Pages

Wednesday, April 20, 2016

පෝය දින සහ නැකැත් වේලාවන් වැරදීමේ විද්‍යාත්මක පසුබිම

ජ්‍යෙතිෂ්‍යයට අනුව වේලාව ගණිනු ලබන්නේ දවසේ හිරු උදාවත් සමගය. ජාත්‍යන්තර වේලාවට අනුව ශ්‍රී ලංකාවේ පොදු වේලාව කොළඹ වේලාවෙන් කොළඹට උදේ 6.00 ට හරියටම ඉර පායන්නේ ඉතා කෙටි දින ගණනක පමණි. මේ වසරේ නම් ජුලි 4 දා සිට 8 දා දක්‌වාත්, නොවැම්බර් 10 දා සිට 13 දා දක්‌වාත් පමණි. අවුරුද්ද පුරා විනාඩිය දෙක තුන හතර ආදී වශයෙන් හිරු උදාවන වේලාව කොළඹ වේලාව අනුවද වෙනස්‌ වෙයි.

පසුගිය මැදින් පසළොස්‌වක පෝය දිනය වැරදි බව තාරකා විද්‍යාඥයන්ද පෙන්වා දුණි. වර්ෂයේ දින දර්ශනයේ පසළොස්‌වක පොහොය නිවාඩු දිනය තීරණය කරනු ලබන්නේ අදාළ කමිටුව මගිනි. එහෙත් සෑම වසරකම පාහේ නියම පොහොය දිනය තිබියදී ඊට පෙර දිනය හෝ පසු දිනය නිවාඩු දිනය ලෙස නියම කෙරුණු අවස්‌ථා පසුගිය වර්ෂවලද කෙතෙකුත් තිබිණ.

පොහොය ලබන ගෙවෙන වේලාවන් ඉතාම පැහැදිලිව ජ්‍යෙතිෂ්‍යයට අනුවත් තාරකා විද්‍යාවට අනුවත් කල් තියාම දක්‌වා තිබියදීත් නිවාඩු ලබා දිය යුතු නියම දිනය තෝරා ගැනීම අපහසු කටයුත්තක්‌ ද නොවේ.

දවසින් වරුවක්‌ වන දිවා භාගය මිනිසුන්ගේ ක්‍රියාකාරී කාලයයි. පොහොය ලබන ගෙවෙන කාලය තුළ වැඩිම වේලාවක්‌ දිවා කාලයට අයත් නම් එම දිනය නිවාඩු ලබා දිය යුතු දිනය ලෙස නියම කිරීම ළමයෙකුට වුවද කළ හැකි දෙයකි. මැදින් මස පසළොස්‌වක පොහොය ලැබුවේ මාර්තු 22 අඟහරුවාදා සවස 3.16ටයි. පොහොය ගෙවුණේ 23 බදාදා සවස 5.33ටයි.

වර්තමානය වනවිට සිල් සමාදන්වීම ඇතුළු පොහෝ දින ආගමික කටයුතු සිදු කෙරෙන්නේ දිවා කාලය තුළ හෙවත් දහවල් දවස්‌ බාගය තුළ පමණි. ඒ අනුව ඒ සඳහා සහභාගි වන අයට නිවාඩු අවශ්‍ය වන්නේ දවල් කාලය තුළ පොහොය කාලය තිබියදීය. පැය 24 ක දවසක කාලය තුළ උපෝසථ සීලය සමාදන් වන අයට පොහොය ලබන ගෙවෙන වේලාවන් අනුව පෙර දින රාත්‍රිය හෝ එදිනම රාත්‍රිය ඒ සඳහා තෝරා ගත හැකිය.

මේ වසරේ දින දර්ශනයේ වැරදි ලෙස දී ඇති තවත් පසළොස්‌වක පොහොය දින 2 ක්‌ ඇත. ඒ පොසොන් පොහොය හා නිකිණි පොහොය දිනයි පොසොන් පොහොය ලබන්නේ ජුනි 19 ඉරිදා සවස 3.29ටය. ගෙවෙන්නේ 20 සඳුදා සවස 4.30ටය. නමුත් නිවාඩු ලබාදී ඇත්තේ සඳුදා නොව ඉරිදායි. නිකිණි පොහොය ලබන්නේ අගෝස්‌තු 17 බදාදා සවස 4.24ටයි. ගෙවෙන්නේ පසුදා සවස 2.54ටයි. නිවාඩු දීමට වඩාත් සුදුසු වන්නේ 18 බ්‍රහස්‌පතින්දා දිනයයි.

අදාල බලධාරීන් මේ කාරණය නිවැරදිව වටහා ගතහොත් අවශ්‍යනම් එම ඉදිරි නිවාඩු දින 2 සංශෝධනය කර දිය හැකිය. පොසොන් පොහොයට ඒ අනුව 20 සඳුදා නිවාඩු ලැබුණහොත් පොසොන් වැඩසටහන්වලට මෙන්ම වන්දනා ගමන්වලටද දින 3 ක සති අන්ත නිවාඩුවක්‌ද වෙයි.

වරද්දා ගත් තවත් කාරණයක්‌ නම් සිංහල අවුරුදු නැකැත් වේලාවන්ය. මුළු රටම එකම වේලාවකට වැඩ කරන්නේ සිංහල අවුරුදු නැකැත් වේලාවට පමණකි කියා කිසියම් ඇගයීමක්‌ද පවතී. එහෙත් එහි නියම ගුණ අගුණ ගැනද විමසිය යුතුව තිබේ.

මෙරට ඔරලෝසු වේලාව ගණිනු ලබන්නේ කොළඹ නගරය කේන්ද්‍රකරගත් වේලාවයි. කොළඹට උදේ 6.00 වනවිට ඒ අනුව රට පුරාවටම උදේ 6.00 වනු ඇත. ජ්‍යෙතිෂ්‍යයේ දී එලෙස නොගනී. ප්‍රාදේශීය වේලාව ලෙස නියම වේලාව ශුද්ධකරගනී. ඒ ගැන නොතකන අය පමණක්‌ කොළඹ වේලාවම ගනිති. නමුත් එය වැරදිය.

ජ්‍යෙතිෂ්‍යයට අනුව වේලාව ගණිනු ලබන්නේ දවසේ හිරු උදාවත් සමගය. ජාත්‍යන්තර වේලාවට අනුව ශ්‍රී ලංකාවේ පොදු වේලාව කොළඹ වේලාවෙන් කොළඹට උදේ 6.00 ට හරියටම ඉර පායන්නේ ඉතා කෙටි දින ගණනක පමණි. මේ වසරේ නම් ජුලි 4 දා සිට 8 දා දක්‌වාත්, නොවැම්බර් 10 දා සිට 13 දා දක්‌වාත් පමණි. අවුරුද්ද පුරා විනාඩිය දෙක තුන හතර ආදී වශයෙන් හිරු උදාවන වේලාව කොළඹ වේලාව අනුවද වෙනස්‌ වෙයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි 24 දා සිට පෙබරවාරි 10 දා දක්‌වා එලෙස වැඩි වූ විනාඩි ගණන 29 කි. මේ නිසා හිරු උදාව සිදු වූයේ උදේ 6.29ටයි. ඔරලෝසුවේ උදේ 6.00 වන විටත් බොහෝ අඳුරුව පැවතියේ එහෙයිනි. එසේම මැයි 19 දා සිට ජුනි 2 දා දක්‌වා කොළඹට ඉර උදා වන්නේ 5.53 සිටයි. එනම් 6.00 ටත් පෙරයි.

එසේම කොළඹට ඉර උදාවීමට විනාඩි ගණනාවකට පෙර නැගෙනහිර ප්‍රදේශයට ඉර පායයි. කොළඹට ඉර පායන්නේ උදේ 6.00 ට නම් අක්‌කරපත්තුවට උදේ 5.52 යි, තත්පර 4 කට පෙරයි. පොතුවිලට නම් 5.52 යි තත්පර 4 කට පසුවයි. රට මැද නම් මහියංගණයට විනාඩි 4 යි තත්පර 36 කට පෙරයි.

කොළඹ වේලාවෙන් නම් හිරු උදාව නුවරඑළියට විනාඩි 3යි, තත්පර 40කට කලිනි. සීගිරියටද එම වේලාවටමයි. බදුල්ලට විනාඩි 5යි, තත්ත්පර 48කට පෙරයි. කුරුණෑගලට විනාඩි 2යි, තත්ත්පර 8 කට පෙරයි. දකුණේ මාතරට නම් විනාඩි 2යි, තත්ත්පර 48කට පෙරයි. උතුරේ වව්නියාවට විනාඩි 2යි, තත්පර 28 කි.

එසේම රාමේෂ්වරමට හිරු උදාවන්නේ කොළඹ වේලාවෙන් තවත් විනාඩි 2 ක්‌ ගත වූවාට පසුවය. මාදම්පේ මාන්කුලම් ප්‍රදේශවලට හා පුත්තලමට නම් තත්ත්පර 4 කට පසුවයි.

ශ්‍රී ලංකාවේ භූමි පිහිටීමට අනුව උතුරේ සිට දකුණට විහිදෙන දේශාංශ අනුව මේ අඩු වැඩිවීම සිදුවේ. දේශාංශ 79 ත් 81 ත් අතර පිහිටි භූමිය තුළ පිහිටි ප්‍රදේශ අනුව මේ හිරු උදාවේ වෙනස ඇතිවෙයි. කොළඹ නගරය කේන්ද්‍රකර ගන්නේ ඒ අනුව නැගෙනහිර දේශාංශ 79.51යි. නැගෙනහිර අක්‌කරපත්තුව නැගෙනහිර දේශාංශ 81.52 හි පිහිටි නගරයයි. ඉර උදාවේ වෙනස විනාඩි තත්ත්පර ගණනින් වෙනස්‌ වන්නේ මෙම දේශාංශ අතරයි. එසේම කොළඹ නගරයටත් අඩු අංශක ප්‍රමාණයක පුත්තලම, මාදම්පේ නගර (79.50) හා බංගදෙනිය (79.49) මුන්නේශ්වරම පිහිටා ඇත. හලාවත 79.48 දේශාංශ ප්‍රමාණයේ ය.

මේ අනුව ශ්‍රී ලංකාව තුළ ඉර උදාව ප්‍රදේශ හා නගර අනුව වෙනස්‌වන ආකාරය පැහැදිලිය. සුබ මුහුර්ත උදාවන්නේ ද මේ වෙනස අනුවමය. කොළඹ වේලාවෙන් අක්‌කරපත්තුවේ සුබ වැඩක්‌ සිදු කෙරෙනවාය යනු නියම නැකැත් වේලාව පසු වී විනාඩි හතකට හෝ ඊට ආසන්න කාලයක්‌ ගෙවී ගොස්‌ තිබිය දී හෙවත් නැකැත් කාලය පසුවී සුබ වැඩය කළාය යන්නය. අන් ප්‍රදේශවලට ද විනාඩි දෙක තුන ආදී වශයෙන් නියම නැකැත් වේලාව පසුවී ගිය අවස්‌ථාවලදීය.

මේ අනුව හැම ප්‍රදේශයකම එකම වේලාවට නැකැත් ගැනීමට වඩා ඒ ඒ ප්‍රදේශවලට අදාළ නියම සුබ වේලාවන්ට අනුව සුබ කටයුතු කර ගැනීම වඩාත් ගුණදායක බව වැටහෙනු ඇත. මෙතරම් ව්‍යාප්ත වූ ජනමාධ්‍ය පද්ධතියක්‌ රටපුරා තිබියදී රට තුළ වූ ප්‍රධාන නගරවලටවත් නියම නැකැත් වේලාවන් ශුද්ධකර ලබාදිය නොහැකි ද? ඒ අවට ප්‍රදේශවලට ද එම වේලාවන්ම ගත හැකි වනු ඇත.

බන්දුල අත්තනායක
http://www.divaina.com/2016/04/19/feature01.html

0 comments: