Pages

Monday, May 11, 2015

සාම්පූර් කඳවුර ඇත්තටම අයින් කරනවාද?

ත්‍රිකුණාමලය පිහිටි සාම්පූර් විදුර නාවික හමුදා කඳවුර ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධව මේ වනවිට විවිධ පාර්ශ්වයන් විවිධ ප්‍රකාශ කරති. ඉන්දියාවේ බලපෑම මත මෙය ඉවත් කිරීමට සූදානම් වන බව පිරිසක්‌ පවසති. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට සහාය දුන් ද්‍රවිඩ ජනතාව සතුටු කරවීම සඳහා මෙම කඳවුර ඉවත්කරන බවට තවත් පිරිසක්‌ චෝදනා කරති.

අක්‌කර 237 ක භූමි භාගයක්‌ පුරා පවතින මෙම විදුර නාවික කඳවුර පිහිටු වනු ලැබුවේ 2007 නොවැම්බර් මස 05 වැනිදාය.

නාවික හමුදා ආධුනික නිලයන් පුහුණු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මෙය පිහිටුවන ලදී.

1995 අප්‍රේල් මස 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදීන් විසින් පළවුවරට ත්‍රිකුණාමලය වරායේ පිහිටි නාවුක තටාකාංගණයට හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණසූර හා සූරයා නැව්වලට පහරදෙන ලදී. ඉන්පසු එම වසරේම ඔක්‌තෝබර් මස 17 වැනිදා කොටි ත්‍රස්‌තවාදී පිහිනුම්කරුවකු විසින් තටාකාංගණයේ නවතා තිබූ ඒ 512 යාත්‍රාවට පහර දෙනු ලැබීය.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට වරින්වර එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාර නිසා වරායේ ආරක්‌ෂාවටත් සාම්පූර් ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජනතාවගේ රැකවරණයටත් සාම්පූර් විදුර කඳවුර පිහිටුවීමට හේතු විය.

මෙම කඳවුර පිහිටුවීමට පෙර සාම්පූර් ප්‍රදේශයේ ද්‍රවිඩ පවුල් 1,272 ක්‌ පමණ පදිංචිව සිට ඇත. කොටි ත්‍රස්‌ත ප්‍රහාර නිසා මෙම ජනතාව සිය ගම්බිම් හැරදා යන්නට වූහ.

විදුර හමුදා කඳවුර ප්‍රදේශයේ පමණක්‌ පවුල් 579 ක්‌ පමණ පදිංචිව සිට ඇත.

සාම්පූර් ප්‍රදේශය කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන ආරක්‌ෂක හමුදාව යටතට ගැනීමෙන් පසු 2006 වසරේ සිට මෙම ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීම පිළිබඳව රජය අවධානය යොමුකරන ලදී.

2006-09-04 වැනිදා රජයේ නිල අඩවියේ පළවූ වාර්තාවකට අනුව ජාතික ආරක්‌ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ එවකට සිටි මාධ්‍ය ප්‍රකාශක මේජර් රාජපක්‌ෂ පවසා තිබුණේ නැගෙනහිර වරාය නගරයේ සාම්පූර් හමුදාව විසින් අල්ලාගෙන හමුදා බාරයේ පවතින බැවින් සිවිල් වැසියනට බියෙන් තොරව නැවත පදිංචිවිය හැකි බවය.

කෙසේ නමුත් මෙම යළි පදිංචි කරවීමේ කටයුතු සිදුවූයේ මන්දගාමීවය.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග උතුර නැගෙනහිර අවතැන්වූ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකර ඇත. ඒ අනුව අක්‌කර 237 ක භූමි ප්‍රදේශයක පැවැති සාම්පූර් විදුර නාවික කඳවුර එම ස්‌ථානයෙන් ඉවත්කර ඊට යාබද අක්‌කර 150 ක භූමිභාගයක ඉදිකිරීමට මේ වනවිට තීරණය කර ඇත. එම කටයුතු ඉදිරි මාස 06 ක පමණ කාලය තුළ නිමවූ පසු දැනට විදුර කඳවුර පිහිටි භූමි ප්‍රදේශයේ සිටි මුල් පදිංචිකරුවන් පත් කිරීමට රජය සූදානම් වේ.

සාම්පූර් විදුර හමුදා කඳවුර පිහිටි භූමි ප්‍රදේශයේ පදිංචිව සිටි ද්‍රවිඩ ජනතාව දැනට අවතැන් කඳවුරුවල ඉතා දුෂ්කර දිවියක්‌ ගතකරති. මෙම මුල් පදිංචිකරුවන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා ආදීන්ගෙන් හඳුනාගෙන යළි පදිංචි කරවීමට රජය තීරණය කර ඇතැයි නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මෙය ඉන්දියාවේ හෝ කිසිදු දේශපාලන පක්‌ෂයක බලපෑම මත නොව අවතැන් වූ ජනතාව යළි පදිංචි කරවීමේ රජයේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසයි.

අවතැන්වූ ජනතාව යළි පදිංචි කරවීම සඳහා රුපියල් මිලියන 125 ක්‌ පමණ වැය වෙතැයි ගණන් බලා ඇතැයිද එම සම්පූර්ණ මුදල මහා භාණ්‌ඩාගාරය මගින් ලබාදෙන බවත් පවසන ආණ්‌ඩුකාරවරයා ද්‍රවිඩ ජනතාව ගැන අනුකම්පාවෙන් කතා කරන විදෙස්‌ රටවල සිටින ද්‍රවිඩ ජනතාවටත් ද්‍රවිඩ ඩයස්‌පෝරාවටත් තම ජනතාවට උදවු උපකාර කිරීමට දැන් අවස්‌ථාව උදාවී ඇතැයි පවසයි.

මම ඉල්ලා සිටිනවා දෙමළ ඩයස්‌පෝරාවෙන් දැන් ඔබට අවස්‌ථාව උදාවී තිබෙනවා. ඔබේ අවතැන්ව සිටින ජනතාවට උදවු කරන්න. එතකොට අපට මෙම අවතැන්වූවන් යළි පදිංචි කරවීම පහසුවෙනවා යෑයි නැගෙනහිර ආණ්‌ඩුකාර ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා විවෘත ආරාධනාවක්‌ කර සිටී.

2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ පරාජයට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව සමත්වීමත් සමග මේ වනවිට උතුරත් දකුණත් නැගෙනහිරත් බටහිරත් සිවුදිගම එකට එක්‌වී එකම රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

එම රට තුළ පිරිසක්‌ අවතැන් කඳවුරුවල හිඳ අති දුෂ්කර දිවියක්‌ ගත කිරීමටත් තවත් පිරිසක්‌ සැපපහසු ලෙස නිවාසවල හිඳිමින් දිවි ගෙවීමත් යනු යුද ජයග්‍රහණයේ ප්‍රතිඵල රටේ සියලු ජනතාවට නිසි අයුරින් බෙදී ගොස්‌ නැති බවකි.

එනිසා සාම්පූර්හි විදුර කඳවුර ඉවත් කිරීම පිළිබඳව මැදිහත් සිතින් බලා සිටිය යුතුය. ආණ්‌ඩුව මේ සිදු කරන්නේ අවතැන් වූවන් සිය ඉඩකඩම්වල යළි පදිංචි කරවීමේ අවංක ෙච්තනාවෙන් නම් ඊට අප සියලු දෙනා සහාය දැක්‌විය යුතුය.

අවතැන් වූවන් යළි පදිංචි කරවීමේ මුවාවෙන් කාගේ හෝ යටි අරමුණක්‌ ඉටුකරන්නේ නම් එය ත්‍රිවිධ හමුදාවන් ලැබූ යුද ජයග්‍රහණය පාවාදීමකි.

සම්පූර්ණ නගරයක්‌ ලෙස හැඳින්වූ මෙම ප්‍රදේශය පසු කලෙක සාම්පූර් බවට පත්ව ඇත. එම සම්පූර්ණ නගරය යළි සැබෑවටම සම්පූර්ණවනු දැකීම අප කාගේත් පැතුමය.

උපාලි ද සේරම්
http://www.divaina.com/2015/05/10/feature11.html

0 comments: