Pages

Tuesday, June 14, 2016

යහපාලනය දොරේ ගලන ජල සම්පාදනයේ හොරා-පොලිස්‌ බඳවා ගැනීම

තට්‌ටු මාරු වන ඇමැතිවරු තම වන්දිභට්‌ටයන්ට රැකියා ලබාදීමට නැති පුරප්පාඩු ඇති කිරීම අපේ රටට අරුමයක්‌ නොවේ. ඉතිහාසය පුරාම අපි ඒ කාලකණ්‌ණි දේශපාලන පත්වීම් ක්‍රමය අත්දැක ඇත්තෙමු. අපට දුක හිතෙන්නේ යහපාලනය තුළ ද මේ දේශපාලන පත්වීම් ලබාදීම තවමත් සිදුවීම ගැනය. දැනටමත් යහපාලන රජය යටතේ බොහෝ අමාත්‍යාංශවල නැති පුරප්පාඩු ඇති කර දේශපාලන හෙන්චයියන්ට පත්වීම් ලබාදී හමාරය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, තැපැල් දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් දැනටමත් පෙරමුණ ගෙන සිටින්නාහ. මේ සියලු ආයතන පරයමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ නව පාලනාධිකාරිය උපරිම දේශපාලන බලය පාවිච්චි කර දේශපාලන හිතවත්කම් මත අලුතින් හාරසිය අසූදෙනකු සේවයට බඳවාගෙන ඇත. මේ සිද්ධියත් සමඟ අප කම්පනයට පත්ව සිටින්නේ පසුගිය රජය යටතේ කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගත් සේවකයන් හයසීයකට ආසන්න පිරිසක්‌ ස්‌ථිර නොකර, අලුතින් බඳවාගත් සේවකයන් ස්‌ථිර කිරීමට යැම නිසාය. ජල සම්පාදන මණ්‌ඩලය දේශපාලනිකව නරාවළක්‌ බව සැබැවි. එම මණ්‌ඩලය තුළ දේශපාලන පළිගැනීම්වල ඉවරයක්‌ නැති බවද සැබෑය. ඒ සියලු පළිගැනීම්වල අවසානයේ දුක්‌විඳින්නේ අසරණ සේවකයන්ය. යහපත් පාලනයක්‌ තුළ ද ජල සම්පාදන මණ්‌ඩලයේ දැන් සිදුවෙමින් තිබෙන්නේ ද එවැනි දේශපාලන පළිගැනීමකි. කතාව පෙළගැසෙන්නේ එතැන් සිටය.

පසුගිය ආණ්‌ඩුව යටතේ විටින් විටි ජල සම්පාදන මණ්‌ඩලයට කොන්ත්‍රාත් පදනම මත බඳවාගනු ලැබූ, තවමත් සේවයේ ස්‌ථිර නොවූ සේවකයන් හයසීයක්‌ පමණ කම්කරු තනතුරුවල සේවය කරන්නාහ. ඒ සෑම සේවකයෙක්‌ම දින එකසිය අසූව සම්පූර්ණ කර ඇත. කිසිවකුට විනය ගැටලු නැත. එමෙන්ම සෑම සේවකයකුගේම ක්‍රියාකාරීත්වය සතුටුදායකය. එහෙයින් ජල සම්පාදන මණ්‌ඩලයේ මානව සම්පත් අංශය විසින් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් එම සේවකයන්ගේ පෞද්ගලික ලිපි ගොනු පරීක්‍ෂා කරමින් ඔවුන්ව ස්‌ථිර කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ද සකස්‌ කර නව සභාපතිවරයාට ඉදිරිපත් කර තිබිණි. එහෙත් නව සභාපතිවරයා එම සේවකයන් ස්‌ථිර කිරීමට පියවර නොගත්තේය.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුකූලව කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයන් මාස හයක්‌ ගෙවී ගිය පසු සේවය ස්‌ථිර කළ යුතුය. ජල සම්පාදන මණ්‌ඩලයේ ද එම ක්‍රියා පටිපාටිය අඛණ්‌ඩව පවත්වාගෙන එමින් මාස හය ඇවෑමෙන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සෑම සේවකයෙක්‌ම සේවයෙහි ස්‌ථිර කිරීම සිදු විය. එහෙත් මෙවර යහපාලන ආණ්‌ඩුවේ නව බඳවාගැනීම් එම ක්‍රියාපටිපාටියට අනුගත නොවිණි. ඒ අල්ලපනල්ලේ යහපාලන රජය යටතේ රවුෆ් හකීම් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ ඇමැතිවරයා බවට පත්වීමත් සමඟ දේශපාලන හිතවත්කම් මත පුහුණුවන්නන් ලෙස තවත් හාරසිය අසූවක පමණ සේවක පිරිසක්‌ අලුතින් බඳවා ගත්තේය. එහෙත් මේ නව පත්වීම් සඳහා භාණ්‌ඩාගාරයේ අනුමැතිය හිමි වී නැත. සේවක සංඛ්‍යා ඇබෑර්තු නැති නිසා මේ බඳවාගැනීම් නොකරන ලෙස භාණ්‌ඩාගාරය විසින් ජල සම්පාදන කළමනාකාරිත්වයට ලිතවම දැනුම් දී තිබිණි. එහෙත් වර්තමාන පරිපාලනය නව සේවකයන් බඳවාගැනීම නතර නොකළේය. අතිශය උපක්‍රමශීලීව පුහුණුවන්නන් ලෙස 'බහුවිධ නිපුණතා කාර්යස්‌ථ බඳවාගැනීම යන මැයෙන්' එකී සේවකයන් බඳවාගනු ලැබිණි. (පුහුණුවන්නන් යටතේ බඳවාගැනීමට භාණ්‌ඩාගාර අනුමැතිය ඇවැසි නැත. ඕනෑම අවස්‌ථාවක පුහුණුව සඳහා සේවකයන් බඳවාගැනීමට ජල සම්පාදන මණ්‌ඩලයට අවසරය තිබේ.) එපමණක්‌ නොව, නව පත්වීම්ලාභීන්ගේ සේවය ස්‌ථිර කිරීමට අවශ්‍ය සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මණ්‌ඩලයීය පරිපාලනය විසින් භාණ්‌ඩාගාරයෙන් අනුමැතිය ද ඉල්ලා තිබිණි. එහෙත් ඒ සඳහා භාණ්‌ඩාගාරයේ අනුමැතිය නොලැබී ගියේය. කෝප් කමිටුව විසින් ද පරීක්‍ෂණ පවත්වමින් මෙම බඳවාගැනීම නීති විරෝධී බව දැනුම් දී තිබිණි .එසේ දැනුවත් කර තිබියදී නව මාණ්‌ඩලික පාරිපාලනයේ හිතුවක්‌කාරකම මත නව පත්වීම්ලාභී හාරසීය අසූවම සම්මුඛ පරීක්‍ෂණයට භාජන කෙරිණි. එමෙන්ම එකී සේවකයන් ස්‌ථිර කරවීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන ද සකස්‌ කෙරිණි. එහෙත් ඊට පෙර කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, වසරකට වැඩි කාලයක්‌ සේවයේ නිරතව සිටි සේවකයන් ස්‌ථිර කිරීම පසෙකට විසිවිණි. 

මේ අත්තනෝමතික නව බඳවාගැනීම්වලට විරුද්ධව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ සියලු වෘත්තීය සමිති එකතුවෙන් පසුගිය 10 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය. වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීම වූයේ අලුතින් බඳවාගත් සේවකයන් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම නොකළ යුතුය යන්නය. ඒ සමඟම වෘත්තීය සමිතිවලට නව පාලන අධිකාරියේ උප සභාපතිවරයා සහ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයා සමඟ සාකච්ඡාවක්‌ ලබා දී තිබිණි. එම සාකච්ඡාවේදී ද සියලු වෘත්තීය සමිතිවල ඒකමතික ඉල්ලීම වූයේ දේශපාලන හිතවත්කම් මත අලුතින් බඳවාගනු ලැබූ සේවකයන් ස්‌ථිර කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්‌ නැති බවත්, ඊට පෙර කොන්ත්‍රාත් පදනම මත බඳවාගනු ලැබූ පැරැණි සේවකයන් හයසිය දෙනා පළමුව ස්‌ථිර කළ යුතු බවය. එහෙත් වෘත්තීය සමිතිවල ඉල්ලීමද කුණු කූඩයට දැමූ නව පරිපාලනය විසින් අලුතින් බඳවාගත් සේවක පිරිස සම්මුඛ සාකච්ඡාවලට කැඳවනු ලැබිණි. ඒ සම්මුඛ පරීක්‍ෂණ සිදු වූයේ ද සතිඅන්ත දිනවල හොර රහසේය.

ජල සම්පාදන මණ්‌ඩලයට හොරා පොලිස්‌ බඳවාගැනීම් ඇවැසි නැත. ලැබෙන ආරංචි මාර්ග අනුව මණ්‌ඩලය තුළ සේවක අතිරික්‌තයක්‌ නැත. එමෙන්ම ජල සම්පාදන මණ්‌ඩලය යනු සේවකයන් එකොළොස්‌ දහසක්‌ පමණ සේවය කරන විශාල ආයතනයකි. එකී ආයතනයේ පුළුල්වීම, පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි වීමට අනුව ජල සම්පාදනය වැඩි කිරීමත් සමඟ ඊට සමානුපාතිකව සේවක සංඛ්‍යාව ද වැඩි කළ යුතුය. එමෙන්ම ආයතනයේ සේවකයන් විශ්‍රාම යැම නිසා වාර්ෂිකව තවත් ඇබෑර්තු ප්‍රමාණයක්‌ ඇති වේ. මේ වන විට ජල සම්පාදන මණ්‌ඩලය තුළ සේවක ඇබෑර්තු නවසීයකට ආසන්න ප්‍රමාණයක්‌ තිබේ. කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගත් පැරැණි සේවකයන් හයසීය සහ අලුතින් බඳවාගත් සේවකයන් හාරසිය අසූවෙන් තුන්සීයක්‌ ස්‌ථිර කළ හැකිය. ඉතිරි සේවකයන් ප්‍රමාණය වරින්, වර ඇති වන සේවක ඇබෑර්තුවල ස්‌ථිර කළ හැකිය. එසේ අලුත් සේවකයන් ස්‌ථිර කිරීමට පැහැදිළි පුරප්පාඩු තිබියදී, අනවශ්‍ය අයුරින් ගැටලුවක්‌ නිර්මාණය කරගැනීම පරිපාලනමය මන්දබුද්ධිකකමකි. එමෙන්ම වැරැදි බඳවාගැනීම් ක්‍රමය නිවැරැදි කිරීම සඳහා නව පරිපාලනය විසින් ගෙන යන 'ගොං පාට්‌' ද එමටය. එනම් ඔවුන් කියා සිටින්නේ මීට පෙරද සේවකයන් බඳවාගෙන ඇත්තේ දේශපාලන බලපෑම් මත බවය. එමෙන්ම මීට පෙර කම්කරු තනතුරු සඳහා සේවක බඳවාගැනීම් අවස්‌ථාවලදී පුවත්පත්වල දැන්වීම් ප්‍රසිද්ධ කර නැති බවය. එය එසේ සිදු විය හැකිය. එහෙත් ජල සම්පාදන මණ්‌ඩලය තුළ මීට පෙර සෑම සේවක බඳවාගැනීමක්‌ම සිදු කර ඇත්තේ භාණ්‌ඩාගාර අනුමැතිය ඇතිව සේවක සංඛ්‍යා ඇබෑර්තු ප්‍රමාණය අනුමත කරවාගැනීමෙන් පසුය. දේශපාලන අනුදැනුම පිට සිදු වුවද ජල සම්පාදන මණ්‌ඩලයේ සේවක බඳවාගැනීමේ පාටිපාටිය වෙනස්‌ නොවිණි. එමෙන්ම ජල සම්පාදන මණ්‌ඩලයේ සේවක බඳවාගැනීම්වලදී පුවත්පත්වල ප්‍රසිද්ධ කරනු ලබන්නේ වෘත්තීය බඳවාගැනීම් පමණි. කම්කරුවන් බඳවාගැනීමේදී මීට පෙර ද එසේ ප්‍රසිද්ධ කිරීමක්‌ සිදු වී නැත. බොහෝ රාජ්‍ය ආයතනවල මෙන්ම ජල සම්පාදන මණ්‌ඩලයේ ද කම්කරු තනතුරුවලට බඳවාගන්නා සේවකයන්ට ඔවුන්ගේ සුදුසුකම් මත වරින්, වර ලිපිකරු හෝ සමාන්තර ශ්‍රේණිවල ඇති වන ඇබෑර්තු සඳහා පත්වීම් ලබාදෙනු ලැබේ. එහෙත් මෙවර යහපාලන ආණ්‌ඩුව යටතේ දේශපාලන හිතවත්කම් මත 'බහුවිධ නිපුණතා කාර්යස්‌ථ බඳවාගැනීම' යන මැයෙන් බඳවාගත් සේවකයන් පත් කර සිටින්නේ ලිපිකරු, මනු සටහන්කරු, රියෑදුරු වැනි නිත්‍ය තනතුරුවල රාජකාරි ආවරණය සඳහාය. දැන් ඔවුන්ව ස්‌ථිර කිරීමට උත්සාහ දරන්නේ ද එම නිත්‍ය තනතුරුවලමය. පැරැණි ස්‌වකයන් කම්කරුවන් ලෙස සිටිද්දී, අලුතින් පැමිණි සේවකයන් ලිපිකරු තනතුරුවල සේවය කරන්නේය.

එමෙන්ම රටේ ඇති වූ යහපත් පාලනයත් සමඟ ඉතිහාසයේ කවරදාකවත් නැති අයුරින් ජල සම්පාදන මණ්‌ඩලයේ පරිපාලනය අන්ත දුර්වල තත්ත්වයකට පත්ව ඇති බව ද එකී මණ්‌ඩලයෙන් ලැබෙන ආරංචි මාර්ගය. එමෙන්ම නව පරිපාලනය හිතුමතේ තීන්දු තීරණ ගන්නා තැනට දේශපාලන බලයෙන් මත් වී සිටින බවද වාර්තා වන්නේය. එහෙත් වගකීම් භාරගැනීමට තරම් කොන්ද පණ ඇති කිසිදු නිලධාරියෙක්‌ නැති බවද ජලසම්පාදන මණ්‌ඩලයේ වෘත්තීය සමිතිවල අදහසය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සරල ගැටලුවක්‌ හෝ නිරාකරණය කරගැනීමට නව පාරිපාලනයට ශක්‌තියක්‌ නැත. පුංචි ගැටලුවක්‌ පවා වෘත්තීය ක්‍රියාමාර්ගයක්‌ දක්‌වා දිග්ගැසෙන්නේ මේ පරිපාලනමය දුර්වලකම් නිසාය. වසර තුනකින් අනිවායර්යෙන් ලබාදිය යුතු වැටුප් වැඩිවීම ලබාගැනීමට ජල සම්පාදන සේවකයන්ට පසුගිය ජනවාරි මාසයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වූයේ ද නව පරිපාලනයේ අඳබාලකම නිසාය. එමෙන්ම නීත්‍යනුකූලව අඛණ්‌ඩව ලබාදුන් බෝනස්‌ මුදල් අනුමත කර, වෙන් කර තිබියදීත්, එය ලබා නොදී අනවශ්‍ය අර්බුදකාරී තත්ත්වයක්‌ නිර්මාණය කළේ පරිපාලනමය දුර්වලකම් නිසාය. අවසානයේ සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයට ගිය පසු බෝනස්‌ මුදල ලබාදීම සිදුකෙරිණි. දැන් උද්ගතව ඇති සේවක ගැටලුව ද සරලව විසඳාගැනීමට අවස්‌ථාව තිබියදී ජල සම්පාදන මණ්‌ඩලයේ පරිපාලනය විසින් සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට තල්ලු කරමින් සිටින්නේය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ පානීය ජලය නිසි ප්‍රමිතියට නිෂ්පාදනය කර ආරක්‍ෂිතව රටේ ජනතාවට බෙදාදීමය. එමෙන්ම ඇති වන ආපදා තත්ත්වයන්හිදී අසරණ ජනතාවට අවශ්‍ය පානීය ජලය කඩිනමින් සම්පාදනය කර දීමය. ගංවතුර හෝ වෙනත් අපද්‍රව්‍ය මිශ්‍රවීමකදී ජනතාවගේ පානීය ළිං සුද්ධ පවිත්‍ර කරදීම ජල සම්පාදන මණ්‌ඩලයට අයිති රාජකාරියකි. එනම් පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ කඳු කඩා හැළී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ අවතැන් විය. සොබාදහම එසේ උරණ වද්දී, නොසිතූ අයුරින් රටේ ප්‍රධාන අවි ගබඩාවක්‌ද පුපුරා යැමෙන් දහස්‌ සංඛ්‍යාත ජනතාවක්‌ පීඩාවට පත් විය. මේ අසරණ ජනතාවට පානීය ජලය සම්පාදනය කිරීම ජල සම්පාදන මණ්‌ඩලයේ ප්‍රමුඛ කාර්යභාරයකි. එවැනි තත්ත්වයක්‌ මත ජල සම්පාදන පරිපාලනය විසින් කරගෙන යන දේශපාලන පළිගැනීම් හමුවේ ජල සම්පාදන මණ්‌ඩලය අවුල් ජාලාවක පැටලී සිටින්නේය.

යහපත් පාලනයක්‌ තුළදී රටේ ජනතාව මෙවැනි දේශපාලන පළිගැනීම් බලාපොරොත්තු වූයේ නැත. එමෙන්ම ජල සම්පාදන මණ්‌ඩලය වැනි ජාතික ආයතනයක්‌ අඳබාල පරිපාලනයකට පත්කිරීමද ජනතාව බලාපොරොත්තු වූයේ නැත. එහෙත් තවමත් සිදුවෙමින් තිබෙන්නේ පැරැණි වැරැදිමය. රටේ ජනතාවට කිසිදු අයුරකින් සහනයක්‌ නැත. මේ නම් අන් කිසිවක්‌ නොව, රටේ සහ සිංහල ජාතියේ කරුමයයි.

අපේ ඉල්ලීම්වලට එකඟ නොවුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා
ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක

ජල සම්පාදන මණ්‌ඩලයේ උද්ගතව ඇති සේවක ගැටලුව සම්බන්ධව කරුණු කාරණා සාකච්ඡා කිරීමට ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා අප සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළගැසෙන්නේ ඔහුගේ අදහස්‌ය.

මේ උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් අපි පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරලා මේ බඳවාගැනීම් සිදු කරන්න එපා කියලා ඉල්ලීමක්‌ කළා. ඒත් ඒ ගැන තැකීමක්‌ නැතිව ඒ අය අලුත් සේවකයන් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවලා තිබුණා. එයට විරුද්ධව අපි පසුගිය 10 වැනිදා උද්ඝෝෂණයක්‌ සිදු කළා. අපි කියන්නේ මුලින්ම ස්‌ථිර කරන්න ඕන කොන්ත්‍රාත් පදනම මත සිටින පැරැණි සේවකයන් කියලයි. මේ ගැන සාකච්ඡා කරන්න පාලන අධිකාරිය විසින් ඇමැතිවරයා සමඟ අපිට ලබන අඟහරුවාදා සාකච්ඡාවක්‌ ලබාදීලා තියෙනවා. ඒ සාකච්චාවේදී අපේ ඉල්ලීමට එකඟ නොවුණොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යනවා. ඒත් කිසිදු අයුරකින් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ජනතාවට අපහසුතාවක්‌ ඇති වෙන්න ඉඩ තියන්නේ නෑ. ජනතාව පීඩාවට පත් කරලා ඒක ආයුධයක්‌ කරගෙන අපි ඉල්ලීම් දිනාගන්න යන්නෙත් නෑ. මෙතෙක්‌ කරපු වෘත්තීය ක්‍රියාමාර්ගවලදී ජනතාව අපහසුතාවට පත් කරලත් නෑ. ඉදිරියට කරන්නෙත් නෑ. අපි සෑම විටම උපරිම උත්සාහ කරන්නේ පාලනාධිකාරියත් සමඟ සාකච්ඡා මට්‌ටමින් ප්‍රශ්න විසඳගන්න. බැරිම තැන තමයි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්නේ.

උද්ගතව ඇති ගැටලුව සම්බන්ධයෙන් කරුණු කාරණා දැන ගැනීම සඳහා ජල සම්පාදන හා ජලාපවහ මණ්‌ඩලයේ සභාපති අන්සාර් මහතාව අපි දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තෙමු. එහෙත් ඒ අන්සාර් මහතා ඒ අවස්‌ථාවේ හදිසි සාකච්ඡාවක සිටි බැවින් අපගේ පැනයන්ට පිළිතුරු ලබාගැනීමට නොහැකි විය.

තරංග රත්නවීර
http://www.divaina.com/2016/06/12/feature11.html

Pic Source

සබැඳි ලිපි -
[

ඔබේ බදු මුදල් ආගම්වාදය සවිමත් කිරීමටයි! සිහලුන්, බොදුනුවන්ට අබ සරණයි! හකීම් ජලමණ්ඩලයට හෙන්චයියන් පුරවයි!http://denethharinna.blogspot.com/2016/06/blog-post_4.html
හකීම්ගේ ජලසම්පාදන මණ්‌ඩලයේ දින 180 වූ සේවකයන් සිටිය දී අලුතින් ගත් 480 ක්‌ ස්‌ථීර කිරීමට දේශපාලන බලපෑම් මත සම්මුඛ පරීක්‌ෂණ කැඳවලා. වරායේ දෙවන පියවර... ජලමණ්ඩලයේත් ආගමිකත්වයට මුල්තැන???
http://denethharinna.blogspot.com/2016/06/180-480.html

]

0 comments: