Pages

Sunday, March 6, 2016

විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් කුණාටුව!

13 වැනි සංශෝධනයටත් එපිටින් යන බලය බෙදීමක්‌ ගැන යහපාලන ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථා නිර්මාපකයෝ කතාබහ වෙති. දිල්ලි ආණ්‌ඩුවටද අවශ්‍ය ලංකාවේ පුළුල් බලය බෙදාහැරීමේ ක්‍රියාවලියකි. හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සින් කිහිප වතාවක්‌ම ලංකාවට පැමිණීම මගහැරියේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව දෙමළ ජනයාට නිසි දේශපාලන විසඳුමක්‌ ලබා නොදීම පිළිබඳව සිය නිහඬ විරෝධය පළ කිරීම සඳහාය. මීට දින කිහිපයකට පෙර උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් උතුරු - නැගෙනහිර පළාතට ෆෙඩරල් විසඳුමක්‌ ලබාදීමට ඉන්දීය රජය මැදිහත් විය යුතු බව ප්‍රකාශ කර තිබිණි. විග්නේෂ්වරන් සෑම විටම උත්සහ කරන්නේ කොළඹ ආණ්‌ඩුව මගහරිමින් දිල්ලිය සමඟ සෘජු සබඳතා පවත්වාගෙන යාමටය. ඉන්දු කාශ්මීරය ස්‌වයං පාලනය ඉල්ලන මුස්‌ලිම් පක්‍ෂ කෙලින්ම ඉස්‌ලාමාබාද් ආණ්‌ඩුව සමඟ ගනුදෙනු කරන ආකාරයට සී. වී. විග්නේෂ්වරන්ටද දිල්ලිය සමඟ ගනුදෙනු කිරීමට අවශ්‍යව ඇත. මේ අවස්‌ථාවේදී යහපාලන රජය නිහඬව බලා සිටීම සුදුසුද? 

කාශ්මීරයේ ඇති අර්බුදය හා උතුරු නැගෙනහිර පළාත්වල වර්තමාන තත්ත්වය බෙහෙවින් වෙනස්‌ බව බොහෝ දෙනා හොඳින්ම අවබෝධ කරගන්නා කාරණයකි.

ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ගිය විද්වතුන් පිරිසක්‌ පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ විග්නේෂ්වරන් මහතා මෙම ෆෙඩරල් ඉල්ලීම පිළිබඳව කරුණු දක්‌වා ඇත. දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ලබා දීමට ලක්‌ රජය පෙළඹ වූයේ ඉන්දියාව නිසා දෙමළ ජනයාට දිය හැකි හොඳම දේශපාලන විසඳුම ෆෙඩරල් බව දිල්ලිය හොඳින්ම අවබෝධ කරගත යුතු යෑයි සඳහන් කර තිබිණි. යුද්ධය හමාරවීමෙන් පසු දෙමළ ජනතාව යළිත් වරක්‌ දේශපාලන කුණාටුවකට මුහුණ දී ඇති බවත් මෙහිදී හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා අවධාරණය කර තිබිණි.

මේ දේශපාලන කුණාටුව නිම කළ හැක්‌කේ ෆෙඩරල් ලබාදීමෙන්ද? උතුරු මහ ඇමැතිවරයා 2013 ඔක්‌තෝම්බර් 07 වැනිදා සිය ධුරය භාරගත්දා තවත් විවිධ දේශපාලන කුණාටු නිර්මාණය කළ බව නම් රහසක්‌ නොවේ. ඒකීය රාජ්‍යය ප්‍රතික්‍ෂේප කළ ඔහු ඒ අවස්‌ථාවේදී ද දේශපාලන කුණාටුවක්‌ නිර්මාණය කළේය. වර්තමානයේ ඉන්දියාවේ සහය ඇතිව ෆෙඩරල් විසඳුමක්‌ ලබාගැනීමට කරන උත්සාහය තුළින් ද විග්නේෂ්වරන් දේශපාලන කුණාටුවක්‌ නිර්මාණය කර ඇති බව නම් සහතිකය. විග්නේෂ්වරන් නිර්මාණය කරන දේශපාලන කුණාටු නිසා උතුරු නැගෙනහිර පමණක්‌ නොව ලංකා රාජ්‍යයම අනතුරට පත්වන බව නම් පැහැදිලිය. එනිසාම අන්නමලෙයි වර්ධරාජා පෙරුමාල් හිටපු මහ ඇමැතිවරයා හා මේ උගත් මහ ඇමැතිවරයා අතර වෙනසක්‌ දක්‌නට නොලැබීම එක්‌ අතකින් කනගාටුදායකය.

2015 මාර්තු මාසයේ ලංකාවට පැමිණි නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා හමුවූ උතුර මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? දිල්ලි රජය කෙලින්ම උතුරු පළාත් සභාවට ආධාර කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්‌ වූවේද දන්නේ නැත. දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ප්‍රකට මාධ්‍යවේදී එම්. ආර්. නාරායන් ස්‌වාමි 2015 අප්‍රේල් මාසයේදී ලිපියක්‌ ලියමින් ප්‍රකාශ කර සිටියේ කුමක්‌ද? උතුරු මහ ඇමැතිගේ ක්‍රියාකලාපය පිළිබඳව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා වඩා සැලකිලිමත් විය යුතු බවය. 2013 දී මහ ඇමැති ධුරයට පත්වූ දා සිට සිංහල විරෝධී මතයක සිටි විග්නේෂ්වරන්ට අවශ්‍ය වූයේ දෙමළ ඩයස්‌පෝරාවත් ඉන්දියාවත් දිනාගැනීමටය. උතුරේ හැම ප්‍රශ්නයකටම දිල්ලියේ උදව් ඉල්ලන මොහු ඉටුකරන්නේ රෝ ඔත්තු සේවයේ උවමනාවද? උතුරු පළාත් සභා මැතිවරණයට නාම යෝජනා ලබාදී තිබියදී මාවෙයි සේනාධිරාජා මහ ඇමැති අපේක්‍ෂකත්වයෙන් කපා දමා විග්නේෂ්වරන් මහ ඇමැති අපේක්‍ෂක කිරීමට කෙලින්ම මැදිහත් වූයේ රෝ ඔත්තු සේවය බවට සැක නැත. දැන් රෝ ඔත්තු සේවය කොළඹ ගිලන් රථ පැදවීමටත් සූදානම් වේ. ගිලන් රථ සේවයට දසතින් විරෝධය එල්ල වී ඇතත් යහපාලන ආණ්‌ඩුව නම් දිල්ලිය උරණ වන තීන්දු ගන්නේ නැත.

නව ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා මහජන අදහස්‌ ලබාගෙන අවසන්ය. මේ ව්‍යවස්‌ථාව සඳහා හිටපු විනිසුරුතුමා අදහස්‌ ලබාදීමට ගියේ ද නැද්ද යන්න අප නොදනිමු. නමුත් ඔහුගේ ෆෙඩරල් ඉල්ලීම නම් ඒකීය රාජ්‍යයට මාරාන්තික බව පැහැදිලිය. ජාතික සම්මුතිවාදය වෙනුවෙන් පෙනී සිටිමින් ජාතික සම්මුතිවාදය ඇති කරන මේ ආණ්‌ඩුව රට ෆෙඩරල් කිරීමටත් උත්සහ නොකරන්නේ යෑයි විශ්වාසය තැබිය හැක්‌කේ කාටද? සහජීවනය වෙනුවෙන් යෑයි කියමින් උතුරු නැගෙනහිරට පමණක්‌ හෝ ෆෙඩරල් පාලනයක්‌ දීමට යහපාලනය කටයුතු කරයිද? මේ ගැන අප තුළ පවතින්නේ බලවත් අවිනිශ්චිතභාවයකි. 2013 ඔක්‌තෝබර් සිට 2015 ජනවාරි දක්‌වා කාලය තුළ හිටපු ජනාධිපතිවරයා උතුරේ කිහිප වරක්‌ම සංචාරය කළ ද විග්නේෂ්වරම් මහ ඇමැතිවරයා කිසිම අවස්‌ථාවක රටේ නායකයා පිළිගැනීමට පැමිණියේ නැත. සෑම අවස්‌ථාවකම එම උත්සව මගහරිමින් දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීමට උත්සාහ කළේය. ඔහුගේ සිංහල විරෝධය එයින්ම කැපී පෙනේ. කෙසේ වෙතත් ජනවාරි 08 වැනිදා දේදුනු විප්ලවයෙන් නව ජනපතිවරයෙක්‌ පත්වූ පසු විග්නේෂ්වරන්ගේ චරිතය වෙනස්‌ විය. මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරට ගිය සෑම අවස්‌ථාවකම ඔහු පිළිගැනීමට විග්නේෂ්වරන් සිනහමුසු මුහුණින් සැදී පැහැදී සිටියේය. එනිසාම විග්නේෂ්වරන්ගේ ෆෙඩරල් ඉල්ලීම ගැන සිරිසේන ජනාධිපතිවරයාගේ ස්‌ථාවරය කුමක්‌ද? ඒ පිළිබඳව රටම අවදියෙන්.

http://www.divaina.com/2016/03/06/politics04.html

සබැඳි ලිපි -
[
“උ/නැගෙනහිර එක්කර ෆෙඩරල් පාලනයකට ඉන්දියාවෙන් සහාය ඉල්ලුවා” – විගීhttp://denethharinna.blogspot.com/2016/02/blog-post_29.html
]

0 comments: