Pages

Thursday, March 31, 2016

මරාගෙන මැරෙන අලුත්ම ඇඳුම් කට්‌ටලය සමග හිටපු කොටියා කොටුවෙයි! පුපුරන ද්‍රව්‍ය වෙනතැනකට යැවීමට සූදානමින් ඉඳලා! රැගෙන ආවේ ප්‍රහාරයකට බව ස්‌ථිරයි! - හමුදා ප්‍රධානීහු

පුපුරන ද්‍රව්‍ය සහ ඇඳුම් කට්‌ටල
යාපනය චාවාකච්චේරිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක්‌, මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ඇතුළු අවි ආයුධ තොගයක්‌ සමඟ පුද්ගලයකු යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය මගින් පෙරේදා (29 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එඩ්වඩ් පුලියන් නමැති පුනරුත්ථාපනය නොවූ හිටපු කොටි සාමාජිකයෙකි.මෙහිදී සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලය අලුතින් නිෂ්පාදනය කරන ලද එකක්‌ බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ටී.එන්.ටී. වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 ක්‌ අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා සකස්‌ කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්‌ටලයක්‌ ක්‌ලේමෝ බෝම්බ 4 ක්‌ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්‌ඩ 100 ක්‌ සහිත පෙට්‌ටි දෙකක්‌, මැග්නට්‌ බෝම්බ දෙකක්‌ තිබූ බව පොලිසිය පවසයි.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු ප්‍රබල පෙළේ කොටි ත්‍රස්‌තවාදියකුට අයත් චාවාකච්ෙච්රියේ පිහිටි නිවසේ මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අවි ආයුධ සඟවා තිබී ඇත.

පොලිස්‌ නිලධාරීන් මෙම නිවස වටලද්දී හිටපු කොටි ත්‍රස්‌තවාදියා නිවසේ සිට නැත. ඒ අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ ඔහුගේ අනියම් බිරිඳ පමණි.

තම නිවස පොලිසිය විසින් වටකළ බවට මොහු වෙත තොරතුරු ලැබීමෙන් පසු ඔහු එම ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. පලාගිය ත්‍රස්‌තවාදියා අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය පොලිසිය කොට්‌ඨාස බුද්ධි අංශය සහ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කීරිමෙන් පසු අක්‌කරායකුලම් ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කුමන ආකාරයේ ප්‍රහාරයක්‌ සඳහා මෙම අධිබල පුපුරණ ද්‍රව්‍ය බෝම්බ ඇඳුම් කට්‌ටල ඇතුළු අවි ආයුධ රැගෙන ආවේද යන්න පිළිබඳව කිසිදු තොරතුරක්‌ මේ වනතුරු ලැබී නැත.

මෙම ආයුධ සඟවාගෙන සිටි කොටි ත්‍රස්‌තවාදියා අවුරුදු 13 දී කොටි සංවිධානයට එක්‌වූ අයකු බව පොලිසිය පවසයි.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරක්‌ මත යාපනය කොට්‌ඨාස බුද්ධි අංශය සතියකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කළ විමර්ශනවලදී මෙම කොටි ත්‍රස්‌තවාදියා සහ ආයුධ තොගය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

යාපනය කොට්‌ඨාස බුද්ධි අංශ නිලධාරීහු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පෙරේදා රාත්‍රි මෙම ත්‍රස්‌තවාදියාගේ නිවස වටකර එහි තිබූ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලදි.

ත්‍රස්‌තවාදියා සැඟවී සිටි නිවස සහ එම ඉඩම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ දැඩි සෝදිසියකට ලක්‌කර තිබිණි.

පොලිස්‌ ආරංචි මාර්ග පවසන්නේ මෙම ආයුධ සඟවාගෙන සිටි ත්‍රස්‌තවාදියා එම අවි ආයුධ වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට සූදානමින් සිට ඇති බවයි. මීට දින දෙක තුනකට ඉහතදී කුඩා ලොරි රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවත් සැකකරු කරවල විකිණීමේ ව්‍යාපාරිකයකු ලෙස කලක සිට යාපනය චාවාකච්ෙච්රි ප්‍රදේශයේ පදිංචි වී සිටි පුද්ගලයකු බවත් හෙළිවී තිබේ. මොහු දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියාකාරී ත්‍රස්‌තවාදියකු ලෙස සිටි අයෙකු බව ඔහුගේ නිවස අවට පදිංචිකරුවන් හෝ හිතවතුන් කිසිවකු දැන සිට නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය වෙත භාරදී ඇති බව පොලිස්‌ මාධ්‍ය මධ්‍යස්‌ථානය ප්‍රකාශ කළේය.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ෆ්‍රැන්ක්‌ලීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්‌පති ඩී. කේ. පෙරේරා, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය කොට්‌ඨාස බුද්ධි තොරතුරු ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූහ.

මෙම අවි ආයුධ සම්බන්ධයෙන් කෙරෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌ පෙරේදා රාත්‍රි කාලයේම යාපනය බලා පිටත්ව ගොස්‌ සිටියහ.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන
http://www.divaina.com/2016/03/31/news01.html

ශීතකරණවල තිබෙන මාළු කුට්‌ටි පිටතට ගනුයේ පිසීමට මිස නිකම් තැබීමට නොවන බව ඊයේ (30 දා) අලුයම යාපනය චාවකච්චේරිය ප්‍රදේශයෙන් හමු වූ මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ අදහස්‌ දක්‌වන උතුරේ හමුදා ප්‍රධානීහු සඳහන් කරති.

ස්‌ථිර වශයෙන් ම මෙම පුපුරන ද්‍රව්‍ය තොගය චාවකච්චේරිය නිවසට රැගෙන ආවේ උතුරේදී හෝ දකුණේදී සිදුකිරීමට සැලසුම් කළ ප්‍රහාරයකට අනුව විය හැකි බව උතුරේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක්‌ 'දිවයින' ට පැවැසීය.


මෙම පුපුරන ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු යාපනයේ පදිංචි මන්නාරම ප්‍රදේශයෙන් විවාහයක්‌ කරගෙන සිටින පුනරුත්ථාපනය නොවූ ත්‍රස්‌තවාදියකු බව ද යුද හමුදාව අවධාරණ කරයි.

යුද හමුදාව ද මේ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ කිරීමට නියමිතය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2016/03/31/news04.html

0 comments: