Pages

Wednesday, September 11, 2013

කොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීම

වසර 25 කට පසුව උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක්‌ පැවැත් වෙන්නේ ලබන 21 වැනිදාය. උතුරු පළාත් සභාවට මන්ත්‍රීවරු 36 දෙනෙක්‌ තෝරා ගැනීමට නියමිත අතර වැඩිම මන්ත්‍රී පිරිසක්‌ තෝරාගනු ලබන්නේ යාපනය දිස්‌ත්‍රික්‌කය සඳහාය. එම ප්‍රමාණය 16 කි. මුලතිව් දිස්‌ත්‍රික්‌කය සඳහා පළාත් මන්ත්‍රීවරු 5 ක්‌ද, වවුනියාව සඳහා 6 ක්‌ද, මන්නාරම සඳහා 05 ක්‌ද, කිලිනොච්චිය සඳහා මන්ත්‍රීවරු 04 ක්‌ද තෝරා ගැනීමට නියමිතය. උතුරු පළාත් සභා මැතිවරණයේදී සිය කැමැත්ත සටහන් කිරීමට ඡන්දදායකයෝ 714,488 ක්‌ සුදුසුකම් ලබා සිටිති.

වයඹ හා මධ්‍යම පළාත් සභා මැතිවරණවලට වඩා ලංකාවේ ඉදිරි ගමන තීරණය වන මැතිවරණයක්‌ ලෙස උතුරු පළාත් සභා මැතිවරණය හඳුන්වා දිය හැක. මේ මැතිවරණය වෙනුවෙන් තරග වදින දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශය ඉකුත් සතියේ එළිදක්‌වා තිබිණි. සැබවින්ම එය කියවා බලන විට ඇඟ හිරිවැටෙන්නේ මියගිය ප්‍රභාකරන්ගේ අවතාරය ද එම මැතිවරණ ප්‍රකාශයෙන් පිළිබිඹු වන නිසාය. උතුරු නැගෙනහිර නැවත එක්‌ කළ යුතු බව මේ ප්‍රකාශයේ සඳහන්ව ඇති අතර 1983 ට පෙර පැවැති ආකාරයට උතුරු නැගෙනහිර සියලු හමුදා කඳවුරු ඉවත් විය යුතු බව අවධාරණය කර ඇත. එමෙන්ම අධි ආරක්‍ෂිත කලාප ද ඉවත්විය යුතු බව දෙමළ සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කර ඇත.

83 ට පෙර පැවැති ආකාරයට උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කළ හැකිද? දෙමළ සන්ධානයට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යතන්ත්‍රයම උතුරෙන් පලවා හැරීමටය. ප්‍රභාකරන් ප්‍රකාශ කළා සේම දෙමළ ජාතික සන්ධානය ද උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බව අවධාරණය කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි උතුරු නැගෙනහිර ජනතාවගේ පැහැදීමක්‌ නැති බවත් උතුරේ මහ ඇමැතිවරයා යටතේ පාලනය වන පොලිසියක්‌ තිබිය යුතු බවත් සිය ප්‍රකාශයෙන් අවධාරණය කර ඇත. කොළඹ ආණ්‌ඩුවට උතුරේ දෙමළ ජනතාව පාලනය කිරීමට අයිතියක්‌ නැති බව සඳහන් කරන දෙමළ සන්ධානය, ස්‌වාධිපත්‍යය බලය ඇත්තේ රාජ්‍යයට නොව ජනතාවට බව ප්‍රකාශ කරයි. ඉහත දී පැවසූ ආකාරයට මේ මැතිවරණ ප්‍රකාශය මගින් හිටපු ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් ඇතුළු දෙමළ සන්ධානය අරඅඳින්නේ කොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමටය. ප්‍රභාකරන් වසර තිහක්‌ තිස්‌සේ ද උත්සාහ කළේ මේ පරමාර්ථය මුදුන්පත් කරගැනීමටය. නමුත් ඔහුට නන්දිකඩාල් කලපුවේදී ඊළාම් සිහිනය සිතේ දරාගෙනම පරලොව යන්නට සිදුවිය. නමුත් විග්නේෂ්වරන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් "ඊළාම් සිහින රාජ්‍යය" නැවත පණ ගැන්වීමට අවශ්‍ය මතවාදී ලියවිල්ල ඉදිරිපත් කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ නවි පිල්ලේ සිය සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට ලබාදුන් පණිවුඩය හොඳ එකක්‌ නම් නොවේ. ඇය රාජපක්‍ෂ රජය ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් සිටින බව කියා අතුල් පහරක්‌ ද දී ලංකාවෙන් පිට වූවාය. ඒ අතුල් පහර සමගම දෙමළ සන්ධානය ද නැවත ඊළමට හුළං පිඹින මැතිවරණ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කර තිබේ. සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී බලය හිමිකර ගන්නේ දෙමළ සන්ධානය බවට සැක නැත. නමුත් උතුරු පළාතේ ජනතා කැමැත්ත ඇති කවුරුන් හෝ එම පළාත් සභාවේ බලය පිහිටුවනවාට කිසිවකුට විරුද්ධ විය නොහැක. නමුත් දෙමළ සන්ධානය විසින් පිහිටුවන උතුරු පළාත් සභාව ශ්‍රී ලංකා රාජ්‍යය සමග වෛරයෙන් පසුවන්නක්‌ වීම වැළැක්‌විය නොහැක. විග්නේෂ්වරන් මහ ඇමැති අපේක්‍ෂකයා පවසන්නේ කොළඹ ආණ්‌ඩුව සමග ප්‍රශ්න සාකච්ඡාවෙන් විස¹ ගැනීමට නොහැකි වූ විට ජාත්‍යන්තරයට යන බවයි. උතුරු පළාත් සභාවේ ප්‍රශ්න ජාත්‍යන්තරය කිරීමෙන් වාසිය ලැබෙන්නේ කාටද?

