Pages

Saturday, December 6, 2014

'සැකය...' සාධාරණද?

එකිනෙකා වෙත යා වූ ආදරණීය හදවත් දෙකක්‌ අවිශ්වසනීය හැඟීම්වලින් පිරීයන්නට ගත වන්නේ ඉතා සුළු මොහොතක්‌ විය හැක. එහෙත් සැකය සාධාරණ වූ එකක්‌ද යන්න තවත් වරක්‌ සිතන්නට ඔබට අවකාශ අවැසි යෑයි ඔබ සිතනවා නම් මොහොතකට කියවගෙන යන්න මෙම ලිපිය.

ඔබ ජීවිතයේ වඩාත්ම ආදරය කරන පුද්ගලයා ඔබ පිළිබඳ අවිශ්වාසයෙන් පෙළෙන බව හෝ උකුසු ඇසින් ඔබ කරන සියල්ල දෙස බලනවා යෑයි ඔබට දැනුණොත් ඔබට කුමක්‌ සිතේවිද? මෙය එකම කාසියක දෙපැත්තක්‌ මෙනි.

ඒ ආකාරයටම ඔහුගේ හෝ ඇයගේ එම සැක සංකා පිරි දෙනෙත තුළ ගැබ්ව ඇති භීතිය සහ ආදරයේ වේදනාව ඔබට වඩාත් හොඳින් හඳුනා ගැනීමට ඒ සමඟ අපහසු නොවනු ඇත.

සැකය විශ්වාසය සහ ඊට ඉලක්‌ක වන්නෝ මෙන්ම සැකය එල්ල කරන්නෝ පිළිබඳව අද අපි කතා කරමු.

මේ සෑම කෙනෙකුටම කියන්නට කතාවක්‌ තිබේ. ඔවුන් සියලු දෙනාගේම පාර්ශවයේ සිට අපි කතාව මෙන්න මේ විදිහට පටන් ගනිමු.

ඔබට වඩාත් විශ්වාසවන්ත පුද්ගලයා ඔබේ හොඳම මිතුරා, ඔබේ සැමියා, බිරිඳ නැතහොත් ආදරවන්තයා හෝ ආදරවන්තිය විය හැක. ඒ අතින් කවුරු වුවද මෙලොව ජීවත් වන ගැහැනුන් සහ පිරිමින් සියල්ලටම මෙම සැකය හෝ අවිශ්වාසය තම තමන්ගේ ජීවිතවලට කෙදිනක හෝ එබී බැලිය හැකි පොදු වූ ධර්මතාවයකි.

මෙහිදී පදනමක්‌ සහිතව මෙන්ම රහිතවද සැකය එල්ල විය හැකි අතර සොඳුරු යුග ජීවිතයට මේ ජීවිතයේ කෙදිනක හෝ එක වරක්‌ හෝ ඇතුළු වුවහොත් දෙදෙනාටම සැනසිල්ලේ ජීවත් වීමට ලැබෙන වරම් සදාකාලයටම අහිමි වන බවද කිව යුතුමය. මක්‌නිසාද යත් කොතරම් හෝ පිරිසිදු කළත් කුඩා කළ තිතක්‌ මෙන් එය ජීවිතයේ කොහේ හෝ රැඳී පවතින හෙයිනි.

පළමු අවස්‌ථාව තුළ ද අනික්‌ පාර්ශවයෙන් ප්‍රතිචාර ලෙස මෙතෙක්‌ තිබූ සබඳතාවයේ පලුදුවීම් හෝ සදාකාලිකවම සුවකළ නොහැකි තුවාලයක්‌ ලෙස කලකිරීම් ඉතුරුවන අතර දෙවැනි අවස්‌ථාවෙහිදී ඉතා බියකරු තිත්ත සත්‍යයක්‌ සොයා ගත හැකි වුවද එහි ප්‍රතිඵලය තමන් තුළ පැවති සබඳතාවයේ අවසානය විය හැකිය.

මෙම ලිපියෙහි මෙතැන් පටන් ඉස්‌මතු කරන තොරතුරු පිළිබඳ කීපවරක්‌ සිතා බලන්න. ඔබට සමීපතම ඔහු හෝ ඇය තුළින් ඔබට දැනෙන වෙනස හෝ අනාගතයේදී විඳින්නට වන අත්දැකීම් කෙබඳු වේ දැයි මේ තුළින් ඉඟියක්‌ සපයා ගන්නට ඔබට හැකිවනු ඇත. එසේම මෙය කියවන ඔබට මෙය අදාළ නොවේ නම් ඔබ ඉතා වාසනාවන්ත වන අතර එසේ නැත්නම් ඔබ මෙහිදී නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? ඔබ තුළම ආත්ම විනිශ්චයක්‌ ගොඩනඟාගෙන ඉන් නිවැරැදි තීරණවලට ඒමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ඔබට ජීවිතයේ කිසියම් අවස්‌ථාවකදී ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබව රවටනවා යෑයි හැඟී ගියහොත් තීරණ ගැනීමට ඉක්‌මන් නොවිය යුතු අතර වෙනදාටත් වඩා ඔහුට හෝ ඇයට තවත් සමීපව හැසිරීම් රටා පිළිබඳ ඉතා දැඩිසේ අධ්‍යයනය කොට අවශ්‍ය විටකදී රහස්‌ පරීක්‌ෂකයකුගේ තත්ත්වයේ සිට හෝ ක්‍රියා කළ යුතුය. ඒ සඳහා පහත අප විසින් පෙළගස්‌වන කරුණු ද ඔබට බෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

* සැක කිරීමේ ස්‌වභාවය හඳුනා ගැනීමද, දෛනික ක්‍රියාකාරීත්වයේ ක්‌ෂණික වෙනස්‌ වීම් හා හැසිරීම්වල වෙනස්‌ තත්ත්වයන් බාහිරව ඉස්‌මතු වේ.
* ඉතාම මෑත අතීතයේ සිදු වූ ක්‍රියාකාරකම් සහ අතීත සිදුවීම් සිහියට නඟන්න.
* නින්දට යැමේදී මඟහැර සිටීම.
* බාහිර පෙනුම පිළිබඳ වෙනදාටත් වඩා දක්‌වන උනන්දුව.
* ඔබ සමග පවත්වන සන්නිවේදන සම්බන්ධතාවන් මග හැරීම සහ වෙනදාට වඩා වැඩි කාලයක්‌ නිශ්ශබ්දව සිටීම.
* එකිනෙකා සමඟ පවත්වන කායික සබඳතා අඩු වී ඇතැම් විට නිතර මත ගැටුම්වලට භාජන වීම.
* පුද්ගලිකව පාවිච්චි කරන ලැප්ටොප්, පරිගණක හෝ ජංගම දුරකථන භාවිතයේ දී පෞද්ගලිකත්වයට මුල්තැන දීම හෝ ඒවායේ පෙරසටහන් මකා දැමීමට උත්සාහ කිරීම.
* ඔහු හෝ ඇය පදවන වාහනය තුළින් නැතහොත් අඳින ඇඳුම් පැළඳුම් තුළින් පෙර නොවූ සුගන්ධයන් වහනය වීම.
* දීර්ඝ දුරකථන සංවාදවල යෙදීම හා ඒවායේ ඉරියව් ස්‌වභාවය අතිශය පෞද්ගලික වීම.

මෙයට අමතරව නිර්නාමික, සහ ක්‌ෂණිකව විසන්ධි කරන දුරකථන ඇමතුම්, මෙන්ම ඉතා ග්‍රාම්‍ය ඕපාදූප සහ කටකතා තුළ ද ජීවිත අවුල් කරන අදෘශ්‍යමාන බලවේග පැවතිය හැක. එහෙත් එවන් විටක එළඹෙන සිහි නුවණින් යුතුව කටයුතු කිරීම ඔබට භාරය. 

ඉහත තොරතුරු කියවීමේ දී ඔබ නියෝජනය කරන්නේ මින් කුමන පාර්ශවය ද යන්න ඔබගේ හෘද සාක්‌ෂියට අනුව විශ්ලේෂණය කර ගැනීමට හැකියාව ඔබට ලැබෙනු ඇත. එහෙත් ඒ කුමන පාර්ශවයේ ඔබ සිටියද මෙම තත්ත්වයට ඔබ මුහුණ පාමින් සිටිනවා නම් දැනටමත් ඔබ සිටිනුයේ ජීවිතයේ එක්‌තරා සංධිස්‌ථානයකට පියවර තබා ඇති බව නොවළහා කිව යුතුය. එසේම තවත් කිවයුත්තක්‌ තිබේ. 

එනම් සමාජයේ ජීවත්වන බොහොමයක්‌ දෙනා එක සමාන අයවළුන් නොවන බවද අප වටහාගත යුතුය. අප අතර ජීවත් වන අතළොස්‌සක්‌ දෙනා තම හැඟීම් සඟවාගෙන ජීවත් වන්නටද උත්සාහ කරන්නන් විය හැකිවාක්‌ මෙන්ම, කිසිවකුත් සමග සිය අදහස්‌ හෝ ආකල්ප බෙදා හදාගන්නට මැළි විය හැක. එසේම ඉහත කරුණු ඔස්‌සේ තම සමීපතමයාගේ වෙනස්‌කම් නිරීක්‌ෂණය කරන ඔබ සාමාන්‍යයෙන් ඔහුගේ දින චරියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු අතර, ඒ පිළිබඳ මනා වැටහීමකින් සිටිය යුතුය. මක්‌නිසාද යත් නිරන්තරවම ඡේත්තුවට හැඳ පැළඳ සමාජශීලී ලෙස ජීවත් වන සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ඔබට සිටිනවා නම් ඒ පිළිබදව ඔබට අනියත සැකයක්‌ උපදවා ගතහැකි වීම අසාධාරණ විය හැකි නිසාවෙනි. 

ඒ අනුව අපට සැකයේ වාසියේ පිහිට පතන්නට සිදු වන්නේ අතිශයම සාධාරණ හේතු මෙන්ම එවන් සාධක කිහිපයක්‌ එකතු වුවහොත් පමණි. නැතහොත් නිවැරදි පුද්ගලයන් වෙත චෝදනා එල්ලකිරීමේ හේතුව නිසා පවුල් ජීවිතය ඉතා අවාසනාවන්ත අවස්‌ථාවකට ඇද දමන්නට උත්සාහ ගන්නේ ඔබම විය හැක.

ඒ කෙසේ වුවද ඉහත අප සඳහන් කළ අවස්‌ථාවන් ඉක්‌මවා ඉතාම සාධාරණ හේතු සාධක ඔබට එකතු වී ඔබ දැනටමත් අනෙකාගේ දුරස්‌ථ භාවයෙන් විඳවමින් සිටිනවා නම් ඉතාම බුද්ධිමත් සහ දුර දිග කල්පනා කොට ගතයුතු තීරණ රාශියක්‌ නුදුරේදී ඔබගේ පවුල සහ ආදරණීය සම්බන්ධතාවය වෙනුවෙන් ඔබට ගැනීමට සිදුවීම අනිවාර්ය වේ.

ඉහත දක්‌නට ලැබෙන තොරතුරු පිළිබඳව ඉඟියක්‌ හෝ ඔබට ලැබුණොත් ඒ සියල්ල සෙමින් සෙමින් නිරීක්‍ෂණය කිරීමත් ඒවා සවිස්‌තරාත්මකව පෙළගස්‌වා ගැනීමත් ඔබට භාර වන අතර, එහි අවසානය සටහන් කිරීමට ඉක්‌මන් නොවීමද අනිවාර්ය බව සටහන් කළ යුතුමය.

එසේම ඔහු හෝ ඇය ඔබ පිළිබඳ සැකයෙන් සිටින බව ඔබ වටහා ගත්තද, ඒ පිළිබඳ විමසීමට ද ඔබ ඉක්‌මන් නොවිය යුතුයි. තමාගේ අතින් සැකයට භාජන වීම සඳහා සිදුවී ඇත්තේ කුමන අඩුපාඩුවක්‌දැයි සොයා වහාම එය නිවැරදි කර ගැනීමේ ආත්ම විනිශ්චයකට තමා කඩිනමින් පැමිණිය යුතුයි.

එසේම දෛනික ජීවිතය තුළ ඔබ දෙදෙනාටම බාහිර අවධානයෙන් මිදිය හැකි නිදහස්‌ මොහොතකදී සුහද කතාබහක යෙදීමටද හැකියාව ඇති අතර ඔහු හෝ ඇය ඔබේ ජීවිතයෙන් ඈතට සෙමෙන් පිය ඔසවනවාද නැතහොත් එය ඔබගේ සිතෙහි ඇතිවූ වැරැදි වැටහීමක්‌දැයි පැහැදිලිව හඳුනා ගත හැක. එහෙත් හොඳින් කල්පනාවට ගන්න. ඔහුට හෝ ඇයට ඔබට සත්‍ය වසන් කිරීමටද හැකියාව ඇති අතර එවිට ඔබට සාක්‌ෂි ලෙස ඉතිරි වන්නේ ඔබ සොයාගත් කරුණම පමණක්‌ විය හැක. එම නිසා මෙවන් කතාබහක්‌ ඉතා බුද්ධිමත්ව පැවැත්විය යුතු අතර තුන්වැනි පාර්ශ්වයක අවධානය හෝ උපදෙස්‌ මීට ලබා නොගැනීම ඉතාම වැදගත් කරුණකි.

එසේම ඔහු හෝ ඇය ඔබට ද්‍රෝහි වී ඇත්නම් හෝ ඒ පිළිබඳ පාපොච්චාරණයේ යෙදුණහොත් ඉන් මිදීමට ඔහුට හෝ ඇයට ජීවිතයේ තවත් අවස්‌ථාවක්‌ ලබා දීමටද ඔබට පුළුවන්කම තිබේ.

කෙසේ වුවද ඔබ ඔබගේ සැමියා හෝ බිරිඳ අවිශ්වාස කිරීමේ කුමන හෝ පදනමක සිට වුවද එම මාර්ගයේ ඉදිරියටම යැමේදී ඔබ ඔබෙන්ම විමසිය යුතු පැනයක්‌ තිබේ. එම පැනයට ඔබ විසින්ම පිළිතුරු සපයාගත යුතු අතර, කිසිවෙකුගේ ආදරය හෝ අවධානය තමන් වෙත බලෙන් රඳවා තබාගැනීමට සමත් අයකු මෙලොව මෙතෙක්‌ ඉපදී නැති බවත් සිහි තබා ගත යුතුය.

ආදරණීය බැඳීම පිවිතුරු වන තරමටම ලොව වෙනස්‌ වන සෑම දෙයක්‌ ලෙසම එයද වෙනස්‌කම්වලට භාජන වීමට තැනක්‌, වේලාවක්‌, හේතුවක්‌ නිශ්චිතව කිව නොහැක.

ඔහු හෝ ඇය ඇත්තටම මගෙන් ඉවතට පියනඟනවා නම්, මා ඊළඟට කුමක්‌ කළ යුතු ද? යන්න ඔබ ඔබගේ ආත්මයෙන්ම විමසන්න. ඒ ඔබ අසන්නට අකැමැති දුෂ්කර අමිහිරි පැනයක්‌ වුවද තීරණය ඔබේ ආත්මය තුළින් අරගෙන මිසක්‌ මෙම ගැටලුවට අත දාන්නට ඔබ නොයා යුතුය. මක්‌නිසාදයත් නිවැරැදි වූ ඔබ සහ ඔබගේ ආදරයත්, ජීවිතයත් ඔබට වටිනා එකක්‌ වන අතර ඔබෙන් යෑපෙන්නන් සහ සමාජය ඔබ දෙපළ දෙසම බලා සිටින බවත් නිසාවෙනි. මෙවන් විටෙක වැටහෙන නුවණින් යුතුව තීරණගත හැකි එකම පුද්ගලයා වන්නේ ද ඔබම පමණකි.

ඉහත පැනයට ඔබ සකස්‌ කර ගන්නා පිsළිතුර සිත යට තබා ගෙන ඔබගේ සැමියා හෝ බිරිඳ පිළිබඳ ඔබගේ සැකය ඔස්‌සේ දිව යැමට ඔබට පුළුවනි. මක්‌ නිසාද යත් සැකය හෝ අවිශ්වාසය පදනම් විරහිත නම් ඔබට අභියෝගයක්‌ නැති අතර එය පදනමක්‌ සහිත එකක්‌ වුවහොත් අනිවාර්යයෙන්ම ඔබ අමිහිරි වූ යථාර්ථයට මුහුණ දීමට සූදානම් විය යුතු බැවිනි.

අමාලි මංගේෂ්කා
http://www.divaina.com/2014/12/07/feature15.html

Pic Source

0 comments: