Pages

Tuesday, May 26, 2015

20 වන සංශෝධනයෙන් දූෂිතයන්ට දියවන්නාව තරණය කළ නොහැක

20 වන සංශෝධනය දේශපාලන කරලිය උණුසුම් කරන්නාවූ මාතෘකාව බවට පත්වෙමින් ඇත. එයට පක්‌ෂ සහ විපක්‌ෂ මතයන් විවිධ කණ්‌ඩායම් වෙතින් ප්‍රකාශ වෙමින් ඇත. 20 වන සංශෝධනය ලෙසින් කරලියට පැමිණෙමින් පවතින නව මැතිවරණ ක්‍රමයේ මූලික අංගයන් සහ එහි ඇති සාධනීය ලක්‌ෂණ පිළිබඳව සංකීර්ණ කරුණු වලින් බැහැරව සාමාන්‍ය ජනතාවගේ දෘෂ්ටියෙන් සිදුකරන සරල විග්‍රහයක්‌ ලෙස මෙම ලිපිය හඳුන්වා දීමට කැමැත්තෙමි.

නව ක්‍රමය මගින් මනාපය 1, 2 සහ 3 ලෙස සළකූණු කිරීමේ මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි වී යනු ඇත. එපමණක්‌ නොව දැනට පවතින දිස්‌ත්‍රික්‌කයට පොදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවට 1977 ට පෙර පැවති ආකාරයට සෑම ඡන්ද කොට්‌ඨාසයකට සෘජුව වග කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ තේරී පත්වේ. කිසියම් පක්‌ෂයකින් හෝ ස්‌වාධීන කණ්‌ඩායමකින් ඔබේ ඡන්ද කොට්‌ඨාසයට තරග කරන අපේක්‌ෂකයෙක්‌ට සෘජුවම ඡන්දය ප්‍රකාශ කළ හැකිය. 

1977 පෙර පැවති කේවල කොට්‌ඨාස ක්‍රමයට අනුව නම්, ඔබ ඡන්දය ප්‍රකාශ කළ අපේක්‌ෂකයා කොට්‌ඨාසය තුළ වැඩිම ජන්ද ප්‍රමාණය ලබාගන්නා අපේක්‌ෂකයා නොවන විට පාර්ලිමේන්තුව තුළ ඔබට නියෝජිතයෙක්‌ නොමැතිවනු ඇත. මේ ආකාරයට පරාජිත අපේක්‌ෂකයන්ට ජන්දය ප්‍රකාශ කළ විශාල පිරිසකට පාර්ලිමේන්තුව තුළ නියෝජිතයන් අහිමි වනු ඇත. සමානුපාතික නියෝජන ක්‍රමයට පක්‌ෂපාතී වන පුද්ගල සහ කණ්‌ඩායම් නගන ප්‍රධානම තර්කය වන්නේද එයමය.

නව මැතිවරණ ක්‍රමය තුළ මෙම ගැටලුවට සාර්ථක විසඳුමක්‌ ලබාදී ඇත. ඒ අනුව සමානුපාතික නියෝජනය අගය කරන පුද්ගලයින්, කණ්‌ඩායම්, සමහර සුළු ජාතික පක්‌ෂ, ජ.වි.පෙ. සහ හෙළ උරුමය වැනි කූඩා පක්‌ෂවල අභිලාෂයන් ද නව මැතිවරණ ක්‍රමය තුළ අන්තර්ගත කර ඇත.

දැන් මේ සියල්ල කළමනාකරණය කර ඇති අයුරු පිළිබඳව ඔබේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි. යෝජිත ක්‍රමය යටතේ පක්‌ෂයක හෝ කණ්‌ඩායමක දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂක ලැයිස්‌තුව දැනට පවතින අයුරින්ම දිස්‌ත්‍රික්‌කයට හිමි පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයට වඩා ස්‌වල්ප වශයෙන් ඉහළ අගයකි. නව ක්‍රමයේ ඇති ප්‍රධානම වෙනසක්‌ වන්නේ දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුව තුළ ඉදිරිපත්කර ඇති අපේක්‌ෂකයින් අතරින් එක්‌ එක්‌ ඡන්ද කොට්‌ඨාස සඳහා ඉදිරිපත් වන අපේක්‌ෂකයින් වෙන වෙනමද, දිස්‌ත්‍රික්‌ අපේක්‌ෂයයින් වෙනමද නම්කර තිබිය යුතුය. 

පක්‌ෂ හෝ කණ්‌ඩායම් ඡන්ද කොට්‌ඨාසවල ලබාගන්නා ඡන්ද ප්‍රමාණයන් අනුව දිස්‌ත්‍රික්‌කයක ලබා ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කර පවතින සමානුපාතික ක්‍රමයේ අයුරින්ම දිස්‌ත්‍රික්‌කයේ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගන්නා පක්‌ෂයට ප්‍රසාද ආසනයක්‌ හිමිවේ. දිස්‌ත්‍රික්‌කයේ ලබා ඇති ඡන්ද ප්‍රමාණය අනුව එක්‌ එක්‌ පක්‌ෂයට හෝ කණ්‌ඩායමට දිස්‌ත්‍රික්‌කය තුළ හිමි පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය තීරණය කරනු ලැබේ.

දිස්‌ත්‍රික්‌කය පුරා ප්‍රචාරක කටයුතු කර වැඩිම මනාප ප්‍රමාණයක්‌ ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ පැරණි ඉලක්‌කය වෙනුවට පක්‌ෂය වෙනුවෙන් කොට්‌ඨාසය ජයග්‍රහණය කරවා පාර්ලිමේන්තුවට තේරී පත්විය හැක. එනම් යෝජිත ක්‍රමය යටතේ පක්‌ෂවලට හෝ කණ්‌ඩායම්වලට දිස්‌ත්‍රික්‌කයේ ලැබෙන ජන්ද ප්‍රමාණයට සමානුපාතිකව හිමිවන පාර්ලිමේන්තු ආසන පක්‌ෂය වෙනුවෙන් කොට්‌ඨාසය ජයග්‍රහණය කරවා දෙන්නන්ට හිමිවනු ඇත.

යම් පක්‌ෂයකට හෝ කණ්‌ඩායමකට සමානුපාතික ක්‍රමයට අනුව හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවට වඩා ඡන්ද කොට්‌ඨාස දිනා ඇති අපේක්‌ෂකයින් සංඛ්‍යාව අඩු නම්, ඉතිරි ආසන ප්‍රමාණය වැඩිsම ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා කොට්‌ඨාස පරාජය වූ අපේක්‌ෂකයන් අතරින් හෝ දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවේ අනෙකූත් අපේක්‌ෂකයින් තුළින් හෝ මිශ්‍ර ක්‍රමයකින් හෝ නැතහොත් පක්‌ෂයේ අභිමතය පරිදි තෝරාගත හැක. මා දන්නා පරිදි ඒ පිළිබඳව අවසන් නිගමනයක්‌ නොමැත. වඩාත් යුක්‌ති සහගත ක්‍රමය වන්නේ දිස්‌ත්‍රික්‌ ලැයිස්‌තුවේ කොට්‌ඨාස නියෝජනය නොකළ අපේක්‌ෂකයින් අතරින් තෝරා ගැනීම බව මම විශ්වාස කරමි.

යම් පක්‌ෂයකට හෝ කණ්‌ඩායමකට සමානුපාතික ක්‍රමයට අනුව හිමි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවට වඩා ඡන්ද කොට්‌ඨාස දිනා ඇති අපේක්‌ෂකයින් සංඛ්‍යාව වැඩි නම්, වැඩිපුර පත්කළ යුතු මන්ත්‍රී ආසන ප්‍රමාණය ඒ ඒ පක්‌ෂයේ ජාතික ලැයිස්‌තුවට හිමි ආසනවලින් ලබාදිය යුතුය. මෙම අවශ්‍යතාව ඉටුකරගනු වස්‌ යෝජිත ක්‍රමය යටතේ ජාතික ලැයිස්‌තු ආසන ගණන 29 සිට 59 දක්‌වා ඉහළ නංවා ඇත. ජාතික ලැයිස්‌තු ආසන සංඛ්‍යාව 59 දක්‌වා ඉහළ නංවා ඇති බැවින් කූඩා පක්‌ෂ සඳහා ජාතික ලැයිස්‌තුවෙන් වැඩි ආසන ප්‍රමාණයක්‌ දිනා ගැනීමේ අවස්‌ථාවක්‌ද ලැබී ඇත.

යම් හේතුවක්‌ නිසා කොට්‌ඨාස දිනාගන්නා අපේක්‌ෂකයින්ට පාර්ලිමේන්තු ආසන ලබාදීමට ජාතික ලැයිස්‌තුවෙන් හිමිවන මුළු ආසන සංඛ්‍යාවද, ප්‍රමාණවත් නොවන අවස්‌ථාවකදී, එම හිඟ ප්‍රමාණය ජාතික ලැයිස්‌තුවෙන් අඩුකර (හිඟ ප්‍රමාණය 2 ක්‌ නම් ජාතික ලැයිස්‌තුව 57 ක්‌ වනු ඇත.) එක්‌ එක්‌ පක්‌ෂය හෝ කණ්‌ඩායමට අයත් ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ගණනය කරනු ඇත. 1977 සිට මේ දක්‌වා පැවති මහ මැතිවරණ ප්‍රතිඵල නව ක්‍රමයට අනුව විශ්ලේෂණය කළ විට, ජාතික ලැයිස්‌තුව පිළිවෙලින් 53 සිට 59 දක්‌වා විචලනය වේ. ජාතික ලැයිස්‌තුවේ අවමය වන 53 ලැබී ඇත්තේ, 1994 මහ මැතිවරණයේදී ය. දත්ත විශ්ලේෂණයට අනුව, උතුරේ පැවති යුදමය වාතාවරණය යටතේ අසාමාන්‍ය ලෙස අඩු ඡන්ද ප්‍රමාණයන් ලබා ගනිමින් උතුරු පළාතේදී මන්ත්‍රීවරු තේරී පත්වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව පෙනේ.

පවතින සමානුපාතික ක්‍රමය හරහා යහමින් මුදල් වැය කරමින් දිස්‌ත්‍රික්‌කයක්‌ පුරා ආකර්ෂණීය ප්‍රචාරක ව්‍යාපාරයක්‌ ගෙන යා හැකි අපේක්‌ෂකයින්ට පහසුවෙන් ජයගත හැක. ප්‍රධාන ධාරාවල අපේක්‌ෂකයෙක්‌ නොවි තනි පුද්ගලයෙක්‌ ලෙස පාර්ලිමේන්තුව නියෝජනය සිහිනයක්‌ පමණි. වාසි ප්‍රයෝජන සඳහා ඕනෑම දූෂිතයෙකූට වුවද ජන්දය භාවිතා කරන ජන්දදායකයින් යම් ප්‍රමාණයක්‌ ඉන්නා බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුව ඇත. කොට්‌ඨාසයක්‌ ජය ගැනීම සඳහා ප්‍රධාන පක්‌ෂ දෙක අතර තරගයේදී ආසන්න ලෙස කොට්‌ඨාසයේ වලංගූ ජන්දයෙන් 50% ප්‍රතිශතයක්‌ ලබාගත යුතුය. නමුත් මනාප ක්‍රමයේදී දිස්‌ත්‍රික්‌කයේ වලංගූ ඡන්දයෙන් 10% මනාප ප්‍රතිශතයක්‌ ලබා වුවද ජයගත හැක. වාසි ප්‍රයෝජන සඳහා ඕනෑම දූෂිතයෙකූට වුව ජන්දය භාවිතා කරන ජන්ද දායකයින් යම් ප්‍රමාණයක්‌ ඉන්නා රටක මනාප ක්‍රමය දූෂිතයින්ට හොඳ ඉඩ කඩක්‌ විවර කරදී ඇත.

මෙම තත්ත්වය කළමනාකරණය සඳහා ජ.වි.පෙ. වැනි පක්‌ෂ නගන සරල තර්කයක්‌ වන්නේ දූෂිතයින්ට පක්‌ෂ විසින් නාම යෝජනා නොදිය යුතු බවය. ගැටලුව වන්නේ දූෂිතයින් හඳුනාගැනීමේ ක්‍රමවේදය තෝරා ගැනීමය. එය නීතිමය ක්‍රමවේදයක්‌ නම්, එය දැනටමත් ක්‍රියාත්මකව ඇතැයි යනු මගේ විශ්වාසය වේ. දූෂිතයා වෙන් කෙරෙන්නේ සමාජ විඥානය අනුව නම්, තෝරා ගැනීම ජනතාවට බාර කිරීම වඩා යුක්‌ති සහගතය. අප සමාජයේ 10% ක ප්‍රතිශතයක්‌ ස්‌වාර්ථය උදෙසා දූෂිතයින් රැකීමට පෙළ ගැසීමට හැක. බහුතර ජනයා දූෂිතයින් රකින්නේ නම්, රට හැර යැම හැරුණූ විට වෙනත් විකල්පයක්‌ යුක්‌ති සහගත ජනතාවට ඇතැයි සිතිය නොහැක. නමුත් විශාල බහුතර ජනතාවක්‌ එසේ නොවේ.

එසේ නම්, බහුතර ජනතා ඡන්දයෙන් දූෂිතයින්ව පැරදවිය යුතුය. පවතින සමානුපාතික ක්‍රමයේ ඒ ඉඩකඩ විවරව නොමැත. යෝජිත නව ක්‍රමය තුළ එම ඉඩකඩ විවරව පවතී. එබැවින් නව මැතිවරණ ක්‍රමයකට එරෙහිව දූෂිතයින් පෙරට පැමිණීමේ අවදානමක්‌ද පවතී. විවිධ මතවාද හේතුවෙන් පවතින සමානුපාතික ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින්නන් දූෂිතයින්ගේ හඬ නියෝජනය නොකළ යුතුය. යෝජිත නව ක්‍රමය අනුවද, පවතින සමානුපාතික ක්‍රමයේදී මෙන්ම එක්‌ එක්‌ පක්‌ෂ ලබාගන්නා ඡන්ද ප්‍රතිශතයට සමානුපාතික නියෝජිතයින් ප්‍රමාණයක්‌ පාර්ලිමේන්තුවේ අසුන් ගනු ඇත. 

මාලික විමලසූරිය 
http://www.divaina.com/2015/05/25/feature01.html

0 comments: