Pages

Tuesday, May 26, 2015

සීගිරි කැටපත් පවුරට විශේෂ ආරක්‍ෂණ පද්ධතියක්‌

නව තාක්‍ෂණයෙන් යුත් විශේෂ ආරක්‍ෂණ පද්ධතියක්‌ සවිකිරීම මගින් සීගිරි කැටපත් පවුර මානව ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා කර ගැනීමට යෝජනා වී ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

පසුගිය කාලයේ කැටපත් පවුරට හානි කිරීමේ සිද්ධීන් ගණනාවක්‌ වාර්තා වූ බවත් ඒ පිළිබඳව අවධානය යොමුකිරීමේදී කැටපත් පවුරේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව ඇතැමුන්ගේ ඇති අනවබෝධය හේතු වී ඇති බව විශේෂයෙන් දමිළ ජනතාවගේ අවබෝධය අඩු බවත් නිරීක්‍ෂණය කළ බවත් ඒ අනුව කැටපත් පවුරේ වටිනාකම පිළිබඳව හා ඊට හානියක්‌ සිදු වුවහොත් එහි නිත්‍යානුකූලභාවය පිළිබඳවත් සන්නිවේදන ක්‍රම මගින් එනම් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් අවබෝධයක්‌ ලබාදීමට පළමුවෙන්ම පියවර ගන්නා බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

විද්යුත් කිරණ මගින් කැටපත් පවුර ස්‌පර්ශ කළ විට සංඥාවක්‌ නිකුත්වීම මගින් හා ඊට ළඟාවිය නොහැකි අයුරින් බාධා කිරීම මගින් එහි ආරක්‍ෂාව තහවුරු කළ හැකි බවට ක්‍ෂේත්‍රයේ විද්වතුන් යෝජනා කර ඇති බව ද ඒ මහතා කීවේය.

මීට පෙර කැටපත් පවුර ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂිත වීදුරු ආවරණයක්‌ සවි කිරීමට යෝජනා වී තිබූ අතර එමගින් කැටපත් පවුරට ස්‌වාභාවිකව එන සුළං ධාරා ළඟා නොවීමෙන් එහි ජල ආර්ද්‍රතාවය වෙනස්‌වීම් තුළින් කැටපත් පවුරට හානි සිදුවිය හැකි බවට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ විද්වතුන් මත පළකිරීමෙන් පසු මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.

ඉකුත් පෙබරවාරි මස 14 වැනි දින මඩකලපුව ප්‍රදේශයේ දමිළ තරුණියක්‌ කැටපත් පවුරට හානි කිරීම නිසා සිර දඬුවමක්‌ නියම වූ අතර ජනාධිපතිවරයාගේ විශේෂ සමාවක්‌ යටතේ ඇය ඉකුත් 30 වැනිදා නිදහස්‌ විය.

සීගිරිය - සරත් එරමිණිගම්මන
http://www.divaina.com/2015/05/26/news16.html

Pic Source

0 comments: