Pages

Friday, February 27, 2015

හිටපු ජනපති සහ වත්මන් ජනපති වැඳපුදා ගත් මොකක්ද මේ ඉන්දියාවේ තිරුපති කෝවිල

tirupatiතිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු මැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට නාම යෝජනා දුන් සැනින් මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට සහභාගි වී සිටින ආකාරය පිළිබඳව විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබුණා. ජනාධිපතිවරණය නිමවීමත්, සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මේ පිළිබඳ උණුසුම ගිලිහිලා ගියා. 
tirupati1නමුත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරේ තිරුපති වන්දනාවේ යන බැව් ප්‍රවෘත්තිවලින් පැවැසුණු නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනෙනවා.
ඇත්තටම මොකක්ද මේ තිරුපති කෝවිල ?
මෙය තිරුපති යනුවෙන් හැඳින්වුවත් නියම නම වන්නේ ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ යන්නයි. එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි, චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දෙනෙක් හඳුන්වන්නේ ‘තිරුපති කෝවිල’ නමින්.
තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 853ක උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27කින් පමණ යුක්තයි. මෙම කන්ද මුදුන් හතකින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව එය සියලු සර්පයන්ට අධිපති රජු වන අදීෂගේ හිස් හත යැයි පැවසෙනවා. මෙම මුදුන් හත සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අන්ජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වනු ලබනවා. ක්‍රි.ව. 300 දී පමණ ඉදිකළේ යැයි සැලකෙන මෙම කෝවිල පිහිටා තිබෙන්නේ මේ අතරින් වෙන්කතාද්‍රි හෙවත් වෙන්කත් කන්දේ මුදුන මතයි. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙන්කතේෂවරයි. 
ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේෂයක් යැයි විශ්වාස කෙරෙනවා. බලාජි, ගොවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින් ද වෙන්කතේෂ්වර හඳුන්වනු ලබනවා. මෙම කෝවිල කෙළවර වන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කර්නි හි එක් ඉවුරකින්. දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට ඇති මෙහි දක්නට ඇති අක්ෂර සියල්ල ඇත්තේ දෙමළ බසින්.
තිරුපති කෝවි‍ලේ පවතින්නේ යැයි පැවැසෙන හාස්කම්වලට අමතරව මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ඇති ධනවත්ම කෝවිල හැටියටයි. 

tirupati2ලෝකයේ වැඩි දෙනෙක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මෙයට අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මෙය කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 - 100,000 දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30-40 පමණ වන බවයි පැවැසෙන්නේ. වාර්ෂිකව පැවැත්වෙන බ්‍රහ්මෝත්සවම් පූජා  උත්සව සමයන්හිදී මෙයට දිනකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව ලක්ෂ පහක් දක්වා ඉහළ යන බව වාර්තා වෙනවා. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල්, වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධිස්ථානය මෙය බවට පත්වීමේ පුදුමයක් නැහැ.
මෙම දේවස්ථානය පිළිබඳ ප්‍රවාද කිහිපයක්ම පවතිනවා. එයින් එක් විශ්වාසයකට අනුව මෙහි පවතින වෙන්කතේෂ්වර පිළිමය හින්දු විශ්වාසයට අනුව පෘථිවිය බිහිවුණු කලියුගය මුළුල්‍ලේම මෙහි පැවැතී තිබෙනවා.
ලොව පුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලා‍පොරොත්තු ඉටුවන බවයි පැවැසෙන්නේ. අප රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපතිවීමේ පැතුම නිසැකවම ඉටුවේ යැයි බලා‍පොරොත්තුවෙන් මෙයට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතුයි. නමුත් මෙවර එවැන්නක් නම් සිදුවූයේ නැහැ. 
හාස්කම්වලට අමතරව මෙය පිළිබඳ තවත් එක් රසවත් කතාවක් ද පවතිනවා. එය තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුලෑවන්ට සම්බන්ධයි. 
tirupati3මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වැනි සියවසට අයත් ‍ලේඛනවලත් මෙම සතා ගැන සඳහන්ව තිබෙනවා. උරුලෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත්, මෙයින් හමුවන ඓතිහාසික ‍ලේඛනවලට අනුව උගෙන් ලබාගත් ශ්‍රාවයකින් පිළියෙළ කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටි රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවැසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ ‘පුනුගු’ නමින්. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත්ව සිටීමට බවයි පැවැසෙන්නේ. මෙම තෙල් 14 වැනි සියවස පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්ව තිබුණා. මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙන්කතේෂ්වර පූජවේදී එම දෙවිඳුන්ගේ පිළිමයේ ආ‍ලේප කිරීම සඳහායි. නමුත් උරුලෑවා වඳවීගෙන යන සත්වයෙක් ලෙස ලැයිස්තු ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමිනුණා.
තිරුපති කෝවිල හයිද්‍රාබාද් සිට කිලෝ මීටර් 579ක්, චෙන්නායි සිට කිලෝමීටර් 86ක් සහ බැංගලෝර්වල සිට කිලෝමීටර් 181ක් දුරින් පිහිටා තිබෙනවා. 
අපේ රටේ සිට බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරාගන්නේ චෙන්නායි ගුවන් තොටුපළ නිසාත්, එතැන් සිට කිලෝමීටර් අසූහයක් තරම් අඩු දුරක මෙය පිහිටා තිබිමත් නිසාත් මෙය නරඹා වැඳුම් පිඳුම් කරගෙන එන්නට ඉතාම පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටු‍පොළක් ද පිහිටුවා තිබෙනවා. 
එය පිහිටා ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර් දාහතරක් දුරින්, ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නායි ගුවන් තොටුපළ හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟාවන්න පුළුවන්. බඩුබාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යායුතු වන්නේ හයිද්‍රාබාද් ගුවන්තොටුපළටයි.
එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් මෙන්ම මහා මාර්ගය ඔස්සේ ද ගමන් කළ හැකියි. චෙන්නායි සිට පැය තුනකින් පමණ ළඟා විය හැකි වුණත් හයිද්‍රාබාද් හරහා යනවා නම් පැය 10-12 ක පමණ ගත විය හැකියි.
මීට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් චෙන්නායි ඇතුළුව ඉහත කී අනෙක් ප්‍රධාන නගර දෙකේ පවතිනවා. ඒවායෙන් ද ප්‍රයෝජන ගත හැකියි. නමුත් චෙන්නායි සිට ගුවනින් ගමන් කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයකු අවශ්‍ය නැති බවයි කිව යුත්තේ.
තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ විදේශීය සංචාරකයින්ට නවාතැන් සැපයීම සඳහා විවිධ මට්ටමෙන් ස්ථාන බොහොමයක් පවතිනවා. මෙම කෝවිල භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවාතැන් ඉතාමත් අඩු මිලට ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවාතැන් අපේ රටේ මුදලින් නම් රුපියල් 250-550 ත් අතර මිලකට ලබාගන්නට පුළුවන්. වායුසමීකරණය කළ කුඩා නවාතැන් කාමරයක් අපේ රටේ මුදලින් රුපියල් 1280-1600 අතර මිලකට ලබාගන්නට පුළුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල ගණන්. මීට අමතරව තරු පන්තියේ හෝටල් ද පවතිනවා. ෆෝර්චූන් සිලෙක්ට් ග්‍රෑන්ඩ් රිජ්, ආර්.ආර්. හවුස්, ෆෝර්චූන්  කෙන්සස් හොටෙල් ආදිය මේ අතර පවතින අතර එක් රාත්‍රියක් සඳහා ඒවායේ මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000-6000 අතර පවතිනවා.
ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මීට අමතරව දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ එම ප්‍රදේශයේදී ඔබ හැසිරිය යුතු අන්දමයි. 
මෙය ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයක් බව මුලින්ම මතකයේ තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නොව මාළු හා බිත්තර මෙම ප්‍රදේශයේදී පරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙළ ගැසීම හෝ අන්‍යයන්ට කරදර වන ලෙස හැසිරීම නිසා ඔබ එහි නොසිටිය යුතු අයෙක් බවට බලධාරීන්ට පෙනී යන්නට පුළුවන්. කෝවිල තුළට ඇතුළුවීමේදී ජංගම දුරකථන හා කැමරා රැගෙන යාම සපුරා තහනම්. කාන්තාවන් සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරිසිය යුතුයි. එසේ නොමැති නම් ගෙල වැසෙන සේ සුදු රෙද්දක් ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළුවන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180කට පමණ ලබාගන්නට පුළුවන්.
මෙම ප්‍රදේශයේ ස්වාභාවික ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔබගේ ආගමික විශ්වාසය කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රදායයන්ට ගරුකරන්නට මතක ලබා ගත යුතු බවයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක
http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44100:2015-02-25-14-27-58&catid=90:lakbima-gossip&Itemid=0

0 comments: