
සිනමා තිරයක් මත, රූපවාහිනි තිරයක් මත ක්‍රියාත්මක වන චරිතයක් තුළින් අපි මොනතරම් එකිනෙකට වෙනස් ඉරියව් දකිනවාද ඒවාට මොනතරම් බැඳී යනවාද, ගැටෙනවාද. කුමක් නිසාද ඔබ ඇලීම් ගැටීම් සකස් කොටගෙන තිබෙන්නේ. අනුන්ගේ අනිත්‍ය වන ඉරියව් කයක් නිත්‍යභාවයෙන් ගැනීම නිසා.
උපතිස්‌ස, කෝලිත කියන තරුණයන් දෙදෙනා දකිනවා, වේදිකාවේ රඟපාන රංගන ශිල්පීන් ප්‍රදර්ශනය කරන්නේ අනිත්‍ය වූ ඉරියව් කයක්‌ය කියලා. කෙනෙක් අනිත්‍යවූ ඉරියව් කයක් පෙන්නලා තිරයෙන් පසුපසට යනවා. ඊළඟට තව කෙනෙක් ඒ දෙයම නැවත කරනවා. අනුන්ගේ ඉරියව් කයක් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අපි භවයට අදාළ සංස්‌කාරයන් රැස්‌කරනවා කියලා එම තරුණයන් දෙදෙනා දකිනවා.
කෙනෙක් අතපය විසිකිරීම නිසා, වේගයෙන්, සෙමෙන් ගමන් කිරීම නිසා, ඔරවා බැලීම නිසා, ඇසක් පොඩිකොට බැලීම නිසා, ශරීරයේ රිද්මය මතුකොට පෙන්වීම නිසා, අපි මොනතරම් නම් ඇලීම් ගැටීම් ඇති කොටගෙන තිබෙනවාද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාන්තාව හිඳින්නීද, ඇවිදින්නීද, නිදන්නීද, ඔරවන්නීද, රවන්නීද, රඟන්නීද, ගයන්නීද, නාන්නීද... එය කාමයන්ම සකස් කොට දෙනවාය කියලා. පිංවත් ඔබත් මොහොතක් නුවණින් දකින්න. සමාජය තුළ ජීවත්වීමේදී ඉහත ඉරියව්වලට ඔබ මොහොතක් හෝ ඇලීම් ගැටීම් සකස් කොටගෙන තිබෙනවා නේද? බුදුරජාණන් වහන්සේ භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂයේදී කාන්තාව දක්‌වා ඇත්තේ භික්‍ෂූන් විසින් මඟහැර යායුතු ධර්මතාවක් වශයෙන්. මොකද කාන්තාවගේ ඉරියව් කය නිරතුරුවම කෙළෙස් ධර්මයන් සකස් කොට දෙනවා. එය පිංවත් කාන්තාවන්ගේ වරදක් නොව, ලෝකයේ පැවැත්ම උදෙසා කාන්තාව උපතින්ම උරුමකොට ගෙන පැමිණෙන ධර්මතාවක්.
භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂයට අදාළ සතර පාරාජිකාවන්ට, කාමයේ වරදවා හැසිරීමේ ශික්‍ෂාපදය බුදුරජාණන් වහන්සේ පනවන්නේ සුදන්න කියන උපසම්පදා භික්‍ෂූන් වහන්සේ, තම ගිහිකාලයේ බිරිඳගේ ඉරියව් කයට මුළාවී, රැවටී, එම ඉරියව් නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් කොටගත් බරපතළ කාමය වරදවා හැසිරීමේ අකුසලය හේතුවෙනුයි. කාන්තාවගේ ඉරියව් කයක් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම, සුදන්න භික්‍ෂුව අපායගාමී අකුසලයක් සිදුකොට ගත්තා. උපසම්පදා භික්‍ෂුවකට කාන්තාව ගින්දරක්‌මයි. එම ගින්දරට සුදන්න භික්‍ෂුව තවමත් නිරයේ දැවෙනවා.
ඉරියව් භාවනාව ගැන සඳහන් කරනකොට, පිංවත් කාන්තා පක්‍ෂය නිරතුරුවම ස්‌වාමීන් වහන්සේලා ඉදිරියේ බොහොම සංවරව, ඇඳුමෙන් පැළඳුමෙන්, කතාබහෙන්, හැසිරීමෙන් තම ඉරියව් පැවැත්වීම කළ යුතු වෙනවා. තමාගේ හෝ අනුන්ගේ ඉරියව් නිත්‍යභාවයෙන් ගත හොත් එය භවය අස්‌වැද්දීම උදෙසාමයි හේතුවෙන්නේ. ඉරියව් කයක්‌ය කියන්නේ සිතක්. සිතක් කියන්නේ අනිත්‍යවූ ධර්මතාවක්. අනිත්‍ය වූ දෙයක් ඔබ, ඔබේ කොටගත් තැනදී ඔබ දුකටයි බැඳී යන්නේ. මින්පසුව අනුනගේ වේවා, තමන්ගේ වේවා, ඉරියව් ක්‍රියාත්මක වන සෑම මොහොතකම 'සිතක්' කියලා දකින්න. අනිත්‍යවූ සිතක්‌ය, අනිත්‍ය වන යන ඉරියව් කයක්‌ය කියලා දකින්න.
රාත්‍රි ඔබ නින්දට යැමේදී, මුළු දවස පුරාම ක්‍රියාත්මක වූ ඔබේ ඉරියව් ස්‌වභාවයන්, පිංවත් ඔබ දැක්‌කාවූ අනුන්ගේ ඉරියව්වල ස්‌වභාවයන් නුවනින් දකින්න. එම ඉරියව්, තමාටවත් අනුන්ටවත් අයිති නැති, වෙනස් වන සිතක් පමණක්‌ම බව දකින්න.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2016/06/05/feature02.html
0 comments:
Post a Comment