Pages

Sunday, April 10, 2016

ලොකු ලොක්‌කන්ට මහ සභාවල නින්ද යන්නේ ඇයි?

නින්ද අප කාටත් අත්‍යවශ්‍ය දෙයකි. නිරෝගී දිවියක්‌ සඳහා දිනකට පැය 06 ක්‌ වත් අපට නින්ද අවශ්‍ය බව වෛද්‍යවරු පවසති. වයස අවුරුද්දක්‌ පමණ යනතුරු දරුවන්ට පැය 12 ක 14 ක පමණ නින්දක්‌ අත්‍යවශ්‍යය. එය අලුත උපන් දරුවන්ගේ ශාරීරික සහ මානසික වර්ධනයට ඉතා වැදගත්ය.

වැඩිහිටියන් දවසින් හරි අඩකටත් වැඩි කාලයක්‌ නිදා ගතහොත් ඔවුන් කුම්භකර්මයන් ලෙස සමාජය විසින් හඳුන්වනු ලබයි.

මෙලෙස නින්ද ගැන අවධානය යොමු කරන්නට සිත්වූයේ පසුගිය සතියේ මාධ්‍ය මගින් පළකර තිබූ ඡායාරූපයක්‌ හේතුවෙනි.

පොලිස්‌ අපරාධ බුද්ධි තොරතුරු ඒකකය පිහිටුවීම නිමිත්තෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයට සහභාගි වූ මීළඟ පොලිස්‌පති ධුරයට සුදුසුකම් ලැබ සිටින නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් සිව් දෙනකු ඇතුළු ආරාධිතයන් රැසක්‌ උත්සව සභාව අතරතුර නින්දේ පසුවූහ.

උත්සවය පැවැතියේ පස්‌වරු තුනට පමණය. වායු සමනය කර තිබූ උත්සව ශාලාව තුළ පැවැති සැප පහසුව නිසා ඔවුනට මෙලෙස නින්ද ගියා විය හැකිය. 

ඇත්තටම ඔවුනට එසේ නින්ද ගොස්‌ තිබුණේ දවසේ අවිවේකී රාජකාරි දිවිය තුළ පැවැති වෙහෙස නිසානම් එය එතරම් බරපතළ කාරණයක්‌ නොවනු ඇත. මන්දයත් පොලිසියේ ඉහළ නිලධාරීන් යනු දවසේ පැය 24 ම රාජකාරි කටයුතුවල නිරතව සිටින පුද්ගලයන්ය. ඔවුනට රාජකාරි නිමවා නිවසට ගිය පසුද විවේකයක්‌ නැත. පහළ නිලධාරීන්ගෙන් නොයෙකුත් දුරකථන ඇමතුම් පැමිණේ. ඒ අතර දේශපාලනඥයන් ප්‍රභූන්ගෙන් ලැබෙන ඇමතුම් ද එමටය. මහමග රථවාහන තදබදයක්‌ තිබුණද දේශපාලනඥයන් අමතන්නේ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන්ටය.

මහ රෑ රාත්‍රි සමාජ ශාලාවෙත ගොස්‌ හෝ කැසිනෝ ක්‍රීඩා සමාජ වෙත ගොස්‌ නිදිවරා දහවල් නිදාගන්නා ඇතැම් දේශපාලනඥයන්, ප්‍රභූ පුතුන් පිළිබඳව නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙන නිසා මෙවැනි ඡායාරූප දකින විට අප සිතට නැගෙනුයේද එම සිතුවිල්ලමය. නමුත් අප මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ අවේලාවේ නින්ද යැම පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක තොරතුරුය.

මිනිසුන් වන අප නිදා ගැනීමට හුරුව සිටින්නේ රාත්‍රි කාලයටය. ඒ අනුව අපගේ මනසද නින්ද සඳහා ශරීරය සූදානම් කරනුයේ රාත්‍රි කාලයටය.

නින්ද ගිය විට අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය දහවල් කාලයට වඩා හරි අඩකින් පමණ අඩුවේ. මනස සැහැල්ලුවේ. පැය 06 ක පමණ නින්දකින් පසු අවදි වන්නේ ප්‍රබෝධමත්වය.

නිදිවැරීමේදී ශරීරයට අධික වෙහෙසක්‌ දැනේ. ආහාර ජීර්ණය අක්‍රමවත් වේ. මල බද්ධය ඇතිවේ. ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවීමට හේතුවක්‌ වේ. නිතර නිතර නිදිවැරීම ස්‌නායු අඩපණ වීමටද බලපායි.

මොළයේ ඇති මෙලටොනින් රසායන ද්‍රව්‍යය ශ්‍රාවය වන්නේ අඳුර ඇතිවිටදීය. එම රසායන ද්‍රව්‍යය ශ්‍රාවය වීම මගින් මනස සැහැල්ලු වේ. 

නිදිවැරීමේදී අප පහන් එළි දල්වාගෙන සිටින නිසා මෙම රසායන ද්‍රව්‍යය ශ්‍රාවය වීමට බාධා මතුවේ.

නිදිවැරීම සිදු කළ විට දහවල් කාලයේදී රාත්‍රියේ නොලද නින්ද ලබා ගැනීමට මනස උත්සාහ කරයි. ශරීරය සැහැල්ලු කරන ස්‌ථානවලදී මනස එම නින්ද ලබා ගැනීමට පෙළඹේ. එනම් ශරීර උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 37 ට වඩා අඩු උෂ්ණත්වයක්‌ සහිත පරිසරවලදී මනස ඒ සඳහා යොමුවේ.

රාත්‍රියේ හොඳින් නිදාගත් පුද්ගලයන්ද දහවල් කාලයේ නින්දට වැටෙන අවස්‌ථා අපි දැක ඇත්තෙමු. එසේ නින්දට යන අය අතර බහුතරයක්‌ දෙනා දියවැඩියා රෝගීන්ය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 11.4% ක්‌ හෙවත් දෙලක්‍ෂ විසි අට දහසක්‌ පමණ වූ පිරිසක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන බව මීට දින කිහිපයකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසීය.

බෝ නොවන රෝග අතුරින් දියවැඩියා රෝගයට ඉතා සීග්‍ර ලෙස ජනතාව ගොදුරු වන බවද ඔහු අනතුරු ඇඟවීය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ වැරදි ජීවන රටාවය. 

සීනි බහුල ආහාරපාන ගැනීම, ක්‌ෂණික ආහාර පාන වලට හුරුවීම දියවැඩියා රෝගයට ගොදුරුවීමට බලපාන ප්‍රධාන සාධකයන්ය.

දියවැඩියා රෝගයට ජනතාව ගොදුරු වීම වළක්‌වා ගැනීම සඳහා උදාවන සිංහල හින්දු නව වසරේදී නෑගම් යනවිට පැණිරස ආහාර පාන රැගෙන යැම වෙනුවට එළවළුÊසහ පලතුරු මල්ලක්‌ රැගෙන යන ලෙස අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා ද මාධ්‍ය මගින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. දියවැඩියා රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්‌ වන ඔහු එසේ පැවසුවේ රෝගීන් පිළිබඳව ඇති අත්දැකීම් මතය.

වර්තමානයේ අප රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ගෙන් හරි අඩකට වැඩි පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින බව ඔවුන් සම්බන්ධව සිදුකරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබුණි.

දියවැඩියා රෝගයේදී මතුවන බහුල රෝග ලක්‍ෂණ වන අලස බව, නිතර ඇතිවන අධික පිපාසය, නිදිමත බව පවතී නම් අප කොයි කවුරුත් රුධිර පරීක්‍ෂාවකට යොමුවීම ශරීර සෞඛ්‍යයට ගුණදායකය.

ඒ සඳහා රට පුරා පිහිටුවා ඇති සුව දිවි මධ්‍යස්‌ථාන මගින් අදාළ රුධිර පරීක්‍ෂාවන් නොමිලයේම සිදුකර ගත හැකි බව, බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තිලක්‌ සිරිවර්ධන මහතා සඳහන් කරයි. යම් පුද්ගලයකුට හෝ පිරිසකට ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 0112669599 අමතන ලෙසද හෙතෙම පවසයි.

එසේ නම් අවේලාවේ ඇතිවන නින්ද දියවැඩියාව රෝගය නිසාද අධික වෙහෙස නිසාද නිදිවැරීම නිසාද කියා නිශ්චිතවම දැන ගැනීමට අප කොයි කවුරුත් අවධානය යොමුකළ යුතුය.

එවිට මෙලෙස අවේලාවේ උත්සව අවස්‌ථාවලදී නින්ද යැම වළක්‌වා ගැනීමට පිළිවන.

විශේෂයෙන්ම මෙය මැති ඇමැතිවරුන් ප්‍රභූවරුන් සහ ආරක්‍ෂක නිලධාරීන් අවධානය යොමුකිරීම වැදගත්ය.

දියවැඩියාව යනු රෝග රැසකට බලපාන සංකීර්ණ රෝගයකි. එය ස්‌නායු අඩපණ වීම, වකුගඩු අක්‍රිය වීම, හෘදයාබාධ, ඇස්‌ අන්ධ වීම, ලිංගික අප්‍රාණිකත්වය සහ සමේ රෝග ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපායි.

ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන වගකිවයුත්තන් නිරෝගීව සිටීම ලක්‌වැසි ජනතාවගේම යහපතට හේතුවනු ඇත.

උපාලි ද සේරම්
http://www.divaina.com/2016/04/10/feature12.html

0 comments: