Pages

Friday, May 15, 2015

භූමිකම්පාවක්‌ සිදු වුණොත් කළ යුත්තේ කුමක්‌ද?

හදිසියේ හෝ ඔබේ දරුවා පැමිණ ඔබගෙන් විමසා සිටියහොත් භූ කම්පනයක්‌ පාසලේදී ඇති වුණොත් අපි කළ යුත්තේ කුමක්‌දැයි ඔබට දිය හැකි නිවැරදි පිළිතුරක්‌ තිබේදැයි මට සැකයකි. ගුරුවරුන්ද එසේම අපහසුතාවට පත්වනු ඇත. එබැවින් මේ පිළිබඳව විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දැනුවත් කිරීම් කිරීමට කාලය එළැඹ ඇත.

නේපාලය තුළ මෑත කාලයේ ඇතිවූ භූ කම්පන කීපයක්‌ සමග ජීවිතත් දේපොළත් අහිමිවී ගියා අපට හොඳට මතකය. යමක්‌ එකතුකර නේපාලයට යෑවූ සැවොම බෞද්ධයෝ නොවෙති. ඔවුන් සියල්ලම ශ්‍රී ලාංකිකයන්ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට යමෙක්‌ අසරණ වූ විට එයට උදව් කිරීමට කිසිවෙකුගේ උපදෙස්‌ අනවශ්‍ය පිරිසකි. ඈත පුරාණයේ සිට ඒ සඳහා චක්‍රලේඛ නිකුත් නොවිණි.

මා ඔබගේ අවධානය යොමු කරනුයේ අප රටද භූ කම්පනවලට නතුවිය හැකි බව හා එවැන්නක්‌ ඇතිවුවහොත් අප තුළ සූදානමක්‌ නොමැති බව පෙන්වාදීම හා ඊට සම්බන්ධ ආයතනවල අවධානය යොමු කරවීමයි.

පුරවැසියකු තුළ භූ කම්පනවලට ප්‍රතිචාර දැක්‌වීම පිළිබඳව කුමන මට්‌ටමක අවබෝධයක්‌ ඇත්දැයි මම නොදනිමි. ඒ පිළිබඳව සැලකිලිමත් වූවා නම් එය ඇගයිය යුතුවා මෙන්ම අපට සතුටු විය හැකි කරුණකි. කෙසේ වුවත් විශේෂයෙන්ම අගනුවර පිහිටි මහල් නිවාස කාර්යාල සංකීර්ණවල පදිංචිකරුවන්, කල් ඉක්‌මවූ මෙන්ම අබලන් වූ ගොඩනැඟිලිවල ස්‌ථාපිත වූ කාර්යාලවල සේවයේ යෙදෙන්නන්, මහල් නිවාසවල පදිංචිකරුවන් පමණක්‌ නොව එම තත්ත්වයේම පවතින තනි නිවාසවල පදිංචිකරුවන්ද භූ කම්පන හෝ භූ කම්පනවලින් ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇත.

ඔබත් මාත් සේවය කරන හෝ පදිංචිව සිටින මහල් නිවාස, කාර්යාල සංකීර්ණයේ ඇති විදුලි සෝපානයේ සඳහන්ව ඇති එම විදුලි සෝපානය තුළ හදිසියකදී ඇතිවිය හැකි අවස්‌ථාවකදී ඇමැතිය යුතු ආයතනයේ දුරකථනය අංකය මතකයේ ඇත්තේ කී දෙනෙකුට දැයි සැකයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප කිසිදු අවස්‌ථාවකදී ආපදාවකට සූදානමක්‌ නොමැත. අපට එවැනි ක්‍රමවේදයක්‌ තිබුණේ නම් 2004 සුනාමියෙන් 35,000 කට අධික පිsරිසක්‌ මිය නොයනු ඇත. අද ලොව පුරා ප්‍රචාරණයට ලක්‌වන ඉබෝලා ගැනද අප තුළ ප්‍රමාණවත් සූදානමක්‌ ඇත්දැයි සැකයකි. 2004 සුනාමියෙන් ලැබූ අත්දැකීම් පෙරදැරිව 2005 මැයි 13 දින පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අංක 13 දරන පනත මගින් ආපදා කළමනාකරණ සම්මත කිරීමත් සමගම ආපදාව සිදුවූ පසු ඊට ප්‍රතිචාර දක්‌වනවා වෙනුවට පෙර සූදානම් පිළිබඳව අවධානය යොමු කිරීමට කටයුතු යෙදුවද, ඒ පනතින් අපේක්‍ෂිත දේ අද කොතරම් ප්‍රායෝගික මට්‌ටමක පවතීදැයි සැකයකි. වර්තමානයේ කල් ඉක්‌මවූ හෝ අබලන් ගොඩනැඟිල්ලක්‌ හඳුනා ගැනීමේ ක්‍රමවේදයක්‌ නොමැති අතර එවැන්නක්‌ කඩිනමින් ඉවත් කරවීමේ ක්‍රමවේදයක්‌ද නොමැතිවීම ඊට හොඳම උදාහරණයයි.

ඇත්තටම භූ කම්පනයකදී කළ යුත්තේ කුමක්‌දැයි දන්නා පිරිස ඉතා ස්‌වල්ප විය හැක. මේ පිළිබඳව අධ්‍යාපන, ආපදා කළමනාකරණ හා ආරක්‍ෂක වැනි අමාත්‍යාංශය මගින් ප්‍රජාව හොඳින්ම දැනුවත් කළ යුතුව ඇත. සාමාන්‍ය ජනතාව ලෙස අපට මේ පිළිබඳව කිසිදු ආයතනයක්‌ මගින් දැනුවත් කිරීම සිදුකර නොමැත. විශේෂයෙන්ම අන්තර් ජාලය පරිහරණය කරන්නෙකුට පමණක්‌ මේ පිළිබඳව දැනුමක්‌ ලබාගත හැකි නමුත් දේශීයව මා දන්නා තරමට සිංහල හෝ දමිළ මාධ්‍යය මගින් දැනුවත් වීමට ක්‍රමවේදයක්‌ නොමැති තරම්ය. මෙය ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට ජනාධිපති කාර්යාලය දක්‌වාවූ පොදු ස්‌ථාන හරහා පවා ප්‍රජාවට තේරුම්කර දිය යුතු කාලයකි එළැඹ ඇත්තේ.

අද අප රටේ ඇති විශේෂයෙන්ම ඉපැරැණි පාසල්, ආගමික ස්‌ථාන, රෝහල් වැනි ගොඩනැඟිලි පමණක්‌ නොව නිවාස හා තාප්ප වැනි පෞද්ගලික ස්‌ථාන පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. භූ කම්පන කලින් දැනුවත් කිරීමේ ක්‍රමයක්‌ ලොව මෙතෙක්‌ හඳුනාගෙන නොමැති බැවින් මෙය කවදා මොන වේලාවකදී සිදුවෙතැයි කිසිවෙකුට පුරෝඛතනය කළ නොහැකි බැවින් දැනට අබලන් හෝ පුපුරා ඇති හෝ ඇලවී ඇති ගොඩනැඟිලි (මෙය චෛත්‍යයක්‌ හෝ කෝවිලක්‌ද විය හැක) පිළිබඳව සැලකිලිමත් විය යුතුව ඇත.

දිවයිනේ ඉදිවී ඇති බහුතරයක්‌ ගොඩනැඟිලි, පාලම්, ජලාශ, විශාල ප්‍රමාණයේ ජල රැඳවුම් ටැංකි හෝ වේලි කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකර නොමැත. දැනටද එවැනි තාක්‍ෂණයක්‌ පිළිබඳව ඉදිකිරීම්වලදී තැකීමක්‌ නොකරන බව පෙනේ. අවම වශයෙන් මහල් ගොඩනැඟිලි ඉදිකිරීම්වලදී ඒවාට යොදන වීදුරුවත් කම්පනයට ඔරොත්තු දෙන, වාහනවලට යොදන මිනිසාට අනතුරක්‌ නොවන වර්ගයේ ඒවාවත් නොවීම කනගාටුදායකය. මෙවැනි තත්ත්වයක්‌ තුළ විදුලිය විසන්ධි වීමට ඇති අවකාශය ඉතාමත් ඉහළ බැවින් ඒ පිළිබඳව අප විශේෂ අවධානය යොමු කළ යුතුව ඇත. කම්පනයකදී වහාම හානියට පත්වන්නේ වීදුරු වන බැවින් මේ පිළිබඳව හෝ බලධාරීන් දක්‌වන කඩිනම් අවධානය ඉතාමත් වැදගත් වනු ඇත. අවම වශයෙන් එවැනි අවදානම් තැන්වල සවිකර ඇති වීදුරුවලට ආසන්නව දැල් (අඟල් 2x2) හෝ කඩිනමින් සවි කිරීමට කටයුතු කළ යුතුය. භූ කම්පනයකදී මෙන්ම ඉන් අනතුරු කාලය ඉතාමත් අවදානම් අතර මෙවැනි තත්ත්වයදී විදුලි සෝපාන හා පඩි පෙළ හා භාවිතය ඉතාමත් අවදානම් අතර එළිමහනක සිටීම වඩාත් සුදුසු වුවත් ඒ පිළිබඳව දැනුවත්කිරීමේ ක්‍රමවේදය රටට ගැලපෙන ආකාරයට විය යුතුය. මෙවැනි තත්ත්වයකදී කොන්ක්‍රීට්‌ හෝ වෙනත් ශක්‌තිමත් ආවරණයක්‌ තුළ ආරක්‍ෂිතව සිටීම සරල දෙයක්‌ වන අතර මේ කාලය තුළ ගමන් කිරීම වඩා අවදානම් විය හැක.

අප සුනාමි ගැන අසා තිබුණත් දැක තිබුණේ නැත. ඒ පිළිබඳව අවබෝධයක්‌ තිබුණේ නැත. ඒ හේතුවෙන් ඇ.ඩො. මිලියන 1424 පමණ අලාභයක්‌ ද මා කලින් සඳහන් කළ පරිදි ජීවිත 35,000 කට අධික ප්‍රමාණයක්‌ද රටට අහිමි විය. ඒ ආකාරයටම හානියක්‌ භූ කම්පන මගින්ද සිදුවන තෙක්‌ අපබලා සිටිය යුතු නැත.

හදිසියේ හෝ ඔබේ දරුවා පැමිණ ඔබගෙන් විමසා සිටියහොත් භූ කම්පනයක්‌ පාසලේදී ඇති වුණොත් අපි කළ යුත්තේ කුමක්‌දැයි ඔබට දිය හැකි නිවැරදි පිළිතුරක්‌ තිබේදැයි මට සැකයකි. ගුරුවරුන්ද එසේම අපහසුතාවට පත්වනු ඇත. එබැවින් මේ පිළිබඳව විශේෂඥයින්ගේ දැනුම උපයෝගී කරගෙන දැනුවත් කිරීම් කිරීමට කාලය එළැඹ ඇත. එය කඩිමුඩියේ අන්තර් ජාලයෙන් උපුටාගෙන විදේශීය ඡායාරූප සමගින් පාසලට හෝ කාර්යාලයට ගෙන ගොස්‌ කළ යුත්තක්‌ නොවන බව පැවැසිය යුතුමය. මෑත කාලයේ මහජනතාව දැනුවත් කිරීම සඳහා බොහොමයක්‌ ආයතන කරනුයේ අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ඡායාරූප ඒ ආකාරයටම ගෙන දැනුවත් කිරීමට යොදා ගැනීමය. මෙය 100% අසාර්ථක ක්‍රියාදාමයකි. එවැනි ඡායාරූප ශ්‍රී ලාංකිකයන්ට සමීප නොමැත.

අනෙක්‌ අතට අප රට තුළ බොහොමයක්‌ දැනුවත් කිරීම් අසාර්ථක වනුයේ ඉංගී්‍රසි භාෂාවෙන් පමණක්‌ සිදුකිරීම බැවිණි. බොහොමයක්‌ ආයතන සිය ප්‍රාදේශීය මට්‌ටමේ නිලධාරීන්ට ගම් මට්‌ටමින් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ මෙවලම් පිළිබඳව අගනුවරට කැඳවා ඉංගී්‍රසි මාධ්‍යයෙන් දැනුවත් කරනු ලබයි. එවැනි දැනුවත් කිරීම් ගම් මට්‌ටමට ගොස්‌ මව් භාෂාවෙන් වටහාදීමට යැම ඉතාමත් අසාර්ථක කාර්යයකි. මෙහිදී සිදුවන්නේ එවැනි දැනුවත් කිරීම් ගම් මට්‌ටම තුළදී අසාර්ථක වීමයි.

කෙසේ වුවත් රට තුළ භූ කම්පන සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට කාලය මෙය නොවේ යෑයි කිසිවෙකුටත් තර්කයක්‌ නැගිය නොහැක. අප කුමන ආගමකට, ජාතියකට, පක්‍ෂයකට, කුලයකට අයත් වුවත් ඕනෑම ආපදාවක්‌ නොදන්වාම අනපේක්‍ෂිත වේලාවක නොවිය හැක. එබැවින් ඒ සඳහා සූදානම් විය යුතුය. මන්ද ඔබට අහිමි වන දේ ලබාගත හැකි වුවත් අහිමි වන ජීවිත කිසිවෙකුට නැවත ලබාදිය නොහැකි බැවිනි.

එරන්දන හේමවර්ධන - හිටපු ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ
http://www.divaina.com/2015/05/15/feature.html

Pic Source

0 comments: