Pages

Tuesday, May 19, 2015

ලංකාවේ දේශපාලන පරපුරකින් බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුවට ගිය රනිල්

හොරණ අඟුරුවාතොට පිහිටි ජයවර්ධන නිවසත් විසල් වටපිටාවත් "දිගු අතීතයක්‌" පිළිබඳ නිහඬ සාක්‍ෂි සපයන අෙච්තනික වස්‌තුන් බඳුය. නිවසට මදක්‌ එපිටින් වන්නට පිහිටි කළුගඟ එකල මෙන්ම අදද නිහඬව පහළට ගලමින්ය. නිහඬතාව තුළ බොහෝ පාඩම් ඇති බව අසා ඇති කියමනක සඳහන්ව තිබුණා මතකය. මේ සටහන තබන්නේ ජයවර්ධන නිවසේ වර්තමාන පදිංචිකරුවා වන විමල් ආනන්ද ජයවර්ධනටත් එම නිවසත් හා බැඳුන අතීතයත් වර්තමානය තුළ නැවත කතා බහකට ලක්‌වෙමින් ඇති මොහොතකය.

මෙහි කථා නායකයා රනිල් මැල්කම් ජයවර්ධනය. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුනක්‌ දිනූ ශ්‍රී ලාංකිකයෙකු වීම රටට ආඩම්බරයක්‌ වී ඇත. රනිල්ගේ 'බාප්පා' වන විමල් ආනන්ද ජයවර්ධන රනිල්ගේ ජයග්‍රහණයෙන් සතුටුවන ලක්‍ෂ සංඛ්‍යාත ලාංකිකයන්ගෙන් එක්‌ අයෙකු පමණක්‌ නොව රනිල්ගේ බාප්පා වීම ඔහු ලබන සතුට දෙගුණ තෙගුණ කරවන්නක්‌ය. මේ මොහොතේ ඔහු අත්විඳිමින් සිටින්නේ තමන්ගේ පුත්‍රයෙක්‌ හිරු නොබසින අධිරාජ්‍යයේ "ලකුණක්‌" වීම සම්බන්ධයෙන් තාත්තා කෙනෙකු විඳින සතුටට නොදෙවෙනි තරමේ වූ සතුටක්‌ය.

"මට... සහෝදර සහෝදරියො හය දෙනයි. රනිල් පුතාගේ තාත්ත මගේ අයිය..." ඔහු එසේ පවසා සිටියේ දිගු කථාවකට ආරම්භය ගනිමින්ය.

<---රනිල්ගේ සීයා වන හෙන්රි ජයවර්ධන (බුලත්සිංහල හිටපු ශ්‍රීලනිප සංවිධායක) හා මිත්තණිය

මෙතැන් සිට රනිල් මැල්කම් ජයවර්ධන නමැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අපේ කෙනෙක්‌ බවට පත්වන්නේ විමල් ආනන්ද ජයවර්ධන මහතා විසින් රනිල් ජයවර්ධන ඇතුළු ඔහුගේ පරපුරේ ඇත්තන් පිළිබඳ වැඩිදුරටත් සිදුකරන හෙළිදරව්ව තුළින්ය.

"අයිය... එංගලන්තයට යන්නේ 1978 අවුරුද්දෙ. අපේ තාත්ත ඒ කියන්නේ රනිල් පුතාගේ සීයා හෙන්රි ජයවර්ධන. අම්ම ඩේසි අබේවික්‍රම. අම්ම ගාල්ලේ බද්දෙගම. මේ පළාතේ ප්‍රථම ගම්සභාපති රිචඩ් ජයවර්ධන මගේ මහප්ප. 1927 - 30 කාලේ මගේ මහප්ප තමයි මේ පළාතේ ගම්සභාපති. ඔහොම ඉන්න අතරේ 1931 දී මහප්ප මිය පරලොව යනව. ඊට පස්‌සෙ මගේ පියා ඒ කියන්නේ රනිල් පුතාගේ සීය හෙන්රි ජයවර්ධන මූවවත්ත භාග පත්තුවේ ගම්සභාපති බවට පත්වෙනව. 1936 ඉඳල 1946 අවුරුද්ද දක්‌වා ගම්සභාපති තනතුර දරපු තාත්තා නැවත වතාවක්‌ 1962 ඉඳල 1977 දී ඒ ක්‍රමය අහෝසි වෙනකම් ගම් සභාපති තනතුර හොබවනව. අපේ පවුලේ දේශපාලනය සම්බන්ධ වන්නේ එහෙමයි.

"අපේ අම්මගේ පාර්ශ්වය, ගත්තත් එහෙමයි. ඒ අයත් දේශපාලනයට සම්බන්ධයි. ඒ අය දේශපාලනය කළේ ගාල්ලේ. මගේ අම්මගේ (රනිල්ගේ මිත්තනියගේ) අයිය සයිමන් අබේවික්‍රම සර් ජෝන් කොතලාවල මහත්තයගේ උප ඇමැති ලෙස කටයුතු කළ කෙනෙක්‌. අම්මගේ තව සහෝදරයෙක්‌ වන හෙන්රි අබේවික්‍රම 1956 බණ්‌ඩාරනායක රජයේ වැඩ ඇමැති ලෙස කටයුතු කළ අයෙක්‌. අම්මගේ බාලම සහෝදරයා විල්සන්ට්‌ අබේවික්‍රම ඔහුත් දිගු කාලයක්‌ බද්දෙගම ගම් සභාවේ හිටපු සභාපතිවරයෙක්‌".

"ඔය විදියට රනිල් පුතාගේ සීයගෙ ආච්චිගේ දෙපාර්ශ්වයෙම අය ඒ කාලේ ඉඳලම දේශපාලනයට සම්බන්ධයි. රනිල් පුතාගේ තාත්ත නලීන් මහින්ද ජයවර්ධන ඇතුළු අපි හය දෙනාම උස්‌ මහත් වුණේ එහෙම වටපිටාවක. රනිල්ගේ තාත්තා අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. අයිය ඉගෙනීමට දක්‍ෂයි."

ඔහොම ඉන්න අතරේ තමයි 1978 වසරේ වැඩිදුර අධ්‍යාපනය පිණිස එංගලන්තයට යන්න අයිය තාත්තගෙන් අවසරය ඉල්ලන්නෙ. ඒ ගමනට තාත්ත අවසර දෙනව. අක්‌කර පහක රබර් වත්තක්‌ විකුණල ඒ ගත්ත මුදලින් අයියව එංගලන්තයට යවනව. එහෙම තමයි රනිල් පුතාගේ තාත්තා මගේ අයිය ලංකාවෙන් පිටත්වන්නේ..."

එලෙසින් මව්බිමෙන් සමුගන්නා නලින් මහින්ද ජයවර්ධන එංගලන්තය බලා පිටත්ව යන්නේය. කෙටි කලක්‌ තුළ ආගන්තුක පරිසරයට හුරුපුරුදුවන ඔහුගේ ඉරණම්කාරිය මුණ ගැසෙන්නේ එංගලන්තයේ දීය. ඇය ඉන්දීය ජාතික කාන්තාවක්‌ වන අතර ඔවුන්ගේ ආදර සම්බන්ධය කෙළවරක්‌ දකින්නේ විවාහ ගිවිස ගැනීමක්‌ තුළින්ය. ඔවුන්ගේ විවාහයට ජාති, ආගම් භේද දේශ දේශාන්තර සීමා මායිම් බාධාවක්‌ නොවන්නේය. ඉන් වසර කීපයකට පසු නලීන් මහින්ද ජයවර්ධන යුවලට කුළුඳුල් පුත් රුවන වී රනිල් මැල්කම් ජයවර්ධන උපත ලබන අතර එම වාසනාවන්ත තිළිණය ඔවුන් දෙපළගේ දොතට පත්ව ඇත්තේ 1986.09.03 වැනි දිනය.

"මගේ අයියගේ ලොකු පුතා තමයි රනිල් මැල්කම් ජයවර්ධන. අයියට තවත් දරුවො දෙන්නෙක්‌ ඉන්නව. දරුවෝ තුන්දෙනාම උපදින්නේ එංගලන්තයෙදී. අයිය ලංකාවෙ ඉන්න දවස්‌වලත් බොහොම සමාජශීලී කෙනෙක්‌. තියෙන දෙයක්‌ නැතිබැරි අයට දෙන්න එයා හුඟක්‌ කැමතියි. ගමට ගමේ කමට හරිම ලැදියි. රනිල් පුතාගේ සිතුම් පැතුම් අයියට සමානයි".

"මට මතකයි... මීට වසර දෙකකට විතර පෙර රනිල් පුතා මට සුබ පැතුමක්‌ එවන ගමන් ඒකෙ සඳහන් කරල තිබුන විශේෂ කරුණක්‌, ඒකෙ සඳහන් කරල තිබුණ රනිල් පුතා එංගලන්තයේ දී දේශපාලනය කරනව කියන කාරණය."

මම... ඒකට පිළිතුරක්‌ යවමින් සඳහන් කරල යෑව්ව "ඔබට කවදාක හෝ එංගලන්තයේ ඩවුනින් වීදියේ පිහිටි අංක 10 දරන නිවසට යන්න ලැබේවා" කියල. ඩවුනින් වීදියේ අංක 10 දරන නිවස තමයි බ්‍රිතාන්‍ය අගමැති නිල නිවස. මම ඒකයි රනිල් පුතාට එහෙම සුබ ප්‍රාර්ථනා කළේ. රනිල් පුතා 2008 වර්ෂය වෙද්දීත් එංගලන්තයේ බැසින්ස්‌ටෝක්‌ නගර සභාවේ මන්ත්‍රීවරයෙක්‌. පසුව උපනගරාධිපති වෙලත් කාලයක්‌ ඉඳල තියෙනව. එහෙම පියවරෙන් පියවර ආපු ගමනක්‌ තමයි ඔහු එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ දක්‌වා දුර ගමනක ඇරඹුම වුණේ".

"එදා මං කරපු ප්‍රාර්ථනාව කවදාහරි දවසක ඇත්තක්‌ වෙයි කියල මං තුළ විශ්වාසයක්‌ පවතිනව. බහුතරයක්‌ සුදු ජාතිකයන් ජීවත්වන ඇමරිකාවේ ජනාධිපති වුණේ කළු ජාතික බැරක්‌ ඔබාමා. ඔහුට ජාති ආගම් භේද බලපෑවේ නෑ. එහෙම එකේ ලාංකිකයෙක්‌ වන රනිල් පුතාට එංගලන්තයේ අගමැතිවීම දක්‌වා ගමනක්‌ යන්න හැකියාව තියෙනව".

තම අයියාගේ පුතා පිළිබඳ උපන් උස්‌ හැඟීමන් වචන බවට පත් කරමින් සිටි විමල් ආනන්ද ජයවර්ධන මඳකට නිහඬ විය. එය රනිල් ජයවර්ධනයන් සම්බන්ධ වර්තමාන තොරතුරු වලින් බිඳක්‌ මෙහි සඳහන් කිරීම පිණිස ලබා දුන් අමතර කාලයක්‌ බදු විය.

ඉතිහාසය අනාවරණය කිරීම මඳකට නතරකොට නැවත වර්තමානයට පිවිසිය යුතුය. රනිල් ජයවර්ධන පිළිබඳ පසුගිය දිනවල ලෝකයේම කථා බහට ලක්‌විය. ආඩම්බර විය යුත්තේ හිරු නොබසින අධිරාජ්‍යයේ 'ලකුණක්‌' බවට පත්වූ ඔහු ලාංකික සම්භවයක්‌ සහිත පුද්ගලයෙකු වීම පිළිබඳවය. ඔහුත් ඔහු සම්බන්ධ ඉතිහාසයත් පිළිබඳ අක්‌මුල් පිහිටා ඇත්තේ ලක්‌ පොළොව මත වීමත්, ඉතිහාසයක්‌ සහිත මිනිසුන් යළි යළිත් ප්‍රභාවත්වන ආකාරයත් පිළිබඳ එංගලන්තයේ ජීවත්වන රනිල් ජයවර්ධන ලෝකයට කියා දී ඇති අලුත් පාඩමක්‌ වැනිය.

බැසින්ස්‌ටොක්‌ නගරයේ ජීවත්වන රනිල් සහ ඔහුගේ බිරිඳවන බ්‍රිතාන්‍ය ජාතික ඇලිසන් යුවළ මව්පියන් බවට පත්වන්නේ බ්‍රිතාන්‍ය මහමැතිවරණය පැවැති පසුගිය 07 දාට සති කීපයකට එපිට දිනකය. අලුත උපන් සිඟිති දියණිය රනිල් යුවළට දෙවියන් ලබාදුන් අපූරු ත්‍යාගයක්‌ බඳු විය. අලුත උපන් බිලිඳියට රනිල් විසින් නම් තබන ලද්දේ 'ඩේසි' යනුවෙන්ය. මෙරට ජීවත්වූ රනිල්ගේ මිත්තනියගේ නම ඩේසි අබේවික්‍රම නම් විය. තම දියණියට 'ඩේසි' යනුවෙන් නම් තබන ලද්දේ මිත්තනිය සිහිපත්වීම පිණිස විය හැක. ඔහු ඒ තරමටම මව්බිමට ඇළුම් කරන්නෙකු ලෙසින් ප්‍රකටය.

දියණියක්‌ ඉපද සති කීපයක ඇවෑමෙන් උදාවන එංගලන්ත මහ මැතිවරණයට තරග කළ රනිල් මැල්කම් ජයවර්ධන ඉන් ජය ලබන්නේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා වැඩි ඡන්ද 29916 කින් පරාජය කරමින්ය. ඔහුට ජයග්‍රහණය සඳහා යන මඟෙහි අභියෝගද විය. සැබෑ මිනිසුන් පරාජය කළ නොහැකි වේ. සනාථ කරමින් රනිල් ජයවර්ධන අත්කරගත් ජයග්‍රහණය විශිෂ්ට එකක්‌ වී ඇත්තේ ප්‍රතිශතයක්‌ ලෙස එය 66% වීම හේතුවෙන්ය. බ්‍රිතාන්‍යය අගමැති ඩේවිඩ් කැමරන්ගේ පක්‍ෂය වන කොන්සර්වෙටිව් පක්‍ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ ඊසාන දිග හැම්ෂයර් ආසනයෙන් ඡන්ද 35573 ක්‌ ලබා රනිල් ජයවර්ධන එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ එරට ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට පමණක්‌ නොව මුළු මහත් ලාංකික ජනතාවටම ආඩම්බරයක්‌ ගෙන දෙමින්ය.

එංගලන්තයේ පැවැති මැතිවරණය රනිල් ජයවර්ධන සම්බන්ධව වඩාත් ආන්දොලනාත්මක වන්නේ විරුද්ධ පක්‍ෂ අපේක්‍ෂකයෙකුවන රොබට්‌ බ්ලේ විසින් කළ ප්‍රකාශයක්‌ ලෝකයට අනාවරණය වීමත් සමඟය. එක්‌සත් රාජධානී නිදහස්‌ පක්‍ෂයේ (ඹගණගෂගඡග) අපේක්‍ෂකයෙකු වන රොබට්‌ බ්ලේ ප්‍රකාශ කර ඇත්තේ.

ඉතිහාසයක්‌ නැති මිනිසෙකුට එංගලන්තයේ අගමැති පුටුව හිමි නොවිය යුතු බවත් තමන්ගේ පරපුරට වසර 400 ක ඉතිහාසයක්‌ පැවතියද රනිල්ට ඇත්තේ හතළිස්‌ වසරක ඉතිහාසයක්‌ පමණක්‌ බවත්ය. එබැවින් බ්‍රිතාන්‍ය ජනතාව විසින් රනිල්ව ප්‍රතික්‍ෂේප කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති රොබට්‌ බ්ලේ අවසාන වශයෙන් තම තරහ පිරිමසාගෙන ඇත්තේ රනිල් ජයවර්ධන වෙත මරණීය තර්ජන පවා එල්ල කරමින්ය. එහෙත් රනිල් ජයවර්ධන ඉදිරි පස්‌ වසරක කාලය සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ තම ප්‍රතිවාදියෙකුවන රොබට්‌ බ්ලේ අන්ත පරාජිතයෙකු බවට පත් කරවමින්ය.

එංගලන්තයේ (ඛගීගෑග) සරසවියේ උපාධිධාරියෙකු වන රනිල් ජයවර්ධනට රොබට්‌ බ්ලේ අභියෝගයක්‌ නොවූ අතර ඔහුගේ පිය පාර්ශ්වය වන ජයවර්ධන පරපුර විසින් ලද පන්නරය දුරු රටකදී වුවද ඔහු අතැර නොගොසින්ය. රනිල්ගේ තාත්තා වන නලින් මහින්ද ජයවර්ධන මහතාගේ සහෝදර සහෝදරියන් කීප දෙනෙක්‌ මේවන විටද විදේශයන්හි උසස්‌ තනතුරු හෙබවමින්ය. මේ වනවිට ඔවුන් සියලු දෙනාගේ මෙරට නියෝජනය වන්නේ රනිල් ජයවර්ධනයන්ගේ බාප්පා වන විමල් ආනන්ද ජයවර්ධනය. ඔහු සිහිපත්කළ හැකි අතීතයක්‌ සහිත පුද්ගලයෙකුය. අද පවා ආනන්ද ජයවර්ධන මහතා පස්‌දුන් කෝරළයේ අඟුරුවාතොට ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්‌ වී ඇත. මේ වන විට තම අයියාගේ පුතණුවන් විසින් බ්‍රිතාන්‍යයේදී අත්කරගත් ජයග්‍රහණය පිළිබඳ වගතුග විමසීම පිණිස, සුබ පැතුම් එක්‌කිරීම පිණිස පැමිණෙන්නන්ගෙන් ජයවර්ධන නිවස තරමක කලබලකාරී ස්‌වරූපයක්‌ ගෙන ඇත. ඒ සියලු දේ අතර 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ එක්‌වෙමින් විමල් ආනන්ද ජයවර්ධන මහතා විසින් වැඩි දුරටත් අදහස්‌ දක්‌වන්නට විය.

<---රනිල් සිය මව හා පවුලේ උදවිය සමග කණ්‌ඩලම වැව් ඉස්‌මත්තේදී ගත් ඡායාරූපයක්‌. එවකට ඔහු 16 හැවිරිදි වියෙහි පසුවිය.

"රනිල් පුතාගේ ජයග්‍රහණය එක්‌තරා පැත්තකින් අපේ රට ලැබූ ජයක්‌. මොකද පුතා උපන්නේ එංගලන්තයේ වුණත් එයා ලංකාවට ආදරය කරන කෙනෙක්‌. වරක්‌ ලංකාවට ආපු වෙලාවක පුතා ලංකාවෙ වැදගත් ස්‌ථාන රැසක සංචාරය කරමින් වටිනා තොරතුරු රැසක්‌ එකතු කළ බව මට මතකයි. එයා තුළ රට සම්බන්ධව ගැඹුරු හැඟීම් උපදින බව මට විශ්වාසයක්‌ තියෙනව. ඒ වගේම තමයි රනිල් පුතාගේ අම්ම භාරත කාන්තාවක්‌. රනිල් පුතා සංස්‌කෘතීන් දෙකක එකතුවක්‌. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වීම අපට වගේම ඉන්දියාවටත් ආඩම්බරයක්‌. ඉදිරියේ දී ඔහුට පුළුවන් වෙයි අපේ රට සම්බන්ධව ජාත්‍යන්තරය තුළ හඬක්‌ නගන්න. ඒ තුළින් රටට ජයග්‍රහණ අත්කර දෙන්න හැකිවේවි. අපේ ගම් පළාත්වල ජනතාවටත් මේ ජයග්‍රහණය සුවිශේෂි දෙයක්‌. ඔහුට දිගු ගමනක්‌ යන්න ලැබේවා කියන පැතුම දුප්පත් පොහොසත් භේදයකින් තොරව හැමෝගෙම පැතුම වෙලා තියෙනව. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරයෙක්‌ වුණ මගේ අයියගේ පුතාව දැකබලා ගැනීම හුඟදෙනෙකුගේ ආශාව බවට පත්වෙලා. ඒ සම්බන්ධව මගේ අයියව දැනුවත් කරනව. ඔහුත් බ්‍රිතාන්‍යය අධිකරණයක මහෙස්‌ත්‍රාත්වරයෙක්‌ ලෙස කටයුතු කරන කාර්ය බහුල පුද්ගලයෙක්‌. ඔවුන්ට ලංකාවට පැමිණීමේදී ගැටලුවකට තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්‌ පමණයි. මට විශ්වාසයි අයිය දවසකට දෙතුන් සැරයක්‌ හදවතින් හරි ලංකාවට ඇවිත් යන විත්තිය. ඔහු ඒ තරමටම උපන් බිමට ඇළුම් කරන කෙනෙක්‌. ආදරණීය සහෝදරයෙක්‌...." එසේ පවසමින් ආනන්ද ජයවර්ධන මහතා කථාව හමාර කළ අතර ඔහු පැවසූ සියලු දෙය සත්‍ය බවට සනාථ කළ හැකි ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ ජයවර්ධන නිවසෙහි විය.

වර්තමානය නිර්මාණය වී ඇත්තේ ඉතිහාසයේ පාදම මත බැවින් අපට ඉන් මිදිය නොහැකිය. රනිල් මැල්කම් ජයවර්ධන බ්‍රිතාන්‍ය යටත් විජිතයට යටත්ව තිබූ රටවල් දෙකක එකතුවක්‌ ලෙස එරට පාර්ලිමේන්තුව ජය ගන්නෙත් අප ඉන් ප්‍රහර්ෂයට පත් වන්නේත් ඉහත කාරණා සියල්ලගේ එකතුවෙන් විය යුතුය. හිරු නොබසින අධිරාජ්‍යයේ අගමැති පුටුව මත "අපේ කෙනෙක්‌" අසුන්ගැන්වීම පිළිබඳ බාප්පා කෙනෙකු තුළ වන "සිහින" අප තුළද පහළ වන්නේ රනිල් මැල්කම් ජයවර්ධන නම් ශ්‍රී ලාංකිකයා ලොව උස්‌ තැනක සිටීම රටවැසියන් ලෙස අපටද සතුටු විය හැකි කරුණක්‌ වීම හේතුවෙන්ය.

රුවන් ජයවර්ධන - නන්දන ශ්‍රී කෝට්‌ටේගොඩ
http://www.divaina.com/2015/05/17/feature06.html

සබැඳි ලිපි -
[
රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට තේරෙයිhttp://denethharinna.blogspot.com/2015/05/blog-post_78.html
]

0 comments: