Pages

Sunday, May 24, 2015

යාපනය සිද්ධිය - වවුනියාවේ හර්තාල්

යාපනය අධිකරණයට සහ පොලිසියටප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 129 දෙනා ලබන 03 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස යාපනය මහෙස්‌ත්‍රාත්වරයා ඊයේ (21 වැනිදා) නියෝග කළේය.

අයුතු ජනරාශිය, රජයේ දේපළවලට හානි කිරීම, පොලිස්‌ රාජකාරියට බාධාකිරීම යන චෝදනා මත මෙම සැකකරුවන් පිරිස යාපනය පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

කයිට්‌ස්‌ පුන්කුඩිතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්‌ කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමට තමන් වෙත භාර දෙන්නැයි කියමින් යාපනය නගරයට රැස්‌ වූ දෙදහසකට අධික පිරිසක්‌ පෙරේදා (20 දා) දහවල් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.

එහිදී උද්ඝෝෂකයන් යාපනය අධිකරණයට ගල් මුල් ප්‍රහාර එල්ල කර පසුව යාපනය පොලිසියට ද ප්‍රහාරයක්‌ එල්ල කළහ.

පොලිසිය අහසට වෙඩි තබා කඳුළු ගෑස්‌ සහ බැටන් ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කරන ලදී.

මෙහිදී පොලිස්‌ නිලධාරීන් පස්‌දෙනෙක්‌ ද කලහකාරීන්ගේ ප්‍රහාරයට ලක්‌ව තුවාල ලැබූහ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් 129 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර, අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කරනු ලැබුවේ එම සැකකරුවන් ය.

කලහකාරීන් බන්ධනාගාර බස්‌ රථයක්‌ ඇතුළු වාහන විශාල ප්‍රමාණයකට ද පහර දී විනාශ කර දමා තිබිණි.

මේ අතර කලහකාරී පිරිස්‌ පැමිණි යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 65 ක්‌ ද පොලිස්‌ භාරයට ගෙන තිබේ.

යාපනය නගරය යුද පිටියක්‌ බවට පත් කිරීමට ක්‍රියා කළ තවත් පුද්ගලයන් විශාල පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්‌ථාවේ පටිගත කරන ලද වීඩියෝ දර්ශන පරීක්‍ෂා කර එම සැකකරුවන් හඳුනා ගැනීමට කටයුතු කර ඇති බව ද පොලිසිය කියා සිටියි.

මේ අතර ඊයේ වන විට යාපනය නගරය ඉතාම සාමකාමී තත්ත්වයකට පත්ව තිබිණි. යාපනය නගරයේ ආරක්‍ෂාව සඳහා පොලිසිය මෙන්ම පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ද යෙදවූ බව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා පැවැසීය.

යාපනය නගරයේ ඇති වූ කලබලකාරී තත්ත්වය පරීක්‍ෂා කර අදාළ නිලධාරීන්ට උපදෙස්‌ ලබා දීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ද එහි ගොස්‌ සිටියේය.

දහඅට හැවිරිදි පාසල් ශිෂ්‍යාව දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්‌ඩායමක්‌ ද යාපනයට ගොස්‌ සිටිති.

පුන්කුඩිතුව් ශිෂ්‍යාව දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙමළ ජාතිකයන් නවදෙනෙක්‌ අත්අඩංගුවට ගත් අතර ඔවුහු මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති. සැකකරුවන් අතර ස්‌විට්‌සර්ලන්තයේ ද්විත්ව පුරවැසි භාවය ලැබූ තරුණයකු ද සිටින බව පොලිසිය පවසයි.

මේ අතර පාසල් ශිෂ්‍යාව ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් වවුනියාවේ එක්‌සත් වෙළෙඳ සංගමය ඇතුළු සංවිධාන කීපයක්‌ විසින් ඊයේ මුළු දවස පුරාම වවුනියාවේ හර්තාලයක්‌ දියත් කිරීම නිසා සාමාන්‍ය වැසියන්ගේ ජන ජීවිතවලට විශාල වශයෙන් බාධා එල්ල වී තිබිණි.

වවුනියාවේ හර්තාලය හේතුවෙන් සියලුම වෙළෙඳසල් වසා දමා තිබූ අතර ගමනාගමන කටයුතු ද අඩාල වී තිබිණි. රජයේ කාර්යාල විවෘත කොට තිබුණ ද සේවකයන් නිසි ලෙස නොපැමිණීම නිසා වවුනියාවේ ඇතැම් රජයේ කාර්යාල අඩපණ වී තිබේ. නගරයේ පාසල්වලට ද සිසුන් පැමිණ සිටියේ අඩු ප්‍රමාණයකි.

ගමනාගමන කටයුතු අඩපණ වී තිබීම නිසා ගම්බද ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින අන්දම දැක ගන්නට ලැබුණි.

විශාල පොලිස්‌ බලඇණියක්‌ යොදවා වවුනියාව නගරයේ ආරක්‍ෂාව දැඩි කොට තිබූ අතර, කිසිදු ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවක්‌ වවුනියාවේ කිසිදු පළාතකින් වාර්තා නොවුණු බව පොලිසිය ප්‍රකාශ කළේය.

වවුනියාවේ රජයේ කාර්යාලවල සේවකයෝ ද සිය කාර්යාල ඉදිරිපිට දී පැයක පමණ කාලයක්‌ උද්ඝෝෂණවල නිරත වූයේ පාසල් දැරිය දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට ඇප දීම ප්‍රතික්‍ෂේප කොට ඔවුන්ට මරණීය දණ්‌ඩනය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමිනි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන සහ දිනසේන රතුගමගේ
http://www.divaina.com/2015/05/22/news09.html

Pic Source

සබැඳි ලිපි -
[

යාපනයේ පාසල් දැරියගේ සිද්ධියට මුවාවී නීතිය අතට ගන්න හදන අයට එරෙහිව වහා ක්‍රියාත්මක වන්න - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu_23.htmlඋතුරේ ප්‍රචණ්‌ඩ ක්‍රියා සැලසුම් සහගත වැඩක්‌! නාවක්‌කුලි සිංහල ගම්මානයට පිරිස් එකතුකරගන්න ඇවිත්http://denethharinna.blogspot.com/2015/05/blog-post_36.htmlයාපනයේ ජීවත්වන සිංහල ජනතාවට තර්ජනය කරමින්, සිසුවියගේ ඝාතනයට මුවාවී යාපනයේ ත්‍රස්‌තවාදය හිස එසවීමට තැත් කරනවා - JHUhttp://denethharinna.blogspot.com/2015/05/jhu.htmlශිවලෝගනාදන් වින්ද්‍යාගේ මළකඳ මතින් උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට යාපනයේදී අන්තවාදීන් පහර දීමhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_33.htmlඋතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"http://denethharinna.blogspot.com/2015/05/blog-post_51.htmlඑදා එල්ටීටීඊය පටන් ගත්තේත් ඔහොම තමයි. උතුරේ පොලිසිවලට ගල් ගැසීම ඉතා බරපතළ තත්ත්වයක්‌! - MRhttp://denethharinna.blogspot.com/2015/05/mr.html
]

0 comments: