Pages

Saturday, December 6, 2014

ලෝක වාර්තා පොතට ගිය - "හෙළ සිනමා අඹුසැමි යුවළ" - චිත්‍රපට කරන්නට මුලින්ම ලෙස්‌ටර් බෑ කියයි

මේ පසුගිය ඉරිදා පුවත්පතක එක්‌ සිරස්‌තලයක්‌.

ඒ කතාවෙන් කියා තිබුණේ "හෙළ සිනමාවේ කිවිඳිය" ලෙස සැලකෙන අපේ සුමිත්‍රා පීරිස්‌ටත් ප්‍රංශයේ ඉහළම රාජ්‍ය ගෞරව තානාන්තරයක්‌ ප්‍රදානය කළා කියලයි. (ඒ කියන්නේ නයිට්‌ පදවියක්‌)

ඉතින් ඇයි? "සුමිත්‍රා පීරිස්‌ටත්" කියලා ලිව්වේ?

සුමිත්‍රා පීරිස්‌ටත් කියලා ලිව්වේ, ඊට කලින් ඒ කියන්නේ 1997 වසරේ දී ඇයගේ සැමියා වන ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ සූරීන්ටත් ප්‍රංශ රජයෙන් එම සම්මානයම පිරිනමා තිබුණු නිසයි. 

ඉතින් ඒ කතාව දැන් හරි ·

එහෙනම් කුමක්‌ද දැන් කතාව?

මේ වෙලාවේ මට මතක්‌ වුණේ ලෙස්‌ටර්ගෙ පළමුවැනි චිත්‍රපටය - "රේඛාව" ගැන.

ලෙස්‌ටර් රේඛාව හදලා තියෙන්නේ 1956 වසරේ දී. 

මේ නිසා මිනිස්‌සු හිතන්නේ ලෙස්‌ටර්ගේ මුල්ම චිත්‍රපටය "රේඛාව" කියලා. ඒක හරි - "රේඛාව" තමයි ලෙස්‌ටර්ගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය... ඒත්... ඊට කලින් ලෙස්‌ටර් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස වැඩ කරපු කාලේ තවත් චිත්‍රපට කිහිපයක්‌ම කරලා තියෙනවා. ඒවා වාර්තා චිත්‍රපට. 

ඉන් එක චිත්‍රපටයක නම "ගාබේඡ්" (කුණු). අනිත් එක "ට්‍රැෆික්‌" (රථවාහන) ගැන. "ට්‍රැෆික්‌" කියන චිත්‍රපටයේ අයිරාංගනී සේරසිංහ කාර් එකක්‌ එළවාගෙන යන දර්ශනයක්‌ද (ඩ්‍රයිවින් කරන) තිබිලා තියෙනවා. ලෙස්‌ටර්ගේ තවත් චිත්‍රපටයක්‌ තමයි මදුරු තර්ජනය ගැන හදාපු "මැලේරියා" කියන වාර්තා චිත්‍රපටය. මේ සියල්ලම වාර්තා චිත්‍රපට.


ලෙස්‌ටර් රජයේ චිත්‍රපට අංශයේ මේ විදියට වැඩ කරගෙන ඉන්න කාලේ දි තමයි ක්‍රිස්‌ටෝෆර් පීරිස්‌ කියලා ලෙස්‌ටර්ගේ මස්‌සිනා කෙනෙක්‌ සහ ක්‍රිස්‌ටෝෆර්ගේ මිත්‍රයෙක්‌ වන ඩග්ලස්‌ ප්‍රනාන්දු ලෙස්‌ටර් හමුවීමට ඇවිත් තියෙන්නේ. ඒ ඇවිත් ඇහුවාලු මෙහෙම...


"ලෙස්‌ටර් නරකද රජයේ චිත්‍රපට අංශයෙන් අස්‌වෙලා ඇවිත් චිත්‍රපටයක්‌ කළොත්?" කියලා.


ලෙස්‌ටර් ගත් කටටම කියලා තියෙන්නේ "මට බැහැ" කියලා. එහෙත් ඊට පස්‌සේ ඒ යෝජනාවේ ප්‍රතිඵලයක්‌ විදියට තමයි, ලෙස්‌ටර් අතින් ඔහුගේ මුල්ම වෘතාන්ත චිත්‍රපටය වුණු "රේඛාව" හැදුණේ. "රේඛාව" ගැන මං වැඩිය විස්‌තර කළ යුතු නැහැනේ. "රේඛාව" කියන්නේ සිංහල සිනමාව අලුත්ම මඟකට යොමුකළ පළමු චිත්‍රපටය කියලා කවුරුත් දන්නවනේ.


"රේඛාව" චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතයේ නම සේන. සේන ලෙස රඟපෑවේ සෝමපාල ධර්මප්‍රිය කියලා ළමයෙක්‌. 

මම මේවා ලිව්වාට මාත් "රේඛාව" දැක්‌කේ හුඟාක්‌ කාලයක්‌ ගියාට පස්‌සේ.

ඒ කාලේ ලෙස්‌ටර් ජීවත්වෙලා තියෙන්නේ මොරටුවේ. ලුනාව කලපුව අසල තමයි ලෙස්‌ටර් ජීවත් වුණු නිවස පිහිටා තිබිලා තියෙන්නේ. 

මේ කාලේ ලෙස්‌ටර් අලුත්ම මොරිස්‌ මයිනර් කාර් එකක්‌, කොළඹ රෝලන්ඩ්ස්‌ සමාගමෙන් මිලට අරගෙන තියෙනවා රුපියල් පන්දාහකට. මේ ලස්‌සන අලුත් පුංචි කාර් එක බලන්න, ඒක අත ගගා ඉන්න ලෙස්‌ටර්ගේ ගේ අසල පදිංචි වී සිටිය පුංචි කොල්ලෙක්‌ දිනපතාම වගේ ඇවිත් තියෙනවා. මේ කොල්ලා චිත්‍රපටයකට සුදුසුයි කියලා මේ අතර ලෙස්‌ටර්ට සිතුණා. ඊට පස්‌සේ ඒ කොල්ලා තමයි රේඛාවේ ප්‍රධාන චරිතය රඟපෑවේ. එයා තමයි සෝමපාල ධර්මප්‍රිය. ඔහු අකාලයේ මියගියා.

රේඛාව රූපගත කරන්නට සියල්ල සූදානම් වුණා. රූපගත කිරීමට තෝරාගෙන තිබෙන්නේ බණ්‌ඩාරවෙල. ඒ කාලය නැත්නම් ඒ සමය (දේශගුණය) බණ්‌ඩාරවෙලට වැහි නැති සමයක්‌ ලෙස ලෙස්‌ටර්ගේ යාළුවෙක්‌ ලෙස්‌ටර්ට කියලා තියෙනවා. ඊට පස්‌සේ තමයි කට්‌ටියම (චිත්‍රපටයේ නඩේ) බණ්‌ඩාරවෙල ගියේ. ඒත් මේ පිරිස බණ්‌ඩාරවෙලට ගිය දවසේ පටන්ම එහාට වහින්නට ගත්තලු. ඒ වැස්‌ස දවස්‌ විසි දෙකක්‌ එක දිගටම වැස්‌ස බවත්, ඒ කාලේ බණ්‌ඩාරවෙලට වහින්නේ නැහැ කියල ලෙස්‌ටර්ට කියාපු එයාගේ යාළුවා හැංගුණු බවත් "වංශ කතාවල" සඳහන් වෙනවා. 

ඊට පස්‌සේ මේ කට්‌ටිය අලව්ව පැත්තේ වෑවල කියන ගමට ඇවිත් තමයි රේඛාවේ වැඩ ටික අවසන් කරගෙන තියෙන්නේ.

මේ "රේඛාවේ" වඳුරු නාම්බෙක්‌ද රඟපානවා. වඳුරා අයිතිකරු වන දුප්පත් මිනිහා තමයි වඳුරා සිටින දර්ශනවල වඳුරා එක්‌ක වඳුරා හසුරුවමින් රඟපාලා තිබෙන්නේ. ඒ සිද්ධියේ විශේෂත්වය තමයි චිත්‍රපටයේ දර්ශන රූගත කළත් නැතත් ඒ හැම දවසකටම, වඳුරාටත් මිනිහාටත් අරක්‌කු බෝතලයක්‌ දීමට ලෙස්‌ටර්ට සිදුවීම.

කොහොම හරි මේ විදියට රේඛාවෙන් පටන්ගත් ලෙස්‌ටර්ගේ සිංහල චිත්‍ර්‍රපට අධ්‍යක්‍ෂණයට චිත්‍රපට විස්‌සක්‌ පමණ ඇතුළත් වෙනවා.

ඒවායේ නම් කියන්නද?

ඉස්‌සෙල්ලාම රේඛාව. ඊළඟට සංදේශය. ඊළඟට පිළිවෙළින් ගම්පෙරළිය, දෙලොවක්‌ අතර, රන් සළු, ගොළු හදවත, අක්‌කර පහ, නිධානය, දෑස නිසා, ගෝඩ් කිං, මඩොල් දූව, අහසින් පොළොවට, වීර පුරන් අප්පු, පින්හාමි, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්දේ වලව්ව සහ අම්මාවරුනේ. 

මෙරිල් පෙරේරා - 077 7701009
http://www.divaina.com/2014/12/07/feature10.html

0 comments: