Pages

Tuesday, September 16, 2014

ආසියානු දැල්පන්දු අනුශූරතාව යළිත් ශ්‍රි ලංකාවට - ශූරතාව සිංගප්පූරුවට

රටවල් 10 කගේ සහභාගිත්වයෙන් සිංගප්පූරුවේ පැවැති නවවැනි ආසියානු වොලිබෝල් ශූරතා අවසන් මහ තරගයේදී වැඩි ලකුණු 18 කින් හෙවත් ලකුණු 59-41ක්‌ වශයෙන් පහසු ජයක්‌ සමග පිට පිටම දෙවැනි වතාවටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට සත්කාරක සිංගප්පූරුව ඊයේ (14 දා) සමත්විය.

සත්කාරක වාසියද සමගින් අපරාජිතව අවසන් මහ තරගය දක්‌වා පැමිණි සිංගප්පූරුව හමුවේ ශ්‍රී ලංකාව පළමු සහ දෙවැනි කාර්තුවලදී හොඳින් තරග වැදුණද අවස්‌ථා කිහිපයකදී පිට පිටම ලකුණු රැස්‌ කිරීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ මානසික ඒකාග්‍රතාවය ගිලිහී යන්නක්‌ බවට පත්විය. එම තත්ත්වය මත ආසියානු දැල්පන්දු අවසන් මහ තරගයකදී සිංගප්පූරුව හමුවේ පරාජයට පත්වීම මත පිට පිටම දෙවැනි වතාවටත් අනුශූරතාවයෙන් සැනසෙන්නට ශ්‍රී ලංකාට සිදුවිය. 

තරගය ආරම්භයේදීම පිටම පිටම ලකුණු 2 ක්‌ ලබා ගනිමින් ලකුණු රැස්‌ කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී පළමු කාර්තුව අවසන් වන විට 12-08 ක්‌ ලෙස පෙරමුණ ගනු ලැබීය. එහෙත් දෙවැනි කාර්තුවේදී යළිත් තරගයට අවතීර්ණ වූ සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අවස්‌ථා 2 කදී පිට පිටම ලකුණු 3 බැගින් රැස්‌ කරමින් නොසිතූ ලෙස එම කාර්තුවේ ලකුණු 25-21 ක්‌ ලෙස පෙරමුණ ගත්හ.

එසේ පෙරමුණ ගැනීමත් සමග සිය තරගකාරී භාවය දිගින් දිගටම රඳවා ගත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ උසින් වැඩි ප්‍රයෝජන ගැනීමට මාන බලා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව තුරුම්පුව ලෙස වේගවත්භාවය යොදා ගනු ලැබීය.

ශරීරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වඩා සිංගප්පූරු ක්‍රීඩිකාවන් සිහින් සහ වඩා වැඩි නම්‍යශීලී සිරුරුවලින් යුක්‌ත වීම, පන්දුව පිරිනැමීමේ වේගය පවත්වා ගෙන යැමට මෙන්ම එකවර පන්දුව රැක ගැනීමට ඔවුන්ට ආභරණයක්‌ බඳුවීය. එහිදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් අතින් සිදුවන සුලු වැරදීමකින් හැර පන්දුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අතට පත්වූයේ ලකුණක්‌ ලබා ගැනීමෙන් පසුව පමණි.

දෙවැනි කාර්තුවේ සිට තරගයේ සියලුම වාසි තමන් වෙත හරවා ගත් සිංගප්පූරු ක්‍රීඩිකාවෝ තෙවැනි කාර්තුව අවසන් වන විට 43-31 කින් පෙරමුණ ගනු ලැබීය. දෙවැනි කාර්තුවේ සිට තරගයේ අවසානය දක්‌වා වූ මිනිත්තු 30 කාලයේදී සිංගප්පූරු ක්‍රීඩිකාවන් ගෝල 34 ක්‌ රැස්‌කරගන්නා අතරතුරදී නම්‍යශීලීත්වයෙන් සහ ශරීර සමබරතාවයෙන් තොර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායම රැස්‌කරගන්නා ලද්දේ ගෝල 20 ක්‌ පමණි.

ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ගේ උස යොදා පන්දුව ලබා ගැනීමේ වාසිය හැරුණු විට පන්දුව තමන්ගේ ඉසව්වට රැගෙන යැමේදී තිබිය යුතු වේගය සහ ස්‌ථානගතවීමේ අඩුපාඩුව තරගය පුරාවටම පෙනුණි. මෙහිදී කණුව අසල රැඳී සිටින ක්‍රීඩිකාව බවට පත්ව සිටින තර්ජනී ශිවංලිංගම් වෙත පන්දුව පිරිනැමීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අනුගමනය කළ පිළිවෙතද සහ ඇයගේ පන්දු රැක ගැනීමද විශ්වාසනීයත්වයකින් තොරවීම, ශ්‍රී ලංකාවට ලකුණු රැස්‌කර ගැනීමට තිබූ අවස්‌ථා කීපයක්‌ම මග හරවන්නක්‌ බවට පත්විය.

චමිල කරවිට
http://www.divaina.com/2014/09/15/sports01.html

0 comments: