Pages

Saturday, June 17, 2017

සිංහල ජානවල ජාතිවාදය නෑ! - මැදගම ධම්මාන්ද නාහිමි

මහින්දාගමනයෙන් අනතුරුව බෞද්ධ රාජ්‍ය කේන්ද්‍රස්‌ථාන ගොඩනැඟුණේය. රාජ්‍යත්වයේ සංකේතය ලෙස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රමුඛත්වයේ තබාගනිමින් බෞද්ධාගම පෝෂණය කරමින් රට ගොඩනැඟූ අතීත රජවරු සෙසු ජාතීන් සමඟ සමගිව ඉදිරියට කටයුතු කර ගෙන ගියහ. පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආක්‍රමණයන්හිදී පවා සියලු ජාතීන් එක්‌ව ශ්‍රී ලාංකික යන පොදු රාමුවකට එක්‌ව අත්වැල් බැඳගනිමින් ක්‍රියා කළ කාලයක්‌ තිබූ බව අපට මතකය. ඈත අතීතයේ පටන් පැවතී එම සන්හිඳියාවට මෑත කාලයේ කිසියම් විපර්යාසයක්‌ සිදුව ඇති බැව් පෙනෙන්නට ඇත. සංහිඳියාව බරපතළ ලෙස බිඳවැටෙන්නට හේතු වන්නට ඇත්තේ ප්‍රමුඛත්වයෙලා තිබූ බෞද්ධ ආගමේ පදනම තරමක සෙලවීමකට ලක්‌වූයේ යෑයි සිංහල බෞද්ධ ජනතාවට දැනීම හෝ හැඟීම විය හැකිය. අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය තුළ කිසිදු පුද්ගලයකු ජාති හෝ ආගම හෝ කුල බේද අනුව පහත කොට සැලකීමක්‌ හෝ ශාරීරික, මානසික පහරදීමකට ලක්‌කරන්නේ හෝ නැත්තේය. 

ඒ නමුත් භික්‌ෂුන්වහන්සේලා ට දුර දක්‌නා නුවණ ද යම් විපතක්‌ පෙර සිට හඳුනාගත හැකි විචක්‌ෂණ ශක්‌තියක්‌ ඇති බැව් අප අත්දැකීම් සමුදායකින් දන්නෙමු. එය සිහියේ තබා ගනිමින් අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මාන්ද නාහිමියෝ සමඟ කළ සාකච්ඡාවකි මෙය... 

සංහිඳියාව පිළිබඳ ඔබ වහන්සේගේ මතය කුමක්‌ද.....?

මේ දිනවල අපේ රටේ ජාතික ආගමික සංහිඳියාව පිළිබඳව විශේෂ උනන්දුවක්‌ ඇතිවී තිබෙන බව පෙනෙන්න තිබෙනවා. සංහිඳියාව අලුත් සංල්පයක්‌ හැටියට සමාජගත කෙරෙන බව පෙනෙනවා. වචනය පවා අලුත්. ආගමික වශයෙන් අපේ රටේ දිගු කාලයක්‌ පුරාම තිබෙන්නේ බෞද්ධ සංස්‌කෘතියක්‌ එක්‌ක බැඳුනු හර පද්ධතියක්‌. මේ තුළ ගැබ්වෙල තියෙනව සුහඳව සියලු ආගම්වලට, ජනවර්ගවලට සුහඳව ඉන්න පුළුවන් වාතාවරණයක්‌ තියෙන බව. අනෙකුත් රටවල් එක්‌ක සංසන්දනය කරලා බැලුවහම අපි අපේ රට තුළ කටයුතු කරලා තියෙන්නේ ඉතාම සුහඳව, සාමකාමීව, එකමුතුවී.

ගැටුම් ඇතිවූ අවස්‌ථා තිබෙනවා නේද?

ඕනෑම සමාජයක අර්බුදකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එක සාමාන්‍ය දෙයක්‌. අර්බුදකාරී දේවල් තිබෙන්න ඉඩක්‌ තියෙනවා විවිධාකාර ජාතීන් එක්‌ව විසීමේදී විවිධ චරිත ඉස්‌මතුවෙන්න උත්සාහ ගනිද්දී අවේගකාරී සිදුවීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් එය සමස්‌තයටම ආරෝපණය කරගෙන අපි රට තුළ හෝ ජාතිය තුළ සංහිඳියාවක්‌ සමගියක්‌ නැති ය කියල කියනවා නම් ඒක වැරදි අර්ථකතනයක්‌. වර්තමාන කාලයේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය විවිධ හැඩතල ගන්නවා. මේවා අපි අවබෝධ කරගන්න ඕන ගැටුමක්‌ දක්‌වා දිගු නොකර ඉන්න.

වත්මන් ගැටුම් තත්ත්වය ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් අන්තර් ආගමික උපදේශක සභාව රැස්‌වුණා නේද?

අස්‌ගිරි මල්වතු රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි නියෝජනය ඇතිව ඉකුත් 31 වැනිදා එම උපදේශන සභාව රැස්‌වුණා. මම අස්‌ගිරිය නියෝජන කරමින් ඊට සහභාගි වුණා. අනෙකුත් සියලුම ආගම් නියෝජනය කරමින් ආගමික නායකයන් ඊට සහභාගි වුණා. රාජ්‍ය නිලධාරීන් ලෙස පොලිස්‌පති, රාජ්‍ය ආරක්‌ෂක ඇමැති සාගල රත්නායක, මුස්‌ලිම් ඇමැතිවරු, දමිළ ඇමැතිවරු ඇතුළු බොහොම පිරිසක්‌ ඊට සහභාගි වුණා. මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුනේ මේ වෙද්දී රට තුළ ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වෙලා තියෙනවා නම්, ඒවා බුද්ධිමත්ව අවධානය යොමු කරලා සාකච්ඡා කරලා විසඳන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධවයි. රටේ සමගිය දිගුකාලීනව පවත්වාගෙන යන්න ජනතාව දැනුම්වත් කළ යුතුය යන්න ජනාධිපතිතුමාගේත් අදහස වුණා. දැනට රට පුර ගැටුම්කාරී සිද්ධි පහළොවක්‌ විතර වාර්තා වී ඇති බව පොලිස්‌පතිතුමා වාර්තා කළා.

ඒ සිද්ධි අතර ක්‍රිස්‌තියානි දේවස්‌ථානවලට පහරදීම් ඉස්‌ලාම් ආගාමිකයන්ට අයත් වෙළෙඳසල්වලට පහරදීම් වැනි දේ වාර්තා වුණා. මට එතනදී කාරණා කිහිපයක්‌ ගැන තොරතුරු දෙන්න සිදු වුණා මොකද ඒවා මහනුවරට සම්බන්ධකම් තිබූ සිද්ධි නිසාත් ඒවා තවම නිමාවක්‌ වෙලා නැති නිසාත්. දන්තුරේ. උඩුවෙල ගමේ මුස්‌ලිම් තරුණයෙක්‌ Face Book කියන සමාජ වෙබ් අඩවියට දාල තියෙනවා බුදුරජාණන් වහන්සේට බොහොම නිගා කෙරෙන අසභ්‍ය තොරතුරු ඇතුළත් විස්‌තරයක්‌. ඒ තුළින් උන්වහන්සේට නින්දා ඇතිකොට තිබෙනවා. ඒ තරුණයගේ ඡායරූපය හඳුනාගැනීමෙන් පසුව ගැටුමක්‌ ඇතිවෙලා තියෙනවා. මේ සඳහා දැනටත් එස්‌. ටී. එෆ්. ආරක්‌ෂාව දාල පොලිස්‌ මුරපොළක්‌ දාල ගම්වැසියන්ගේ ආරක්‌ෂාව සලසල තියෙනවා.

මම මෙහිදී ඉස්‌මතු කළේ, බෞද්ධයන්ට හිංසා පීඩා වෙන අවස්‌ථා ගැන අවධානය යොමු කළ යුතුය කියලා. ජනාධිපතිතුමා ඒ කාරණයේදී ඉස්‌මතු කළේ අන්තර්ජාලයට පාලනයකින් තොරව තොරතුරු නිකුත් කිරීමට ඉඩක්‌ පවත්නා නිසා විවිධ ගැටලු ඇතිවෙන්න ඇති ඉඩ වැඩි බවයි. පහත් නින්දා අපහස කිරීම් පාලනය කරන්න අන්තර්ජාලයට පාලනයක්‌ ඇති කළ යුතු බවට යෝජනා අවා. ඒ සමඟ ආ අදහස්‌ වුණේ මෙවන් පාලනයක්‌ ආ විගස ජනමාධ්‍ය නිදහස අහුරා දමන්න කටයුතු කළ යෑයි චෝදනා එල්ලවිය හැකියි කියන කාරණය. නමුත් හැමදෙනාම අදහස්‌ කළේ වෙබ් අඩවිය පාලනයකට යා යුතුය කියලා. මේ පිළිබඳ තීන්දු තීරණය කරන්නේ ජනාධිපතිතුමා විසින්මයි.

අම්පාර කඩේකට ගිනි තබා ඇති බවට තවත් තොරතුරක්‌ එහිදී සාකච්ඡා වුණා. මේවා ආගම හෝ ජාතිවාදය හෝ ආගම්වාදය ඇති කිරීමේ අදහසින් සිදු කළාය කියන්න හෝ ඒ බව තහවුරු කරන්න සාක්‌ෂි කොතැනකවත් නැහැ. පුද්ගලික හේතු නිසා මෙවැන්නක්‌ සිද්ධ වෙන්නත් පුළුවන්.

ගලගෝඩඅත්තේ ඥානසාර හිමියෝ ජාතිවාදය ඇතිකිරීමට උත්සාහ කරනවය කියන චෝදනාව ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

මුස්‌ලිම් ඇමැතිවරු මේ චෝදනාව දිගින් දිගටම එල්ල කරනවා. උන්වහන්සේ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නයි ප්‍රබල ලෙස ඉල්ලීම් කරන බවත් දැනගන්න ලැබෙනවා. ඥානසාර හාමුදුරුවෝ ඉකුත් දවසක මල්වතු මහ විහාරයට වැඩම කරලා මහනායක හිමිවරු බැහැදැකල උන්වහන්සේගේ අදහස්‌ ප්‍රකාශ කළා. රට තුළ සිදු වන විනාශය උතුරු - නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථාන කඩා බිඳ දැමීම් ගැන තොරතුරු කිව්වා. රටේ ප්‍රශ්නවලට විසඳුම් අවශ්‍ය බව උන්වහන්සේ වරින් වර මහනායක හිමිවරු දැනුවත් කරමින් කියා සිටියා.

ඒ කාරණය ඇත්ත, ඇතැම් පුද්ගලයන්ගේ සිත් රිදීමට හේතුවෙලා තියෙන්නේ ඥානසාර හිමියන්ගේ වාග් විලාසය වෙන්න පුළුවන්. හැසිරීම රටාවේ ගැටලු තිබෙනවා මේවා පිළිගන්න, ඉවසීමෙන් කටයුතු කරන්න කියල අපි උන්වහන්සේට කියා හිටියා. ඔබ වහන්සේ කියන කාරණා පිළිබඳව රාජ්‍ය පාර්ශ්වය සමඟ සාකච්ඡා කරලා විසඳුම් සොයමු, එතෙක්‌ නිහඬව ඉන්න කියා අපි කියා සිටියා. අස්‌ගිරි මල්වතු මහනායක හිමිවරු මුණගැහිලා අවවාද අනුශාසනා අරන් යන අතර තුරදී කුරුණෑගලදී උන්වහන්සේව අත්අඩංගුවට ගන්න පොලිස්‌ බල ඇණියක්‌ යොදල මහා කලබැගෑනියක්‌ ඇති කරලා. ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මිනීමරුවෙක්‌ නෙවෙයිනේ. බැරියර් දාල උන්වහන්සේ අත්අඩංගුවට ගන්නට උත්සාහ කිරීම අපි තරයේ හෙළ දකිනවා. යම් අන්‍යාගමික නායකවරු, පූජකවරු තමන්ගේ යටතේ ඉන්න පිරිස්‌ වරදක්‌ කරලා අත්අඩංගුවට ගත් වෙලාවේ කිව්වා, අපි රාජ්‍ය උත්සව වර්ජනය කරනවා කියලා. මේවා නිසා නැති ගැටලු ඇතිවෙනවා. නමුත් අපි කවදාවත් එහෙම කියන්නේ නැහැ. නීතියට අපි ගරු කරනවා. නමුත් චීවර දරාගත්ත භික්‌ෂුවක්‌ නම් අපරාද ගණයට අයත් වරදක්‌ කරලා නැති නම් උන්වහන්සේ පෙනී සිටින්නේ රට ජාතිය ආගම වැනි පොදු කාරණා සම්බන්ධයෙන් නම් එවන් භික්‌ෂුවක්‌ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය අපට තියෙනවා. නීතිඥයෙක්‌ වුණත් වරදකරුවෙක්‌ වෙනුවෙන් පෙනී සිටින්නේ. උන්වහන්සේ කෝට්‌ටේ පාර්ශ්වයේ භික්‌ෂුවක්‌. නමුත් අපි පොදුවේ භික්‌ෂුන්වහන්සේලා ගැන සොයා බැලිය යුතු වෙනවා. පෙනී සිටිය යුතු වෙනවා.

මෙවන් කාරණා වලදී නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වේවි කියා ඔබ වහන්සේ සිතනවද.......?

මම තරයේ මෙහිදී කියා සිටියා. නීතිය සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා නම් උතුරු - නැගෙනහිර විග්නේෂ්වරන් මහ ඇමැතිතුමා කරන කියන ප්‍රකාශ සිවාජිලිංගම් ඇමැතිතුමා කරන කියන ප්‍රකාශ ගැන අවධානය යොමු කළ යුතු බව මොකද ඒ අය කියන කරන දේවල් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි දේවල්. මේ අය ඇමැතිවරු ලෙස දිවුරුම් දීල තියෙනවනේ රට බෙදන්නේ නැහැ, රටට ජනතාවට අගතියක්‌ වන දේ කරන්නේ නැහැ කියලා. නමුත් අද ඔවුන් කරන්නේ ඒ දේවල්. ඇයි ඒ අයට නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන කාරණය මම ඉස්‌මතු කළා.

පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී, අනුරාධ ජයරත්න සහ විජිත හේරත් ඇමැතිවරු කියා හිටිය උතුරු - නැගෙනහිර විහාරස්‌ථාන හාරසිය ගාණක්‌ විනාශ කරලා කියලා. ඒ වෙලාවේ රවුෆ් හකීම් ඇමැති කියනවා ඒ ගැන පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා නොකර පක්‌ෂ නායක රැස්‌වීමේදී කතාකරමු කියලා. නැත්නම් දෙමළ පක්‌ෂවලට අසාධාරණයක්‌ වෙන්න පුළුවන් කියල. ඒ වගේ දේවල්වලින් අපට නීතියේ සාධාරණ බවක්‌ නැති බව පෙනෙනවා. ඥානසාර හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න කියල කෑ ගහන රාජ්‍ය නොවන සංවිධාන වගේම විකල්ප පත්තර තම ජාතිවාදය අවුස්‌සන ක්‍රියාවල නිරතවෙලා තියෙන්නේ.

ඥානසාර හිමියෝ පෙන්වාදෙන කාරණා සියල්ල සත්‍ය කාරණාද...?

උන්වහන්සේ විල්පත්තු වන විනාශය ගැන රජයෙන් ප්‍රශ්න කළ නමුත් රජයට නොහැකි වුණ ඊට නිසි පිළිතුරක්‌ දෙන්න. රිෂාඩ් බදියුදීන් මහතාත් ඒ වෙලාවේ කිව්වා එවැන්නක්‌ සිද්ධ වෙන්නේ නෑ, සිදුවෙනවා නම් කමිටුවක්‌ පත් කරලා හොයන්න කියලා. අපිත් ඉල්ලා සිටින්නේ නිසි විමර්ශනයක්‌ කරන්න කියලා.

උතුරු - නැගෙනහිර තියෙන බෞද්ධ සිද්ධස්‌ථාන මුල් කරගෙන තමයි අපේ මේ භූමි උරුමය රැකිලා තියෙන්නේ. සිංහල බෞද්ධයෝ එහි සිටි බවට සාක්‌ෂි තියෙනවා. ඒ පිළිබඳ විලෝපනයක්‌ දැන් සිදුකරමින් සිටිනවා. මේ විලෝපනය කිරීම දේශපාලනය එක්‌ක දැන් බැඳිලා තියෙන්නේ. එක තමයි මේ විනාශයට මුල. ඥානසාර හිමියෝ පෙන්වාදෙන කාරණා මේවා.

අපි දුටු කාරණා බොහොමයක්‌ පවා තියෙනවා මේ අතරේ. නාගදීපය නම වෙනස්‌ කරන්න කටයුතු යොදල තිබුණා....නාගදීපයේ බුදුපිළිම තැනීමට විරෝධතාවක්‌ ගියා. යුද්ධ කාලේ යාපනය අතහැරලා ආපු බේකරිකරුවෝ ඇතුළු තුන්සියයක්‌ පමණ පිරිස නැවත පදිංචි වෙන්න ඉඩම් ඉල්ලලා යාපනය දුම්රියපොළ ඉදිරිපිට උපවාසයක්‌ කළා. නමුත් ඒවාට විරෝධතා ආවා.

ඥානසාර හිමියන්ගේ සියලුම ක්‍රියාවන් අනුමත නොකළත් උන්වහන්සේ දරන මතය පෙන්වා දෙන කාරණා ඔස්‌සේ දමා ඇති පදනම ගැන අපි උනන්දුවක්‌ දක්‌වන්න ඕන.

යාපනයේ සිංහල ඉඩම් කොටසේ පන්සල ඉදිකිරීම තාවකාලික නතර කර ඇති බව සත්‍යද?

යාපනයට කිලෝමීටර් දහයක්‌ පමණ මෙහා තවක්‌කුදී ප්‍රදේශයේ මේ සිංහල ගම පිහිටලා තියෙන්නේ. ඉඩම් අයිතිය සනාථ කරන ඔප්පු ලිපි ලේඛන සියල්ල ඒ පදිංචිකරුවන්ට තිබුණා. මිනිස්‌සු එකතුවෙලා පන්සලක්‌ හදන වැඩේට දැන් පළාත් සභාවෙන් විරෝධතාවක්‌ ඇතිවෙලා තියෙනවා. බලවේගයක්‌ ලෙස නැඟී සිටින පිරිසක්‌ ඉන්න බව මටත් දැනගන්න ලැබුණා. ඥානසාර හිමියෝ සටන් කරන්න සූදානම් වුණේ මේ වගේ කාරණාවලට. 

ව්‍යවස්‌ථා සංශෝධන සමඟ උද්ගත වූ මෙම ආගම්වාදී ගැටලු බුද්ධාගමට සෘජුව බලපෑම් කරන බව දැන දැනත් ස්‌ථිර තීරණයකට රජයට පැමිණිය යුතු බවට අවධාරණය කළ නොහැකිද..?

බුදු දහම සම්බන්ධ වගන්ති වෙනස්‌ කරන්න එපා කියන කාරණා සම්බන්ධයෙන් පමණක්‌ නොවෙයි, බුද්ධාගම සුරැකීමට නම් සංස්‌කෘතික අංග පරිසරය මත්ද්‍රව්‍ය පාලනය මේ හැමදෙයක්‌ ගැනම සොයා බලා ඒවායේ නීති හරියාකාරව ක්‍රියාත්මක කරන්න රජය බැඳිලා ඉන්න අවශ්‍යයි. බුද්ධාගම රකිනවා කියන්නේ ඇ සමඟ බැඳුණු හර පද්ධතිය රකින්න කටයුතු කරනවය කියන එක. අපි මේ ගැන වරින් වර රජයට අවධාරණය කරලා තිබෙන්නේ. ඒකීය රාජ්‍යයක්‌ කියන කාරණය අනිවාර්යයෙන් තිබිය යුතු බවත් අපි කියා සිටිනවා මේ වගන්ති එහෙමම තියෙද්දී ෆෙඩරල් ක්‍රමයකට ගිහින් බලය බෙදීමකට යනවා නම් අපි එයටත් විරුද්ධ වෙනවා..... මේ වන විට මල්වතු අස්‌ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා ඇතිව ජනාධිපතිතුමාට පුද්ගලිකවම මේ කාරණා පෙන්වා දුන්නා. නමුත් පසුගිය 23 දා නැවත මේ ව්‍යවස්‌ථා සම්පාදකයන් එක්‌වූ කමිටුවක්‌ පාර්ලිමේන්තුවේදී රැස්‌වුණා. එතැනදී මෙරට අනාගමික රාජ්‍යක්‌ ලෙස පවතින්න ඕනි කියන කාරණයත් ඒකීය යන වචනය වෙනස්‌ කරන්නත් අවශ්‍ය බව ඇතැමුන් ප්‍රකාශ කරලා තියෙනවා. එවැනි තත්ත්වයක්‌ තමයි අද රට තුළ තියෙන්නේ. මේ තත්ත්වය යහපාලන රජයකට ගැලපෙන්නේ නැහැ.

ජාතිවාදය ඉස්‌මතු කරන්නේ දේශපාලන නායකයන් විසින්ම බවටම චෝදනා කළොත්...?

ඒ චෝදනාව පිළිගත හැකි චෝදනාවක්‌. චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු දේශපාලන බලවත්තු බොහෝ දෙනෙක්‌ සිංහලයන් ආගම්වාදීන් කියන වචන පාවිච්චි කරනවා. එය බොහොම සංවේග උපදවන්නක්‌. සිංහල බෞද්ධ ජනතාව කිසිදා ආක්‍රමණශීලි නැහැ. ජාතියට හෝ ආගමට හෝ එහි පැවැත්මට බාධාවක්‌ හෝ අනාරක්‌ෂිත බවක්‌ ඇතිවුණොත් අපි ඒ වෙනුවෙන් නැඟී සිටිනවා. ඉතිහාසය පුරාම සිද්ධ වුණේa ඒකයි.

අපේ සිංහල මිනිස්‌සුන්ගේ ජානවල නෑ වෙනත් ජාතීන්ට ආගම්වලට විරෝධයක්‌. ඊට හොඳම උදාහරණය, බොදුබල සේනාවෙන් කිව්වා මුස්‌ලිම් කඩවලින් බඩුගැනීම වර්ජනය කරන්න කියලා. කෝ අපේ අය එහෙම කළා ද..? සම තත්ත්වයෙන් හැමදෙනාම සලකන්න හුරුවෙලා ඉන්නේ. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දෙමළ සම්භවයක්‌ තියෙන රජ කෙනෙක්‌. නමුත් අපි අදටත් එතුමාට දිනපතාම දළදා තේවාවට පසුව පින් අනුමෝදන් කරනවා. එතුමා නමින් පූජා පාත්‍ර තියෙනවා. අදටත් උපසම්පදා කටයුතුවලදී රජුට පින් දෙනවා. මොකද සියම් උපසම්පදාව ගේන්න කටයුතු කළේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා. මෑත කාලීන උදාහරණයක්‌ ගමු. ලක්‍ෂමන් කදිරගාමර් ඇමැතිතුමා තමයි වෙසක්‌ පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක්‌ බවට පත් කළේ. එතුමාට අසනීප වූ අවස්‌ථාවේ වකුගඩුවක්‌ දුන්නේ අපේ හාමුදුරුවෝ නමක්‌.

මනුස්‌සයෙක්‌ රටට සේවයක්‌ කරනවා නම් යහපත් ලෙස ජීවත් වෙනවා නම් අපට ප්‍රශ්නයක්‌ නැහැ. සිංහල බෞද්ධ චින්තනය ඒකයි. මේ රටේ අනිත් ආගම් ඉන්නවටවත් ජාතීන් ඉන්නවටවත් අපි විරුද්ධ නැහැ. මෙය තේරුම්ගත යුතුයි.

එසේ නම් මේ අර්බුදවලට හේතුව කවරක්‌ද...?

මේ රටේ දේශපාලකයන් වැරදි ආකාරයට ආගම ජාතී බේදය වපුරන තැනට ක්‍රියාදාමයක නිරතවෙලා සිටිනවා. මේ හැටි ව්‍යසනයක්‌ රටේ ඇතිවෙලා තියෙන්නේ එකී තත්ත්වය නිසයි. උතුර - නැගෙනහිර කොහේ බැලුවත් සාමාන්‍ය ජනතාව අහිංසකයි. ඒ අයට අවශ්‍ය සතුටින් ජීවත් වෙන්න පමණයි නමුත් ඒ තත්ත්වය උදානොකර දේශපාලකයන් කරන්නේ රටේ නැති ගැටලු ඇතිකරන එක පමණයි....

සමන්තී වීරසේකර
http://www.divaina.com/2017/06/18/feature41.html

සබැඳි ලිපි -

කුරගල, මාණික්කමඩු ආදී වැනසෙන බොදු උරුමය ගැන සැවොම නිහඬ ඇයි? 

මාණික්‌කමඩු - මුසළු දේශපාලකයන් හා නිලධාරීන් වළකන, මුසලු ජනව්‍යාප්තියට යටවන, රජුන් පිදූ මුසලුවන් කොල්ලකන දීඝවාපියේ බොදු උරුමය... අශ්රොෆ් ඩෝසර් කළ දීඝවාපි විනාශයේ දෙවන කොටස...
http://yukthiyawenuwen.blogspot.com/2017/05/blog-post_45.html

පුරාවිද්‍යා නීති අවලංගුයි.. ඓතිහාසික කුරගල පුදබිමේ ඉස්ලාම් අන්තවාදීන් යළි ඉදිකිරීම් අරඹයි!
http://yukthiyawenuwen.blogspot.com/2017/01/blog-post_44.html

වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html

මුසලුවන්ට හිරිහැර වන බවට අසත්‍ය පතුරා බොදුනුවන්ට පහරපිට පහර ගසන්නේ ඇයි?

ලේ මස් ඇට නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය
http://denethharinna.blogspot.com/2014/06/blog-post_6189.html
සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
දඹුල්ල ගැන ගොඩක් වදවෙන කට්ටිය මේව ගැන මොකද කියන්නෙ දන්නෙ නැහැ...
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html

සබැඳි ලිපි කියවන්න. බෙදා හරින්න. මිතුරන් දැනුවත් කරන්න. 

SHARE & AWARE!

බොදුනුවන් ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

0 comments: