

"සිංහලයිනි අවදිවව්......... බුද්ධගයාව බේරාගනිව්." යෑයි හඬනගමින් සිංහල බෞද්ධයා අවදි කළ ධර්මපාලතුමා මෙරට පහළ නොවන්නට සිංහල ජාතිය, බුදු දහම නැති වී යන්නට ඉඩ තිබිණි.
සමස්‌ත බෞද්ධයාගේ වාසනාවට බිහි වූ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් සිහිපත් කරන කාලයයි. මෙම මස 17 වැනිදා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම සංවත්සරය සැමරීමටද සූදානම්ව සිටී.
නිදාසිටි සිංහල ජාතිය සිංහ නාදයෙන් අවදි කළ අභීත මහා කළු සිංහලයා " අනගාරික ධර්මපාල ශ්‍රිමතාණෝ" චිත්‍රපටයද අද (12දා) සිට සිනමා ශාලා තිස්‌හයක ප්‍රදර්ශනය කෙරේ. නැදිමාල බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය සුනිල් ටී. චිත්‍රපට ඉදිරිපත් කරන "අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ" චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ පූජ්‍ය කිරම විමලජෝති නාහිමියන් සහ සුනිල් ටී ප්‍රනාන්දු.
කතාව, දෙබස් සහ තිර රචනය කළ සනත් අබේසේකර..... චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා ද වේ. මින්පෙර ඔහු " මහින්දාගමනය" සහ " සිරි දළදා ගමනය" චිත්‍රපටද අධ්‍යක්‍ෂණය කළේය.
සනත් අබේසේකර සිය නවතම චිත්‍රපටය පිළිබඳ අප සමග කළ සාකච්ඡාවක සටහන් මතු දැක්‌වේ.

අද (12දා) සිට ප්‍රදර්ශනය වන්නේ මේ ගවේෂණාත්මක චිත්‍රපටයද?
ඔව්....... අලුතින් තිරපිටපතක් මමම රචනා කළා. ඒ සඳහා කොළඹ ආනන්ද බාලිකා විදුහලේ සහකාර විදුහල්පතිනි මාධවී ජයසේකර මහත්මියගේ උපදෙස් ලැබුණා. අද ආනන්ද බාලිකා විදුහල තමයි එදා ධර්මපාලතුමා ජීවත් වූ නිවස. වර්තමානයේ එම විදුහල්පතිවරු කෞතුකාගාරයක් ලෙස එය පවත්වාගෙන යනවා. ධර්මපාල තුමා පිළිබඳ විශේෂ තොරතුරු රැසක් එතැනින් ලබා ගත්තා. පූජ්‍ය බානගල උපතිස්‌ස නාහිමි වගේම ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ගයාන් චානුක විදානපතිරණ මහතාගේ උපදෙසුත් මම ලබා ගත්තා. ධර්මපාලතුමා පිළිබඳ ලියෑවුණු පොත්පත් පරිශීලනය කරමින් තවත් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව තමයි පිටපත සකස් කළේ.
මෙවැනි චිත්‍රපටයකට නිෂ්පාදකවරු ඉදිරිපත් වීම අභියෝගයක් භාර ගැනීමක්. ඔබ ඊට මුහුණ දුන්නේ කෙසේද?
ඇත්තටම මුදල් වියදම් කළේත් කිරම විමලජෝති ස්‌වාමින් වහන්සේමයි. උන්වහන්සේ නැදිමාල බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ සහ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේත් ගරු අධ්‍යක්‍ෂ. ලංකාවේ ප්‍රථමවරට ත්‍රිපිටකය යළි ග්‍රන්ථාරූඪකර ස්‌ථාපිත කළේ උන්වහන්සේ. දුර්ලභ බෞද්ධ පොත්පත් රැසක් අද උන්වහන්සේගේ මැදිහත්වීම මත පාඨකයා අතට පත්කර තිබෙනවා. එවැනි අයෙක් ධර්මපාලතුමාගේ ගුණ සමරන්න ඉදිරිපත් වුණා මිස වෙන අයෙක් ඉදිරිපත් වන්නේ නෑ. බෞද්ධයකු නොවුණත් සුනිල් ටී. ප්‍රනාන්දු මහතා චිත්‍රපටයේ බෙදා හැරීම, භාරගත්තා. ප්‍රචාරක කටයුතු ඇතුළුව නිෂ්පාදන සහායක ලෙස සුනිල් ටී. ප්‍රනාන්දු මහතා දායක වීම විශාල දායකත්වයක්.
ශිල්පීන් තෝරාගැනීම කළේ කෙබඳු ලෙසකද විශේෂයෙන් ධර්මපාලතුමාගේ චරිතය සඳහා..
ධර්මපාලතුමාගේ චරිතය තෝරා ගැනීමේ වැඩි කාර්යභාරය භාර කළේ කිරම විමලජෝති හාමුදුරුවන්ට උන්වහන්සේ තරම් ධර්මපාලතුමාට ගරු කරන කෙනෙක් ගැන මට හිතාගන්න බෑ. දවසක් මහ රාත්‍රියේ මට කතාකර කීවා" සනත් මහත්තයා ධර්මපාලතුමාගේ චිත්‍රපටය කවදද හදන්නේ මට නින්ද යන්නේ නෑ කියා. එතරම් උනන්දුවක් උන්වහන්සේට තිබුණා. චිත්‍රපටය ගැන සැබෑ බෞද්ධයකුගේ අගය තේරෙන්නේ සැබෑ බෞද්ධයෙකුට බව ඉන් හැඟෙනවා.
පළමුව අනගාරික ධර්මපාලතුමාගේ චරිතයට තෝරා ගැනුණේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඒත් ශ්‍රියන්තගේ කාර්ය බහුලත්වය නිසා ඔහු වගේම දක්‍ෂයෙකු වන පාලිත සිල්වාව ධර්මපාල චරිතයට අපි තෝරා ගත්තා.
ධර්මපාලතුමාගේ චරිතාපදානයද මේ චිත්‍රපටයෙන් දිග හැරෙන්නේ?
නෑ... ධර්මපාල තුමා පිළිබඳව ගවේෂණාත්මක නිර්මාණයක් ලෙසයි මම මෙය ඉදිරිපත් කරන්නේ. ඒකට හේතුව තමයි ධර්මපාලතුමාගේ චරිත කතාව කරන්න නම් රුපියල් කෝටි 25 ක් විතර අවශ්‍ය වෙනවා. නමුත් කිරම විමලජෝති හාමුදුරුවන් වියදම් කළ මුදල අනුව මම මේ නිර්මාණය කළේ ධර්මපාලතුමාගේ ජීවිතයේ සුවිශේෂී සිද්ධි මාලාවක් හා ඒ තුළින් සමාජයට වගේම දරු දැරියන්ට දැනගත යුතු පාසල් විෂය නිර්දේශයට ප්‍රයෝජනවත් වන ආකාරයේ දර්ශන පෙළක්.
යමෙකු පැවසුවොත් මෙහි තවමත් වාර්තාමය ස්‌වභාවය ඇතැයි කියා?
මම ඉන්නේ එතැන නොවේ. ඕනෑම කෙනෙක් තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලද්දී ඔබ පවසන ලෙස සමහරු ඒ ආකාරයට දකීවි. නමුත් මා කළ මේ ගවේෂණාත්මක නිර්මාණය දෙස ශ්‍රී ලාංකිකයෙකු ලෙස මේ ශ්‍රී ලාංකීය පොළවේ පය ගසා සිටින කෙනෙකු විදිහට චිත්‍රපටය නරඹන ලෙස තමයි මා කරන ඉල්ලීම.
චිත්‍රපටයේ පිටපත් සංඛ්‍යාව පිළිබඳ අර්බුදයක් තිබෙනවා..
ඔව්..... අර්බුදයක් තියෙනවා. ඒක විශාල ලෙස බලපාන්නේ චිත්‍රපටය කරට අරන් අප වෙනුවෙන් කටයුතු කරන සුනිල් ටී මහතාට. ඇත්තටම මේ වෙද්දී රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් හාමුදුරුවෝ සහ සුනිල් ටී. ත් එකතු වී වියදම්කර තිබෙනවා. අඩුම ගානේ මේ මුදල ආවරණය කර ගන්නවත් චිත්‍රපටයෙන් රුපියල් කෝටි හතකට එහාවත් ඉපයිය යුතුයි. මේ වෙලාවේදී මට මතක් වෙනවා එදා අරලියගහ මැඳුරේදී ජනාධිපතිතුමා කී කතාවක්" මට ඕනේ මේ කිරම විමලජෝති හාමුදුරුවෝ වියදම් කළ සල්ලි ටික සොයා දෙන්න. උන්වහන්සේට පාඩුවක් වෙනවා දකින්න මම කැමැති නෑ කියා බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට කීවා. ඒ විදිහට තමයි ජනාධිපතිතුමාත් ඇමැතිවරුත් සහාය දුන්නේ. චිත්‍රපට සංස්‌ථාවෙන් ලැබෙන සහාය නම් බින්දුවයි. එක ලියුමක් ගන්න මම සංස්‌ථාවට සෑහෙන වාර ගණනක් ගියා. ඒ වෙලාවට මට හිතෙනවා මේ රටේ ඇත්තටම මම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් ද කියලා.
පිටපත් කීයක් මුදා හරිනවද?
දැනට ලැබී තිබෙන්නේ පිටපත් තිස් හයයි. අලුත්ම තත්ත්වය තමයි ලංකා ඉතිහාසයේ පළමුවරට මංගල දර්ශනය පවත්වන අද උදේ 8.30, 10.30 දර්ශන පමණක් මේ වෙද්දී කලින් වෙන් කරගෙන තිබෙනවා. කොළඹ වගේම ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර වගේ දිස්‌ත්‍රික්‌කවල කොළඹ ආනන්ද බාලිකා, තර්ස්‌ටන්, මරදාන ක්‌ලිෆර්ඩ් බාලිකා, නුගේගොඩ ශාන්ත ජෝන්, මහරගම බුවනෙකබා, ජනාධිපති බොරැල්ල සංඝමිත්තා බාලිකා, කොළඹ ලුම්බිණි, සිරිමාවෝ බණ්‌ඩාරනායක, නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා යන විදුහල් අද උදේ 8.30 සහ 10.30 දර්ශන මේ විදිහට වෙන් කර තිබෙනවා. ධර්මපාලතුමාට ගෞරව කරන්න ගුරුවරු, විදුහල්පතිවරු සිනමා ශාලා මේ විදිහට වෙන්කරගෙන තිබෙනවා. ඒ වගේම චිත්‍රපටය වෙනුවෙන්ම අලුතින් සිනමා ශාලාවක් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරය සියපත සිනමා නමින් අද එළිදකිනවා.
අලහකෝන්
http://www.divaina.com/2014/09/12/cineart.html
සබැඳි ලිපි -
[
අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.html රටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක් ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]
0 comments:
Post a Comment