Pages

Tuesday, April 12, 2016

කොටි සාමාජිකයන්ට නිදහස ලබා දුන්නත් රට බේරාගත් බුද්ධි අංශ නිලධාරීන්ට මේ ආණ්‌ඩුව අවුරුදු කන්නවත් ඉඩ දුන්නේ නැහැ - බෙංගමුවේ නාලක හිමි

රට කැඩීමට ක්‍රියාකළ කොටි සාමාජිකයන් නිදහස්‌ කළ මෙම රජය රට බේරා ගැනීමට දායක වූ බුද්ධි අංශ නිලධාරීන් පිරිසකට අවුරුදු කන්න ඉඩ දුන්නේ නැතැයි රණවිරුවන් සුරකීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේදී ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

කොටි සංවිධානයේ තමලනී පසුගියදා නිදහස්‌ කළා. ඇය පැහැදිලිවම ප්‍රකාශ කළා එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමට බුද්ධි අංශ නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය දැඩිසේ ඉවහල් වුණා කියලා. තත්ත්වය එසේ තිබියදී බුද්ධි අංශ නිලධාරීන් චෝදනා නොමැතිව සිරගත කර සිටීම ගැන අප කනගාටු වෙනවා. රජය මේ කරන්නේ තමන්ට බලයට ඒමට උදව් කළ දෙමළ ඩයස්‌පෝරාව සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වුවමනාවන් ඉටුකිරීම යෑයි ද බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී පැවසූහ.

චෝදනා නොමැතිව එක්‌නැලිගොඩ ඝාතනයට සම්බන්ධ යෑයි පවසමින් යුද හමුදාවේ සහ නාවික හමුදාවේ බුද්ධි නිලධාරීන් 12 දෙනකු සිරගත කර සිටිනවා. රජය පැහැදිලිවම මේ කරන්නේ කොන්ත්‍රාත්තුවක්‌ යෑයි ද උන්වහන්සේ මෙහිදී පැවසූහ.

ලෝකයේ තිබෙන ගුණමකුම ආණ්‌ඩුව වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආණ්‌ඩුව බවත් අඩුම තරමින් අප රටේ ජනතාවට අභය දානය දීමට ක්‍රියාකළ බුද්ධි නිලධාරීන් නිදොස්‌ කොට නිදහස්‌ කිරීමට නොව ඔවුනට ඇප ලබාදීමට පියවර ගැනීමටවත් මේ රජය කෘතවේදී වී නැතැයි මෙහිදී අදහස්‌ දැක්‌වූ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා කියා සිටියේය.

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ පවුල් ආරක්‍ෂා කිරීම, ඔවුනට ආදරය, කරුණාව දැක්‌වීම, ඔවුන්ව ශක්‌තිමත් කිරීම මෙන්ම ඔවුන්ව තනි නොකිරීම මේ මොහොතේ අප රටට ආදරය කරන ජනතාවගේ යුතුකම බව ජයන්ත සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් සිංහල අවුරුද්දේ මුණගැසී ඔවුනට තෑගිභෝග ලබාදී ඔවුන්ගේ සුවදුක්‌ විමසීමට ද රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය තීරණය කර ඇත.

වසන්ත ලියනගේ
http://www.divaina.com/2016/04/12/news20.html

Pic Source

0 comments: