Pages

Tuesday, March 29, 2016

හාම්පුතාගෙන් පඩි ඉල්ලුවාම අතක්‌ දෙකට කැඩෙන්න ගහලා! කුවේටයේදී වධයට ලක්‌වූ ටෙස්‌ලාගේ කතාව...

රන් කහවනු සොයා වැලිකතරේ රැකියාවට ගොස්‌, සිත්පිත් නැති අධමයින්ගේ අනේකවිධ වධ හිංසාවලට ලක්‌ව වම් අතේ අස්‌ථි බිඳගෙන හිස්‌ අතින් සිය මව් රටට පැමිණි කාන්තාවක්‌ පිළිබඳව අනුවේදනීය කතාවක්‌ කරන්දෙණිය පනාපිටිය ගම්මානයෙන් 'දිවයින'ට වාර්තා වේ.

මෙසේ වධහිංසාවලට ලක්‌ව සිය මව් රටට පැමිණ ඇත්තේ කරන්දෙණිය, පනාපිටිය නො. 24/1 ලිපිනයේ පදිංචි එම්. ජී. ටෙස්‌ලා තරංගනී මහත්මියයි.

ප්‍රථම විවාහය දෙදරා ගොස්‌ පිරිමි දරුවකු සමඟ අතරමං වූ ටෙස්‌ලා තම එකම දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා දහසක්‌ අපේක්‍ෂාවන් පොදි බැඳගෙන ගෘහ සේවිකාවක්‌ වශයෙන් මැදපෙරදිග රටක රැකියාවකට යැමට තීරණය කර ඇත. අනතුරුව මෙරට ප්‍රධාන පෙළේ ඒජන්සියක්‌ මගින් ගෘහ සේවිකාවක්‌ වශයෙන් කුවේට්‌ රටට රැකියාවකට ගිය ඇයට එහිදී අත්විඳින්නට සිදුවූ දුක්‌ ගැහැට ඇයගේම වචනවලින් මෙසේ පෙළගස්‌වමි.

මම 2014 නොවැම්බර් මස 21 දින කොළඹ මරදානේ ඒ ඇන්ඩ් බී ට්‍රැවල්ස්‌ විදේශ රැකියා ආයතනය මගින් කුවේට්‌ රටේ නිවසක ගෘහ සේවිකාවක්‌ වශයෙන් ගියා. මට එම නිවසේ දරුවන් 5 දෙනෙක්‌ බලාගැනීමට සිදුවුණා ඒ ගෙදර මාස 3 ක්‌ වැඩ කළ පසු ගෙදර හාම්පුතා විසින් වෙනත් ගෙදරකට මාව විකුණුවා. මාස තුනේ වැටුපත් මට දුන්නේ නෑ.

ඒ ගෙදර මම මාසයක්‌ වැඩ කළ පසු පඩි දෙන්න විදියක්‌ නෑ කියල ගෙදර හාම්පුතා මාව වෙනත් ගෙදරකට විකුණා මුදල් ගත්තා. ඒ ගෙදරත් මාස 2 ක්‌ වැඩ කළාට පසු ඒ ගෙදර හාම්පුතත් මාව වෙනත් ගෙදරකට විකුණා මුදල් ලබා ගත්තා.

හතරවැනි ගෙදර මම මාස 7 ක්‌ තිස්‌සේ රෙදි පිරිසිදු කිරීම, ගෙවත්ත පිරිසිදු කිරීම ඇතුළුව විශාල වැඩ කොටසක්‌ සිදු කළා. මාස 7 ක්‌ තිස්‌සේ ඒ ගෙදර වැඩ කළත් පඩි නොදුන් නිසා මම පඩි ඉල්ලූ හැම වෙලාවකම හාම්පුතත් ඔහුගේ බිරිඳත් මට පහර දුන්නා. මම හැමදාම හඬාවැටී මගේ අහිංසකකම ගැන ඒ ගෙදර අයට කිව්වා. මගේ එකම දරුවගෙ අධ්‍යාපන කටයුතු සඳහා පඩි ඉල්ලා සිටිවිට ඒ ගෙදර හාම්පුතාගේ පොලිසියේ සේවය කරන පුතා මාව කාමරයකට දමා මට හම් පටියකින් පහරදී මගේ අත ඔහුගේ කකුලේ දණහිසට තබා දෙකට කැඩුවා.

මා වේදනාවෙන් කෑගහන කොට ගෙදර හාම්පුතත් ඔහුගේ බිරිඳත් බැන්ඩේඡ් එකකින් අත වෙලා වේදනා නාශක බෙහෙත් කරල් කිහිපයක්‌ බීමට දී ගුවන් ටිකට්‌ පත හදාදී මාව ලංකාවට එව්වා.

ලංකාවට එන විට අත කඩා දින 5 ක්‌ ගත වුණා. ඒ වන විට අත හොඳටම නිල්පාට වී දැඩි වේදනාවක්‌ දැනුණා. ලංකාවේදී අස්‌ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට අත පෙන්වූ විට අතේ වැලමිටෙන් පහල අස්‌ථි දෙකම බිඳී ඇති බව පවසා බළපිටිය මූලික රෝහලට ඇතුළත් වෙන ලෙස දැනුම් දුන්නා.

ගාල්ල කරාපිටිය රෝහලේදී සැත්කමක්‌ මගින් ප්ලේට්‌ එකක්‌ දාල සතියකට පසු රෝහලෙන් ටිකට්‌ කපා මාස 3 ක්‌ යනතුරු විවේකීව සිටින ලෙසට උපදෙස්‌ දුන්නා.

මා විදේශගත වුණේ මගෙත්, අම්මගෙත් සියලුම රන් බඩු විකුණලයි. ලංකාවට ආවට පස්‌සෙත් අත සුවකර ගන්න මේ වන විට රුපියල් ලක්‍ෂයකට වඩා වියදම් කළේ අම්ම නමට ඇති අපි පදිංචි නිවස උකසට තබලයි. මට සිදුවූ දුක්‌ ගැහැට ගැන කියන්න අවස්‌ථා කිහිපයකදී රැකියා ඒජන්සියටත්, විදේශ සේවා කාර්යාංශයටත් ගියා. ඒ අය කියන්නෙ මේ සිද්ධිය පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි අවශ්‍යයි කියලයි. මම රට ගියේ තනිවමයි. මට කොහෙන්ද ඇසින් දුටු සාක්‍ෂි. මම විදේශ රැකියාවට ගියේ රක්‍ෂණය වෙලයි. විදේශ සේවා කාර්යාංශය මට රක්‍ෂණයෙන් වත් වන්දියක්‌ ලබා ගැනීමට කටයුතු කරන්නේ නෑ, මගේ දරුවට උගන්වන්න විදියක්‌ නැතිව දැන් මා අන්ත අසරණ තත්ත්වයටයි පත් වී ඉන්නේ.

විදේශ කටයුතු අමාත්‍යතුමියනි, මේ රටේ ඒජන්සිවලට මුදල් ගෙවා රක්‍ෂණය වී විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය හරහා විධිමත් අයුරින් විදේශ රැකියා සඳහා යන අපේ රටේ කාන්තාවන්ට සිදුවන ම්ලේච්ඡ වධහිංසා පිළිබඳව නිසි පියවර ගැනීම ඔබගේ යුතුකම හා වගකීම වනු ඇත.

සටහන සහ සේයාරූ  ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න, කරන්දෙණිය - ජී. මහකුමාරගේ
http://www.divaina.com/2016/03/29/provin01.html

0 comments: