Pages

Saturday, April 23, 2016

ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකානු මැරීන් භටයන් මුලතිව් වෙරළට පැමිණීමේ සැලසුම

කොටි සංවිධානය පරාජය වී මැයි 19 දාට සත් වසරක්‌ ගතවේ. එහෙත් ප්‍රභාකරන් සහ පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් බේරා ගැනීම සඳහා කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියාව සිටි කේ. පී. ඇමරිකානු රජය, නෝර්වේ සහ යුරෝපා සංගමය අතිශයින් රහසිගත මෙහෙයුමක්‌ දියත් කර තිබුණි. මේ රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීම භාර වී තිබුණේ හවායි දූපතේ පිහිටි ඇමරිකානු ශාන්තිකර කලාපීය හමුදා මූලස්‌ථානය හෙවත් පැකොට්‌ මූලස්‌ථානයටය.

මෙම රහස්‌ සැලසුමට පෙර අප්‍රේල් මස මුල් සතියේ හවායි දූපතේ සිට සී -130 වර්ගයේ දැවැන්ත යානාවක්‌ පිටත්විය. එහි ඇමරිකානු යුද - ගුවන් නාවික හා මැරීන් බළකාවල නිලධාරීන් 200 ක්‌ සිටි බව පසුව අනාවරණය විය. 

සී -130 යානාව පැමිණෙන්නේ කුමන රටකට දැයි දැන සිටියේ එම යානාවේ නියමුවන් හා එහි සිටි හමුදා නිලධාරීන් පමණකි. මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පාලක මැදිරියට ලත් පණිවුඩයකින් වාර්තා වූයේ ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් යානාවක්‌ පැමිණෙන බවත් එය ශ්‍රී ලංකා අහස්‌ කලාපයට සමීපව පියාසර කරන බවයි. මෙහිදී රජය දැඩි අපහසුතාවයට පත් විය. ඇමරිකානු හමුදා නිලධාරීන් රැගත් හර්කියුලිස්‌ යානාව එන්නේ ශ්‍රී ලංකාවට සහය වීමට නොව සිවිල් වැසියන් බේරා ගැනීමේ මුවාවෙන් කොටි නායකත්වය ගලවා ගැනීමට බව ආරක්‍ෂක බලධාරීන්ට අවබෝධ විය. මෙම තත්ත්වය මත ඇමරිකානු යානාවට කටුනායකට ගොඩබැස්‌සීමට ඉඩදෙන්නේද නැත්නම් ආපසු හරවා යවන්නේද යන බරපතළ ප්‍රශ්නය මතු විය.

ඇමරිකානු ශාන්තිකර හමුදා විධානයට අයත් මේ යානාව හවායි දුපතෙන් පිටත්වීමට පෙර තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා රජයට දැනුම් දිය යුතුව තිබුණත් එවැන්නක්‌ සිදු වූයේ නැත. 

මේ යානාවේ සිටින්නේ මුහුදු මාර්ගයෙන් පැමිණ කොටි බේරා ගැනීමේ මෙහෙයුම සැලසුම් කිරීමේ ඉහළ පෙළේ නිලධාරීන් බව මෙරට ආරක්‍ෂක බලධාරීන්ට හෙළි විය.

එම යානාව මෙරටට ඒවා ඇත්තේ හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලෙන් බව වැඩිදුරටත් අනාවරණය විය.

කෙසේ හෝ ඇමරිකානු හමුදා යානාවට කටුනායකට ගොඩබැස්‌සීමේ අවසරය හිමි විය. එම යානාවෙන් පැමිණි ඇමරිකානු හමුදා නිලධාරීන් නැගෙනහිරට ගොස්‌ තත්ත්වය විමර්ශනය කර බලා ආපසු පිටත්ව ගියහ.

ප්‍රභාකරන් හා පොට්‌ටු අම්මාන් ප්‍රමුඛ කොටි සංවිධානයේ ඉහළ පෙළේ හමුදා නායකයන් 50 ක්‌ හා ඔවුන්ගේ පවුල්වල අය බේරා ගැනීම සඳහා මෙහෙයුමේ මුල් අදියර වෙන් වී තිබුණි. එම පිරිසට එරිටි්‍රයාව, දකුණු අප්‍රිකාව හෝ නැගෙනහිර ටිමෝරයේ රැකවරණ දීමටද යෝජනා විය. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර කොටි සංවිධානය අවි බිම තැබිය යුතු බවත් සියලුම අවි නිහඬ කළ යුතු බවටත් නෝර්වේ ඇමරිකාව ඇතුළු කණ්‌ඩායම ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම කේ. පී. විසින් පිටු 16 ක වාර්තාවක්‌ පැක්‌ස්‌ මගින් ප්‍රභාකරන් වෙත යවනු ලැබීය. 'ඊට වචන තුනකින් ප්‍රතිචාර දැක්‌වූ ප්‍රභාකරන් පැවසුවේ එම ඉල්ලීම පිළිගත නොහැකි බවය. 

සිවිල් වැසියන් ගලවා ගැනීමේ මුවාවෙන් දියත් වූ මෙම සැලසුම මත ජාත්‍යන්තර අධික්‍ෂණය යටතේ විශාල නැවක්‌ මුලතිව් වෙරළට යෑවීමටද තීරණය වී තිබිණි. මෙම නැවට ගොඩවන කොටි තම අවි ආයුධ නැවේ බලධාරීන්ට බාරදිය යුතුව තිබූ බව වාර්තා විය. නැවේදී කොටින්ගේ ඡායාරූප ගන්නා අතර ඔවුන් කව්දැයි ශ්‍රී ලංකා රජයට හෙළි කරන්නේ නැත. කොටි සියලු දෙනාටම පොදු සමාවක්‌ ලබාදීමටද තීරණය වී තිබිණි.

මෙම රහස්‌ මෙහෙයුම දියත් වීමට පෙර 2009 පෙබරවාරි මස කුවාලම්පූර් නගරයේ වින්ස්‌ හෝටලයේදී තවත් රහස්‌ සාකච්ජාවක්‌ පැවැත් වුණි. එම සාකච්ඡාවට මෙරට හිටපු නෝර්වේ තානාපති ජෝන් වෙස්‌ට්‌බර්ග් තානාපති නිලධාරියකු වූ තෝමස්‌ ස්‌ටැන්ලන්ඩ් සහ 2009 මෙරට සිටි නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන්, ප්‍රභාකරන්ගේ නීති උපදේශක විශ්වනාදන් රුද්රකුමාරන් සහ ඕස්‌ටේ්‍රලියාවේ සිට පැමිණි ඊළම්වාදියකු වූ ඡේ. මහේවරන් සහ කේ. පීද සහභාගී විය.

ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ප්‍රභාකරන් එකඟ කරවා ගැනීම මෙම කණ්‌ඩායමට භාර විය. මෙම සාකච්ඡාවේදී නෝර්වේ තානාපති ටෝරේ ගැම්රන් පැවසූවේ ඇමරිකානු නාවික සහයක්‌ නොමැතිව එකී මෙහෙයුම දියත් කළ නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් පවසා ඇත්තේ මෙම මෙහෙයුමට ඇමරිකානු නාවික හමුදාව සම්බන්ධව කර ගැනීමේ සැලසුම සඳහා කලක්‌ ගතවන බවයි. 

ඇමරිකානු නාවික හමුදාවට පිළිපීනය දියාගෝ ගර්ෂියාව සහ ස්‌ථානවල සිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට පැමිණීමට පස්‌ දිනක්‌ ගත වන බවද තවදුරටත් අනාවරණය විය.

ඇමරිකානු බලධාරීන් මුහුණ පෑ තවත් බරපතළ ප්‍රශ්නයක්‌ වූයේ මෙම රහස්‌ මෙහෙයුම සම්බන්ධව ශ්‍රී ලංකා හමුදාව කෙලෙස ප්‍රතිචාර දක්‌වන්නේද යන්නයි.

යහපත් ප්‍රතිචාරයක්‌ නොදක්‌වන රජයක්‌ හා හමුදාවක්‌ සමග මෙම ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ හැකිද යන ප්‍රශ්නයද තවදුරටත් මතු විය. 1993 ඔක්‌තෝම්බර් මස සෝමාලියාවේ මොගඩිෂු නගරයට දියත් වු ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ අසාර්ථක වීමත් මැරයින් භටයන් රැගත් බ්ලැක්‌හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකක්‌ ප්‍රහාර එල්ලවීමෙන් කඩා වැටීමේ සිද්ධියත් ඇමරිකානු බලධාරීන්ට සිහිපත් වී ඇත.

කොටි සංවිධානය සමඟ ශ්‍රී ලංකා හමුදාව බිහිසුණු සටනක යෙදී සිටින අවස්‌ථාවේ මෙම ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක වේද යන අදහස ද ඇමරිකානුවන් තුළද මතු විය.

මෙම රහස්‌ මෙහෙයුම පිළිඳව එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් වූ රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ පණිවුඩයක්‌ද යවා තිබුණි. 

එහි සඳහන් වූයේ නෝර්වේ තානාපති ටෝරේ හැට්‌රන් විසින් රොබට්‌ බ්ලේක්‌ අමතමින් කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වු කේ. පී. ගෙන් පණිවුඩයක්‌ ලැබුණ බවත් එහි සඳහන් වුයේ කොන්දේසි රහිතව තෙවැනි පාර්ශවයක්‌ වෙත යටත් වීමට ප්‍රභාකරන් කැමැත්ත පළ කළ බවත්ය.

හැට්‌රන්ගේ පණිවුඩය බ්ලේක්‌ විසින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී පෝල් කැස්‌ටෙලා වෙත දන්වා ඇත. මේ සඳහා හමුදා හෙලිකොප්ටර් මගින් රතු කුරුස කණ්‌ඩායමක්‌ යෑවීමටද කටයුතු යොදා ඇතැයි කැස්‌ටෙලා ප්‍රකාශ කර ඇත. 

මේ වන විට ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි නායකයන් සියදිවි නසාගත් බවට පුවතක්‌ ප්‍රචාරය විය. මෙය ප්‍රචාරය කරන ලද්දේ කැනඩාවේ සිටින ඩී. බී. එස්‌. ජෙයරාඡ් නැමැත්තායි.

ජෙයරාඡ් පළ කළ පුවත ඇත්තක්‌ දැයි නිවැරදිව දැන ගැනීමට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට හැකියාවක්‌ නැතැයි රොබ්ට්‌ බ්ලේක්‌ විසින් සිය රාජ්‍ය දෙපාර්තමේන්තුවට යෑවූ රහස්‌ වාර්තාවේ සඳහන් විය.

මේ අන්දමේ ව්‍යාකූල තොරතුරු නිසා ඇමරිකාව සහ නෝර්වේ ප්‍රමුඛ යුරෝපා සංගමය දියත් කළ ගලවා ගැනීමේ මෙහෙයුම අර්බුදකාරී තත්ත්වයකට පත් විය. 

මෙම රහස්‌ මෙහෙයුම සම්බන්ධයෙන් හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පසුව මෙලෙස ප්‍රකාශ කර ඇත.

අර්බුදය විසඳීම සඳහා ක්‌වාලාලම්පූරයේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වුවද ඊට බැසිල් රාජපක්‍ෂගේ සහය ද ලැබිණි.

අපේ අරමුණ වූයේ සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව කොටු වී ඇති සිවිල් වැසියන් සහ යටත් වීමට කැමැති කොටි ගලවාගැනීමට විශාල නැවක්‌ වන්නි වෙරළට යෑවීම අපේ අදහස වුණා.

කොටි සංවිධානය එදා අපේ යෝජනාව පිළිගත්තේ නම් ඔවුන්ගේ අරගලය ගෙනයැමේ තත්ත්වයක සිටිනවා යෑයි එරික්‌ සෝල්හයිම් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ඇමරිකාවේ මෙම රහස්‌ සැලසුම පසුව කොටි හිතවාදියකු වූ ගැස්‌පර පියනම ද හෙළිකර තිබිණි.

එරික්‌ සෝල්හයිම් සහ රොබට්‌ බ්ලේක්‌ එකතු වී කොටි ආයුධ ජාලයේ ප්‍රධානි කේ පී ගේ සහයෙන් දියත් කිරීමට සැලසුම් කර තිබූ එකී මෙහෙයුමේ රහස්‌ තොරතුරු රැසක්‌ මේ වන විට අනාවරණය වී ඇත. එම තොරතුරු මෙලෙස දැක්‌විය හැක.

1. කේ. පී. ව නෝර්වේහි ඔස්‌ලෝ වෙත කැඳවාගෙන යැම සඳහා නෝර්වේ පොලිසියේ ආරක්‍ෂක භටයන් පිරිසක්‌ ක්‌වාලාලම්පූර් නගරයට පැමිණීම.

2. ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ඇතුළු කොටි හමුදා නායකයන් 50 ක්‌ ගෙනයැමට ඇමරිකානු මැරීන් බළකායේ ලැන්ඩින් ක්‍රාපට්‌ හෙවත් මුහුදේ සිට ගොඩබිමට පැමිණිය හැකි යාත්‍රාවක්‌ මුලතිව් වෙරළට එවීම

3. මුලතිව්හි කොටු වී සිටි සිවිල් වැසියන් ඇමරිකානු නැවකින් ත්‍රිකුණාමල වරායට ගෙන ඒම, ඇමරිකානු මැරීන් බළකාය මුලතිව් වෙරළට පැමිණීම

4. කොටින්ගේ බර අවි නිහඬ කිරීම

5. එම බර අවි එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමකට බාරදීම

6. කොටි සංවිධානයේ ඉහළ පෙළේ නායකයන් 50 කට සහ පවුල්වල අයව විදේශ රටකට ගෙනයැම

7. කොටි සංවිධානයේ 2 වැනි පෙළ ක්‍රියාකාරීන් පමණක්‌ අත්අඩංගුවට ගෙන ඔවුන්ට අධිකරණය ඉදිරියේ නඩු පැවරීම

8. අනිකුත් පහළ ශ්‍රේණිවල කොටි ක්‍රියාකාරීන්ට පොදු සමාවක්‌ ලබාදීම.

එහෙත් අවි නිහඬ කිරීම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. කොටි සංවිධානය යටත් වන්නේ විදේශ පාර්ශ්වයකට පමණක්‌ බව ප්‍රභාකරන් පැවසූ බවත් වාර්තා වේ.

මෙලෙස නෝර්වේ, ඇමරිකාව සහ කේ පී ඇරඹූ සාකච්ඡාවලින් ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ප්‍රමුඛ ඉහළ පෙළේ කොටි 50 ක්‌ බේරාගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන අවස්‌ථාවේ 58 වැනි සේනාංකය ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපා තිබිණි.

ඒ මුලතිව් වෙරළේ සිටි නාවික හමුදා භටයන්ට ආහාරපාන සැපයීමෙන් වළකින ලෙස ඉහළ පෙළේ හමුදා බලධාරියකු කළ නියෝගයකි.

මේ අයහපත් තත්ත්වය මැද හමුදා නිලධාරීන්ට සිදුවූයේ විශ්වාසවන්ත හමුදා භට පිරිසක්‌ ලවා මුලතිව්හි සිටි නාවික හමුදා භටයන්ට මැදියම් රැයේදී ආහාර පාන සැපයීමයි.

මේ අතර ඇමරිකානු ගලවාගැනීමේ මෙහෙයුම ප්‍රභාකරන් ප්‍රතික්‍ෂේප කළේ ඔහු සහ ඔහුගේ උපදේශකයන් සුරංගනා ලොවක ජීවත්වීම නිසා යෑයි කේ. පී. පසුව හෙළි කළේය.

කේ. පී. කළ හෙළිදරව්වෙන් කරුණු දෙකක්‌ සනාථ වී ඇත. ඒ ප්‍රභාකරන් සුදු කොඩි ඔසවා යටත්වන ලෙස පුලිදේවන් සහ නඩේෂන් ඇතුළු කොටින්ට පවසා නැති බවයි. අවි ආයුධ නිහඬ කරන ලෙසත් ප්‍රභාකරන් පවසා නැත.

එම පසුබිම මත සුදුකොඩි ඔසවා යටත්වීමට පැමිණි පුලිදේවන්, නඩේෂන් සහ ඔහුගේ බිරිය වූ විනිතා ඝාතනය වූ බව පිළිගත හැකිද?

තමිල් සෙල්වන්ගේ බිරිය වූ සසිරේඛා හිටපු කොටි කාන්තා බළකායේ නායිකාව වූ තමිලිනී හා මුහුදු කොටි නායක සුසෙයිගේ බිරිය ද සුදුකොඩි කතාවක්‌ ගැන පවසා නැත.

එහෙත් සුදු කොඩි කතාවක්‌ එළිදැක්‌විණි. මෙරටින් ස්‌විට්‌සර්ලන්තයට පැනගිය බොම්බඩියර් නමැත්තා ඔහු සිය මව්බිමේ හමුදාව පාවාදී සුදු කොඩි කතාවක්‌ පවසා ස්‌විට්‌සර්ලන්තයේ සුරසැප විඳී. මේ පාවාදීම කළ ඔහුට තුන්හෙලයේ පෙරමුණ සංවිධානය දේශප්‍රේමී සම්මානයක්‌ ද පුද කළේය.

කෙසේ වෙතත් ප්‍රභාකරන් සහ පොට්‌ටුඅම්මාන් ප්‍රමුඛ කොටි 50 ක පිරිස බේරාගැනීමේ ඇමරිකානු මෙහෙයුම ප්‍රමාද වූයේ මුලතිව් වෙත ගොඩබැසීමට නියමිත වූ ඇමරිකානු මැරීන් භටයන්ට එදිරිවාදිකම්වලට මුහුණදීමට සිදුවනු ඇති බව ඇමරිකානු නිලධාරීන් තුළ තිබූ විශ්වාසයයි.

සිවිල් වැසියන් ඇතුළු කොටි 12,000 කට අධික පිරිසක්‌ ගලවා ගැනීම සුළු ක්‍රියාදාමයක්‌ නොවේ. එය දැවැන්ත මෙහෙයුමකි. එවන් මෙහෙයුමකට ශ්‍රී ලංකා රජයේ අවසරය ලබාගත යුතුව තිබිණි. එකී මෙහෙයුම සාර්ථක කර ගැනීමට එවකට සිටි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හෝ වෙනත් රාජ්‍ය බලධාරියකු වෙත හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් පවසා නැත.

එසේ වුවත් ගලවාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා රජයේ සහය ලබාගැනීමට යොමු වී ඇත්තේ 2009 අප්‍රේල් මස අවසාන සතියේ යෑයි වාර්තා විය.

එසේම ගලවාගැනීමේ මෙහෙයුමට අදාළ සැලසුම 2009 මාර්තු මස මුල් සතියේත් පසුව අප්‍රේල් මස අවසානයේත් ප්‍රභාකරන් වෙත ඉදිරිපත් වී තිබූ බව අනාවරණය විය.

මුල්ලවයික්‌කාල් මෙහෙයුම ලෙස නම්කර තිබූ මෙකී මෙහෙයුම ගැන ගැස්‌පර් රාඡ් පියනම තමිල්නාඩුවේ මාධ්‍යවලට ද තොරතුරු හෙළිකර තිබිණි. හෙතෙම තමිල්නාඩු මාධ්‍යවලට තවදුරටත් දක්‌වා තිබුණේ ප්‍රභාකරන් ඇමරිකානු ගලවාගැනීමේ මෙහෙයුමට එකඟ වුවත් අවි බිම තැබීම ප්‍රතික්‍ෂේප කළ බවය.

ඇමරිකාවේ මෙම රහස්‌ සැලසුම ඇමරිකානු බලධාරීන් ඉන්දියාවේ විදේශ ලේකම් ශන්කර් මෙනන් වෙත ද දැනුම් දී තිබිණි. ඇමරිකානු මැරීන් බළකායේ භටයන් මුලින්ම මුලතිව් වෙත බ්ලැක්‌හෝර්ක්‌ ප්‍රහාරක හෙලිකොප්ටර්වලින් ගොඩබැසීමත් ඉන්පසු ඇමරිකානු ශාන්තිකර බළකායේ නාවික හා ගුවන් ඒකක මුලතිව් වෙත පැමිණීමටත් නියමිතව තිබූ බව ගැස්‌පර් රාඡ් තමිල්නාඩුවේ නකීරන් සඟරාවට හෙළිකර තිබූ බව හෙළිවිය.

මෙම ඇමරිකානු සැලසුම සාර්ථක කරගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් මානුෂික සේවා කටයුතු පිළිබඳ ලේකම් ජෝන් හොල්ම්ස්‌ සමඟ ශ්‍රී ලංකාවට එවා තිබූ බව අනාවරණය විය.

එහෙත් මේ රහස්‌ සැලැසුම ගැන එවකට සිටි රජයේ ආරක්‍ෂක බලධාරීන් තුළ දැඩි නොසතුටක්‌ පළවී තිබිණි. මේ සැලසුමේ තවත් අදියරක්‌ වූයේ කොටි සංවිධානය හා රජය අතර සාකච්ඡාවක්‌ පැවැත්වීමට ඇති බවට කටයුතු යෙදීම බවත් පසුව වාර්තා විය.

මතු වී ඇති බරපතළ තත්ත්වය තේරුම්ගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් කොටි නායකත්වය පැරදවීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස ආරක්‍ෂක ප්‍රධානීන්ට නියෝග කර තිබිණි. ඉන් සිදුවූයේ ඇමරිකානු මෙහෙයුම් ව්‍යාර්ථ වීමයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/04/24/defence.html

0 comments: