
උතුරේ ආණ්‌ඩුව ලැබූ මහා පරාජය මේ රටේ අනාගතය අවිනිශ්චිතතාවයට නැවත ගෙනයන තරමේ එකක් යෑයි කිව හැක. මේ ඡන්දය පැවැත්වීමට කලින් වුවද ආණ්‌ඩුවට උතුර පළාතේ බලය ලබා ගැනීමට නොහැකි බව කවුරුත් දැන සිටියහ. නමුත් මෙතන ප්‍රශ්නය වන්නේ පරාජය ගැන නොව පරාජයේ පරිමාණය ගැනය. මීට කලින් උතුරේ පැවැති සියලුම ඡන්දවලදී එනම් 2009 න් පසු පවත්වන ලද පළාත් පාලන, පාර්ලිමේන්තු හා ජනාධිපති ඡන්දවලදී උතුරේ ආණ්‌ඩු පක්‍ෂයටද සෑහෙන ඡන්ද ගණනක් ලැබුණි. උදාහරණයක් වශයෙන් 2011 දී පවත්වන ලද පළාත් පාලන ඡන්දයේදී එජනිසයට උතුරු පළාත තුළ 37% ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි. දිස්‌ත්‍රික්‌කයක් වශයෙන් ගත් කල ආණ්‌ඩු පක්‍ෂයට අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලැබුණේ යාපනය දිස්‌ත්‍රික්‌කයෙනි. ඒත් ඡන්ද ප්‍රතිශතය 33% ට වැඩි විය. කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 37% ක් විය. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ 35% ක් විය. වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ 40% ක් විය. මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ 41% ක් විය. එදා ඒ පළාත් පාලන ඡන්දයේදී ආණ්‌ඩු පක්‍ෂය ලැබූ මේ ඡන්ද ප්‍රතිශතය මේ පළාත් සභා ඡන්දයේදී ලබා ගත්තේ නම් ඔවුන් දෙමළ ජාතික සංධානයට පැරදුනත් එය ජයග්‍රහණයක් වනු ඇත.
නමුත් මෙතන සිදුවී ඇත්තේ වෙනත් දෙයකි. මීට අවුරුදු දෙකක් වැනි කෙටි කලකට පෙර ආණ්‌ඩු පක්‍ෂය උතුරේ ලැබූ ඒ ඡන්ද සියල්ල හෝදාගෙන ගොස්‌ය. මෙවර යාපනය දිස්‌ත්‍රික්‌කය තුළ ආණ්‌ඩු පක්‍ෂයේ ඡන්ද ප්‍රතිශතය 14% ට බැස ඇත. කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ එය 17% කි. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ 20% කි. වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ 26%කි. මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ 28% කි. මීට කලින් උතුරේ පැවැති සියලුම ඡන්දවලදී ආණ්‌ඩු පක්‍ෂය ලැබූ ඡන්දවලට කුමක් වීද? ඩග්ලස් දේවානන්දාගේ ඡන්ද පදනමට කුමක් සිදුවීද? ඩග්ලස්‌ගේ නිජබිම වන කයිට්‌ස් ඡන්ද කොට්‌ඨාසයේ මෙවර ආණ්‌ඩු පක්‍ෂයට ලැබී ඇත්තේ 31% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 67% ක් ගොස් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. මීට කලින් ඡන්දවලදී යාපනයේ එම ප්‍රදේශය ඩග්ලස් දේවානන්දා දිනුවේ එජනිස ය දකුණේ දිනන ඡන්ද ප්‍රතිශතයකිනි. උදාහරණයක් වශයෙන් 2011 පළාත් පාලන ඡන්දයේදී ඩෙල්µaට් ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 84% ක් විය. කයිට්‌ස් ප්‍රාදේශීය සභාවේ 77% ක් ද වේලනි ප්‍රාදේශීය සභාවේ 64% ක්‌ද ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණි. එමෙන්ම කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂය 38% ක් ලබන විට එම ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධානයට ලැබුණේ ඡන්ද ප්‍රතිශතයෙන් 40% ක් පමණි. වෙනත් දිස්‌ත්‍රික්‌කවලින්ද 2011 පළාත් පාලන ඡන්දයේදී ආණ්‌ඩු පක්‍ෂයට සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ලැබුණි. උදාහාරණයක් වශයෙන් කිළිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ පූන්කරි ප්‍රාදේශීය සභාවේ ඡන්දවලින් 48% ක් ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණි. එම දිස්‌ත්‍රික්‌කයේම පච්චිලයිපල්ලි ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂයට 40% ක් ලැබුණි. මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ආණ්‌ඩු පක්‍ෂයට 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි.
උතුර පළාත තුළ 2011 පළාත් පාලන ඡන්දයේදී ලැබූ ඒ සියලු ඡන්ද මෙවර ජාතිවාදයට සෝදාගෙන ගොස් ඇත. මෙය ඉතාමත්ම අඳුරු සෙවණැල්ලක් බව කිව යුතුය. දෙමළ ජාතික සන්ධානය උතුර පළාත තුළ මේ ලබා ඇති ජයග්‍රහණය සිහිගන්වන්නේ වෙනම රාජ්‍යයක් ගොඩනැඟීමේ සටන් පාඨය මත 1977 දී දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ලබා ගත් ජයග්‍රහණයයි. 1977 දී ද වෙනම රාජ්‍යයක් ගොඩනැඟීමට වරමක් ඉල්ලා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඡන්දය ඉල්ලා සිටි විට ඔවුන්ට උතුරේ ලැබුණු ඡන්ද ප්‍රතිශතය 80% ගණන් 70% ගණන් විය. මෙවර පළාත් සභා ඡන්දයේ ද දෙමළ ජාතික සන්ධානයට මේ 80% ගණන්වල ඡන්ද ප්‍රතිශත ලැබුණේ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 1976 වෙනම රාජ්‍යයක් ඉල්ලා කරන ලද වඩුක්‌කොඩෙයි ප්‍රකාශනයටත් ඔබ්බට ගිය එකක් යෑයි කොටි සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන කුමරන් පද්මනාදන්ම පවසා තිබෙන වාතාවරණයක බව අප සියලු දෙනාම වටහා ගත යුතුය.
මෙම ඡන්දයෙන් පැහැදිලි වන කාරණයක් වන්නේ ආර්ථික සංවර්ධනයෙන් ජාතිවාදය බැහැර කළ නොහැකි බවයි. මේ ආකාරයට උතුරේ පරාජය වූ වත්මන් ආණ්‌ඩුව ලංකා ඉතිහාසයේ කිසිම ආණ්‌ඩුවක් නොකළ තරම් උතුරු පළාතට බර දමා සංවර්ධනය කිරීමට උත්සාහ කර තිබේ. උතුරේ මොනම සංවර්ධනයක් නොකර වුවත් වත්මන් ආණ්‌ඩුවට මේ ඡන්ද ප්‍රතිශතය නම් ලබා ගැනීමට ඉඩ තිබුණි. උතුරට වියදම් කළ මුදල් දකුණට පොම්ප කළේ නම් දකුණේ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය මීටත් වඩා ඉහළ යන බවට කිසිදු සැකයක් නැත. මේ පාඩම 1970 ගණන්වලින් මේ ආකාරයටම අපගේ දේශපාලන පක්‍ෂවලට කියා දී තිබුණත් ඒ කාලයෙන් පසු අවුරුදු 40 ක් පමණ ගතවී තිබෙන නිසා දැන් කාටත් එය අමතකය. 1970 ගණන්වලද වෙනම රාජ්‍යයක් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් උතුරේ දෙමළ ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් බිහිවීමට පටන් ගත්තේ උතුරේ ජනතාව වෙන කවරදාටත් වඩා සෞභාග්‍යයක් භූක්‌ති වින්ද කාල වකවානුවකය. 1970 බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්‌ඩුව විසින් ලූනු, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය විශාල ගණනක් පිටරටින් ගෙන්වීම නවතා දේශීය කෘෂිකර්මාන්තය දිරිගැන්වීම හේතුවෙන් යාපනයේ ගොවීන් විශාල ලාභ ලැබුවේය. උතුරේ ගොවියා එකල සැබවින්ම ආදායම පැත්තෙන් ගොවි රජෙක්‌ම වීය. නමුත් ජාතිවාදයේ නැගීම එයින් නැවතුණේ නැත. වෙනම රාජ්‍යයක් ඉල්ලා දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ විසින් 1976 දී වඩුක්‌කොඩෙයි ප්‍රකාශනය එළිදක්‌වන ලද්දේ මෙකී මහා ආදායම් යාපනයේ ගොවීන්ට ලැබෙන අතරතුරම බව කිව යුතුය. මෙහි වඩාත්ම සැලකිය යුතු කාරණය වන්නේ යාපනයේ ගොවීන් කඩිසර ජාතියක් වුවත් ඔවුන්ගේ නිෂ්පාදන කිසිවක් ලංකාවේම සිංහල මිනිසුන්ට හැරුණු කොට වෙන කිසිවකුට විකුණා ගත නොහැකි වීමයි. ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන අඩුම වශයෙන් ඉන්දියාවට, බංගලාදේශයට වත් අපනයනය කළ නොහැකි විය. එයට හේතුව ඒ බෝගම ඒ රටවල්වල ලංකාවට වඩා අඩු වියදමින් නිෂ්පාදනය කිරීමයි. එවැනි තත්ත්වයක් තිබියදීත් ඔවුන් වෙනම රාජ්‍යයක්‌ම පැතුවේය. සමෘද්ධියට පයින් ගැසුවේය. මේ සිදුවී ඇති කාරණාවලින් අප පාඩම් ඉගෙනගත යුතුය. මේ රට තනි රටක් හැටියට පවත්වා ගැනීමට ගතයුතු පියවර වත්මන් ආණ්‌ඩුව නොබියව නොපැකිලිව ගත යුතුය. ජනතාව වෙනත් කිසිදු ආණ්‌ඩුවකට නැති තරම් බලයක් මෙවර ඡන්දයේදීද මේ ආණ්‌ඩු පක්‍ෂයට දී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේද මේ ආණ්‌ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ඇත. දැන් එය භාවිත කිරීමට කාලය එළඹ තිබෙන බව ආණ්‌ඩුව තේරුම් ගත යුතුය. උතුරේ දෙමළ ජනතාව මේ ආකාරයට ඡන්දය ප්‍රකාශ කොට තිබුණත් ඇතැම් අය නොදන්නා කාරණය වන්නේ ලංකාවේ දෙමළ ජනග්‍රහණයෙන් 60% කට වඩා ජීවත් වන්නේ උතුරු පළාතෙන් පිට බවයි. උතුරු පළාතේ දෙමළ ජාතික සන්ධානය මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්‌වාගෙන කරන කෙරුවාවෙන් අර 60% ප්‍රතිශතයට සිදුවන්නේ කුමක්‌ද යන්න ගැනත් ආණ්‌ඩුව කල්පනා කළ යුතුය. අඩුම වශයෙන් ත්‍රිකුණාමලයේ, මඩකලපුවේ පවා ජීවත්වන දෙමළ ජනතාවට දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අත්වන වාසියක් නැත. එම ජනතාව දැන් සිටින්නේ මුස්‌ලිම් මහ ඇමැති කෙනෙකුගේ පාලනය යටතේ පවතින පළාත් සභාවක් තුළය. ඉදිරියේදී වුවත් දෙමළ මහ ඇමැතිවරයෙක් නැවත නැගෙනහිර ප්‍රදේශයට පත්වේ යෑයි සිතීමට අසීරුය.
උතුර ජාතිවාදයටම යටවී ඇති ආකාරය ඇත්ත වශයෙන්ම බිය ජනකය. 1995 සිට අද දක්‌වා එජාපය සෑම විටම දෙමළ ජාතිවාදයට හිස නමන පක්‍ෂයක් හැටියට කටයුතු කර ඇත. ඔවුන් කොටි සංවිධානයට එරෙහිව යුද්ධ නොකළේද දෙමළ මිනිසුන්ගේ සිත දිනා ගැනීමටය. නමුත් දෙමළ ජාතිවාදයට දත නියවීමෙන් ඔවුන් ලකුණු දමාගෙන ඇති ප්‍රමාණය මේ ඡන්දයෙන් මනාවට පැහැදිලි වෙයි. මුළු යාපනය දිස්‌ත්‍රික්‌කයෙන්ම එජාපයට ලැබුණේ ඡන්ද 855 කි. කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ට ඡන්ද 54 ක් ලැබිණි. මුලතිවු දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද 197 කි. වවුනියාවේ 1769 කි. මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද 187 කි. කලක් මේ රට පාලනය කළ මේ දැවැන්ත පක්‍ෂයට සිදුවී ඇත්තේ කුමක්‌ද? 1952 දී එජාපයේ එස්. නඩේසන් දෙමළ ජාතිවාදී නායකයා වූ එස්. ඡේ. වී. චෙල්වනායගම් පවා පරාජය කරමින් කන්කසන්තුරේ ආසනය දිනා ගත්තේය. මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් දෙමළ ජාතිවාදයට දත නියවීමෙන් පසු උතුරු පළාත තුළ එජාපයට අත්වී ඇති ඉරණම මේ ඡන්දයෙන් මනාවට පෙනේ. මේ කාරණයද සියලුම දෙනා ඉතා බැරෑරැම් ලෙස ගනන් ගත යුතුය. ජාතිවාදයෙන් මේ රට ගොඩගැනීමට නම් 1940 ගණන් වල එජාපයේ නිර්මාතෘ ඩී. එස්. සේනානායකට තිබුණු ආකාරයේ දෘෂ්ඨියකින් යුතුව කටයුතු කළ යුතු බව මා මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයටත් එජාපයටත් යෝජනා කර සිටිමි.

ජනතා විමුක්‌ති පෙරමුණද මේ ඡන්දයේදී සම්පූර්ණ සෝදාපාලුවකට ලක්‌වී ඇත. ඔවුන්ට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් එක් මන්ත්‍රී ආසනයක් හැරුණු විට වෙන කොතැනකවත් අසුනක් දිනාගෙන නැත. දැන් විපක්‍ෂය තුළ එ.ජා.ප.යට පසු ප්‍රධාන බලවේගය බවට පත්වී ඇත්තේ ජනරාල් 'න්සේකාගේ පක්‍ෂයයි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට ඡන්ද 36000 කට වඩා ලැබෙන විට ජවිපෙට ලැබුණෙ ඡන්ද 16300 කි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ඡන්ද 37400 ක් ලබන විට ජවිපෙට ලැබුණේ ඡන්ද 7600 ක් පමණි. ජවිපෙ භූමිකාව මින් අවසන් වී ඇති බව මේ ඡන්දයෙන් ඉතා පැහැදිලිව සටහන් වෙයි. ජවිපෙ ඡන්ද දායකයන්ගෙන් කොටසක්‌ද ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය කෙරෙහි නැඹුරු වී ඇති බව මින් පෙනේ. ජවිපෙ ද දේශපාලන භාවිතය මේ සෝදාපාලුවට ප්‍රධාන හේතුවයි. දශක පහකට පමණ ආසන්න ඉතිහාසයක් තුළ ජවිපෙන් කර ඇත්තේ විවේචනය කිරීම හා විනාශය පමණි. කිසිදු ජනතාත්මක දෙයක් ඉදිරියටවත් කරන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔවුන්ට සාපේක්‍ෂව බලන විට ජනරාල් 'න්සේකාට දේශපාලනය නොතේරුණත් ඔහු යුද වීරයෙකි. ඔහු මේ රට වෙනුවෙන් යම්කිසි දෙයක් කළා යෑයි ඉතිහාසයක් තිබෙන අයෙකි. එම නිසා විවේචනයට පමණක් දක්‍ෂ ජවිපෙට වඩා 'න්සේකා තුළ යමක් දැකීම ගැන ඡන්ද දායකයන්ටද දොස් කිව නොහැක.
මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ආණ්‌ඩු පක්‍ෂයට මෙන්ම එජාපයටත් ඉගෙන ගැනීමට බොහෝ පාඩම් ඇත. මේ සිදුවී ඇත්තේ කුමක්‌ද? ඉදිරියේදී රට යා යුත්තේ කුමන පැත්තටද යන කාරණා ගැන මේ පක්‍ෂ දෙකම කල්පනා කරනු ඇතැයි මම සිතමි.
උතුරේ මහ පරාජයෙන් ආණ්‌ඩුවටත් එජාපයටත් පාඩම්
සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර
http://www.divaina.com/2013/09/23/feature01.html
0 comments:
Post a Comment