දෙමළ ප්‍රශ්න හැකි තරම් ජාත්‍යන්තර කිරීම දෙමළ ඩයස්‌පෝරාවේ මෙන්ම දෙමළ සන්ධානයේ ද එකම අරමුණයි. ශ්‍රී ලංකා ආණ්‌ඩුව උතුරු පළාතට නිසි පහසුකම් ලබා නොදෙන බව කියමින් ඒ හරහා ජාත්‍යන්තරව කොළඹ පාලනය පීඩාවට පත් කිරීම සැප්තැම්බර් 21 න් පසුව පත්වන උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැතිගේ ප්‍රමුඛතම පරමාර්ථය වනු ඇත. ඉන්දියාව සිටින්නේ ශ්‍රී ලංකා ආණ්‌ඩුව විශේෂයෙන්ම රාජපක්‍ෂ පාලනය ගැන සතුටින් නම් නොවේ. රාජපක්‍ෂ පාලනය අපහසුවට පත් කිරීමට ඔවුන් කෙලින්ම තෝරා ගන්නේ උතුරු පළාත් සභාව බවට සැක නැත. එදා වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ ඔත්තු සේවයේ රූකඩයක්‌ වූවා සේම විග්නේශ්වරන් ද ඉන්දීය රූකඩයක්‌ වනු වැළැක්‌විය නොහැකිය.

පලාලි අධි ආරක්‍ෂිත කලාපවලට එරෙහිව උතුරු පළාත් සභාව රජය සමග සටනට ඒම අනිවාර්යය. මන්ද උතුරු පළාත් සභාවට වධ දෙන විශාලම ප්‍රශ්නය වන්නේ එහි රැඳී සිටින ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවයි. හමුදා කඳවුරු ඉවත් කරගැනීම සඳහා විග්නේශ්වරන් ඇතුළු නඩයට පැමිණිලි කරන්නේ නවදිල්ලිය වන බව සැක නැත. එවිට සිදුවන්නේ කුමක්‌ද? දිල්ලි ආණ්‌ඩුව හා කොළඹ පාලනය අතර අර්බුදයක්‌ හට ගැනීමය. මෙය ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය කරනු ලබන ප්‍රශ්නයක්‌ වනු ඇත.

උතුරු පළාත් සභා මැතිවරණය හැකි ඉක්‌මනින් පවත්වන ලෙස රජයට බල කර සිටියේ ද දිල්ලි පාලනය විසිනි. ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පවතින ස්‌ථාවර තත්ත්වය මත මෙරටට අතදැමීමට පොටක්‌ "රෝ" ඔත්තු සේවයට ලැබුණේ නැත. නමුත් උතුරු පළාත් සභාව හරහා වඩා හොඳ ඉන්දීය රූකඩ සංදර්ශන අපට දැකගත හැකි වනු ඇත. ඇත්තෙන්ම යාපනයේ පදිංචි මාවෙයි සේනාධිරාජා උතුරේ මහ ඇමැති අපේක්‍ෂකයා වශයෙන් නම් නොකර කොළඹ 07 පදිංචි විග්නේශ්වරන් උතුරේ මහ ඇමැති අපේක්‍ෂකයා වූයේ ද ඉන්දීය වුවමනාවට බව ප්‍රකට රහසකි. ඒ ප්‍රකට රහස තවත් තහවුරු කරන්නේ දෙමළ සන්ධානය ඉදිරිපත් කර ඇති ප්‍රබල මැතිවරණ ප්‍රකාශය මගිනි. මීට මාස කිහිපයකට පෙර දෙමළ සන්ධාන නායක 80 හැවිරිදි ආර්. සම්බන්ධන් කොළඹ සිටින විදෙස්‌ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ යළිත් වරක්‌ ආයුධ සන්නද්ධ අරගලයකට යැමට දෙමළ ජනයාට අවශ්‍ය නොවන බවයි. නමුත් මේ මැතිවරණ ප්‍රකාශය හරහා අපට පෙනෙන්නේ දෙමළ ඊළම වෙනුවෙන් සීතල යුද්ධයක්‌, රාජ්‍යතාන්ත්‍රික අරගලයක්‌ ආරම්භ කිරීමට දෙමළ සන්ධානය සැරසෙන බවයි. උතුරු පළාත් සභාවේ බලය අල්ලා ගැනීමෙන් පසුව දෙමළ සන්ධානය මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැගීමට උත්සාහ දරන විට කෙලින්ම ශ්‍රී ලංකා රාජ්‍යයත් උතුරු පළාත් සභාවත් අතර ගැටුමක්‌ නිර්මාණයවීම වැළැක්‌විය නොහැකිය. ජාත්‍යන්තර බලවේග කෙලින්ම පැමිණෙන්නේ විග්නේශ්වරන්ගේ සහයට මිස රජයේ සහයට නොවේ.

එම නිසා උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රාජ්‍යයට අභියෝග රැසකට මුහුණපෑමට සිදුවන බව පැහැදිලිය. එම අභියෝග ජයගත යුත්තේ සාහසිකව කටයුතු කිරීමෙන් නොව බුද්ධියෙන් කටයුතු කිරීම මගිනි. දෙමළ සන්ධානයේ කූට ප්‍රයෝග පරාජය කළ හැකි වන්නේ හැඟීමෙන් නොව බුද්ධියෙන් කටයුතු කළහොත් පමණි.

චතුර පමුණුව
http://www.divaina.com/2013/09/08/politics03.html

සබැඳි ලිපි -
[

විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: