Pages

Monday, September 23, 2013

පුටින් ඉදිරියේ ඔබාමා දණ ගසයි


රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් විසින් සිරියානු අර්බුදය පිළිබඳව ඇමරිකානු ජනතාව හා එරට දේශපාලකයින් අමතමින් රචිත ලිපියක්‌ පසුගිය 11 වැනිදා නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ පාඨක අදහස්‌ පිටුවේ පළවී තිබිණි. මේ ලිපිය ඇමරිකානු පුවත්පතේම පමණක්‌ නොව ලොව බොහෝ මුද්‍රිත මාධ්‍යයකම වැදගත් ලිපියක්‌ ලෙස පළවිය. A Plea for Caution from Russia මැයෙන් පළව තිබූ මෙම ලිපියට පාදකවී තිබුණේ සිරියානු අර්බුදයයි. එම ලිපියේ ජනාධිපති පුටින් මෙසේ සටහන් කර තිබිණි.

පසුගිය කාලය පුරා රුසියාව හා ඇමරිකාව අතර පැවැති සබඳතාවයන් විටින් විට වෙනස්‌ විය. ශීත යුද සමයේ අප එකිනෙකාට එරෙහිව කටයුතු කළද හිට්‌ලර් පරාජය කිරීම සඳහා එක්‌ව කටයුතු කළෙමු. එමෙන්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමටද මූලික එකඟතාවයෙන් ක්‍රියා කළෙමු. කවරක්‌ නමුත් ඇමරිකාව සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළහොත් මේ ප්‍රශ්නය වඩා උග්‍රවන අතරම එය කලාපය පුරාම පැතිර යනු ඇත. මේ ප්‍රශ්නය අරාබි ලෝකය පුරාත් උතුරු අප්‍රිකාවටත් පැතිරීම සමස්‌ත ලෝකයම අස්‌ථාවර කරනු ඇත. ඇත්තෙන්ම සිරියාවේ පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක්‌ නොවේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇති අල් නුස්‌රා නම් ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ සිරියානු රජයට එරෙහිව සටන් වදිමින් සිටී. අරාබි රටවලින් පමණක්‌ නොව රුසියාවේ අන්තවාදී කණ්‌ඩායම් තුළ සාමාජිකයින් පවා අසාද් රජයට එරෙහි සටන්වැද සිටිති. මෙය බලවත් ප්‍රශ්නයකි. ඔවුන් සිරියාවේ සටන්කර ඒ ලැබෙන පුහුණුව තම රටට පැමිණද ක්‍රියාත්මක කළහොත් සිදුවන්නේ කවරක්‌ද? ලිබියාවේ සටන් කළ අන්තවාදීන් පසුව මාලි රාජ්‍යයට සංක්‍රමණය වී සටන් කළ බව නොරහසකි. මේ අන්තවාදී සටන්කාමීන් ලොවටම ප්‍රශ්නයක්‌ වන බව අමුතුවෙන් කිවයුතු නැත.

ජනපති පුටින් සිය ලිපිය මගින් තවදුරටත් මෙසේ කරුණු සටහන් කරයි. සිරියාවේ ප්‍රශ්නය සඳහා සාකච්ඡාවෙන් විසඳුමක්‌ ලබාගතයුතු බව රුසියාවේ අදහසයි. ඇත්තෙන්ම සිරියානු රජයේ හමුදා විෂ වායු භාවිත කළේ නැහැ. එය භාවිත කළේ විපක්‍ෂයේ සටන්කරුවන්ය. ඔවුන් දැන් ඊශ්‍රායලයට එරෙහිවද එවැනි ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇත.

ඇමරිකානු හමුදා ඇµaගනිස්‌ථානය ආක්‍රමණය කිරීමෙන් යහපතක්‌ වූවාද? ඉදිරියේදී විදේශ හමුදා කාබුල් නුවර හැරගියායින් පසුව සිදුවන්නේ කුමක්‌ද? ලිබියාව දැන් ගෝත්‍ර කණ්‌ඩායම්වලට බෙදී ඇත. ඉරාකයේ සිවිල් යුද්ධය වෙනදාටත් වඩා උග්‍ර වී ඇත. සිරියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම පැරණි වැරදි නැවත සිදුකිරීමකි. එම නිසා මේ ප්‍රශ්නයට රාජ්‍යතාන්ත්‍රිකව විසඳුමක්‌ සොයාගත යුතු ඇත. ඇමරිකානු රජය සිරියාවට එරෙහිව ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් වැලකුණහොත් එය දෙරටේ අෙන්‍යාන්‍ය සුහදතාවය වඩා වර්ධනය වීමට හේතුවක්‌වනු ඇත.

රුසියානු නායකයා සිය ලිපිය අවසන් කර ඇත්තේ මෙසේය. අපි එකිනෙකාට වෙනස්‌. නමුත් අපි සැවොම දෙවියන්ගේ ආශිර්වාදය පතනවා. නමුත් අපි අමතක කරන්න නරකයි දෙවියන් අප සැමදෙනාම නිර්මාණය කළේ එක සමානව" බව යෑයි පුටින් සටහන් කර ඇත.

ඇත්තෙන්ම සිරියානු අර්බුද පිළිබඳ වාර්තමාන තත්ත්වය ගැන සලකා බැලුවහොත් ඇමරිකාවද රුසියානු මතයට හිසනමා ඇතිබව පැහැදිලිය.

ඇමරිකාවද සිරියානු අර්බුදය සම්බන්ධව උභතෝකෝටියක සිටි බව ප්‍රකට රහසකි. අගෝස්‌තු 21 වැනිදා එල්ල වූ සරීන් වායු ප්‍රහාරයට එරෙහිව කෙළින්ම ප්‍රහාරයකට යැමට ජනපති ඔබාමාට බලය තිබුණද ඔහු ඒ සඳහා අනුමැතිය කොංග්‍රස්‌ මණ්‌ඩලයෙන් ඉල්ලා සිටියේය. රුසියාව නම් මුල සිටම ඇමරිකාව යුද ක්‍රියාමාර්ගයක්‌ ගැනීම පිළිබඳව දැඩි විරෝධයක්‌ පළකර සිටියේය. මීට පෙර රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ සිරියාව සම්බන්ධව බටහිර කටයුතු කරන්නේ බෝම්බයක්‌ අතැති වඳුරෙකු ලෙස බවය. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිගේ ඉල්ලීමට ඇමරිකාව හිස නමා ඇති බව පැහැදිලිය.

සැප්තැම්බර් මුල් සතියේ දී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ හදිසියේ හෝ සිරියාවට ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් රුසියාව වහාම ඩැමස්‌කස්‌ පාලනයේ සහයට පැමිණෙන බවයි. ඇමරිකානු හමුදා ඒකාබද්ධ මාණ්‌ඩලික ප්‍රධානී ජෙනරාල් මාර්ටින් ඩේම්ස්‌පේ ප්‍රකාශ කර තිබුණේ සිරියානු හමුදා යාන්ත්‍රණයට ප්‍රහාර එල්ල කළහොත් වහාම ඒ විනාශ වූ හමුදා උපකරණ වෙනුවට අලුත් උපකරණ සැපයීමට මොස්‌කව් පාලනය ක්‍රිsයාත්මක වනු ඇති බවයි. සිරියානු වැසියන් 1400 ක්‌ මරණයට පත්වූ විෂවායු ප්‍රහාරය පිළිබඳ උරණවූ ජනපති ඔබාමා ප්‍රකාශ කළේ ජනපති අසාද් පාලනය රතු ඉර පැන ඇති බවයි. නමුත් ඔබාමාට රුසියාවේ දැඩි බලපෑම් හා විරෝධය නිසා රතු ඉර පනින්නට නොහැකි වූ බව සටහන් කළ යුතුය. රුසියාව මෙන්ම චීනයද සිරියාවට එරෙහි ඇමරිකානු ප්‍රහාරයකට මුල සිටම විරුද්ධය. චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති ෂු ගුවැන්ජිඕ ප්‍රකාශ කර සිටියේ අසාද් පාලනයට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් හමුවේ ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක්‌ එල්ලවනු අති බවයි. විශේෂයෙන්ම තෙල් බැරලයක මිල ඩොලර් දහයකින් ඉහළ යා හැකි බවත් ලෝක ආර්ථික වර්ධනය 0.25% කින් පහළ බසිනු ඇති බවත් නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ජනපති පුටින්ගේ රාජතාන්ත්‍රික මෙහෙයුම් නිසා ඇමරිකානු ප්‍රහාර නතරවීම සිරියානු ජනපති අසාද් මෙන්ම ඉරාන රජයද ලබන බලවත් ඇස්‌වැසිල්ලකි. එය සිරියානු රජයට එරෙහිව සටන් වදින කැරලිකරුවන්ද මහත් අධෛර්යට ලක්‌කරන තත්ත්වයක්‌ බව සටහන් කළ යුතුය. රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් පිටු සීයක විශේෂ වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පසුගියදා භාරදී තිබිණි. මාර්තු 19 වැනිදා ඛාන් අල් අසාල් නුවරදී විරුද්ධ පක්‍ෂ කැරලිකරුවන් විසින් එල්ල කළ විෂවායු ප්‍රහාරයක සියලු දත්ත මෙයට ඇතුළත්වී තිබේ. මේ නිසාම එක්‌සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය නිවේදනය කර සිටියේ සිරියාවේ ලේ වැගිරීම් නැවැත්වීම සඳහා දේශපාලන විසඳුමක්‌ ලබා ගැනීමට සැවොම කටයුතු කළ යුතු බවය.

මේ අතර ඇමරිකානු රූපවාහිනි නාලිකාවක්‌ සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ජනපති බැරක්‌ ඔබාමා ප්‍රකාශ කර සිටියේ තමා නම් කිසිවිටකත් මේ විෂ වායු ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ අසාද් රජයට විරුද්ධ කැරළිකරුවන් යෑයි විශ්වාස නොකරන බවය. ජනපති අසාද් බලයේ සිටිනතාක්‌ සිරියාව අස්‌ථාවර බව ඔබාමා පවසා තිබිණි.

සිරියානු පාලනයට ජනපති ඔබාමා කොතෙක්‌ අකමැති වුවද ඇමරිකානු යකඩ හස්‌තය එරටට එරෙහිව ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නැත. එය ඇමරිකානු රාජ්‍යයට එක්‌ අතකින් ලැ-ජාවකි.

මේ අතර ඔබාමා විරුද්ධවාදීන් ප්‍රකාශ කරන්නේ සිරියානු අවුලේ දී ඇමරිකාව පරාජය කර පුටින් තම බලය මැදපෙරදිග කලාපය පුරා පැතිරවූ බවයි. රුසියාව සැලසුම් හදන්නේ රුසියාවේ අවශ්‍යතාවය ට හා වාසියට බව රිපබ්ලිකන් සභික මයික්‌ රොජර්ස්‌ පවසා ඇත.

සිරියාවට ප්‍රහාර එල්ල කළ යුතු යෑයි තරයේ ප්‍රකාශ කළ සෙනෙට්‌ සභික ජෝන් මැකේන් පවසා ඇත්තේ මේ තත්ත්වය ඇමරිකාවට පරාජයක්‌ බවත් 1970 න් පසුව කිසිම විට නොපැවතී බලයක්‌ මැදපෙරදිග කලාපය තුළ පැතිරවීමට රුසියාවට හැකිවූ බවත්ය. සිරියානු රජයේ ඇමැතිවරයකු වන අලි හයිදාර් ප්‍රකාශ කර ඇත්තේ රසායන අවි විනාශ කිරීම පිළිබඳ සම්මුතියට පැමිණීම තම රජයේ ජයග්‍රහණයක්‌ බවත් ඒ පිළිබඳ රුසියාවට ස්‌තූතිවන්ත වන බවත්ය.

සිරියාවට ඇමරිකාව ප්‍රහාර එල්ල නොකිරීම සමස්‌ත ලෝකයේ යහපතට හේතුවන බව පැහැදිලිය. නැතිනම් යළිත් බොරතෙල් මිල ඉහළ ගොස්‌ ඒ අර්බුදයේ දැවෙන්නට ශ්‍රී ලාංකිකයින්ටද සිදුවනු ඇත. කෙසේ වෙතත් පුටින් හමුවේ දණ ගැසීම ඔබාමට පාරාවළල්ලක්‌ වීම නම් වැළැක්‌විය නොහැකිය.

චතුර පමුණුව
http://www.divaina.com/2013/09/22/forign.html

1 comments:

Anonymous said...

ඇමරිකාව හදන්නේ ලෝකයට තර්ජනයක් වන තම්බි බලය නැති කරන්නයි. රුසියන් බූරුවාට ඒ බව තේරුනත් මැද පෙරදිගරටවල තියන ස්වභාවික සම්පත් වලට තියන කෑදරකම නිසා මේ වගේ ගොන්පාට් කරනවා.