Pages

Sunday, June 5, 2016

අරලියගහ මැදුරේදී බිඳුණු දුලබ බුදුපිළිමයේ විත්තිය

මීට වසර කීපයකට පෙරාතුව ඇෆ්ගනිසථානයේ බුද්ධ ප්‍රතිමා විනාශ කරනු ලැබුවේ තලේබාන් කැරළිකරුවන් විසින්ය. මිනිසා විසින් එසේ බුද්ධ ප්‍රතිමා විනාශ කරනු ලැබුවද දෙදහස්‌ හතර වසරේ සුනාමියේදී මහ සයුර ගොඩ ගලා සියලු ගොඩනැඟිලි විනාශ වී යද්දී වෙරළාසන්න බුද්ධ ප්‍රතිමා සියල්ලක්‌ම පාහේ නිරුපද්‍රිතව තබන්නට තරම් සොබාදහම කාරුණික වූ අයුරු අපට මතකය.

එපමණක්‌ නොව පසුගියදා ගැලූ මහා ගංවතුරින් ද අසල තිබූ ගොඩනැඟිලි කැඩීබිඳී යද්දී බුදුපිළිම නිරුපද්‍රිතවූ අයුරු අපට මතකය.

එහෙත් පසුගිය වෙසක්‌ උත්සවය වෙනුවෙන් අරළියගහ මන්දිරයේ පැවැති සර්වඥධාතු ප්‍රදර්ශනය සඳහා ජාතික කෞතුකාගාරයේ තිබී රැගෙන ගිය ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේ රැකගන්නට අපට නොහැකි වූයේ මන්දැයි ශ්‍රී ලංකාවාසී සමස්‌ත බොදුනුවන් තුළ පවතින්නේ බරපතළ වේදනාවකි.

නව වන සියවසට අයත් එම ඉපැරණි ශිලා බුද්ධ ප්‍රතිමාව ජාතික කෞතුකාගාරයෙන් රැගෙන ගොස්‌ ඇති ආකාරයද නීතියට පටහැනි යෑයි ජනමතයක්‌ රටපුරා ව්‍යාප්තව ඇති මොහොතක 'දිවයින ඉරිදා සංග්‍රහය' 2005 වසරේ සිට 2009 දක්‌වා සංස්‌කෘතික අමාත්‍ය ධුරය ඉසිලූ හිටපු සංස්‌කෘතික අමාත්‍ය වරයකු වූ මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසුණේ සංස්‌කෘතික විෂය පථයට අදාළව කෞතුකාගාරයක තැන්පත් කර ඇති අති දුර්ලභ කෞතුක භාණ්‌ඩයක්‌ ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමට කෞතුකාගාරයෙන් පිටතට රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත විමසීමටය.

මේ හිටපු සංස්‌කෘතික අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අදහස්‌ය.

''...පුරාවිද්‍යා පනත කියලා මේ රටේ පුරාවස්‌තු පාලනය කරන පනතක්‌ තිබෙනවා. ඒ වගේම කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අදාළ වෙනම රෙගුලාසි මාලාවක්‌ වගේම පුරාවිද්‍යා කොමසාරිස්‌ තනතුරටද අදාළ පුරාවිද්‍යා පනත වගේම කෞතුකාගාරය සම්බන්ධයෙන් වෙනම ආඥා පනතකුක්‌ තිබෙනවා. මේ ආඥා පනත් දෙකම ඉතාමත්ම බලසම්පන්න පනත් දෙකක්‌ ලෙස සැලකෙනවා. 

අප දන්නවා පුරාවස්‌තු තිබෙනවා යෑයි නම් කළ ස්‌ථානයක කැනීමක්‌ සිදු කළොත් පවා ඊට නඩු පැවරිය හැකි වගේම ඇප දීමට පවා නොහැකි වරදක්‌ ලෙස සඳහන් වනවා. පුරාවිද්‍යා කටයුතු සම්බන්ධයෙන් ඒතරම් ප්‍රබල නීතියකුයි අපේ රටේ තිබෙන්නේ. 

මේ අනතුරටපත් පිළිමය අප කෞතුකාගාරයේ තිබූ ඉතාමත්ම පෞරාණික අනුරාධපුර යුගයට අයත් මිල කළ නොහැකි පිළිම වහන්සේ නමක්‌ ලෙසයි සැලකෙන්නේ. 

මේ පිළිමය කිසිම පළුද්දකින් තොරව තිබූ පිළිම වහන්සේ නමක්‌. ඒ නිසා ඒකේ වටිනාකම වැඩියි. මෙම පිළිමය ආරක්‍ෂා කිරීමේ වගකීම කෞතුකාගාරයට බාරදීලයි තිබුණේ. කෞතුකාගාරයට බාර දෙන්නේ ඉතාමත් ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති පුරාවස්‌තූන් පමණයි.

යම් කෞතුක භාණ්‌ඩයක්‌ කෞතුකාගාරයට බාර දුන්නාට පසුව සාමාන්‍යයෙන් ඒවා එතැනින් හොලවන්නේ වත් කොහාටවත් ගෙන යන්නේ වත් නෑ. ඒවා එතැන් පටන් සැලකෙන්නේ කෞතුකාගාරයේ කෞතුක වස්‌තූන් ලෙස නිසා එම කෞතුක භාණ්‌ඩ එම සීමාවෙන් පිට කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කටයුත්තක්‌. එසේ කරනවා නම් එහි ආසන්න බලධාරීන් වන කෞතුකාගාර අධ්‍යක්‍ෂක සහ පුරාවිද්‍යා කොමසාරිස්‌ යන අයගේ විශේෂ අවසරයක්‌ නැතිව එම කෞතුක භාණ්‌ඩවලට අත තබන්න වත් හැකියාවක්‌ නෑ. 

ඊට හේතුව ඒවා අපේ රටේ ජාතික ලැයිස්‌තුවට අයත් කෞතුක භාණ්‌ඩ ලැයිස්‌තුවේ එක කොටසක්‌ වන නිසයි. 

ඒ නිසා කෞතුකාගාරයට බාරයේ ඇති දෙයක්‌ මේ රටේ මොනම නීතියක්‌ යටතේ වත් පිටතට ගෙනයන්න බෑහැ.

විශේෂ අවස්‌ථාවකදී එම කෞතුක භාණ්‌ඩ පිටතට ගෙනයා හැකි එකම ක්‍රමය යෝජනාවක්‌ මගින් එය පාර්ලිමේන්තුවේ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර කැබිනට්‌ අනුමැතියක්‌ රැගෙන පමණයි. ඒ වගේම ඒවා රැගෙන යන්නට රජයේ වගකිව යුත්තෙක්‌ සිටිය යුතුයි. 

පිටරටවලදී පැවැත්වෙන ජාත්‍යන්තර කෞතුක භාණ්‌ඩ ප්‍රදර්ශන ආදියට එම රටේ ඉල්ලීම මත යම් අවස්‌ථාවලදී ඇතැම් කෞතුක භාණ්‌ඩ පිටතට රැගෙන යනවා. මා සංස්‌කෘතික අමාත්‍යවරයා ලෙස සිටියදී ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සංවිධානයෙන් ජපානයේ පැවැති කෞතුක භාණ්‌ඩ ප්‍රදර්ශනයකට කෞතුක භාණ්‌ඩ රැගෙන ගියා.

එහෙත් අප හැකිතාක්‌ දුරට ඒවාට රැගෙන ගියේ මුල් ආකෘතියට සමානව තැනූ අනුරූප කෞතුක භාණ්‌ඩයි.

නමුත් විදේශයක රාජ්‍ය නායකයා වැනි අයෙකුගේ විශේෂ ඉල්ලීමක්‌ විදියට කෞතුක භාණ්‌ඩයේ මුල් පුරාවස්‌තුවම රැගෙන එන ලෙස ප්‍රදර්ශනය පවත්වන රටෙන් ආරාධනාවක්‌ වැනි දෙයක්‌ ලැබුණ අවස්‌ථාවල් වලදි කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියක්‌ මත මුල් කෞතුක භාණ්‌ඩය රජයේ අවසරය ඇතිව පිටතට රැගෙන යන්නට හැකි වනවා. 

රජයේ අවසරය කියන කාරණාවත් මෙහිදී පැහැදිලි විය යුතුයි. කෞතුක භාණ්‌ඩ ඉල්ලා කරන ඒ ඉල්ලීම රජයට ලිතව ලැබෙන්න ඕනෑ. ඊට පස්‌සේ රජය ඒ ඉල්ලීම පිළිගන්න ඕනෑ. පිළිගැනීමෙන් පසුව ඒ පිළිබඳ මූලික සාකච්ඡා පවත්වන්න ඕනෑ. කොහොමද ඒක කරන්නේ, කොහොමද කෞතුක භාණ්‌ඩ රැගෙන යන්නේ, කොහේද ප්‍රදර්ශනය තියෙන්නේ, කවුද ඒක සංවිධානය කරන්නේ ආදී වශයෙන් ඒ වැඩ පිළිවෙල ඉස්‌සරවෙලාම අනුමත වෙන්නට ඕනැ.

ඊට අමතරව ඒවා රැගෙන යන තැන, වගේම ප්‍රදර්ශනය තියන තැන කවුද වගකීම දරන්නේ ඒ රටේ මේ ප්‍රදර්ශනයට සහභාගි වන්නේ කවුරුන්ද, ඒ රටේ රාජ්‍ය නායකයා වැනි ප්‍රභූ වරුන්ද ඊට සහභාගී වනවාද ආදී කාරණා එහිදී සලකා බලනවා. ඒකට අපි එක`ග වෙන්නට ඕනෑ. ඉන් පසුවයි පිටතට රැගෙන යන පුරා වස්‌තු මොනවද කියලා තීරණය කරන්නේ. 

ඒ සඳහා කොමිටියක්‌ පත් කරනවා. එම කොමිටියට පුරා විද්‍යා කොමසාරිස්‌වරයා, කෞතුකාගාර අධ්‍යක්‍ෂකවරයා, පුරා විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ආදී විද්වත් ඉතාමත්ම ප්‍රවීන කොමිටියකින් තමයි ඒවා තෝරනු ලබන්නේ. 

ඒ කොමිටිය රැගෙන යන භාණ්‌ඩ තෝරලා ඡායාරූප අරගෙන ඒවා ලැයිස්‌තු ගත කරනවා. සාමාන්‍යයෙන් අතිශය දුර්ලභ ලෝකයටම එකක්‌ පමණක්‌ ඇති කෞතුක භාණ්‌ඩ එසේ පිටතට රැගෙන යන්නේ නෑ.

ඒවගේම කිසිම කෞතුක භාණ්‌ඩයක්‌ ගුවනින් මිස නැව් මගින් ප්‍රවාහණය කරන්නෙත් නෑ.

එසේ ප්‍රවාහණය කිරීමට පෙර නැවතත් කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වී එම කෞතුක භාණ්‌ඩ සම්බන්ධයෙන් ලැබෙනා ආරක්‍ෂාව ආදී කරුණු ගැනත් සාකච්ඡා කරනවා.

කෞතුක භාණ්‌ඩ කෞතුකාගාරයෙන් පිටකිරීමට පෙර අසුරනු ලබන්නේ අනුමත ලේඛණයට අනුවයි. එම ඇසිරීම සිදු කරන ස්‌ථානයේත් පෙර සඳහන් කළ පුරාවිද්‍යා මහාචාර්යවරයා ඇතුළු කොමිටිය ඉදිරියේ තමයි එම ඇසිරීම සිදු කරනු ලබන්නේ.

ගුවන් ගත කරලා නැවත ගුවන්යානයෙන බිමටබාන විටත් ඒ රටේ ගුවන්තොටුපලේ අපේ රටේ නියෝජිතයෙක්‌ එහි රැඳී සිටිනවා. 

එම කෞතුක භාණ්‌ඩ ප්‍රවාහනය කරන්නට වගේම එය විවෘත කරන්නට අපේ රටෙනුත් වගකිවයුතු පුද්ගලයෙක්‌ සම්බන්ධ වනවා. 

සංස්‌කෘතික අමාත්‍යවරයා, එහෙම නැත්නම් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙක්‌ එසේත් නැතිනම් සංස්‌කෘතික කොමසාරිස්‌වරයා හෝ එවැනි තලයේ වගකිව යුතු ඡේෂ්ඨතම වගකිව යුත්තෙක්‌ විසිනුයි එම කෞතුක භාණ්‌ඩ ප්‍රදර්ශනය සඳහා එරටට භාරදෙනු ලබන්නේ.

2007 වසරේ ජපානයේ පැවති ජාත්‍යන්තර තලයේ කෞතුක භාණ්‌ඩ ප්‍රදර්නයකට ශ්‍රීලංකාවෙන් කෞතුක භාණ්‌ඩ භාරව ගිය කණ්‌ඩායමට සංස්‌කෘතික ඇමති වශයෙන් එදා මාද සහභාගි වූවා. එම විස්‌තර මා මෙහි සඳහන් කළේ කෞතුක භාණ්‌ඩ ප්‍රවාහණය කෙතරම් සියුම් ආකාරයෙන් තවත් තැනකට රැගෙන යනවාද යන කාරණය අවධාරණය කරන්නයි.

ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයා තමයි එම ප්‍රදර්ශනය විවෘත කළේ. එය නරඹන්නට ජපානයෙන් වගේම ලෝකයේ වෙනත් රටවලිනුත් විශාල ජනකායක්‌ පැමිණියා. ලංකාවෙන් ඊට ඉදිරිපත් කළ කෞතුක භාණ්‌ඩ භාරව ගිය මා ලංකාවේ සංස්‌කෘතික ඇමැති වරයා වශයෙන් එම ප්‍රදර්ශනය අවසන් වන තුරු සතියක කාලයක්‌ එහි රැඳී ඉඳලා අප රැගෙන ගිය කෞතුක භාණ්‌ඩත් ඒ ආකාරයෙන්ම රැගෙනයි අප කණ්‌ඩායම ආපසු ලංකාවට ආවේ. අප ඒ ප්‍රදර්ශනයට වත් ඔය ආපදාවට පත් බුද්ධ ප්‍රතිමාව රැගෙන ගියේ නැහැ. ඊට හේතුව එම ප්‍රතිමාව එතරම්ම වටිනා දුර්ලභ එකක්‌ නිසයි.

ඒ වගේම පසුගිය වෙසක්‌ පොහොය දවසේ එම ආපදාවට පත් ප්‍රතිමාව කෞතුකාගාරයෙන් පිටතට ප්‍රවාහණය කරලා තියෙන්නේ පිටකොටුව වෙළඳපොළේ එළවළු ගෝනියක්‌ ප්‍රවාහනය කරනා විදියටයි. 

මා දන්නා කරුණු නිවැරදි නම් වර්තමාන කෞතුකාගාර අධ්‍යක්‍ෂක වරියගේ අවසරයවත් නියමාකාරයෙන් ලබා නොගෙන බලහත්කාර ස්‌වරූපයකිනුයි එම කෞතුක භාණ්‌ඩය කෞතුකාගාර පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස්‌ තිබෙන්නේ. 

මා පුද්ගලිකව එය දකින්නේ ආණ්‌ඩුවේ බලය අයුතු ලෙස යෙදවීමක්‌ හැටියටයි. එය සම්පූර්ණ නීති විරෝධියි.

ඒ අනුව එය බලහත්කාරයක්‌ විතරක්‌ නෙමෙයි කෞතුගාර පනතටත් දෙපාර්තමේන්තු ආඥා පනතටත් සම්පූර්ණයෙන් විරුද්ධයි. මේවා සැලකිය යුත්තේ ජාතික අපරාධ හැටියටයි.

ලැබී ඇති තොරතුරු සත්‍ය නම් එම ප්‍රතිමාවේ සිරස වෙන්වී සිරස්‌පතයට තුවාල සිදුවී තිබේනම් එම පාඩුව මිළ කළ නොහැකියි. එම නිසා වහාම මේ ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

ජාතික මූල්‍ය අපරාධ අංශය තියෙන්න ඕනෑ මේ විදියේ අපරාධ ගැන සොයා බලන්නයි.

නමුත් කිසිම අංශයකින් මේ ගැන විධිමත් පරීක්‍ෂණයක්‌ සිදුවන බවට සළකුණක්‌ වත් නෑ. නියම විදියට නම් මෙය ජනාධිපති කොමිසමක්‌ පත් කර සොයා බැලිය යුතු කාරණයක්‌. මේ වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි. 

මේ වරදට දඬුවම් නොදේනම් මේ වැරදිකරුවන් නීතිය හමුවට නොගෙනේනම් එය මේ රජයට එරෙහි මහා සාපයක්‌ බවට පත්වීම ඒකාන්තයි.

කෙසේවෙතත් මෙම අපරාධයට රජය ක්‍රියාත්මක වන ආකාරය දෙස අප ඉතා සැලකිල්ලෙන් බලා සිටිනවා...''

රන්ජන් ගාමිණී ජයවර්ධන
http://www.divaina.com/2016/06/05/feature18.html

0 comments: