Pages

Wednesday, September 10, 2014

LTTE, ISIS, අල්ඛයිඩා ලෝකයේ කොයි ත්‍රස්‌තවාදයත් එක ය...

LTTE Attacks
LTTE Attacks
ලෝකයේ කොයි ත්‍රස්‌තවාදියාත් එක ය. ත්‍රස්‌තවාදය පරාජය කළ යුතු ය. ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි ය යන 21 වැනි සියවසට අයත්වන උදාන වාක්‍යය කීමට ඇමරිකා එක්‌සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යය විසින් පටන්ගනු ලැබුයේ ක්‍රි. ව. 2001 සැප්තැම්බර් 11 දායින් පසුව ය.

එතෙක්‌ ඔවුන් කටයුතු කළේ ත්‍රස්‌තවාදයට විරුද්ධව දැඩි සන්නද්ධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ගමන්ම වුව, එය ලෝකයේ පහළ වී තිබෙන පරාජය කළ නොහැකි අදෘෂ්‍යමාන බලවේගයක්‌ වශයෙන් ද සලකමිනි. එහෙයින් ලෝකයේ පෙරකී වර්ගයේ බලවත්ම රටවල් යම් ත්‍රස්‌තවාදයකට පහර දෙන ගමන්ම වෙනත් ත්‍රස්‌තවාදයක්‌ සුරතල් කිරීම ද සිරිතක්‌ කරගෙන සිටියේ ය. ත්‍රස්‌තවාදයක්‌ සමඟ යුද වදින ගමන්ම තවත් ත්‍රස්‌තවාදයක්‌ සමඟ නිදි වැදීමේ භයානක සෙල්ලම බටහිර විසින් යම් ප්‍රමාණයකින් හෝ අතහරිනු ලැබුයේ 2001 සැප්තැම්බර් 11 දායින් පසුව ය. ඒ නිව්යෝර්ක්‌ නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිල්ල කඩාවැටෙමින් තැබූ විලාපය නිසාය.

කෙසේ වුවත් ලෝකයේ ත්‍රස්‌තවාදී ව්‍යාපාර ක්‍රියාත්මකව පවත්නා කිසිම රටක්‌ තවමත් ඒවා මුළුමනින්ම පරාජය කිරීමට සමත්ව නැත. එසේ කළ එකම රට ශ්‍රී ලංකාව ය. ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූල රජය එහි තිස්‌ වසරක්‌ මුළුල්ලේ පැවැති ත්‍රස්‌තවාදය පරාජය කළේ සහ විනාශය කළේ ඒ සමඟ නිදිවැදීමෙන් නොව යුද වැදීමෙනි. ත්‍රස්‌තවාදයක්‌ විනාශ කිරීම මානව හිමිකම් කඩකිරීමක්‌ නොව මානව හිමිකම් සුරැකීමක්‌ බව තේරුම් ගැනීමට ලෝකයට ඇති අපහසුවක්‌ නැත. එහෙත්, ලෝකය තුළ සිටින "ලෝකයෝ" ඊට ඉඩ නො දෙත්.

තමන්ට ලෝකයේ කොතැනින් හෝ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීමට උත්සාහ දරන දෙමළ ඩයස්‌පෝරාවක අනාගතවාදී සිහිනයක්‌ වූ "තමිල් ඊළාම්" යන්නෙහි ප්‍රචණ්‌ඩ ප්‍රකාශනය වන එල්. ටී. ටී. ඊ. සංවිධානය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් 2009 වසරේදී නන්දිකඩාල් කලපුව තුළ ගිල්වනු ලැබුයේ පෙර කී "ලෝකයන්" ගේ දුක්‌ සුසුම් මධ්‍යයේ ය.

යකාට පහර දෙන විට මළ පෙරේතයෝ විලාප දෙන්නෝ යෑයි බලුකිස්‌තාන් පිරුළක්‌ තිබේ. ඒ කුමක්‌ වුවත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාව තුළ කිච වීම දෙමළ ඩයස්‌පෝරාවටත්, ඔවුන්ගේ බටහිර හිතවතුන්ටත් දරාගත හැක්‌කක්‌ නොවේ. හැමවිටම තමන්ගේ බලපෑම් අනුව ක්‍රියාත්මක වන ජිනීවා මානව හිමිකම් කවුන්සලය වැනි ආයතනයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යොදා ගැනීමට ඔවුන් තීන්දු කරන්නේ ඒ නිසා ය. හිටපු මානව හිමිකම් කොමසාරිස්‌වරිය වූ නවි පිල්ලේ යනු මේ සියලු දුෂ්ටයන්ගේ එකතුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ වැරදි ගර්භාෂයක ජපකරනු ලැබූ ශ්‍රී ලංකාවට එරෙහි පිල්ලිය ය. නව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් යනු ඒ පිල්ලියේ ම තවත් පිටපතක්‌ බව දැන් පැහැදිලි ය. ඒ අර උමතු සහ වැරදි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට සහාය වන ලෙසට සෙයිද් රාද් කළ ඉල්ලීම ද ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ තිබේ. අපි ඒ පිළිබඳ අපගේ ගෞරවය රජයට පළ කරනු කැමැත්තෙමු. හොරුන්ගේ අම්මලාගෙන් පේන අහන ගමන් එයට ඔයගොල්ලෝත් සහාය වෙනවාදැයි අසන්නන්ට දිය හැකි ඊට වඩා හොඳ පිළිතුරක්‌ තිබිය නොහැකි ය.

ලෝකයේ බොහෝ රටවල් (විශේෂයෙන් බටහිර රටවල්) මේ මොහොතේ ද මානව හිමිකම් කඩකරමින් සිටියි. ශ්‍රී ලංකාව ත්‍රස්‌තවාදය පරාජය කරන කාලයේ ද එම රටවල් ඉතා පැහැදිලිවම මානව හිමිකම් කඩකරමින් සිටියේය. ඔවුහු අහිංසක මිනිසුන් සිටින ප්‍රදේශවලට බෝම්බ දමා ඔවුන් ඝාතනය කළහ. ත්‍රස්‌තවාදීන් අතට ආයුධ සපයා නීත්‍යනුකූල රජයන් බලහත්කාරයෙන් පෙරළා දැමූහ.
සදාම් හුසේන් නමැති පාලකයා එදා ඉරාකයේ පවත්වාගෙන ගියේ මර්දනකාරී පාලනයක්‌ නම් අද ඇමරිකාව විසින් පෙරළා දමනු ලැබූ ඉරාකයේ පවතින පාලනය කුමක්‌ද? සදාම් හුසේන්ලා සිය දෙනකුට පිස්‌සු වැටී කරනා අන්දමේ පාලනයකි. අද ඉරාකය යනු මිහිපිට අපායකි. ඇමරිකාව සහ බටහිර විසින් මහත් ඕනෑකමින් පෙරළා දමනු ලැබූ ගඩාපිගේ ලිබියාව දැන් සාක්‌ෂාත් කොට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව කුමක්‌ද?

දැන් ලිබියාව ත්‍රස්‌ත කණ්‌ඩායම් 10 ක්‌ විසින් පාලනය කරන රටකි. පසුගියදා ලිබියාවේ ටි්‍රපෝලි ගුවන්තොටුපළ අල්ලාගත් ජිහාද් ත්‍රස්‌තවාදියෝ එහි තිබූ ගුවන් යානා 11 ක්‌ පැහැරගෙන ගියහ. (මෙම ගුවන් යානා එල්. ටී. ටී. ඊ. ය සතුව තිබුණු කුරුම්බැට්‌ටි මැෂින් වර්ගයේ ඒවා නොවේ.) මෙහි ඵල විපාක කුමක්‌ද යන්න අපි නොදනිමු. ඒ කුමක්‌ වුවත් ඒ නිසා මුළු බටහිර අහසමත්, නගරත් යම් ත්‍රස්‌ත අවදානමකට ලක්‌වී නැතැයි කිව හැකිද?

ත්‍රස්‌තවාදයට දඬුවම් දෙනු විනා ත්‍රස්‌තවාදයට දඬුවම් දුන් අයට දඬුවම් දීමේ දීන ප්‍රතිපත්තියෙන් ලෝකයේ මහා සංවිධාන මිදෙන තුරු මේ ලෝකයෙන් ත්‍රස්‌තවාදය තුරන් වන්නේ නැත. කලිසමක්‌ හැඳ තම උපන් රටට යළි පා තැබිය නො හැකි වර්ගයේ ලඡ්ජා සහගත වැරදි සිදු කර ඇති මිනිසුන් පිරිසක්‌ වෙනුවෙන් ද ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ අරභයා ටයිකෝට්‌ අඳින තක්‌කඩියන් පිරිසක්‌ වෙනුවෙන් ද වැරදි පරීක්‍ෂණ කමිටුවක්‌ අටවාගෙන සිටින ඕනෑම පිල්ලියකට එරෙහිව නො බියව කටයුතු කිරීම රජයේ යුතුකම හා වගකීම ය. පෙරකී වර්ගවල තක්‌කඩියන්ගේම හැර රටේ මුළුමහත් ජනතාවගේ ම සහාය මෙහිදී රජයට ලැබෙන බව අපට සැකයක්‌ නැත.

http://www.divaina.com/2014/09/10/editor.html

Pic1 Source 
Pic2 Source

0 comments: