Pages

Tuesday, December 30, 2014

මහා ලොකු බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනපති අද මැතිවරණය කරන්නේ කැසිනෝ, මත් කුඩු, අරක්‌කු, එතනෝල්කාරයන්ගේ මුදල් වලින් - රතන හිමි

පාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13 වැනි ව්‍යවස්‌ථාවෙන් මතු වී තිබෙන රටට භයානක එම වගන්ති ඉවත් කර පසුගිය උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අප ජනාධිපතිවරයාට එදා කියා සිටියා. එම වගන්ති සංශෝධනය නොකර ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වූවා. අපේ හඬට එතුමා එදා කන්දුන්නේ නැහැ.

එහෙම කටයුතු කළ ජනාධිපතිවරයා අද රැස්‌වීම්වල අවලාද නගනවා. මෛත්‍රී පාලනයක්‌ රටේ බිහිවීමෙන් කොටින්ගෙන් තමන් නිදහස්‌ කර ගත් මාතෘ භූමිය යළිත් කොටින්ට අත්පත් කර දී නැවත බෙදුම්වාදී යුද්ධයකට රට ආපස්‌සට හරවා වි කියා. ඔය අවලාද නොනගා වහාම පාර්ලිමේන්තුව රැස්‌කර බෙදුම්වාදයකට මූලික වන ඉඩම් බලතල, පොලිස්‌ බලතල වැනි වගන්ති 13 වැනි ව්‍යවස්‌ථාවෙන් ඉවත් කර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ යෑයි හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ ඊයේ (29 වැනිදා) පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්‌යායේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

තවදුරටත් කතාකරමින් අතුරලියේ රතන හිමියෝ මෙසේ ද පැවසූහ. 

මහා ලොකු බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනාධිපතිවරයා අද මැතිවරණය පවත්වන්නේ කැසිනෝ, මත් කුඩු, අරක්‌කු, එතනෝල්කාරයන්ගේ මුදල් වලින්. එදා අන්‍යාගම් පනත උපදේශක සභාවේ සාකච්ඡා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි තිබුණේ. උපදේශක සභාව පවත්වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. එක දවසකවත් එතුමා එම සභාවට පැමිණියේ නැහැ. බෞද්ධයෙක්‌ යෑයි කියා ගන්නා ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පවා එතුමා අසමත් වුණා.

බෞද්ධයන්ගේ උතුම් පුදබිමක්‌ ශ්‍රීපාදය. මේ පුණ්‍ය භූමියේ අද හෝටල් ඉදිකිරීමට මෙම මහා බෞද්ධයා කටයුතු කරගෙන යනවා. මේ පූජා භූමිය වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ පැවතියේ. අද ඒක නාගරික සංවර්ධන අධිකාරියට පවරලා දීලා. එහි පාරවල් ඉදිකරලා, උඩින් දුවන කාර් හයිකරලා, හෝටල් ඉදිකර සංචාරක පුරයක්‌ කරන්නයි මේ බෞද්ධ ජනාධිපතිවරයාගේ සැලැස්‌ම. අපේ රටේ ඉන්දියාවේ මෙන් නොවේ, රටට, ජාතියට මෙහෙවරක්‌ කළ අයයි දෙවිවරුන් ලෙස දේවාත්මය ලබල ඉන්නේ. සමන් දෙවියන් ඒ එක්‌ දෙවි කෙනෙක්‌. පවතින මේ ආණ්‌ඩුවට දෙවියන්ගේ දේව කෝපයට පවා ලක්‌ විය හැකියි සිදු කරන මේ බෞද්ධ විරෝධී කටයුතු නිසා. 

රජසැප විඳින කොටි නායකයනට මෛත්‍රීපාලනයක්‌ යටතේ නඩු පවරනවා. ජනාධිපතිතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වුණොත්, එල්ටීටීඊය සමග එකතු වී යළිත් බෙදුම්වාදයකට පාර කපනවා කියල. අපි ළඟ නොවෙයි නගුලේෂ්වරම්, පද්මනාදන්, රාම්, රුද්‍රකුමාරන්ලා ඉන්නේ. ජනාධිපතිතුමාගේ රජ මැදුරේ රජ සැප විඳිමිනුයි ඒ අය ඉන්නේ. අපි වගකීමෙන් කියනවා මෛත්‍රී පාලනයකදී ඔය කොටි නායකයන් ජනාධිපතිතුමා වගේ හුරතල් කරන්නේ නැතිව, ඔවුන්ට එරෙහිව තියෙන චෝදනා විභාග කර අධිකරණයේ නඩු පවරණ බව. ඒ වගේම, එම සංවිධානයේ මූල්‍ය හා අනෙක්‌ සියලුම වත්කම් රජයට අත්පත් කර ගැනීමට ක්‍රියාකරන බව. ඒ වගේම නැවත පදිංචි නොකළ සිංහල හා මුස්‌ලිම් ජනතාව එහි නැවත පදිංචි කරන බව.

මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික මහතා කියා සිටියේය. හකීම් මහත්තයා, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සම්බන්ධ වුණේ, ස්‌ථාවර රටක්‌ බිහි කිරීමේ මෛත්‍රී ප්‍රතිපත්තිය අනුවයි. ඒ හැර ඒ අයගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමක්‌ මෙතැන සිද්ධවෙන්නේ නැහැ. හකීම් මහත්තයා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ යෝජනා මෛත්‍රී පාලනයක්‌ තුළදී ක්‍රියාත්මක නොකරන බව බොහොම වගකීමෙන් අපි කියනවා යෑයි වැඩිදුරටත් පැවසීය.

මහරගම - උදේනි චන්ද්‍රසිරි
http://www.divaina.com/2014/12/30/news12.html

0 comments: