Pages

Friday, September 5, 2014

'කඩචෝරු දැන්වීම් ප්‍රතික්‍ෂේප කරමින් දුන් ආදර්ශය විශිෂ්ටයි' වෛද්‍ය පාදෙණියගෙන් අර්ජුනට හා ජැකලින්ට පැසසුම්

දරු පරපුරේ සෞඛ්‍යාරක්‍ෂිත බව සලකා ශ්‍රී ලාංකීය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග විසින් ක්‍ෂණික ආහාර ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන තම ප්‍රසාදය ඔවුන්ට පිරිනමන බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.

ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ගේ සහ අර්ජුන රණතුංගගේ මෙම ක්‍රියාව ඉහළින් අගය කරන බව ද එවැනි අලෙවි ප්‍රවර්ධන වැඩසටහන්වලට පෙනී සිටින්නන්ට මොවුන් දෙදෙනා ආදර්ශයක්‌ ලබා දී ඇතැයි ද කී පාදෙණිය මහතා අර්ජුන රණතුංග මහතා මෙවැනි දැන්වීම්වලට පෙනී නොසිටීමට ආරම්භයේ සිටම ගෙන ඇති තීරණය අගය කරන බව කීය.

මෙරට ක්‍ෂණික ආහාර දැන්වීමකට පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කරමින් ජැකලින් ෆර්ඩිනැන්ඩස්‌ රුපියල් ලක්‍ෂ පනහකට අධික මුදලක්‌ අහිමි කර ගත් බවට පසුගියදා 'දිවයින' පත්‍රයේ පළ වූ පුවත පිළිබඳ අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා බෝ නොවන රෝග ව්‍යාප්තිය මෙරට ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක්‌ වී ඇතැයිද, ක්‍ෂණික ආහාර පරිභෝජනය ඊට හේතුව බව ද කීවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි දරුවන්ගෙන් සියයට තිහක ප්‍රතිශතයක්‌ අධි බර හෝ ස්‌ථූලතාවට පත්ව ඇතැයිද 2020 වන විට මෙම ප්‍රමාණය සියයට පනහ දක්‌වා ඉහළ යන බව පෙන්නුම් කරන බව ද කීය.

වැඩිහිටි පරපුරට වඩා වැඩියෙන් මෙවැනි දරුවන් මියයැමේ භයානක අනතුරක්‌ පෙන්නුම් කරන බව ද කී වෛද්‍ය පාදෙනිය මහතා දරුවන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රමුඛතාව ලබා දීම කාලීන අවශ්‍යතාවක්‌ බව ද පැවසුවේය.

ඒ සඳහා සෞඛ්‍යයට අනාරක්‍ෂිත ආහාර වර්ග ප්‍රවර්ධනය වැළැක්‌වීමේ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව මතුව තිබියදී එවැනි ආහාර ප්‍රවර්ධනයට රටේ ජනප්‍රිය පුද්ගලයන් යොදා ගැනීමට වාණිජ ආයතන ක්‍රියාකරමින් සිටින බව ද පැවසුවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/09/05/news18.html

0 comments: