Pages

Tuesday, May 12, 2015

පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය, පවතින ක්‍රමයටම! පළාත් පාලන ආයතන ලබන 15 සිට කොමසාරිස් පාලනයට

ලබන පළාත් පාලන මැතිවරණයට පෙර මහ ඡන්දය පවත්වන බව මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා අද ප්‍රකාශ කළේය.

කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන, මහ නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා ඡන්දය ලබන 15 වෙනිදා සිට සුළු කාලයකට කොමසාරිස්වරයෙකුගේ පාලනයට යටත් කරණ බවත් ඉන්පසු කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පවත්වන බවත් ජනපතිවරයා මෙහිදී පැහැදිළි කළේය.

එහෙත් ඊට පෙර පැවැත්වීමට නියමිත මහ මැතිවරණය දැනට පවත්නා ක්‍රමය අනුව පැවැත්වෙනු ඇතැයිද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.

මේ අතර පළාත් පාලන ආයතන විසිරුවා හැර කොමසාරිස් පාලනයක් ඇති කිරීමට විරෝධය පාමින් ‘පළාත් පාලන මන්ත්‍රී එකමුතුව’ සංවිධානය කළ විරෝධතා රැස්වීමක් කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී අද (12) පැවැත්විණි.

එම ආයතන සඳහා ඡන්දයක් පවත්වන ලෙස එහි ආ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සඳහන් කරයි.

http://lankafocusnews.com/?p=41165

Pic Source

රටක්‌ ජාතියක්‌ ගොඩනඟන්න ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා - ජනපති

රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතය පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය අවශ්‍ය වෙනවා. කෞතුකාගාරයක්‌ තුළ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය, කියවීම හා අධ්‍යයනය කිරීමට හැකිවනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හම්බන්තොට "මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය" විවෘත කිරීම සඳහා හම්බන්තොටදී පැවැති උත්සවය අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පළ කළේය.

එහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රටේ ඉතිහාසය මෙන්ම ශිෂ්ඨාචාරය පිළිබඳව වත්මන් පරපුර වගේම අනාගතයේ උපදින දරුවන් හා ජනතාව දැනුවත් කිරීම සඳහා රුහුණු මාගම්පුර කෞතුකාගාරය විවෘත කිරීම ඉතා වැදගත් අවස්‌ථාවක්‌. මෙහි වැදගත්කම මෙන්ම කෞතුකාගාරයකින් ඉටුවන සේවය ඔබ අප කවුරුත් දන්නවා. කෞතුක වස්‌තු ආරක්‍ෂා කිරීම මෙන්ම සුරක්‍ෂිත කිරීම සඳහා ලෝකයේ සංවර්ධනයවූ රටවල් කිසිදු භේදයකින් තොරව කටයුතු කරනවා. යම් රටක, ප්‍රදේශයක මානව ශිෂ්ඨාචාරය හා මානවයාගේ ප්‍රගමනය පිළිබඳ කෞතුකාගාරයකින් ජනතාව දැනුවත් වනවා. ඇතැම් විට ඉතිහාසය පිළිබඳ පොතපත නොකියවෙන අවස්‌ථා තිබෙනවා. අපේ අලුත් පරපුර රටක ඉතිහාසය අධ්‍යයනය කිරීම ඉතා අවශ්‍යයි. පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කළ කාලයක්‌ තිබුණා මට මතකයි. රටක්‌ ජාතියක්‌ ගොඩනැඟීමේ ලා ඉතිහාසය විශිෂ්ට මෙහෙයක්‌ ඉටුකරනවා. ඉතිහාසය කියන්නේ අතීතයටයි. වර්තමානය ගොඩනැඟෙන්නේ අතීතයේ පාඩම්වලින් නිසා අනාගතය ගොඩනැඟීමට අතීතය ඉතා අවශ්‍ය වනවා. රටක අතීතය මෙන්ම අනාගතය මිනිසෙකුගේ ජීවිතය වගෙයි. මිනිසෙකුට සම්පූර්ණ වීමට නම් ඔහුගේ ජීවිතයේ අත්දැකීම්, මුහුණ දීමට සිදුවූ ගැටලු, අභියෝග සමග අතීතයද වැදගත් වනවා. ඒවා දුක්‌ ගැහැට මෙන්ම සැප සම්පත් විය හැකියි. බුද්ධිය, අධ්‍යාපනය, සමාජගත විවිධ ව්‍යාපෘති හරහා ලබන අත්දැකීම්වලින් ලබන පාඩම් ඔස්‌සේ මිනිසෙකු සම්පූර්ණ වන්නේ අතීතයෙන් ලබන පාඩම්වලිනුයි. එමෙන්ම රටක්‌, ජාතියක්‌ ගොඩනඟන්නට ඉතිහාසය පිළිබඳ දැනුම, අවබෝධය ඉතා අත්‍යවශ්‍ය වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කරන්නේ එහි තිබෙන කෞතුක භාණ්‌ඩ නැරඹීමට පමණක්‌ නොව, ඒ කෞතුක භාණ්‌ඩ හරහා ඉතිහාසය කියවීම හා අධ්‍යයනය කිරීම සඳහායි. එමගින් රටකට වැදගත් වන විශේෂ සිද්ධීන් තෝරාගෙන රටේ අනාගතය ගොඩනැගීම සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ප්‍රධාන ව්‍යාපෘතියක්‌ ලෙස මේ කෞතුකාගාරයේ වැඩ කටයුතු ආරම්භ කර අද එය විවෘත කිරීමට ලැබීම ගැන අප ඉතා සතුටට පත් වනවා.

මා අද මේ වේදිකාව පිළිබඳ ඉතා සතුටට පත්වනවා. එය අද පවතින ජාතික අවශ්‍යතාව පිළිබඳව පණිවුඩයක්‌ ලබා දෙනවා. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයෙක්‌ හා පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරයා විදියටත්, මහින්ද අමරවීර ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයෙකු ලෙසත් එකම ආණ්‌ඩුවක ඇමැතිවරුන් ලෙස එකට වාඩිවී සිටින විට එය වේදිකාවේ දර්ශනයක්‌ පමණක්‌ නොවී මා බලාපොරොත්තු වන්නේ රටට අවශ්‍ය දෙයක්‌ හැටියටයි. ජාතික ආණ්‌ඩු, සර්ව පාක්‍ෂික ආණ්‌ඩු ආදී වශයෙන් මොන විදියට හැඳින් වුවත් රට ගොඩනැඟීමට නම් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ මෙන්ම අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහයෝගය අවශ්‍ය වනවා. රටක්‌ බෙදුනාම ඒ රටට සිදුවන හානිය මහා ඛේදවාදකයක්‌ විය හැකියි. රටක්‌ බෙදීම මෙන්ම රටක ජනතාව බෙදීම රටේ යහපතට හේතු වන්නේ නැහැ. ජනතාවගේ සංස්‌කෘතිය, දේශපාලන විකාශනය යන සියල්ලක්‌ සමග රට ගොඩනඟන්නට නම් ජනතාවත් එකමතයකට එන්නට ඕනෑ. ලෝකයේ සංවර්ධනය වූ රටවල දියුණුව, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සමග ඒ රටවල් ගොඩනැඟීමට සියලු දෙනා එකට සිටින බව පෙනෙනවා. දෙසතියකට ඉහතදී නේපාලයේ සිදුවුණු ඛේදවාචකයේදී මෙන්ම 2004 දී ඇතිවූ සුනාමිය වැනි සිද්ධීන්වලදී ජෝර්ඡ් බුෂ් හා බිල් ක්‌ලින්ටන් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ දේශපාලන පක්‍ෂ කුමක්‌ වුවත් ඉදිරිපත් වෙමින් පෙනී සිටියේ රටක්‌ හැටියටයි. ඔවුන් මැතිවරණවලට තරග කරනවා. එනමුත් රට ගොඩනඟන්නට සියලු දෙනා එකතු වනවා.

කෞතුකාගාරයක්‌ විවෘත කිරීමේදී ඒ තුළ ගැබ්වන ඉතිහාසයේ සංසිද්ධීන් හා පසුබිම අනුසාරයෙන් රට ගොඩනැඟීමට අප අලුතින් සිතා සැලසුම් සකස්‌ කළ යුතු වනවා. සම්ප්‍රදායන් තුළ ගත යුතු දේ මෙන්ම බැහැර කළ යුතු දේවල් තිබෙනවා. ලෝකයේ නව තාක්‍ෂණය සහ නවීන සමාජය අනුව බැහැර කළ යුතු හා තවදුරටත් පවත්වාගෙන යා යුතු සිතුම් පැතුම් අප විසින් තෝරා බේරාගත යුතු වනවා.

මාගම්පුර අතීත ප්‍රභූත්වය ගැන මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මාගම්පුර තිස්‌සමහාරාම, කතරගම ප්‍රදේශයෙන් අනුරාධපුරයට ගොස්‌ යුද්ධ කර ආක්‍රමණිකයන් පළවා හැර පසුව පොළොන්නරුව රාජධානිය පිහිටුවා රට එක්‌සේසත් කළ මහ විජයබාහු රජතුමා වසර 57 ක්‌ මේ රටේ රජකම් කළා. ඊට පෙර විජයබාහු කුමාරයා රාජාභිෂේකය ලැබුවේ කතරගමදීයි. කතරගමදී රාජාභිෂේකය ලැබුවත් විජයබාහු රජතුමා ඊට අදාළ රාජකීය උත්සවය පැවැත්වූවේ ඊට අවුරුදු 32 කට පසුවයි. රාජ්‍යත්වයට පත්වූ සැණින් ඒ පිළිබඳ ලොකු උත්සවයක්‌ පවත්වන්නට විජයබාහු මහ රජතුමාට වුවමනාවක්‌ තිබුණේ නැහැ. එතුමාට අවශ්‍ය වුණේ පළමුව රට එක්‌සත් කර රටේ සාමය තහවුරු කරමින් ආර්ථිකය ශක්‌තිමත් කිරීමටයි.

සජිත් ප්‍රේමදාස මහතා දක්‍ෂ, කාර්යශූර හා සුබවාදී දේශපාලන අනාගතයක්‌ දකින අවංක ඇමැතිවරයෙක්‌ විදියට මා දකිනවා. එතුමා මේ දිස්‌ත්‍රික්‌කයට දෙන නායකත්වය වගේම රට ජාතිය වෙනුවෙන් ඉටුකරන වගකීම් මා ඉතා අගය කරනවා. මහින්ද අමරවීර ඇමැතිවරයා එදා මෙදා කාලය තුළ දිස්‌ත්‍රික්‌කයට නායකත්වය දෙන අතරම විවිධ අමාත්‍යධුර දරමින් ජාතික දේශපාලනයට පුළුල් කාර්ය භාරයක්‌ ඉටුකර තිබෙනවා. මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනයකරන ජ්‍යෙෂ්ඨ දේශපලානඥයකු වන නන්දිමිත්‍ර ඒකනායක සංස්‌කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිතුමා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කාර්ය මණ්‌ඩලය සමග ඉතා උනන්දුවෙන් හා කැපවීමකින් වැඩ කටයුතු කරනවා. එතුමා අප මෙහි ගෙන්වා ගෙන ඉටු කළ කාර්ය භාරය මා ඉතා අගය කරනවා. එමෙන්ම මා පසුගිය ජනාධිපතිවරණ සමයේ පටන් ඇසුරු කරන දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා ජනතාව සමග ඉතා සමීපව ඇසුරු කරන දේශපාලනඥයෙක්‌. දොස්‌තර පී. එම්. බී. සිරිල් මැතිතුමාගේ මුහුණ දැකීමෙන් මට විශාල සතුටක්‌ ඇතිවුණා. මා 1989 දී මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි සමයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි දොස්‌තර පී. එම්. බී. සිරිල් මැතිතුමා ගැන මා මීට පෙරත් බොහෝ දේ කතා කර තිබෙනවා. එතුමා "ඩොක්‌ටර් සිරිල්" නමින් මා කුඩා කාලයේ සිටම දැන සිටි කෙනෙක්‌. පොළොන්නරුව රෝහලේ වෛද්‍යවරයෙක්‌ ලෙස කටයුතු කළ කාලයේ මගේ තාත්තා මාව බයිසිකලයේ තබාගෙන එතුමා ළඟට ගෙන ගොස්‌ බෙහෙත් අරන් දී තිබෙනවා. 1989 දී මා මුල්වරට පාර්ලිමේන්තුවට ගිය අවස්‌ථාවේ "මාව හඳුනන්න පුළුවන්ද" කියා මා එතුමා ළඟට ගොස්‌ ඇසුවා. අද එතුමා දකිද්දී ඇතිවූ සතුට සමග මගේ පියා සමග පොළොන්නරුවේ ගත කළ අතීතය මතක්‌ වුණා.

අද අප සියලු දෙනාම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේදී සියලු දෙනා අතර පැවතිය යුතු සමගිය, සහෝදරත්වය අධිෂ්ඨානශීලී භාවය වැඩිදියුණු වේවායි මා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුළ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුවුණු සංවර්ධන කටයුතු අඛණ්‌ඩව අපේ ආණ්‌ඩුව විසින්ද ඉදිරියට ගෙන යන බවද මා විශේෂයෙන්ම සඳහන් කරනවා.

නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා

අද ජනාධිපතිතුමන් අතින් විවෘත වුණු මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය පසුගිය රජය ආරම්භ කළ වැදගත් ව්‍යාපෘතියක්‌ හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. රටක ක්‍රියාත්මක වන හොඳ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ප්‍රශංසා කරන්නට අප හැමවිටම පැකිලීමකින් තොරව ඉදිරිපත් වනවා. මෙවැනි සුවිශේෂී ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉකුත් රජයට අප තුති පුදනවා. එමෙන්ම මේ ශක්‌තිමත් සංස්‌කෘතික වැඩසටහන විවෘත කිරීමට සිය වටිනා කාලය මිඩංගු කරමින් අපේ දිස්‌ත්‍රික්‌කයට වටිනාකමක්‌ එකතු කිරීමට පැමිණීම පිළිබඳව ජනාධිපතිතුමන්ට අපගේ ස්‌තූතිය හා ප්‍රණාමය පුද කරනවා. මෙරට සිවිල් සේවාවේ ප්‍රසිද්ධියක්‌ හිමි කරගත් "බැද්දේගම" කෘතිය රචනා කළ ලෙනාඩ් වුල්ෆ් මැතිතුමා උප දිසාපතිවරයෙකු ලෙස කටයුතු කළ මධ්‍යස්‌ථානය අද කෞතුකාගාරයක්‌ බවට පරිවර්තනය වී තිබෙනවා. එවකට තිබුණු උසාවි ගොඩනැඟිල්ල, එල්ලුම් ගස, එමෙන්ම ලෙනාඩ් වුල්ෆ් මැතිතුමාගේ නිල නිවස, මාටෙල් කුලුන ආදී සියලු අංගෝපාංග එක්‌කොට ගෙන මේ කෞතුකාගාරය නිර්මාණයවී තිබෙනවා. මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශන ශාලාවට රුහුණු මාගම්පුර ඉතිහාසය, රුහුණේ කලාව හා වාස්‌තු විද්‍යාව, යුරෝපා පාලන අවධියේ විස්‌තර, නිදහසින් පසු මාගම්පුරය හා රෝහණයේ ස්‌වාභාවික උරුමය පිළිබඳව සියලු කරුණු කාරණා ඇතුළත්වී තිබෙනවා.

අපේ වත්මන් ජනාධිපතිවරයා රටේ යහපාලනයක්‌ ඇතිකර දූෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම පිටුදැක මාතෘ භූමිය වෙනුවෙන් ඓතිහාසික කැප කිරීමක්‌ කළ යුග පුරුෂයෙකු ලෙස මා දකිනවා. තමන්ගේ මෙන්ම සිය පවුලේ සාමාජිකයන් ජීවිතවල අවදානම නොතකා, මමත්වය පසෙකලා ඉතා අනතුරුදායක බලවේගවලට මුහුණ දෙමින් රටේ පුරවැසි පරපුරේ සුබසිද්ධිය උදෙසා එතුමා ගත් තීන්දුවට අති විශිෂ්ට ජන වරමක්‌ ලැබුණා. දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍ය පාලනය, නිහතමානී රාජ්‍ය නායකත්වය, රාජ්‍ය සම්පත් අවමව භාවිතා කිරීම, නාස්‌තිය පිටුදැකීම, පෞද්ගලිකත්වය හා පවුල්වාදය බැහැර කිරීම වැනි විප්ලවීය ගුණාංග අද රටේ ක්‍රියාත්මක වනවා. රාජ්‍ය නායකයෙකු හැටියට ස්‌ව කැමැත්තෙන් තමන් සතුව තිබුණු විධායක බලතල රට හා රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට එතුමා ඓතිහාසික තීන්දුවක්‌ ගත්තා. මුළු රටම වෙලාගත් පුළුල් සංවර්ධන යුගයක්‌ බිහි කිරීමට අද එතුමා නායකත්වය, දායකත්වය, මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා. අද විවෘත වන්නේ "ටවර් හිල්" සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර පමණයි. එහි ඉදිරි පියවර ගැන අංගසම්පූර්ණ වාර්තාවක්‌ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනවා. පසුගිය රජය ආරම්භ කළ මේ යහපත් ව්‍යාපෘතියේ දෙවන, තුන්වන, හතරවන හා පස්‌වන පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ පූර්ණ ශක්‌තිය හා සහයෝගය අප වෙත ලැබේ යයි මා විශ්වාස කරනවා.

http://www.divaina.com/2015/05/12/news25.html

Pic Source

සතුන්ගේ අසිරිය නිදහසේ විඳ ගන්න "පින්නවල එළිමහන් සත්වෝද්‍යානය" ට එන්න

පින්නවල ඉදිකළ එළිමහන් සත්වෝද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයනට නිදහසේ නැරඹීමට හැකිවන අයුරින් අප්‍රේල් 17 දින සිට අවස්‌ථාව ලැබී ඇත. මෙහි විශේෂත්වයක්‌ වන්නේ මෙම සත්වෝද්‍යානය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්‌තව සකස්‌ කර තිබීමයි.

මෙය නැරඹීමට එන්නා වූ මෙන්ම සතුන් ගැන අධ්‍යාපනයක්‌ ලැබීමට එන අය හට එය පහසුවෙන් තම සිතැඟි ඉටුකර ගැනීමට කටයුතු පිළියෙල වී තිබේ. අධ්‍යාපනය ලැබීමට පහසුවන අයුරින් ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය දෙහිවල වැනි සත්වෝද්‍යානවල ඇති ඉඩකඩ ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් සතුන් එම පරිසරයට හුරුකර ඇත.

ලංකාවේ පළමු සත්ව පාලක තනතුර හිමිකරගත් උදාරි හෙට්‌ටිආරච්චි මෙනවිය ඇතුළු කණ්‌ඩායම් සතුන් පරිසරයට හොඳින් හුරුකර ඇත. පළමු අදියර යටතේ ශ්‍රී ලංකානු දිවියන් (කොටියා), මුවන්, මීමින්නන්, ගෝනුන්, හාවුන් ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික වූ සතුන් මෙම එළිමහන් සත්වෝද්‍යානයේ දී ජනතාවට නැරඹීමට පහසුකම් සලසා ඇති අතර, අක්‌කර 28 ක භූමියක්‌ පුරා විසිරී ඇති පින්නවල සත්වෝද්‍යානය අදාළ, පින්නවල සංචාරක කලාපයේ පිහිටා තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අතර ජනප්‍රිය තැනක්‌ වනු ඇතැයි, එහි පාලන අධිකාරිය විශ්වාසය පළකරයි.

අඩු සීමිත ඉඩකඩ ප්‍රමාණයක දිවි ගෙවන සමහර සතුන් පින්නවල පරිසරයට නුහුරු බවක්‌ දක්‌වන බැවින් ඔවුන් පරිසරය සඳහා පුහුණු කිරීම විශාල වගකීමක්‌ බවත් ඒ සඳහා විශාල කැපවීමක්‌ කළ යුතු බවද පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ සේවකයෝ පවසති.

මෙම සත්වෝද්‍යානය අප්‍රේල් 17 දා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රමුඛ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. විද්යුත් ප්‍රවේශපත්‍රයක්‌ රැගෙන පින්නවල සත්වෝද්‍යානයට ඇතුළු විය හැකි "කුඩා දරුවන්හට" සතුටුවිය හැකි අයුරින් හාවුන්, මුවන් හා මීමින්නන්ගෙන් සපිරි උද්‍යාන පහසුකම් ද ඒ සඳහා වෙන් වූ කුටිද මෙහි ඉදිකර ඇත. 

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ එහි සත්ත්ව පාලක තනතුර දරන උදාරි හෙට්‌ටිආරච්චි මෙනවිය අදහස්‌ දක්‌වමින් මෙසේ කීවාය.

"මෙම සතුන් සමග එක්‌ව ගතකරන කාලය හරිම විනෝදයි. මේ සතුන්ට කතා කරන විට දී සතුන් විවිධ ප්‍රතිචාර දක්‌වනවා. සතුන්ට ආදරයෙන් කතා කරන විටදී ඔවුන් ඊට විවිධ අයුරින් ප්‍රතිචාර දක්‌වනවා. සමහර මිනිසුන්ට වඩා හොඳ ගතිගුණ මේ සතුන්හට තිබෙනවා" යෑයි පැවසීය.

වසර "16" ක පමණ කාලයක සිට මෙම පින්නවල සත්වෝද්‍යානයේ ඉදිකිරීම් ඇරඹී ඇති අතර එක්‌ එක්‌ විෂය භාර ඇමැතිවරුන් හරහා කලින් කලට ඉදිකිරීම් නිමකොට ඇත.

මෙම සත්වෝද්‍යානය ඉදිකළ භූමිය සබරගමු පළාත් සභාව සතු කෘෂිකර්ම ගොවිපල වූ අතර සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙම ඉඩම සත්වෝද්‍යාන කටයුතු සඳහා පවරා දීම සම්බන්ධයෙන් විශාල දායකත්වයක්‌ ලබාදී ඇත. සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා රේණුකා බණ්‌ඩාර යන මහත්ම මහත්මීන්ගේ කැපවීම මත සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උනන්දුව මත පසුගිය අප්‍රේල් 17 දින උද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන් වෙනුවෙන් විවෘත කෙරිණි.

http://www.divaina.com/2015/05/12/feature03.html

ඔළු පලන, ගිණි තියන මනාප ක්‍රමය 20 න් අහවර වෙනවා – කැෆේ

20 වන සංශෝධනය තුලින් බිහිවන කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමය තුලින් නැවත වරක් කාන්තාවන්ට තමන්ගේ මැතිවරණ කොට්ඨාශයට පමණක් වගකියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වෙන්නට පුඵවන්. අපි මේ ක්‍රමය වෙනස් කළේ නැත්නම් ලෝකයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත රාජ්‍යයන් අතරට ලංකාව වැටෙන්නට පුඵවන්. යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පදනම් ආයතනයේ පැවති 20 වන සංශෝධනය සහ කාන්තා නියෝජනය තහවුරු කිරීමේ මාවත මැයෙන් වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

ඔඵ පලන, ගිනි තියන, මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද දවසේ අප වෙත පැවරිලා තියෙන තීරණාත්මකම කාර්ය භාරයයි. මනාප යුද්ධය නැති මැතිවරණ ක්‍රමයක් බිහි වුනොත් විතරයි පිරිමි පරද්දවලා කාන්තාවන් පාර්ලිමේන්තු එන යුගයක් නැවත බිහි වෙන්නේ. සිරිමාවෝ, විවියන්, තමරා, චන්ද්‍රිකලා බිහිවෙන්නේ. මනාප ක්‍රමය පටවලවා ගත් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය තුල ඉඩක්නෑ බෝම්බ ගහන, ගිණි තියන අල්ලස් දෙන, පිරිස් අතර කාන්තාවන්ට තරගයක් දෙන්නට බෑ. එතන තියෙන්නේ අසමාන තරග බිමක්.

ලංකාවේ ජනගහනයෙන් 55% ක් වන කාන්තාවන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ඇති කරන්න පුඵවන් පළමු මාර්ගය මේ මනාප යුද්ධය තියෙන මැතිවරණ ක්‍රමය අවසන් කිරීමයි. ඒ සදහා අවශ්‍ය පසුබිම 20 වන සංශෝධනයෙන් වැටී තිබෙනවා. දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයෙන්, ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන්ට ඉඩක් ලබාදීම මේ රටේ ශිෂ්ඨ දේශපාලන පක්ෂවල වගකීමක්. එහෙම නොකරන, කාන්තාවන්ට දොර වාහන දේශපාලන පක්ෂවලට ඡන්දයේ දී දොර වැසීම මේ රටේ සියළු කාන්තාවන්ගේ වගකීමක්. හැම ඡන්ද කොට්ඨාශයකම ඒ දෙය කරන්න බැරි වෙන්න පුඵවන්. නමුත් කොට්ඨාශ ක්‍රමය තුල අපි හැමදාම දැකලා තියෙනවා විමලා කන්නංගර, සුනේත්‍රා රණසිංහ, අමරා පියසීලි, රේණුකා හේරත් ලා පිරිමි පරදවලා පාර්ලිමේන්තු ආවා. කුසුමා කරුණාරත්න, තමරා ඉලංගරත්න ලා ඒ දේ කලා. විවියන් වගේ යකඩ කාන්තාවන්ට වත් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ නම් පාර්ලිමේන්තු යන්නට ලැබෙන්නේ නෑ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය කාන්තා නියෝජනය තහවුරු වන පරිදි පුඵල් කරන්නට අවශ්‍යයි. එහෙම කරන්න බැරිනම් අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක් වෙන්නේ නෑ. කේවල ක්‍රමය තුල ඒ සදහා අවශ්‍ය මුලික පසුබිම සකස් වෙනවා යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

මහචාර්ය රොහාන් සමරජීව, අශෝක අභයගුණවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි විය.

http://lankafocusnews.com/?p=41095

Pic Source

වන සම්පත ආරක්‍ෂා කර ගැනීමට තමා සතු විධායක බලය උපරිමයෙන් භාවිතා කරනවා – ජනපති

මෙරට ඉතිරි වී ඇති වන සම්පත ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් තමා සතු විධායක බලය උපරිමයෙන් භාවිත කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බවට වාර්තාවේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පරිසර සංගමය විසින් සංවිධාන කර තිබු සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින් හෙතෙම මේ බව පවසා ඇත.

මෙරට වැඩිම වන ඝනත්වයක් ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල බවත් යුධ පිටියක් වු එම ප්‍රදේශවල පරිසරය ආරක්‍ෂා වී තිබුණ ද සෙසු ප්‍රදේශවල පරිසරයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය පරිසර සුන්දරත්වය මෙන්ම පාරම්පරික වටිනාකම් ආරක්‍ෂා කිරීමේ දී මෑත ඉතිහාසයේ දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද දක්වා ඇති සංවේදීතාව ප්‍රශ්න කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති බවට වාර්තාවේ.

පසුගිය දශක කිහිපයක දී සිදුවු මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රමවලදී ද, මෑත ඉතිහාසයේ කිසිඳු පරිසර අධ්‍යයනයකින් තොරව සිදුකළ සංවර්ධන වැඩසටහන් හේතුවෙන් ද මෙරට පරිසරය දැඩි ලෙස විනාශ වු බව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇැත.

http://lankafocusnews.com/?p=41088

Pic Source

Monday, May 11, 2015

මසාඡ් සෙන්ටර් ඒඩ්ස්‌ වපුරයි

ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරීම අවම මට්‌ටමක පවතින බවත් රෝගය පිළිබඳව අවදානම් කණ්‌ඩායම් නිසි පරිදි දැනුවත් වී ඇති බවත් මෙතෙක්‌ මෙරට සෞඛ්‍ය බලධාරින් විසින් නිරතුරුව සිදු කරන ලද ප්‍රකාශකයක්‌ විය. ඔවුනට අනුව ශ්‍රී ලංකාව ලොව එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය අඩුම පැතිරීමක්‌ පෙන්නුම් කරන රටකි.

කරුණු කෙසේ වුවද එච්.අයි.වී./ ඒඩ්ස්‌ වැනි රෝගයක්‌ සමාජය තුළ පැතිරවීමට හේතු කාරක විය හැකි අවදානම් කණ්‌ඩායම් හා ඔවුන් අතර පවතින අවදානම් චර්යාවන්හි වැඩි වීමක්‌ මිස අඩු වීමක්‌ දක්‌නට නොලැබීමෙන් ඉහත කී ප්‍රකාශය කෙතරම් සත්‍යදැයි නැවත සිතා බැලීමට අවශ්‍යව තිබේ. මේ මොහොත වන විටද එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය මෙරට සමාජය තුළ පතුරවමින් අවදානම් චර්යාවන්හි නිරත වන පිරිස්‌වල වැඩිවීමක්‌ මිස අඩු වීමක්‌ නම් දක්‌නට නොලැබේ.

මෙරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරවීමට සෘජුවම දායකත්වයක්‌ දරනු ලබන අනියම් ලිංගික සබඳතා පවත්වනු ලබන පිරිස්‌, ලිංගික ග්‍රමිකයින් (ගණිකාවන්), මත්ද්‍රව්‍ය එන්නත් කර ගන්නන්, බීච් බෝයිස්‌ යන කණ්‌ඩායම් අතරට සම්බාහන මධ්‍යස්‌ථානවල (මසාඡ් සෙන්ට(ර්)ස්‌) සේවය කරනු ලබන තරුණියන්ද මේ වන විට එක්‌ව අවසානය. මෙකී සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් එච්.අයි.වී. පතුරුවන අවදානම් කණ්‌ඩායමක්‌ ලෙස මෙතෙක්‌ හඳුනාගෙන නොතිබිණි.

එහෙත් සම්බාහන කටයුතු (බොඩි මසාඡ්) සිදු කරන අතරතුර තම ගැනුම්කරුවන්ට ලිංගික සේවාවන්ද සැපයීම හේතුවෙන් මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ද එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගය මෙරට සමාජය තුළ පැතිරවීමට වැඩි දායකත්වයක්‌ සපයන බවට මේ වන විට අනාවරණය වී තිබේ. මෙකී සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ද ලිංගික ශ්‍රමිකයන් සපයන සේවාවම සපයන බව අනාවරණය වී ඇති අතර එම තරුණියන්ගෙන් වැඩිදෙනා වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් බව මේ වන විට හෙළි වී තිබේ.

සැබැවින්ම සෙසු එච්.අයි.වී./ ඒඩ්ස්‌ අවදානම් කණ්‌ඩායම් මෙන්ම මෙකී සම්බාහන කටයුතුවල නිරත තරුණියන්ද එච්.අයි.වී. ඒඩ්ස්‌ රෝගය පිළිබඳව හෝ එම රෝගය පැතිරෙන ආකාරය පිළිබඳව නිසි අවබෝධයකින් පසු නොවන බව හෙළි වීම කනගාටුවට කරුණකි. පසුගිය වසර ගණනාවක්‌ පුරාම මෙරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ මර්දන කටයුතුවල ප්‍රධාන ඉලක්‌කගත කටයුත්ත වූයේ මෙකී අවදානම් කණ්‌ඩායම් අතර එච්.අයි.වී පැතිරීම පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම බව නොරහසකි. එහෙත් එම ඉලක්‌කය කෙසේ හෝ සාර්ථක වී නොමැති බව පෙනී යනුයේ එම අවදානම් කණ්‌ඩායම් හරහා එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගය සමාජය තුළ පැතිර යැමේ හැකියාව ඉහළ මට්‌ටමක පවතින බව හෙළි වීමයි.

එච්.අයි.වී./ඒඩ්ස්‌ අවදානම් කණ්‌ඩායමක්‌ වන සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් එම රෝගය තබා එය වැළඳෙන ආකාරය හෝ දන්නවාදැයි සැක සහිතය. කොටින්ම මෙම තරුණියන්ගෙන් බහුතරය වන වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාල සිසුවියන් බොහෝ විට ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇත්තේද අහම්බෙන් බව අනාවරණය වී තිබේ. සම්බාහන කටයුතු සඳහා යෑයි පවසමින් රැකියාවට බඳවා ගෙන ඇති මොවුන්ට මේ වන විට සම්බාහන කටයුතුවලට අමතරව ඔවුන්ගේ සේවය පතා පැමිණෙන ඇතැම් දෙස්‌ විදෙස්‌ පිරිමින් හා කාන්තාවන්ට ලිංගික සේවය සැපැයීමටද සිදුව ඇති අතර එම සේවය ලබන ඇතැමුන් ඔවුන් විසින් තෝරාගන්නා තරුණියන්ගේම සේවය නැවත නැවත ලබා ගැනීමට පෙළඹී ඇති බව අනාවරණය වී තිබේ.

මෙහි අවසන් ප්‍රතිඵලය ඉහත කී තරුණියන් එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය ඇතුළු දරුණු සමාජ රෝගවලට ගොදුරු වී ඔවුන් හරහා සමාජය තුළ එම රෝගයන් පැතිරීම සිදුවීමය. අවාසනාවකට මෙම පිරිස්‌ මෙසේ සම්බාහන මධ්‍යස්‌ථානවල ලිංගික ශ්‍රමිකයින් බවට පත් වී ඇති බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව හෙළි වී තිබේ.

වත්මන් එච්.අයි.වී./ ඒඩ්ස්‌ නිවාරණ වැඩසටහන් වල රෝගය පිළිබඳ දැනුවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු කණ්‌ඩායමක්‌ වන මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන්ට එම දැනුවත් භාවය ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක්‌ තවමත් ක්‍රියාත්මක නොමැති බව පෙනී යන කරුණකි.

සමාජය තුළ එච්.අයි.වී./ඒඩ්ස්‌ නිහඬව පතුරුවන කණ්‌ඩායමක්‌ වන මොවුන් ප්‍රසිද්ධියේ කොළඹ ගෙන්වා හෝ සායනයන් හරහා ඔවුනට එච්.අයි.වී. / ඒඩ්ස්‌ සම්බන්ධව අධ්‍යාපනය ලබාදීම එතරම් සාර්ථක වූ පියවරක්‌ ලෙස නොපෙනෙනුයේ ලිංගික ශ්‍රමිකයින් මෙන්ම ඔවුන්ද තමන් ලිංගික සේවාවන් සපයනු ලබන කණ්‌ඩායමක්‌ බවට අන් අය දැනගනී යෑයි බියෙන් එම වැඩසටහන්වලට සහභාගි වීම මඟහරින බව අනාවරණය වී තිබීම නිසාය.

එසේ නම් මෙම සම්බාහන මධ්‍යස්‌ථානවල සේවය කරන තරුණියන් මෙන්ම ලිංගික ශ්‍රමිකයින් සඳහා එච්.අයි.වී./ ඒඩ්ස්‌ පිළිබඳ දැනුවත් භාවය ලබා දීමට නම් ඔවුන් සිටින ස්‌ථානවලට ගොස්‌ හමුවී එම දැනුවත්භාවය ලබා දීම අත්‍යවශ්‍ය කරුණක්‌ව තිබේ. ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන්ද මෙම තත්ත්වය අදාළ වන අතර බොහෝ ලිංගික ශ්‍රමිකයින් පැල්පත් හා මුඩුක්‌කු ආශ්‍රිතව ජීවත් වීම නිසා එම ස්‌ථාන වෙත ගොස්‌ ඔවුන් වෙත එච්.අයි.වී./ ඒඩ්ස්‌ පැතිරීම හා එය වළක්‌වා ගැනීම පිළිබඳ දැනුවත් භාවය ලබා දීම කාලීන අවශ්‍යතාවයක්‌ බවට පත්ව ඇත.

මෙකී කාර්යය සඳහා පුනරුත්ථාපනය වූ ලිංගික ශ්‍රමිකයින් මෙන්ම එච්.අයි.වී./ ඒඩ්ස්‌ පිළිබඳ දැනුම ලැබූ ලිංගික ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගත හැකිය. බන්ධනාගාරවල රඳවා සිටින ලිංගික ශ්‍රමිකයින්ද පුනරුත්ථාපනය වූ පසු මෙකී කටයුතු සඳහා සහභාගි කර ගැනීමට බලධාරීන් සැලසුම් සකස්‌ කළ යුතුව ඇත. එවැනි ප්‍රායෝගික වූ වැඩපිළිවෙළක්‌ හරහා ලිංගික ශ්‍රමිකයින් අතරට එච්.අයි.වී./ ඒඩ්ස්‌ රෝගය පැතිරීම පිළිබඳ පණිවිඩය ඵලදායී අයුරින් ගෙන යා හැකි නම් එය මෙරට එච්.අයි.වී. මර්දන වැඩපිළිවෙළ සාර්ථක මට්‌ටමකට ගෙන ඒමට මහෝපකාරි වනු නොඅනුමානය.

වර්තමානයේ දී වැඩි වශයෙන්ම අත්අඩංගුවට ගැනෙනුයේ ලිංගික ශ්‍රමිකයින් මිස ගණිකා මධ්‍යස්‌ථානවල හිමිකරුවන් නොවීම නිසා එසේ අත්අඩංගුවට පත්වන ලිංගික ශ්‍රමිකයන් පුනරුත්ථාපනය කෙරුණද ඔවුන් සේවය කළ ගණිකා මධ්‍යස්‌ථානවල හිමිකරුවන් විසින් වෙනත් තරුණියන් පිරිසක්‌ ලිංගික ශ්‍රමිකයින් බවට පත්කර එම මධ්‍යස්‌ථාන පවත්වාගෙන යැම සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ.

මේ අනුව ලිංගික ශ්‍රමිකයින් බිහිවීම වළක්‌වා ගැනීම අසීරු කර්තව්‍යයක්‌ වී ඇත්තේ මෙම සමාජ ක්‍රමයෙහිම පවතින වරදක්‌ නිසාය. එසේ නම් අඩුම වශයෙන් එම ලිංගික ශ්‍රමිකයින් හරහා සමාජයේ ස්‌වාමිපුරුෂයින්ද එම පුරුෂයින් හරහා ඔවුන්ගේ අහිංසක බිරින්දැවරුන්ද එච්.අයි.වී./ඒඩ්ස්‌ රෝගයේ ගොදුරු බවට පත්වීම වැළැක්‌වීමට නම් රෝගයෙන් ආරක්‍ෂා වන අයුරු පිළිබඳව හෝ නිසි දැනුවත්භාවය ඔවුනට ලබාදීම අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබේ.

කරුණු එසේ නම් ශ්‍රී ලංකාවද ඉන්දියාව මෙන් ඒඩ්ස්‌ සුරපුරක්‌ වීම වැළැක්‌වීම සඳහා සෞඛ්‍ය බලධාරින් දැන්වත් ඉහත කී අයුරින් ප්‍රායෝගික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුව තිබේ. මේ සඳහා පුනරුත්ථාපනය වූ ලිංගික ශ්‍රමිකයින්ගේ මෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ සහාය ලබා ගැනීම එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහෝපකාරි වනු ඇත.

ඒමන්ති මාරඹේ, තොරතුරු සැපයුම - නාරාහේන්පිට ජනගහන අංශය හා ලිය අභිමානි කාන්තා එකමුතුව
http://www.divaina.com/2015/05/10/feature04.html

සාම්පූර් කඳවුර ඇත්තටම අයින් කරනවාද?

ත්‍රිකුණාමලය පිහිටි සාම්පූර් විදුර නාවික හමුදා කඳවුර ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කරති. ඉන්දියාවේ බලපෑම මත මෙය ඉවත් කිරීමට සූදානම් වන බව පිරිසක්‌ පවසති. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සහාය දුන් ද්‍රවිඩ ජනතාව සතුටු කරවීම සඳහා මෙම කඳවුර ඉවත්කරන බවට තවත් පිරිසක්‌ චෝදනා කරති.

අක්‌කර 237 ක භූමි භාගයක්‌ පුරා පවතින මෙම විදුර නාවික කඳවුර පිහිටු වනු ලැබුවේ 2007 නොවැම්බර් මස 05 වැනිදාය.

නාවික හමුදා ආධුනික නිලයන් පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මෙය පිහිටුවන ලදී.

1995 අප්‍රේල් මස 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදීන් විසින් පළවුවරට ත්‍රිකුණාමලය වරායේ පිහිටි නාවුක තටාකාංගණයට හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණසූර හා සූරයා නැව්වලට පහරදෙන ලදී. ඉන්පසු එම වසරේම ඔක්‌තෝබර් මස 17 වැනිදා කොටි ත්‍රස්‌තවාදී පිහිනුම්කරුවකු විසින් තටාකාංගණයේ නවතා තිබූ ඒ 512 යාත්‍රාවට පහර දෙනු ලැබීය.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට වරින්වර එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාර නිසා වරායේ ආරක්‌ෂාවටත් සාම්පූර් ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජනතාවගේ රැකවරණයටත් සාම්පූර් විදුර කඳවුර පිහිටුවීමට හේතු විය.

මෙම කඳවුර පිහිටුවීමට පෙර සාම්පූර් ප්‍රදේශයේ ද්‍රවිඩ පවුල් 1,272 ක්‌ පමණ පදිංචිව සිට ඇත. කොටි ත්‍රස්‌ත ප්‍රහාර නිසා මෙම ජනතාව සිය ගම්බිම් හැරදා යන්නට වූහ.

විදුර හමුදා කඳවුර ප්‍රදේශයේ පමණක්‌ පවුල් 579 ක්‌ පමණ පදිංචිව සිට ඇත.

සාම්පූර් ප්‍රදේශය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන ආරක්‌ෂක හමුදාව යටතට ගැනීමෙන් පසු 2006 වසරේ සිට මෙම ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳව රජය අවධානය යොමුකරන ලදී.

2006-09-04 වැනිදා රජයේ නිල අඩවියේ පළවූ වාර්තාවකට අනුව ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ එවකට සිටි මාධ්‍ය ප්‍රකාශක මේජර් රාජපක්‌ෂ පවසා තිබුණේ නැගෙනහිර වරාය නගරයේ සාම්පූර් හමුදාව විසින් අල්ලාගෙන හමුදා බාරයේ පවතින බැවින් සිවිල් වැසියනට බියෙන් තොරව නැවත පදිංචිවිය හැකි බවය.

කෙසේ නමුත් මෙම යළි පදිංචි කරවීමේ කටයුතු සිදුවූයේ මන්දගාමීවය.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග උතුර නැගෙනහිර අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකර ඇත. ඒ අනුව අක්‌කර 237 ක භූමි ප්‍රදේශයක පැවැති සාම්පූර් විදුර නාවික කඳවුර එම ස්‌ථානයෙන් ඉවත්කර ඊට යාබද අක්‌කර 150 ක භූමිභාගයක ඉදිකිරීමට මේ වනවිට තීරණය කර ඇත. එම කටයුතු ඉදිරි මාස 06 ක පමණ කාලය තුළ නිමවූ පසු දැනට විදුර කඳවුර පිහිටි භූමි ප්‍රදේශයේ සිටි මුල් පදිංචිකරුවන් පත් කිරීමට රජය සූදානම් වේ.

සාම්පූර් විදුර හමුදා කඳවුර පිහිටි භූමි ප්‍රදේශයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජනතාව දැනට අවතැන් කඳවුරුවල ඉතා දුෂ්කර දිවියක්‌ ගතකරති. මෙම මුල් පදිංචිකරුවන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ආදීන්ගෙන් හඳුනාගෙන යළි පදිංචි කරවීමට රජය තීරණය කර ඇතැයි නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙය ඉන්දියාවේ හෝ කිසිදු දේශපාලන පක්‌ෂයක බලපෑම මත නොව අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ රජයේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසයි.

අවතැන්වූ ජනතාව යළි පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 125 ක්‌ පමණ වැය වෙතැයි ගණන් බලා ඇතැයිද එම සම්පූර්ණ මුදල මහා භාණ්‌ඩාගාරය මගින් ලබාදෙන බවත් පවසන ආණ්‌ඩුකාරවරයා ද්‍රවිඩ ජනතාව ගැන අනුකම්පාවෙන් කතා කරන විදෙස්‌ රටවල සිටින ද්‍රවිඩ ජනතාවටත් ද්‍රවිඩ ඩයස්‌පෝරාවටත් තම ජනතාවට උදවු උපකාර කිරීමට දැන් අවස්‌ථාව උදාවී ඇතැයි පවසයි.

මම ඉල්ලා සිටිනවා දෙමළ ඩයස්‌පෝරාවෙන් දැන් ඔබට අවස්‌ථාව උදාවී තිබෙනවා. ඔබේ අවතැන්ව සිටින ජනතාවට උදවු කරන්න. එතකොට අපට මෙම අවතැන්වූවන් යළි පදිංචි කරවීම පහසුවෙනවා යෑයි නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා විවෘත ආරාධනාවක්‌ කර සිටී.

2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ පරාජයට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව සමත්වීමත් සමග මේ වනවිට උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් සිවුදිගම එකට එක්‌වී එකම රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

එම රට තුළ පිරිසක්‌ අවතැන් කඳවුරුවල හිඳ අති දුෂ්කර දිවියක්‌ ගත කිරීමටත් තවත් පිරිසක්‌ සැපපහසු ලෙස නිවාසවල හිඳිමින් දිවි ගෙවීමත් යනු යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල රටේ සියලු ජනතාවට නිසි අයුරින් බෙදී ගොස්‌ නැති බවකි.

එනිසා සාම්පූර්හි විදුර කඳවුර ඉවත් කිරීම පිළිබඳව මැදිහත් සිතින් බලා සිටිය යුතුය. ආණ්‌ඩුව මේ සිදු කරන්නේ අවතැන් වූවන් සිය ඉඩකඩම්වල යළි පදිංචි කරවීමේ අවංක ෙච්තනාවෙන් නම් ඊට අප සියලු දෙනා සහාය දැක්‌විය යුතුය.

අවතැන් වූවන් යළි පදිංචි කරවීමේ මුවාවෙන් කාගේ හෝ යටි අරමුණක්‌ ඉටුකරන්නේ නම් එය ත්‍රිවිධ හමුදාවන් ලැබූ යුද ජයග්‍රහණය පාවාදීමකි.

සම්පූර්ණ නගරයක්‌ ලෙස හැඳින්වූ මෙම ප්‍රදේශය පසු කලෙක සාම්පූර් බවට පත්ව ඇත. එම සම්පූර්ණ නගරය යළි සැබෑවටම සම්පූර්ණවනු දැකීම අප කාගේත් පැතුමය.

උපාලි ද සේරම්
http://www.divaina.com/2015/05/10/feature11.html

දුවන මිනිසුන් අතර නවතින අතළොස්‌ස අතරට ඔබත් එකතුවෙන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ

භික්‍ෂුව මුණගැසීමට මවුපිය දෙපළක්‌ පැමිණියා. ඒ දෙපළ දීර්ඝ කාලයක්‌ විදේශගතව ජීවත්වුණු අය. මේ දෙදෙනා කුටියට පැමිණිලා මුලින්ම භික්‍ෂුවට වන්දනා කළා. දෙවැනුව දෙදෙනාම අඬන්න පටන්ගත්තා. භික්‍ෂුව විමසුවා මොකක්‌ද ප්‍රශ්නය කියලා. ඒ වෙලාවේ ඒ මහත්තයා කියනවා 'හාමුදුරුවනේ අපට ඉන්නේ එකම එක දියණියක්‌ විතරයි. එයාගෙ විවාහය උත්සවශ්‍රීයෙන් කරන්න අහවල් හෝටලයට මුදලුත් බැඳලයි තිබුණේ. ඒත් අවසන් මොහොතේ මනමාල පාර්ශ්වයෙන් මංගල්‍යය නතර කළා. ඇතිකරගත් වැරදි වැටහීමක්‌ නිසා' 

මේ වෙලාවේ භික්‍ෂුව කල්පනා කළේ, මනමාල පාර්ශ්වයේ වරද ගැන නොවේ. අදාළ දියණියට මෙවැනි බලාපොරොත්තු කඩවීමක්‌ සිද්ධවෙන්න ඇය පෙර ජීවිතයේ මොන වගේ අකුසලයක්‌ කරගන්න ඇතිද කියලයි. ඔබේ ජීවිතය ඉදිරියට එන ප්‍රශ්නයට හේතුව, සබෑම ඉලක්‌කයට යොමුකොට ඔබට දකින්න පුළුවන් නම්, මේ ජීවිතයේදී ඔබෙන් සිදුවන අකුසල් සංස්‌කාරයන් බොහෝ දුරට අඩුකොට ගැනීමට ඔබට ශක්‌තියක්‌ ලැබෙනවා. 

කුසලයන් අකුසලයන් සමග දෝලනය වෙමින් යන මේ භව ගමන නැවතීමකින් තොරව ඉදිරියට ගලාගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීතයේ බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ පහළවූවා සේම, අනාගතයේදී බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌ පහලවෙනවා කියලා. ඒ කියන්නේ ලෝකය තව කල්ප සියක්‌කෝටි, ප්‍රකෝටි ගණනක්‌ ඈතට ගලාගෙන යනවා. නැවතීමක්‌, නිමාවක්‌, අවසානයක්‌ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි කියලා. මොනවද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ. සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. කුසල් සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. අකුසල් සංස්‌කාර කැඩෙමින්, බිඳෙමින් විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. නැවතීමක්‌, නිමාවක්‌ නැහැ. 

දේශපාලනය කරන මහත්මයෙක්‌ භික්‍ෂුව හමුවට පැමිණියොත්, ඒ මහත්මයාට අනිත්‍යය වඩන්න කියලා භික්‍ෂුව කියන්නේ නැහැ. ඒ මහත්මයාට කියන්නේ සිල්පද පහ රැකගෙන දේශපාලනය කරන්න කියලයි. මොකද දේශපාලනය කරන කෙනා අනිත්‍යය වඩන්න ගියොත් රට අරාජික වෙන්න පුළුවන්. කලාකටයුතු කරන කෙනෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණියොත් ඒ කලා කාරුවාට භික්‍ෂුව පායාස නිරය ගැන කියන්න යන්නේ නැහැ. ඒ මහත්මයාට කියන්නේ සිල්පද පහ රැකගෙන කලා කටයුතු කරන්න කියලා. මොකද ලෝකය පවතිනවා. ධර්ම දේශනා, පිංකම්, ලෝකයේ තිබෙනවා වගේම සංදර්ශන, සංගීත සංදර්ශන, උත්සව ආදියත් ලෝකයේ තිබෙනවා. මේවායින් බැහැරව ලෝකය දකින්න බැහැ. භවනා කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩ සිටිනවා. පිංකම්, ධර්මදේශනා කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩසිටිනවා. ඒ වගේමයි රට ජාතිය ආගම උදෙසා සටන්කරන ස්‌වාමීන්වහන්සේලාත් ලෝකයේ වැඩ සිටිනවා. පිකටින්, පෙළපාලි යන ස්‌වාමීන්වහන්සේලාත් වැඩසිටිනවා. මේකට තමයි ලෝකය කියන්නේ. මේවායින් තොරව ලෝකය දකින්න බැහැ. අපි හිතනවානම් ලෝකයේ සිටින සෑම ස්‌වාමීන්වහන්සේ නමක්‌ම භාවනා කළයුතුයි කියලා, ඒ අපි දකින්න උත්සහගන්නේ මෝහයයි. 

සංස්‌කාරයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් ලෝකය ගලාගෙන යනවා. සුගතියත් , දුගතියත් දෙක අතර දෝලනය වෙමින් ලෝකය ගලාගෙන යනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මැරෙන මනුෂ්‍යයින් ලෝකයේම පස්‌ හා සමානනම්, සද්ධාව සකස්‌කොටගෙන ඇත්තේ මේ නිය පිsටත තිබෙන පස්‌ ප්‍රමාණයටයි කියලා. සත්ව ලෝකයේ දුක මතුකොට පෙන්වන, අතිශය කටුකභාවය දනවන්නක්‌ තමයි ඉහත උපමාව. බුදුරජාණන්වහන්සේ පිංවතුන්ලා ලක්‍ෂයකට ධර්මදේශනා කළොත්, ඒ ධර්මය ජීවිතයට ගලපාගන්නේ කොයි තරම් සුළු පිරිසක්‌ද කියන කාරණය ඉහත උපමාවෙන් මතුකොටගන්න දක්‍ෂවෙන්න. මේ කටුක ලෝක ස්‌වභාවය නුවනින් දකින පිංවත් ඔබ ගලාගෙන යන ලෝකය තුළ නැවතුණු මනුෂ්‍යයෙක්‌ බවට පත්වෙන්න. ලොව්තුරා බුදුරජාණන්වන්සේනමක්‌ ලෝකයට පහලවෙන්නේ මේ ගලාගෙන යන දීර්ඝ ලෝක ස්‌වභාවය මතුකොට පෙන්වලා, පිංවත් ඔබ ලෝකය තුළ නැවතුන කෙනෙක්‌ බවට පත්කිරීමටයි. ලෝකය තුළ නැවතුනා කියන්නේ, ලෝකය තුළ දිවීමට අවශ්‍ය සංස්‌කාරයන් රැස්‌කිරීම නැවැත්වුවාය කියන කාරණයයි. 

භික්‍ෂුව මොහොතක්‌ ඇස්‌දෙක පියාගෙන කල්පනා කළා. අදක්‍ෂවූ ලෝකයාට ලෝකය තව කොතෙක්‌ දුරවෙයිද කියලා. අනාගතයේදී බුදුරජාණන්වහන්සේලා ලක්‍ෂ ගණනක්‌, මුළු පෘථීවියම අළු දූවිලි බවට පත්වෙන කල්ප විනාශ සියදහස්‌ ගණනක්‌ පසුකොට ලෝකය ගමන් කරාවී. මනුෂ්‍යයා නොදැනුවත්භාවය නිසාම, මොන තරම් දීර්ඝ කටුක දුකක්‌ කරාද මේ ගමන් කරන්නේ. අවිද්‍යාවෙන් අන්ධවූ මිනිස්‌ සිත 'රසයි, රසයි' කිය කියා 'සැපයි සැපයි' කිය කියා අතදිගහැර නිර්ලෝභීව සංස්‌කාරයන් සකස්‌කොට දෙනවා, ඔබව මේ දීර්ඝ, කටුක දුකේ කොටස්‌කරුවෙක්‌ බවට පත්කරන්න. ලෝකයට, ලෝකයාට කැමති සේ , සිත් සේ අනාගත දුක කරා ගලාගෙන යැමට ඉඩදෙන්න. ඔබ මේ කටුක යථාර්ථය නුවනින් හඳුනාගනිමින් දුවන ලෝකය තුළ, නැවතුන කෙනෙක්‌ බවට පත්වෙන්න. නැවතුන තැනදී පිංවත් ඔබට විවේකීව, විවෘතව ලෝකය දකින්න ලැබේවී. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයකට පසුව මුණගැසෙන, සම්මා සම්බුද්ධ ශාසනයකදී දුවන මිනිසුන් අතරින් නවතින මිනිසුන් අතළොස්‌ස අතරට පිංවත් ඔබත් එකතුවෙන්න.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/05/10/feature05.html

Sunday, May 10, 2015

20 ගැන හෙට විශේෂ සාකච්ඡාවක්

නව මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ වල නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

යෝජිත නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල අවසන් එකඟතාවකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වෙයි.


එහිදි නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ   20 වන ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලෙස එය ලබන 13 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව ලබන 19 වන දින අදාළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට සැළසුම් කර ඇති බව   වාර්තා වෙයි.

මේ අතර අද පස්වරුවේද පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ  නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබෙනවා.

අද දෙරණ

විල්පත්තුව ගැන සොයන්න පරිසර ලේකම් අද මන්නාරමට

විල්පත්තු වනෝද්‍යානයේ සහ අවට ප්‍රදේශවල කැලෑ කැපීම් සහ නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන ඇත්දැයි සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද එම ප්‍රදේශවල ක්‍ෂේත්‍ර චාරිකාවක නිරත වීමට නියමිතව ඇති බවට වාර්තාවේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පවසා ඇත්තේ ගැටලූ මතුවී ඇති කරුණු සම්බන්ධයෙන් සොයා බලා හෙට දිනය වන විට ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවයි.

විල්පත්තුව අවට සිදුවන වන විනාශය පිළිබඳව වෙලා තිබෙනවා. සංරක්ෂණ නිලධාරි ඇතුළු තවත් පිරිසකුත් එම ස්ථානයට ගිහින් විශ්ෂ පරීක්ෂණයක් කරනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා අනවසර ඉදිකිරීම් කරලා තිබෙනවා නම් අවශ්‍ය පියවර ගන්න කියලා.

විල්පත්තු වනෝද්‍යානය අවට සහ වවුනියාව මන්නාරම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ නියෝගයක් නිකුත් කළා. එ් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ අදාළ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ටද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා.

නීති විරෝධී ලෙස කිසිවෙකු හෝ එම ප්‍රදේශවල කැලෑ කැපීම සහ ඉඩම් පවරා ගැනීම සිදු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

http://lankafocusnews.com/?p=40947

Pic1 Source
Pic2 Source

සබැඳි ලිපි - [විල්පත්තු වනය අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙළි කිරීම තහනම් - ජනපතිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_55.htmlඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.htmlයුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

නව මැතිවරණ ක්‍රමය ජනතාවට හිතකරයි

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම රටක අනාගතයට සෘජුවම බලපාන ප්‍රධාන කාරණයකි. ජනවර්ග ගණනාවක්‌ මෙන්ම දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ද සහිත අපේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමය තෝරා බේරා ගැනිම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ද සංශෝධන ගණනාවක්‌ මේ වනවිට එකතු වී ඇත. 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමය පිළිබඳ 'දිවයින ඉරිදා සංග්‍රහය' පහත සාකච්ඡාව පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ සමගයි. පළත් පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කිරීමේ පුරෝගාමී මෙහෙවරක නියෑලී මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ සිවිල් නියෝජිතයකු ද වෙයි.

ජනවර්ග රාශියක්‌ ජීවත්වන සහ දේශපාලන පක්‌ෂ රාශියක්‌ සහිත අපේ රටට වඩාත් ගැලපෙන ඡන්ද ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡා දැන් ආරම්භ වී තිබෙනවා? 

සමානුපාතික ක්‍රමය, කේවල ක්‍රමය සහ මිශ්‍ර ක්‍රමය වර්තමාන ලෝකයේ පවතින මැතිවරණ ක්‍රම තුනයි. විවිධ ජන කොට්‌ඨාශ සහ බහුතර දේශපාලන පක්‌ෂ සහිත රටකට වඩාත් ගැලපෙන්නේ සමානුපාතික ක්‍රමය ලෙසට සමහරු අදහස්‌ දැක්‌වුවත් එවැනි රටක්‌ වන ඉන්දියාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉන්දියාවේ පවතින්නෙ කේවල ක්‍රමය. යුරෝපයේ බොහොමයක්‌ රටවල සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී මහා බ්‍රිතාන්‍යයේ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ කේවල ඡන්ද ක්‍රමයයි. මේ නිසා රටකට වඩාත්ම ගැලපෙන්නෙ කුමන ඡන්ද ක්‍රමයද කියන කාරණය තේරුම් ගැනීම අද අපහසු කාරණයක්‌ බවට පත්වී තිබෙනව.

ලෝකයේ සමානුපාතික ඡන්ද ක්‍රමය තිබෙන බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය බොහෝවිට එකිනෙක හා සමීපව යන අවස්‌ථා දෙකක්‌. අපේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමය පිළිබඳ අද සාකච්ඡා කළත් එම සාකච්ඡාව ආරම්භ වුණේ සෑහෙන කාලෙකට ඉහතදීයි. ඡේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික ඡන්ද ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්‌ථාවෙන්. එම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එතෙක්‌ අපේ රටේ පැවති කේවල ක්‍රමය වෙනස්‌ කරල සමානුපාතික ඡන්ද ක්‍රමය ආරම්භ කිරීමේදී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට ඔහුට සිදුවුණා. එම නිසා ඔහු 2 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවා. ඊළඟට සිදුකළ 5 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධයි. 7 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් සෘජුවම නැතත් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් ජන්ද ක්‍රමය හා බලය විමධ්‍යගත කිරීම එකිනෙක සම්බන්ධ කරමිනුයි ඉදිරිපත් වුණේ. ඉන්පසු 17 වැනි සහ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන තුළිනුත් මැතිවරණ සීමා නිර්ණ කොමිසම පිළිබඳව අදහස්‌ ඉදිරිපත් වුණා. ඒ අනුව ඡේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් ව්‍යවස්‌ථාව මේ වන විට 19 වතාවක්‌ සංශෝධනය වී තිබෙන අතර ඉන් හය වතාවක්‌ පමණ මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් සමහරු අදත් අපේ රටට වඩාත්ම ගැලපෙන ඡන්ද ක්‍රමය ලෙස හඳුන්වන්නේ සමානුපාතික ජන්ද ක්‍රමයයි.

ඒ අදහස වැරදුණු තැනක්‌ තමයි 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය. 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවෙ 1988 දි. එය ඉදිරිපත් වුණේ ඡේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමයේ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ විදියට. 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් යම්කිසි දිස්‌ත්‍රික්‌කයකින් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රමාණය ගැන කතා කරනව. එය තිබුණේ සියයට 12.5 ක්‌ විදිහට. නමුත් එය සියයට 5 දක්‌වා අඩු කළා. සමානුපාතික ඡන්ද ක්‍රමය විකෘති වෙන්නෙ ඊට පස්‌සෙයි. කවර මැතිවරණ ක්‍රමයක්‌ සම්බන්ධයෙන් කතා කළත් එහි වැදගත් වෙන්නෙ මේ අවම සීමාවයි. ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේදී මේ අවම සීමාව එනම් කිසියම් දිස්‌ත්‍රික්‌කයකින් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රමාණය සියයට 25 තරම් ඉහළ මට්‌ටමක තිබෙනවා. එසේ නොගන්නා කිසිවෙකුටවත් මන්ත්‍රී ධුරයක්‌ හිමිවෙන්නේ නෑ. එමනිසා සමානුපාතික ඡන්ද ක්‍රමයේදී මෙම අවම සීමාව ඉතාමත් වැදගත්.

15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක වීමට පෙර අපේ රටේ සුළු ජාතික පක්‌ෂ බොහෝවිට ක්‍රියාත්මක වුණේ මහ පක්‌ෂත් සමගයි. විශේෂයෙන් අපේ රටේ මුස්‌ලිම් ජනතාව සහ දෙමළ ජනතාවගෙන් කොටසක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය සමග වැඩි සම්බන්ධතාවක්‌ තිබුණා. එයට හේතුව වුණේ එවකට තිබුණු 12.5 අවම සීමාව කුඩා පක්‌ෂවලට තනිව ලබාගැනීමට අපහසු වීමයි. එමනිසා ඔවුන්ට හැමවිටම ප්‍රධාන පක්‌ෂ සමග බද්ධවීමට සිදුවුණා. මෙය අපේ රටේ ජාතික සමගිය ඇතිවීමටත් විශාල හේතුවක්‌ වුණා. අපේ රටේ අවසාන කේවල ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වුණේ 1977 දී. 1977 දී අවුරුදු 18 ක්‌ සම්පූර්ණ වෙන්නෙ 1959 දී ඉපදුණු පුද්ගලයින්ටයි. 1960 න් පසු අපේ රටේ ඉපදුණු කිසිවෙක්‌ කේවල ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය පාවිච්චි කරල නෑ. ඉතා සුළු පිරිසක්‌ 1982 අතුරු මැතිවරණවලදී එම ක්‍රමයට ඡන්දය පාචිච්චි කරන්න ඇති. එමනිසා 1960 න් පසු අපේ රටේ ඉපදුනු අය කේවල ඡන්ද ක්‍රමයේ හැසිරීම ගැන දන්නෙ නෑ. බොහොමයක්‌ පක්‌ෂවල නායකයින්ටත් මේ ගැන නිසි අවබෝධයක්‌ නෑ. 

සමානුපාතික ඡන්ද ක්‍රමයේ සියයට පහේ අවම සීමාව ඇතිකළාම අපේ රටේ බිහිවුණේ විකෘති වුණු පාර්ලිමේන්තුවක්‌. එම සියයට පහේ සීමාව නිසා මුලින්ම බිහිවෙන්නෙ නැගෙනහිර පළාතෙ මුස්‌ලිම් පක්‌ෂ. අෂ්රොෆ් මහතාගේ මුස්‌ලිම් කොංග්‍රසය. මෙම සීයයට පහේ සීමාව නිසා විශාල ලෙස කුඩා පක්‌ෂ බිහිවෙන්න පටන් ගත්තා. අද වන විට අපේ රටේ පක්‌ෂ 67 ක්‌ තිබෙනවා. තවත් පක්‌ෂ 100 කට වැඩි සංඛ්‍යාවක්‌ ලියාපදිංචි වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවට අයෑදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මිලියන 150 ක පමණ ඡන්ද ප්‍රමාණයක්‌ ඇති රටක පක්‌ෂ 150 ක්‌ පැවතීම කිසිසේත්ම පිළිගැනීමට හැකියාවක්‌ නෑ. අද අපේ රටේ එවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වී තිබෙන්නෙ ඉහත සඳහන් කළ අවම සීමාව සියයට 5 දක්‌වා අඩු කිරීම නිසයි. නමුත් එම අවම සීමාව එලෙස අඩුකිරීම නිසා බහු පක්‌ෂ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ රටේ ඇතිවී ඇති බවත් සෑම පක්‌ෂයක්‌ම රට තුළ නියෝජනය වන බවත් ඇතැමුන් ප්‍රකාශ කරනව.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශ මොනවද?

2009 දී ඉදිරිපත් කළ අතුරු වාර්තාවෙන් කියා සිටියේ අපේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සිදු කළ යුත්තේ අදියර දෙකකින් හෝ තුනකින් බවයි. මුලින් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දී ඒ ආයතන සඳහා එය ක්‍රියාත්මක කර එහිදී ඇතිවන දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට පිළියම් යොදමින් පාර්ලිමේන්තු හා පළාත් සභා සඳහා එම නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවයි. නමුත් 2012 දී එම පනත සම්මත වූ පසු අයවැය පරාද කර සභාපතිවරු ඉවත් කරන්නට ඇතැම් මන්ත්‍රීවරු එම පනත භාවිත කළා. ඒ අනුව සභාපති වරු, උපසභාපති වරු තුළ විපක්‌ෂ නායකයා කෙරෙහි යම් භීතියක්‌ නිර්මාණය වීමට පටන් ගත්තා. ඒ අනුව මේ පනතේ යම් වරදක්‌ ඇත්දැයි යන අවිශ්වාසය මත එම මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේදී යම් ප්‍රමාදයක්‌ සිදුවුණා. සීමා නිර්ණ කොමිසමේ වාර්තාවත් යම් තරමකට ප්‍රමාද වුණා.

2015 මාර්තු මාසෙ පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුව තිබුණේ නව මැතිවරණ ක්‍රමයටයි. නමුත් ජනාධිපතිවරණය නිසා එය වැළකුණා. ඇත්තවශයෙන්ම අලූත් මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වාදීම කියන සංකල්පයක්‌ දැන් නෑ. දැන් කළ යුතුව තිබෙන්නෙ ලබාදී තිබෙන දිනේෂ් ගුණවර්ධන අතුරු වාර්තාව පදනම් කරගෙන එයට සංශෝධන ගෙනැවිත් අපේ රටට සුදුසු මැතිවරණ ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමයි. පළාත් පාලන ආයතනවලට එය සිදුකරල ඉවරයි. දැන් ආරම්භ වී තිබෙන්නේ පාර්ලිමේන්තු සාකච්ඡා. මේ සාකච්ඡාවලදී ඇතිවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ 1976 දී සීමා නිර්ණ කොමිසමෙන් ඇතිකරපු මැතිවරණ කොට්‌ඨාශ 160 තිබෙනවා. මෙහිදී බහු මන්ත්‍රී කොට්‌ඨාශත් සමග මන්ත්‍රීවරු 168 ක්‌ තේරී පත්වෙන්න ඕන. නමුත් 1978 දී හඳුන්වා දුන් සමානුපාතික ක්‍රමයේ දී ඡේ. ආර්. ජයවර්ධන මහතාට වැරදීමකින් අර පරණ මැතිවරණ කොට්‌ඨාශ 160 එසේම තිබීමෙන් දැන් අපේ රටේ ජනතාව පුරුදුවෙලා ඉන්නෙ එම මැතිවරණ කොට්‌ඨාශ 160 ටයි. එම පරණ මැතිවරණ කොට්‌ඨාශ 160 පාවිච්චි කරල නව මැතිවරණ ක්‍රමයක්‌ නිර්මාණය කරන්න බෑ. මෙය තමයි අද මුහුණදීමට සිදුවී තිබෙන ප්‍රධාන ගැටලූව. මේ ගැටලූවට විසඳුමක්‌ ලෙස කුඩා මැතිවරණ කොට්‌ඨාශ එකතු කිරීමෙන් සහ විශාල මැතිවරණ කොට්‌ඨාශ බෙදා වෙන්කිරීමෙනුත් විසඳුමක්‌ සොයාගන්න පුළුවන්.

පසුගියදා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ නව සංශෝධන තුළිනුත් කියන්නෙ මැතිවරණ කොට්‌ඨාශ 168ක්‌ තබා ගැනීම සහ බහු ආසන නිර්මාණය කර ගැනීමයි. බහු ආසනවල වැදගත්කම වන්නේ සුළුජාතික පක්‌ෂවල නියෝජනය ඒ තුළින් ඇතිකර ගැනීමයි. කෙසේ වෙතත් බහු මන්ත්‍රි ආසන සමග 165 ක්‌ සෑදිය යුතුයි කියන සංකල්පයට හැම කෙනෙක්‌ම පාහේ එකඟ වී සිටිනවා. 

මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 ක්‌ වීමත් මතුවී ඇති තවත් ප්‍රශ්නයක්‌. 165 සහ 225 අතර තිබෙන්නේ 60 ක්‌ වැනි කුඩා වෙනසක්‌. සමානුපාතිකව බෙදීමෙදී මෙය ගැටලුවක්‌ වෙන්න පුළුවන්. 225 දක්‌වා මන්ත්‍රී සංඛ්‍යාව ගියොත් සමානුපාතික ආසන 90 ක්‌ ඉතිරිවෙනව. දිස්‌ත්‍රික්‌ හා ජාතික ලැයිස්‌තු වශයෙන් ඒ ආසන සංඛ්‍යාව බෙදාගැනීමට පුළුවන්. ඒවගේම ආසන සංඛ්‍යාව 225 දක්‌වා වැඩිවීම නිසා නව මැතිවරණ ක්‍රමයකට විරුද්ධත්වය දක්‌වන පාර්ශ්වයන්ගේ ඉල්ලීම් එයට අනුගත කරන්නටත් හැකියාව තිබෙනව. එම නිසා මන්ත්‍රී ආසන 225 දක්‌වා වැඩිවීම හරහා දිනේෂ් ගුණවර්ධන වාර්තාව පදනම් කරගෙන මේ සඳහා කිසියම් විසඳුමක්‌ ලබාදීමේ හැකියාව තිබෙනව.

නව මැතිවරණ කොට්‌ඨාශ හඳුන්වාදීමෙන් කුඩා පක්‌ෂවලට අසාධාරණයක්‌ සිදුවෙන්නෙ නැද්ද?

එයට විසඳුමක්‌ ලෙස ජාතික ලැයිස්‌තුව විශාල කර තිබෙනව. ජාතික ලැයිස්‌තුව 29 සිට 59 දක්‌වා විශාල කර තිබෙනව. ඒ හරහා කුඩා පක්‌ෂවලටත් යම් කිසි සාධාරණ නියෝජනයක්‌ ලබාදීමට හැකියාවක්‌ ලැබේවි. 

කෙසේ නමුත් මේ මොහොත වන විට බොහෝ පක්‌ෂ අතර නව මැතිවරණ සංශෝධන කෙරෙහි එකඟතාවක්‌ තිබෙනව. ඒවගෙම දැන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ වීමෙන් ඔවුන්ට අසාධාරණයක්‌ වෙයි කියල කුඩා පක්‌ෂවල වගේම විශාල පක්‌ෂ තුළත් යම් භීතියකුත් තිබෙනව. මගේ අදහස නම් එය හුඹස්‌ බියක්‌ පමණයි. මේ නව මැතිවරණ ක්‍රමය ජනතාවට විශ්වාසය තැබිය හැකි හොඳ ක්‍රමයක්‌.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක, ඡායාරූපය - සමන් අබේගුණවර්ධන
http://www.divaina.com/2015/05/10/politics01.html

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරි දින 10දී පාර්ලිමේන්තුවට


නව මැතිවරණ ක්‍රමය ඇතුළත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය ඉදිරි දින දහය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුව තීරණය කර තිබේ.

මේ අනුව නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීම සඳහා විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (11 දා) සියලු දේශපාලන පක්‍ෂ නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

අවසන් එකඟතාවට පැමිණීමෙන් පසුව එම යෝජනාව ලබන 13 වැනිදා ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමටත් එදිනම එය ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් කිරීමටත් රජය තීරණය කර තිබේ.

අනතුරුව පනත් කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දැනට සැලසුම් කර තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2015/05/10/news12.html


Pic Source

මහ මැතිවරණය පැරණි ක්‍රමයටම! මෛත්‍රී - රනිල් එකඟතාවක්

නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වීමෙන් පසු ඉදිරි මහ මැතිවරණය දැනට තිබෙන ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීමට පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ද සහභාගිවූ ඉහළ පෙළේ සාකච්ඡාවකදී එකඟත්වයකට පැමිණ ඇතැයි ආණ්‌ඩුවේ ප්‍රධාන ඇමැතිවරයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය. 

නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාසය යළි බෙදීමට හා ඒ පිළිබඳව මහජන අදහස්‌ විමසීමට අවම වශයෙන් මාස 6 කට අධික කාලයක්‌ ගතවීමට ඉඩ තිබෙන නිසාත්. ජනතාවට දී තිබෙන පොරොන්දුව අනුව පාර්ලිමේන්තුව ඉක්‌මනින්ම විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු නිසාත් මෙම එකඟත්වය ඇති කර ගත් බවද ඔහු කීය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක්‌ම ඉල්ලා තිබුණේ මීළඟ මහ මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාස හා සමානුපාතික මිශ්‍ර්‍ර ක්‍රමයට පැවැත්විය යුතු බවයි. 19 වැනි සංශෝධනයට සහාය දීමේදී ඔවුන් එය ප්‍රධාන කොන්දේසියක්‌ බවටද පත් කරගෙන තිබිණි.

එසේ වුවද නව මැතිවරණ ක්‍රමය යටතේ ඡන්ද කොට්‌ඨාසයේදී එම පළාත්වල ජනගහනය, භූවිෂමතා, ජනවර්ග, ආගම්, කුල පදනම ආදිය පිළිබඳවද සොයා බැලිය යුතුයි. ඒකට සෑහෙන කාලයක්‌ ගත වේවි. 1974 සීමා නිර්ණය කොමිසමට ඡන්ද කොට්‌ඨාස යළි බෙදීම සඳහා වසර 2 කටත් වැඩි කාලයක්‌ ගත වුණා යෑයිද පැවැසූ එම ඇමැතිවරයා ඉහත කී සාකච්ඡාවේදී මෙම කරුණු ගැන ද සාකච්ඡා වූ බව ද සඳහන් කළේය. 

විසිවැනි සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ජුලි මස අගදී පමණ පැවැත්වීමට ඉඩ තිබෙන බවද ඔහු පැවැසීය.

දයා ලංකාපුර
http://www.divaina.com/2015/05/10/news01.html

Pic Source

විල්පත්තු උද්‍යායානය ගැන ජනපතීගේ තීරණයට බොදුබලෙන් ප්‍රසාදය

විල්පත්තු වන උද්‍යානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිදුකරන ඕනෑම කටයුත්තකට අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වන බව බොදු බල සේනා සංවිධානය ප‍්‍රකාශ කළා. 

විල්පත්තු වන උද්‍යානය ආශ‍්‍රිතව කැලෑ හෙළි කිරීම සහ ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීම පැසසුමට ලක්කරන බවයි එම සංවිධානය සඳහන් කළේ. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් බොදු බල සේනා සංවිධානය මේ බව සඳහන් කර තිබෙනවා.

http://lankafocusnews.com/?p=40905

Pic Source

සබැඳි ලිපි - [විල්පත්තු වනය අවට කැලෑ කැපීම හා හෙළි පෙහෙළි කිරීම තහනම් - ජනපතිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_55.htmlඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_10.htmlයුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.htmlනැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.htmlවිල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.htmlඅන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]