Pages

Sunday, May 3, 2015

අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත්කරගන්න! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා කියනවා, මම අසවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරගන්න ගියාය කියලා. එවිට එම හිතවතා කියනවා 'අපෝ ඇයි ඒ හාමුදුරුවන්ට දන්දුන්නේ, ඒ හාමුදුරුවො දුශ්ශීලයි. බොරු කියනවා' කියලා. තම හිතවතාගේ කථාව අහලා දන් පූජාකරගත් පිංවතා දානය නිසා ඇතිකරගත් චිත්ත ප්‍රීතිය නැතිකොටගෙන ස්‌වාමීන්වහන්සේ කෙරෙහි සැකයක්‌ ඇතිකොටගන්නවා. මොකක්‌ද මෙතැනදි සිද්ධවුනේ. අනුන්ගේ කථාවක්‌ අහලා ඔහු වෙනස්‌වුනා. මෙය අමූලිකා ශ්‍රද්ධාවේ ලක්‍ෂණයක්‌. 

තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහුත් භික්‍ෂුවට දානයක්‌ පූජාකරලා පිං අනුමෝදන්වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැසිලා අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට එම පිංවතා කියනවා මම අහවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරන්න ගියාය කියලා. එවිට ඒ මිත්‍රයා කියනවා 'අපෝ ඒ හාමුදුරුවන්ට දන්දීලා වැඩක්‌ නැහැ, ඒ හාමුදුරුවෝ දුශ්ශීලයි. බොරු කියනවා කියලා. තම හිතවතාගේ මේ කථාව අහලා දන්පූජා කළ පිංවතා කියනවා 'ස්‌වාමීන්වහන්සේ දුශ්ශීල වුවත්, බොරුකීවත් මට වැඩක්‌ නැහැ. මම උතුම් මහා සංඝරත්නය අරමුණුකොටයි, ස්‌වාමීන්වහන්සේට දන්පූජා කළේ ' කියලා. තම හිතවතාගේ නොමනා කථාව අහලා ඔහු වෙනස්‌වුනේ නැහැ. උතුම් සංඝයා කියන අර්ථය තුළ සිටිමින්, තම කුසල්සිත තව තව වර්ධනය කරගත්තා. අනුන් කීවාය කියලා, පතක පොතක තිබුණාය කියලා, ඔහු තෙරුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. එය උතුම් සද්ධාවේ ලක්‍ෂණයක්‌ වෙනවා. නිරතුරුවම අනුන් නිසා, තන්හා මාන දිට්‌ඨි නිසා වෙනස්‌වෙන අමූලිකා සද්ධාවත්, විශ්වාසයේ අවබෝධයෙන් සරණගිය උතුම් සද්ධාවත්, අමූලිකා සද්ධාවෙන්, උතුම් සද්ධාවෙන් සකස්‌වෙන කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් ඇතිකොටගන්නා අචල ශ්‍රද්ධාවත් මූලිකම ලක්‍ෂණයන් වෙනවා.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ අර්ථය මුල්කොටගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ලෝක සත්වයාට දේශනාකොට වදාල, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිණිවීම යන තෙමගුල සිදුවූ තවත් වෙසක්‌ පුර පසලොස්‌වක පොහොය දිනයක්‌ අද හෙටම උදාවෙනවා. 

භික්‍ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳරැසින් බබලවන්නට මෝදුවන වෙසක්‌ සඳ, අඳුරු වලාවකට මැදිව ඇතිබවක්‌ භික්‍ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මතක්‌වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස්‌ අවුරුදු ලක්‍ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළවීම සිද්ධවෙන්නේ. උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් සමාජමය සංසිදීම තුළ, සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළින් උපන්, ගුණාත්මකභාවයන්ගේ සරණින් පිංවත් ඔබට අබුද්ධොත්පාද කාලයන්හී කටුක බව නොදැනී ගිහින් තිබෙන්නේ....

එමනිසා පිංවත් ඔබ මේ උතුම් වෙසක්‌ පොහොය දිනයේ, විෂම අබුද්ධොත්පාද කාලයන්හී කටුක දුක, අකුසල්ම උපදවන මිත්‍යාදෘශ්ඨීන් ගැන නුවනින් මෙනෙහි කරන්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරු දේශනා කරන මිච්ජා මාර්ගයන් මොනතරම් අධර්මයක්‌ද. ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාය, ඊශ්වර දෙවියා යෑයි කියා ගිනිපූජා පවත්වමින්, සතුන්ගේ බෙලිකපා යාග හෝම පුද පූජා කරමින්, ගස්‌,ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කරමින්, යකුන් යක්‍ෂණියන්, අමනුෂ්‍යයන් පුදමින්, වන්දනාකරමින්, ගෝ වෘත, සුනඛ වෘත රකිමින්, විමුක්‌තිය සෙවූ මිච්ජා ශ්‍රාවකයින් ධර්මයේ නාමයෙන් සතර අපායන්ට ගාල්කරවන දීර්ඝ අබුද්ධෝත්පාදකාලයන්හී මිච්ජා ශාස්‌තෘවරුන්ගේ, මිච්ජා ධර්මයන්ගේ, මිච්ජා ශ්‍රාවකයින්ගේ මෝහ මූලික ධර්මතාවයන් නුවනින් දකින්න. පිංවත් ඔබත් මමත් මෙවැනි දීර්ඝ අබුද්ධොත්පාද කාලයන්හී උපතලබා, මෙවැනි මිත්‍යදෘශ්ඨීන්ගේ වහලුන් බවට පත්වී සිටි සැටි මෙනෙහි කරන්න. බුද්ධොත්පාද කාලයන් තුළත් දේවදත්ත, කෝකාලිත වැනි මිච්ජා ශ්‍රාවකයන් නිසා අවීචි මහා නිරයන්ට වැටුණු අජාසත්ත රජතුමන් ඇතුළු අවාසනාවන්තයින් කොතෙක්‌ සිටින්නට ඇතිද? 

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අබුද්ධෝත්පාද කාලයන්හී සතර අපායන් පිරී ඉතිරීයනවාය කියලා. සතර අපායන් පිරී ඉතිරී යනකොට දිව්‍යථල වල දිව්‍ය විමාන පාළුවී යනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. අබුද්ධෝත්පාද කාලවල පාළුවට යන දිව්‍ය විමාන නැවත පිරී ඉතිරී යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවීමත් සමගමයි. අබුද්ධොත්පාද කාලයක විශම චර්යාධර්මයන් සමග ගනිද්දී බුද්ධෝත්පාද කාලයක්‌ යනු මොනතරම් අසිරිමත් දෙයක්‌ද. දුක හඳුනාගෙන, දුක යටපත්කොටගෙන, සැපය මතුකොටගනිමින්, අවසානයේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය දකිමින් ලෝකයෙන් නිවීයන ධර්ම මාර්ගය මොනතරම් අර්ථවත්ද. මේ උතුම් ධර්ම මාර්ගයට පිංවත් ඔබට පිවිසීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම බුදුරජාණන්වහන්සේව හඳුනාගන්න ඕනේ. ධර්ම රත්නය, සංඝරත්නය හඳුනාගන්න ඕනේ. දකින්න ඕනේ. තුනුරුවන් දැකිය හැක්‌කේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ර්විතයට එකතුකොටගැනීමෙන් පමණමයි. පිංවත් ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේලා දැක්‌කත්, ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේ දේශනාකළ සද්ධර්මය ශ්‍රවණය කළත් පිංවත් ඔබ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් පිංවතෙක්‌ නම් ඔබ සැබවින්ම බුදුරජාණන්වහන්සේ නොදැක්‌ක කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් පමණක්‌මයි පිංවත් ඔබට තෙරුවන් හඳුනාගන්න, දකින්න, පුළුවන්කම ලැබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන්ගෙන් ගිළිහුණු ලෝකය මිථ්‍යදෘශ්ඨියේ ග්‍රහණයටයි යොමුවෙන්නේ. 

මිහිඳු මහරහතන්වහන්සේ මේ පිංවත් දේශයට උතුම් සද්ධර්මය දායාදකොට දීමෙන් අනතුරුව අතීතයේ ජීවත්වූ පාලකයන්ගේ සහ ජනතාවගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවයන් නිසාම, රාජ්‍ය අනුග්‍රහයක්‌ අර්ථවත්ව උතුම් සම්මාසම්බුද්ධ ශාසනයට නොලැබීම නිසාම, භික්‍ෂූන්වහන්සේලාගේ උතුම් උපසම්පදාව දුර්වලවී ශාසනය අතුරුදන් වීම අතීතයේ අවස්‌ථා කිහිපයකදීම මේ පිංවත් දේශය තුළ සිදුව තිබෙනවා. සම්මා දිට්‌ඨියේ දුර්වලභාවයන් නිසාම ඇතිවන හේතුඵල ධර්මයන් නිසා මෙවැනි ශාසනික අර්ථයන්ගේ අතුරුදන්වීම් සිදුවූවත්, උතුම් ශාසනික අර්ථයන් ආරක්‍ෂාකරන සම්‍යදෘශ්ඨික දෙවිවරුන්ගේ උපකාරක ධර්මයන් නිසාම අපේ ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුරුමය, තායිලන්තය වැනි ථේරවාදී බෞද්ධ රටවලින් නැවත උපසම්පදාව ලබාගෙන, නැවත සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් මේ පිංවත් දේශය තුළ ස්‌ථාපිත කිරීම කළ බව පිංවත් ඔබ හොඳින්ම දන්නවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබ තේරුම්ගතයුතුයි රටක පාලක පිංවතුන් සහ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් දුර්වලවුවහොත් එම පිංවතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ බලවත් පාපකර්මයේ හවුල්කරුවන් බවට පත්වෙනවාය කියන කාරණය. 

පිංවත් ඔබ, බුදුරජාණන්වහන්සේ සාරාසංඛ කල්පලක්‍ෂ ගණනාවක්‌ තම රුධිරයෙන්, කඳුළින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කළ දස පාරමී ධර්මයෙන්ගේ ඵලයෙන්, අවබෝධකොටවදාළ උතුම් සද්ධර්මයේ අර්ථයන් දුර්වල කිරීම පිණිස උපකාරක ධර්මයන් නොකරනවාය කියන අධිශ්ඨානය මේ උතුම් වෙසක්‌ දිනයේදී ඇතිකොටගන්න දක්‍ෂ වෙන්න. එය පිංවත් ඔබ සැබෑම උතුම් තෙමගුලක්‌ උදෙසා කරන පූජෝපහාරයක්‌ වෙනවා. 

සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවය නිසා උදාවෙන අබුද්ධොත්පාද කාලයන්හී ඇති විෂම බව, දුකබව, අකුසලය නිසා සකස්‌වෙන සතරඅපා දුකේ කටුක බව පෙන්වාදෙන උපමාවක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබට යම් පුද්ගලයෙක්‌ කියනවා, 'මම ඔබට දිනකට කස පහරවල් තුන්සියයක්‌ ගහනවා, දිනකට කසපහරවල් තුන්සීය බැගින් අවුරුදු තුන්සීයක්‌ එම දඬුවම දෙනවා. අවුරුදු තුනසීයක්‌ ගෙවීයන දින මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබාදෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එහෙම වුනත් අවුරුදු තුන්සීයක්‌ එම තියුණු ශාරීරික දුක විඳලා ඔබ සෝවාන් ඵලය ලබාගන්න කැමතිවෙන්නය කියලා. මේ උතුම් වෙසක්‌ දිනයේදීත් සතුටින්, විනෝදයෙන්, විහිළුවෙන්, සිංදුවෙන්, බයිලාවෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන පිංවතුන්ලාට බුදුරජාණන්වහන්සේ පෙන්වාදෙන ඉහත උපමාව හොඳ ධර්මාවාදයක්‌ වෙනවා. මෙම කටුක දුක පිංවත් ඔබට හෙළිකොටදෙන කැඩපත වන්නේ උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයයි. 

භික්‍ෂුව පිංවත් ඔබෙන් ඇසුවහොත් සම්මා දිට්‌ඨියේ අර්ථය කුමක්‌ද කියලා, පිංවතුන් සමහරක්‌දෙනා දෙනා පිළිතුර වන්නේ සම්මා දිට්‌ඨිය කියන්නේ යහපත් දැක්‌ම කියලයි. බුදුරජණාන්වහන්සේ ධර්මයට අදාළව සම්මා දිට්‌ඨියේ අර්ථය කියන්නේ 'යහපත් දැක්‌ම' නොවෙයි. නමුත් අන්‍යාගමික පිංවතුන්ලා තමන්ගේ සම්මා දිට්‌ඨිය හැටියට ප්‍රකාශකරන්නේ යහපත් දැක්‌ම කියන කාරණයයි. 

බුදුරජානන්වහන්සේ දේශනාකළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් හතක්‌ තිබෙනවා. එම අර්ථයන් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, යහපත් දෙයක්‌ කළොත් යහපත් විපාකයක්‌, අයහපත් දෙයක්‌ කළොත් අයහපත් විපාකයක්‌ තිබෙනවාය කියන විශ්වාසය, හේතුඵල ධර්මයන්ට අදාළව නැවත උපතක්‌ තිබෙනවාය කියන විශ්වාසය, දන්දීමෙන්, සිල්රැකීමෙන් ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳව විශ්වාසය, ඕපපාතික සත්වයන් උපදිනවාය කියන විශ්වාසය, අතීතයේ රහතන්වහන්සේලා වැඩසිටියාය කියන විශ්වාසය.

ඉහත සම්මා දිට්‌ඨියේ අර්ථයන් සියල්ලම බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය මුල්කොටගෙනය. පිංවත් ඔබගේ කුසල් පක්‍ෂය වැඩෙන ආකාරයටමය. 

පිංවත් ඔබට මෙතැනදී විග්‍රහ කර පෙන්වනනේ භවයේ සැපය උදෙසා හේතුවෙන ලෞකික සම්මා දිට්‌ඨිය පිළිබඳවයි. ලෞකික සම්මා දිට්‌ඨියේ මුල්ම අර්ථය වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පිංවතුන් තුළ සංසාර බිය පිළිබඳවත්, කාමයන්ගේ නිසරුභාවය පිළිබඳවත් දැක්‌මක්‌ ඇතිකොටදෙනවා. සතරඅපාය කෙරෙහි ඇතිකරවන බිය නිසාම පිංවතුන් දුක පිළිබඳව යථාස්‌වභාවය නුවණින් දකින්න පටන්ගන්නවා. යහපත් ක්‍රියාවන් විපාකදෙන සුගතිභූමීන්, අයහපත් දේ විපාකදෙන දුගති භූමීන් ඔබ හඳුනාගන්නවා. ඔබ තුළ සකස්‌වෙන සෑම සැප වේදනාවක්‌ම අතීතයේ ඔබ කළ යහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත්, ඔබ තුළ සකස්‌වෙන සෑම දුක්‌වේදනාවක්‌ම අයහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත් ඔබ හඳුනා ගන්නවා. මෙතැනදී පිංවත් ඔබ අයහපත්දෙයින් වැලකිලා, යහපත් දෙයයි ජීවිතයට තොරාගන්නේ. පටිච්ජ සමුප්පන්නව නැවත උපතක්‌ කෙරෙහි පිංවත් ඔබ තුළ ඇත විශ්වාසය ඔබව පොළඹවනවා අකුසලයෙන් වැලකිලා කුසලය තුළ ශක්‌තිමත් වෙන්න. මොකද ඔබ දන්නවා, අකු-සල් සිදුකළොත්, සිල්පද දුර්වල කරගත්තොත්, දන්දීම දුර්වලකරගත්තොත් ඊළඟ උපත දුර්වල උපතක්‌ වෙනවාය කියන කාරණය. කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ඔබට විවරකොටදෙන බුදුරජාණන්වහන්සේගේ මුල්ම පාඩමයි උතුම් සම්මා දිට්‌ඨිය. 

ලස්‌සන වෙසක්‌ සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්න

පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින ප්‍රේතයන් නිරිසතුන් ගැන ඔබට විශ්වාසයක්‌ නැති නම් ඔබට ප්‍රේත ලෝකයක්‌, නිරයක්‌ තිබෙනවාය කියල විශ්වාසය නැතිව යනව. ඒ නිසාම ඔබ අකුසලයට බිය නැතිවෙනවා. ඕපපාතික සත්ව උපත තුළිනුත් බුදුරජාණන් වහන්සේ ඔබ තුළ අකුසලය බැහැරකොට කුසලය මතුකොට දීමටයි උත්සාහ ගන්නෙ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණය ගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ගැන දේශනාකොට මුලින්ම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, දෙවැනිව රහතන් වහන්සේ මැරීම, තෙවැනිව සංඝ භේදය, හතරවැනිව අම්මා, තාත්තා ඝාතනය කිරීම. මෙතනදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් කියන කාරණයන් දෙකම සම අකුසලයන් හැටියට පෙන්වා දී තිබෙනවා. අම්මා තාත්තාත් රහතන් වහන්සේත් සම තැනක තියලයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරලා තිබෙන්නෙ. එහෙමනම් පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ දිනයේදී දැනගන්න ඕනෙ, ඔබ කුඩා පාසල් දරුවෙක්‌ වේවා, තරුණ කෙනෙක්‌ වේවා, වැඩිහිටියෙක්‌ වේවා තමන්ගෙ දෙමව්පියන්ට පීඩා කරනවා නම්, හිංසා කරනවා නම්, සිත් වේදනා දෙනවා නම්, නොසලකා හරිනවා නම්, එය රහතන්වහන්සේ නමකට ඔබ කරන පීඩාවක්‌ හිංසාවක්‌ තරමටම බලවත් අකුසලයක්‌ වෙනවාය කියන කාරණය. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමෙන් පමණක්‌මයි පින්වත් ඔබට මව් දෙමව්පියන් නිසා සිදුවෙන බලවත් අකුසලයන්ගෙන් මිදෙන දිශාවට ගමන් කළ හැකිවෙන්නේ. අම්මා තාත්තා නමැති කුසල් නිධියෙන් සිත්සේ කුසල් ධර්මයන් එකතුකොට ගතහැකි වෙන්නෙ. අතීතයෙ රහතන් වහන්සේලා ඇතුළු අධිගමලාභීන් සිටියාය කියන විශ්වාසය ඔබ තුළ තිබුණොත් පමණමයි, පින්වත් ඔබටත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදීම රහතන්වහන්සේ නමක්‌ වීමට හැකිය යන විශ්වාසය ඇතිවෙන්නේ. ඔබටත් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්ය කියන විශ්වාසය ඇතිවෙන්නෙ. ඉහත සම්මාදිට්‌ඨියට අදාළ කාරණා තුළින් පින්වත් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ තුළ මුලින්ම තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇතිකොට අවසානයේ ඔබව උතුම් රහතන් වහන්සේ නමක්‌, සෝවාන් පුද්ගලයෙක්‌ කියන ඉලක්‌කයට ඔබව යොමුකොට තිබෙනවාය කියන කාරණය. පින්වත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, තෙරුවන් කෙරෙහි අවිශ්වාසය ඇතිකොට ගෙන, අවසානයේ ඔබව සතර අපායට යොමු කිරීමයි සිද්ධවෙන්නෙ. පින්වත් ඔබ ශ්‍රද්ධාවේ සහ අශ්‍රද්ධාවේ වෙනස සහ පරතරය හඳුනාගෙන ශ්‍රද්ධාව ඉලක්‌කකොට පෙන්වන සතර අපාය කියන අර්ථයන් සිහි නුවණින් දකිමින්, නිවැරදි ආකාරයට සම්මා දිට්‌ඨියේ අර්ථයට ප්‍රවේශ වීමට පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ සතියේදී අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගතහොත් එය පින්වත් ඔබ විසින් බුදුරජාණන් වහන්සේට දක්‌වන ශ්‍රේෂ්ඨතම ආමිසමය ප්‍රතිපත්තිමය පූජාව වෙනවා. 

පින්වතුන්ලාගේ ඉන්ද්‍රියධර්මයන්ගේ ඇති වෙනස්‌භාවයන් නිසාම, කෙනෙක්‌ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වා සතුටු වෙන අතර තවත් පින්වතෙක්‌ ආමිස පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වා සතුටුවෙනවා. මෙතැනදී ප්‍රතිපත්ති පූජාවන් හැටියට ගැනෙන්නේ විදර්ශනා නුවණ, ප්‍රඥව ඔබ තුළ මූදුකොට දෙන භාවනාමය, ශීලමය, සද්ධර්ම ශ්‍රවණය කිරීම් තුළින් ඔබ ඇතිකොට ගන්නා විදර්ශනා නුවණින් බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දැක්‌වීමයි. නමුත් පින්වත් ඔබ ශීලමය, භාවනාමය, සද්ධර්ම ශ්‍රවණමය ක්‍රියාවන් තුළිනුත් ඇතිකොට ගන්නේ ආශ්වාදයක්‌ නම් ඒවා ජීවිතයට එකතුකොට ගැනීම නිසා ඇතිවෙන කුසල් ආශ්වාදයට ඔබ බැඳී යන්නේ නම්, එම කුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ විදර්ශනා නුවණින් නොදකින්නේ නම් ඔබ කළා වූ ප්‍රතිපත්ති පූජාවද නැවත භවය සකස්‌කොට දෙන ආමිස පූජාවක්‌ බවටම පත්වනු ඇත. එම නිසා පින්වත් ඔබ සිල් සමාදන් වෙමින් ශීලයේ ආනිශංස ජීවිතයට ලබමින් එම ආනිශංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. බුදුගුණ භාවනාව වඩමින්, මෛත්‍රි භාවනාව වඩමින්, ආනිශංස ජීවිතයට ලබමින් එම සංස්‌කාරයන්ගෙ අනිත්‍යභාවය නුවණින් දකින්න. කාය, චිත්ත, ධම්ම, වේදනා සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බෝ-ජංග ධර්මයන් ජීවිතයට එකතුකොට ගනිමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන්ගේත්, සප්aත බො-ජංග ධර්මයන්ගේත් අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබ භාවනාවේදී යම් ධර්මතාව අනිත්‍ය දකිනවාද, එම අනිත්‍ය දකින සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට දක්‌ෂ විය යුතුයි. එසේ නොවුණහොත් ඔබ අනිත්‍ය වශයෙන් දැක්‌කා වූ සිතට බැඳී යනු ඇත.

පින්වත් ඔබ දක්‌ෂ නම් ඔබ වෙසක්‌ මංගල්‍ය උදෙසා සිදුකරන ආමිස පූජාවන් තුළින් ද ප්‍රතිපත්ති පූජාවන් මතුකොට ගැනීමට ඔබට හැකිය. පින්වත් ඔබ වෙසක්‌ කූඩුවක්‌ තැනීමේදී, ප්‍රදර්ශනය කිරීමේදී, දන්සලක්‌ සංවිධානය කිරීමේදී, මේ සෑම ක්‍රියාවක්‌ සිදුකිරීමට පෙරාතුව, තෙරුවන් සරණ පිහිටා පංචශීලය සමාදන්ව එම ආමිස පූජාව ආරම්භ කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‌ෂ ගණනකට දී අද වගේම උතුම් තෙමඟුල් සැමරීම උදෙසා ලක්‌ෂ ගණන් පහන් කූඩු වෙසක්‌ සැරසිලි දන්සල් බුද්ධ පූජාවන් පූජා කළ හැකි නුවණින් දකින්න. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන අනිත්‍යයට ගියා සේම අතීතයේදී ආමිස පූජාවන් තුළින් රැස්‌ කළා වූ කුසල් සංස්‌කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ ආමිස පූජාවන් තුළින් රැස්‌කොට ගන්නා කුසලයන් අනිත්‍ය වී යනහැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්මරත්නය, සංඝරත්නය උදෙසා තුණුරුවන්ට ගෞරවය පුදකිරීම උදෙසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන සෑම ආස්‌වාදජනක පිනක්‌ම, කුසල් සිතක්‌ම සංස්‌කාරයන් බව දකිමින්, එම සංස්‌කාරයන් විපාක දී අවසන් වන ඒවා බව දකිමින් පින්වත් ඔබ මේ උතුම් තෙමඟුල සමරන සතියේ ඔබ සිදුකරන ආමිස පූජාව තුළින් ද උතුම් ප්‍රතිපත්ති පූජාවක්‌ මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. එවිට ලස්‌සන වෙසක්‌ සැරසිල්ලක්‌ තුළින්, අර්ථවත් ධර්මයක්‌ ද ඔබගේ ජීවිතයට එකතුකොට ගෙන උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ඔබේ ජීවිතය සේන්දුකොට ගැනීමට හැකිවනු ඇත.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/05/03/feature06.html

0 comments: