්‌වීම මත ජලයේ පෝෂක ද්‍රව්‍ය වැඩිවෙයි. එය විද්‍යාත්මක හැඳින්වීම්වලදී හඳුන්වන පරිදි, වැව් ජලය සුපෝෂක තත්ත්වයේ සිට අදි සුපෝෂක තත්ත්වයට පත්වීමකි.

වැවේ නැගෙනහිර ප්‍රදේශය නොගැඹුරුවත්, බටහිර ප්‍රදේශය ගැඹුරුවත් (උපරිමය ගැඹුර මීටර් 14) පරිද්දෙන් පිහිටා තිබේ. වැව් පතුල පුනීල හැඩයකින් පිහිටා තිබීම නිසා මළ ද්‍රව්‍ය තැන්පත් වීම ඉහළ යන්නේ දිනෙන් දිනය.

කලකට ඉහතදී වැව අවට ඇති නිවාස හෝටල්වලින් පිටවන අපද්‍රව්‍ය බහුල ලෙස වැවට එක්‌කාසු වුවද මෑත කාලීනව විවිධ සංවිධාන හා පරිසරවේදීන්ගේ මැදිහත් වීම මත වැවට අපද්‍රව්‍ය එක්‌කාසු වීම අවම තත්ත්වයකට පත්ව ඇති බව දක්‌නට ලැබෙයි.

එහෙත් මෑතකදී වැව ආශ්‍රිතව සිදුවූ දරුණු පාරිසරික ව්‍යසනය වූයේ විශාල වශයෙන් මත්ස්‍යයන් මිය යැමයි. දිනකට එකසිය පනහකට වැඩි මසුන් සංඛ්‍යාවක්‌ මිය යන්නේ ඇයිද යන්න විමසා බැලීමේදී තහවුරු වූයේ, ජලයේ ද්‍රdව්‍ය ඔක්‌සිජන් අඩුවී ඇති බවයි. ඊට අමතරව ක්‍ෂුද්‍ර ජීවීන්, පරපෝෂිතයන්, ජලයේ උෂ්ණත්වය ඉහළ යැම, රසායනික ද්‍රව්‍යවල වෙනස්‌වීම්ද වැව් ජලයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපා ඇති බවද තහවුරු විය.

ද්‍රdව්‍ය ඔක්‌සිජන් ප්‍රමාණ සීමා වීම වළක්‌වා ලීම සඳහා පැහැදිලි සැලැස්‌මක්‌ අවශ්‍ය බව වැටහී ගියද ඊට නිසි පිළිතුරක්‌ ලබා දෙනු දක්‌නට නොලැබිණි.

වැව් ජල ස්‌ථර එකිනෙක මිශ්‍ර වීමට සැලැස්‌වූයේ නම්, වැව් පතුලේ වැඩි ඔක්‌සිජන් පරිසරයක්‌ නිර්මාණය වනු ඇත. ගැඹුරේ ජලය මතුපිටට ගෙන එන්නේ දරුණු කුණාටු තත්ත්වවලදී පමණයි. එතෙක්‌ බලා සිටියහොත් වැව අගාධයට වැටෙනු ඇත.

අනාගතයේදී සිදු විය හැකි දැවැන්ත පාරිසරික ප්‍රශ්නවලට අද සිටම පිළිතුරු සෙවිය යුතුය. ක්‍රියාත්මක විය යුතුය. දැනට සවිකොට ඇති මතුපිට අවල් වාතන පද්ධතිය මගින් වැව් ජලයේ සෑම ජල ස්‌ථරයක්‌ම එකිනෙකට මිශ්‍ර නොවේ.

එහෙයින් මතුපිට සිට මීටර් දෙකක්‌ ගැඹුරින් සිදුරු කරන ලද නළ පද්ධතියකින් සමන්විත බුබුළු වාතන පද්ධතියක්‌ සවි කළ යුතු බව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව විද්‍යා අංශ ආචාර්ය මහාචාර්යවරුද පවසති.

බුබුළු වාතන පද්ධතියක්‌ ජලයට අතුරන ලද සිදුරු කරන ලද පයිප්පවලින් ඒකාකාරීව වාත බුබුළු ඉහළ නැංවීම සඳහා පහළට යොමුවන සේ තුඩුවකින්ද සමන්විතව තිබීම මත ද්‍රdව්‍ය ඔක්‌සිජන් මට්‌ටම ඉහළ නැංවීම සිදු කළ හැකියි.

වැව දූෂණය වන්නේ නම්, එය මහනුවර නගරයම අගාධයකට යැමකි. ඒ පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ නිහඬව සැළෙන වැව් දිය රැළිවල අභ්‍යන්තර කතාව, ඊට හාත්පසින්ම වෙනස්‌ සංසිද්ධියක්‌ බව බලධාරීන් වටහා ගත යුතුය. ඊට හේතු භූත වන්නේ, ජලයේ අභ්‍යන්තරය දැසට නොපෙනීමය. නොදැකීමය. විද්වතුන්ගේ හඬට සවන්දිය යුතු වන්නේද එනිසාමය.

මහනුවර රාජධානියක්‌ බව අපට අදටත් හැඟී යන්නට මහෝපකාරී වන්නේ, වැවය, දළදා මැඳුරය. මේ ඓතිහාසික අභිමානය සුරක්‌ෂිතව අනාගතයට ගෙන යා යුතුය.

*  උපේක්‍ෂා වීරසේකර
http://www.divaina.com/2013/09/22/feature22.html
සහාය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධර්මා යටිගම්මන (මකුලොලුව) මිය.

0 comments: