Pages

Sunday, May 3, 2015

පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තා රැසක්‌ පිහිටුවා 19 සම්මත කරගත් හැටි!

දහනව වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අඟහරුවාදා පෙරවරු 9.30 සිට රාත්‍රි 11 දක්‌වා පැවැති විවාදයෙන් පසු තුන්වැනි වර කියෑවීමේ ඡන්ද විමසීමේදී තුනෙන් දෙකකටත් වැඩි අති බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 212 ක්‌ ලැබුණු අතර විරුද්ධව ඡන්දය දුන්නේ එජනිස දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සරත් වීරසේකර මහතා පමණි. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට සහයෝගය දක්‌වන ගාලු දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අජිත් කුමාර මහතා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එජනිස මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය විමසන අවස්‌ථාවේ සභාව තුළ සිටියේ නැත.

කෙසේ හෝ අප්‍රේල් 27 දා පාර්ලිමේන්තුව රැස්‌ වූ අවස්‌ථාවේ, විපක්‍ෂයේ දැඩි විරෝධය එල්ල වූයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබූ මැතිවරණ කාලයේදී මැතිවරණ කොමසාරිස්‌වරයාගේ නියෝග පිළිනොපදින විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ට දඬුවම් ලබා දිය යුතු බව දැක්‌වෙන සංශෝධනයටය. මෙය ගැසට්‌ පත්‍රයේ පළකොට ඇති පනත් කෙටුම්පතට ඇතුළත් නොවන බවත් මෙය පසුව එකතු කරන ලද එකක්‌ බව පවසමින් දිනේෂ් ගුණවර්ධන, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, යන මහත්වරු දැඩි විරෝධය පළ කළහ. මාධ්‍ය ආයතන ප්‍රධානීන් ජනාධිපතිවරයා, ජනමාධ්‍ය ඇමැතිවරයා සහ තමා ද හමුවේ මේ ගැන කරුණු දක්‌වා සිටි බවත්, ඒ අනුව එම සංශෝධනය ඉවත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළෙන් එය ද සමථයට පත් විය.

මේ වන විට විපක්‍ෂය විසින් 19 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන රාශියක්‌ ඉදිරිපත් කොට තිබිණි. ඒවාට ආණ්‌ඩුව එකඟ නොවීය. තම සංශෝධන පිළිගන්නේ නැතිනම් පනත් කෙටුම්පතට ඡන්දය නොදෙන බව විපක්‍ෂය කියා සිටීම නිසා 27 දා පෙරවරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපතිවරයාගේත් අග්‍රාමාත්‍යවරයාගේත් සහභාගිත්වයෙන් පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ පැවැත්විණි.

පනත් කෙටුම්පත සඳහා විපක්‍ෂය විසින් ක්‍ෂේත්‍ර 8 ක්‌ පිළිබඳ සශෝධන ඉදිරිපත් කොට තිබුණි. ව්‍යවස්‌ථාදායක සභාවට පිටස්‌තර පුද්ගලයන් පත් කිරීම, අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳ වගන්ති සඳහන් නොවීම ඇතුළු කරුණු ගණනාවක්‌ සම්බන්ධයෙන් විපක්‍ෂය ඉදිරිපත් කළ අදහස්‌වලට ආණ්‌ඩුව එකඟ වූයේ නැත. ආණ්‌ඩුව විසින් 19 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කොට තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අනුව බැවින් මෙයින් ගැටලු ඇති නොවන බව අගමැතිවරයා පෙන්වා දී ඇති නමුත් විපක්‍ෂය එයට එකඟ වී නැත. මේ නිසා පක්‍ෂ නායක රැස්‌වීම දැඩි උණුසුම් තත්ත්වයකට පත්වීම හේතුවෙන් මෙම සංශෝධන පිළිබඳව එකඟත්වයක්‌ ඇති කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළ යුතු යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කොට ඇත.

ඒ අනුව ඇමැති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සහ අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්‌තාපා, රජීව් විඡේසිංහ සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරුන් එම කමිටුවට පත් කෙරිණි.

කමිටුව 27 දා පස්‌වරුවේ රැස්‌වීම ගැටලු සහගත සංශෝධන පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. අන්තිමේදී සංශෝධන 2 ක්‌ හැර අනෙක්‌ සංශෝධන සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට එම කමිටුවට හැකි විය. එකඟතාවක්‌ ඇති කර ගත නොහැකි වූයේ ඇමැති මණ්‌ඩලය පත් කිරිමේදී ජනාධිපතිවරයා අගමැතිගේ උපදෙස්‌ ලබා ගත යුතුය යන සංශෝධනය සහ ව්‍යවස්‌ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම පිළිබඳ සංශෝධනයයි.

විපක්‍ෂය විසින් ඉදිරිපත් කොට තිබූ සංශෝධන හා කොන්දේසි නිසා උද්ගත වී ඇති තත්ත්වය වාර්තා වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 28 දා පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්‌වීමට පෙර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම කැඳවා තිබුණේ 19 වැනි සංශෝධනයට කෙසේ හෝ එජනිස මන්ත්‍රීවරුන් එකඟ කරවා ගැනීම සඳහා ය.

28 දා දහවල් වන විට ව්‍යවස්‌ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සහ අගමැතිවරයාගේ උපදෙස්‌ පරිදි ජනාධිපතිවරයා විසින් ඇමැතිවරු පත් කිරිම පිළිබඳ ආණ්‌ඩුවේ සංශෝධනවලට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිගින් දිගටම විරෝධය පළ කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම සංශෝධන වෙනස්‌ කිරීම ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

ජනාධිපතිවරයා විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, රජීව් විඡේසිංහ යන විපක්‍ෂයේ මන්ත්‍රීවරු ද අගමැති රනිල් වික්‍රමසිංහ, සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ, අජිත් පී. පෙරේරා යන මහත්වරුන් සමඟ එදින හතරපස්‌ වතාවක්‌ම සාකච්ඡා පැවැත්වීය.

පස්‌වරු 4 වන විටත් පැවැතියේ අවිනිශ්චිත තත්ත්වයකි. පස්‌වරු 6 ට 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබිණි. පාර්ලිමේන්තුවේ පහළ මාලයේ කොරිඩෝරවල ගැවසෙමින් සිටි මාධ්‍යවේදීන් මැති ඇමැතිවරුන් එහා මෙහා යන අතරේ ඔවුන්ගෙන් විමසුවේ 19 සම්මත වේවිද? යන්නයි.

ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු පනත් කෙටුම්පත සම්මතවනු ඇතැයි පැවසුවද, එජනිස මන්ත්‍රීවරුන් සියල්ලෝම වාගේ කියා සිටියේ එය සම්මත වීම අඩමානබවයි. "අපේ සංශෝධනවලට එකඟ වෙනවා නම් පමණයි අපි ඡන්දෙ දෙන්නෙ" යෑයි ඔවුහු මාධ්‍යවේදීන්ට පිළිතුරු දුන්හ.

අවසානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජනාධිපතිතුමාගේ ව්‍යවස්‌ථා කටයුතු පිළිබඳ උපදේශක ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, අගමැතිවරයාගේ නීති උපදේශක පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ප්‍රියානි විඡේසේකර මහත්මිය ඇතුළු පිරිසක්‌ සමඟ ගොස්‌ අංක 2 දරණ කාරක සභා ශාලාවේදී සිදුකළ සාකච්ඡාවකින් පසු යම් එකඟතාවකට පැමිණීමට හැකි විය.

ඒ එකඟතාවය නම් ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 ක්‌ සහ පිටතින් තිදෙනෙකු පත් කිරීමටය. මහජන පරමාධිපත්‍යයෙන් පත් වූ මන්ත්‍රීවරුන් හැර පිටස්‌තර අය ව්‍යවස්‌ථාදායක සභාවට පත් කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිගින් දිගටම විරෝධය දැක්‌වුවද, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයට මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පත්වන බැවින් තීරණ ගැනීමේදී වැඩි බලයක්‌ ඔවුන්ට ලැබෙන නිසා පිටතින් තිදෙනෙකු පත් කිරිමට එකඟ වන්නැයි සන්ධාන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය. එයට ඔවුන් එකඟ වීම නිසා එම ප්‍රශ්නය විසඳුනි.

ජනාධිපතිවරයා විසින් ඇමැතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස්‌ අනුව ක්‍රියා කළ යුතුය යන වගන්තිය අගමැතිගෙන් විමසා ක්‍රියා කළ යුතුය යනුවෙන් සංශෝධනය කිරීමට ද එහිදී තීරණය විය.


මේ වන විට වේලාව පස්‌වරු 5.30 පසු වී තිබුණි. ඡන්දය විමසීමට නියමිතව තිබුණේ පස්‌වරු 6 ට ය. පසුව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සභාව පස්‌වරු 7 දක්‌වා පවත්වාගෙන යායුතු යෑයි යෝජනා කළේය.

ඒ අනුව පස්‌වරු 6.45 ට දෙවැනිවර කියෑවීමේ ඡන්ද විමසීම පවත්වනු ලැබීය. පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 215 ක්‌ ලැබුණු අතර සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරුද්ධව ඡන්දය දුන්නේය. අජිත් කුමාර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටින බව පැවැසීය.

අනතුරුව 19 වැනි සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ තුන්වැනි වර කියෑවීම හෙවත් කාරක සභා අවස්‌ථාව එළැඹියේ ය. පාර්ලිමේන්තුව කාරක සභාව බවට පත්විය.

මෙහිදී නැගී සිටි දිනේෂ් ගුණවර්ධන මහතා මන්ත්‍රීවරුන්ට සංශෝධනවල සිංහල හා දෙමළ පිටපත් ලැබී නැතැයි පැවසූ අතර සභානායකවරයා කියා සිටියේ සෑම මන්ත්‍රීවරයකුටම ඒවා ලබා දී ඇති බවය. එහෙත් තමන්ට පිටපත් නොලැබුණු බව මන්ත්‍රීවරු ගණනාවක්‌ ම කියා සිටියෙන් සියලු දෙනාටම සංශෝධන පිටපත් ලබා දෙන ලෙස දන්වමින් කථානායකවරයා සභාවේ කටයුතු විනාඩි 15 කට කල් තැබීය.

අනතුරුව පස්‌වරු 7.15 ට කාරක සභාව රැස්‌ වූ විට ආණ්‌ඩුව වෙනුවෙන් අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ආණ්‌ඩුවේ සංශෝධන ඉදිරිපත් කළේය.

මේ අතර විපක්‍ෂයේ සංශෝධන ද සාකච්ඡා කරන ලදී. රජීව් විඡේසිංහ, දිනේෂ් ගුණවර්ධන, සජින් වාස්‌ ගුණවර්ධන, ඩබ්ලිව් ඩී. ඡේ. සෙනෙවිරත්න, මහාචාර්ය තිස්‌ස විතාරණ, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ යන මන්ත්‍රීවරු ආණ්‌ඩුවේ ඇතැම් සංශෝධනවලට විරුද්ධව කරුණු දැක්‌වූහ.

ආණ්‌ඩුවේ සමහර සංශෝධනවලට විපක්‍ෂය විරෝධය පළ කළ නමුත් ඒවා පිළිනොගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පැවැසීය.

එසේ නම් ඒ ගැන ඡන්ද විමසීමක්‌ සිදුකරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූ විට එම සංශෝධන ඉල්ලා අස්‌කර ගන්නා බව විජයදාස රාජපක්‍ෂ මහතා කීය.


දයා ලංකාපුර
http://www.divaina.com/2015/05/03/politics04.html

Pic Source

0 comments: