Pages

Sunday, May 3, 2015

විනය හික්‌මීම යහපත්කම යන සියල්ලටම අභියෝගයක්‌ වන මත්ද්‍රව්‍ය උවදුර අවම කිරීමට අප කටයුතු කළ යුතුයි - ජනපති

රටක තිබිය යුතු විනය, හික්‌මීම, යහපත්කම සහ හැදිච්චකම ආදී සියල්ලටම බරපතළ අභියෝගයක්‌ වන මත්ද්‍රව්‍ය උවදුර නිසා ඇති වන සමාජ ව්‍යසනය හැකි තරම් අවම කිරීම සඳහා අප සැමවිටම කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (29 වැනිදා) පැවැසීය.

"දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්‌" ජාතික සමුළුවේ සමාරම්භක උළෙලට එක්‌වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස්‌ පළ කළේය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික මද්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ නායකත්වය තුළ පැවැත්වෙන මේ සමුළුව ජාතික වශයෙන් ඉතා වැදගත් වෙනවා. දුම්කොළවලින් තොර ශ්‍රී ලංකාවක්‌ යන තේමාව යටතේ මේ පවත්වන වැඩසටහන ඉතා කාලෝචිත යුගයට අවශ්‍ය වැඩසටහනක්‌ විදිහටයි මම දකින්නේ.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවුරුදු 6 ක කාලසීමාව තුළ අපේ රටේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනේ විශේෂයෙන්ම රටේ ජනතාව දරුවන් මතින් තොර සමාජයක්‌ කරා ගෙන යැමේ වැඩසටහනේදී එදා මා වෙත අද මේ පැමිණ සිටින සියලු ආයතන විශාල සහයෝගයක්‌ ලබා දුන්නා.

ආචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එදා මෙහි සභාපතිවරයා විදිහට හිටියේ. ඒ වගේම රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක්‌ විශේෂයෙන්ම එදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කරනවා.

අපි මේ අවුරුදු 6 තුළ දුම්කොළ, මද්‍යසාර මේ පිළිබඳ ගෙන ගිය පුළුල් ජාතික වැඩසටහන කොතෙක්‌ ශක්‌තිමත් වූවාද යන්න මා විශ්වාස කරන්නේ ඒ වැඩසටහනේ ප්‍රතිඵලයක්‌ තමයි මම ජනාධිපතිවරයාවීම කියලා. ඒ මොකද ඊට බලපෑ කරුණු රාශියක්‌ තුළ විශේෂයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සියලු අංශ ඒ වගේම මේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීමේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු ක්‍ෂේත්‍රයේ කාර්ය මණ්‌ඩල අපට දැක්‌වූ සහයෝගය මට කිසි දවසක අමතක කරන්න පුළුවන් කමක්‌ නැහැ.

ඒ වගේම අනෙක්‌ පැත්තෙන් රටේ උගත්, බුද්ධිමත් විවිධ ක්‍ෂේත්‍රවල විශිෂ්ටයින්, ප්‍රවීණයින් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ප්‍රමුඛව මෙම වැඩසටහනට දුන් මගපෙන්වීම අපි ඉතාමත් අගය කළ යුතුයි. මේ වැඩසටහන කොතෙක්‌ ප්‍රබල වූවාද යන්න ලෝක සෞඛ්‍ය සංවිධානය 2013 වසරේ එදා මා වෙත පිරිනැමූ සම්මානය ගෞරවය මම විශේෂයෙන් සිහිපත් කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයට ගෞරවයක්‌ වශයෙන්.

මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ සම්මානයක්‌ ලැබිලා ඒ හා සමගම 2013 වසරේ ලෝක සෞඛ්‍ය නායකයින් ගණයට ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලය මා තෝරාගෙන මේ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සමුළුවේදී ඒ ලැබූ ජයග්‍රහණය සහ ඒ කරන ලද ගෞරවය පිළිබඳව වචනයක්‌ හෝ කතාකරන්න එවකට සිටි රාජ්‍ය නායකයින් නම්‍යශීලී නොවූ බව මා අදත් සිහිපත් කරන්නේ වේදනා සහගතවයි.

අපිට මේ රට වශයෙන් තිබෙන පුළුල් ජාතික කාර්යයන් තුළ මේ රටේ මතින් තොර සමාජයක්‌ ගොඩනැගීමේ කාර්යයේදී වත්මන් නව රජය විදිහට ගත හැකි ගතයුතු සෑම පියවරක්‌ම ගන්නා බව ප්‍රකාශ කරන්න ඕනෑ.

දැනට මාස එක හමාරකට විතර කලින් මට ලැබුණා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්‌. ලංකාවේ මද්‍යසාර අලෙවි කිරීමේ මධ්‍යස්‌ථාන326 ක්‌ සාමාන්‍ය මද්‍යසාර අලෙවි කිරීමේ අලෙවි සැල් සඳහා තිබිය යුතු නීති, රීතිවලට පටහැනිව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්. මම නියෝගයක්‌ කළා ඒ 326 වහාම අවලංගු කළ යුතුයි කියලා එවැනි නීති රීතිවලට පටහැනිව පවත්වාගෙන යන නමුත් ඒ සමගම භාණ්‌ඩාගාරය මට ලිපියක්‌ එවනවා. ඒවා අවලංගු කළොත් මේ වසරේ වාර්ෂිකව ලැබෙන ඉලක්‌ක සහගත මුදල් ප්‍රමාණය භාණ්‌ඩාගාරයට ලැබෙන්නේ නෑ කියලා. ඒකතමයි තත්ත්වය. ඒ නිසා මේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මේ ජාතික මද්‍යසාර, දුම්කොළ අධිකාරියේ නායකත්වය තමුන්නාන්සේලාට පුළුවන් භාණ්‌ඩාගාරයේ නිලධාරීන්ට කියල දෙන්න මේ කාර්යයේ වැදගත්කම පිළිබඳ.

භාණ්‌ඩාගාරයට වාර්ෂිකව මේ දුම්කොළවලින් ලැබෙනවා බිලියන 60 ක්‌ විතර.මද්‍යසාර අලෙවියෙන් ලැබෙනවා බිලියන 55 ක්‌ විතර. මද්‍යසාරවලින් ලැබෙන බිලියන් 55 ක ප්‍රමාණයෙන් නීති විරෝධී ලෙස පවත්වාගෙන 326 ක්‌ මම අවලංගු කරපුවහම රජයට බලාපොරොත්තුවන ආදායමෙන් යම් ප්‍රමාණයක්‌ අඩු වෙනවා කියලා කියපුවහම අපි වාර්ෂිකව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට. රෝග වැළැක්‌වීම, නිවාරණය, ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ මේ සියලු සේවාවන්වලට කරන වාර්ෂික වැය කිරීම් එක්‌ක මේ අතරේ තිබෙන වෙනස තමුන්නාන්සේලා භාණ්‌ඩාගාර නිලධාරීන්ට කියලා දෙනවනම් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ.

ඉතින් ඒ නිසා මේ කටයුතුවලදී විශේෂයෙන් රජයක්‌ විදිහට අපිට කරන්න පුළුවන් හැම කාර්යයක්‌ම අපි ඉටුකරනවා. මේ සමුළුවක්‌ තුළ කෙරෙන සාකච්ඡා දැන් අද ආරම්භ වූ මෙම සමුළුව දින දෙකක්‌ පුරා මේ ස්‌ථානයේ පැවැත්වෙනවා. මේ කටයුතු එක පැත්තකින් විෂයගත කරුණු වගේම අනෙක්‌ පැත්තෙන් මේ සමුළුව තුළ පොදු මහජනතාවට පාසල් දරුවන් ප්‍රමුඛව ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දැනට දෙන පණිවිඩය මීට වඩා ශක්‌තිමත් කිරීම ඉතාමත්ම අත්‍යාවශ්‍යයි.

මම ජනාධිපතිවරයා වීමෙන් පසුව මාසයක්‌ වගේ ඇතුළත විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක්‌ පිහිටෙව්වා. අපේ රටේ මත්ද්‍රව්‍ය වැළැක්‌වීම හා නිවාරණය සම්බන්ධයෙන්. ජාතික වැඩසටහනක්‌ වශයෙන් ඒ වැඩසටහන සෞඛ්‍ය ඇමැතිතුමා, සෞඛ්‍ය අමාත්‍යාංශය, මද්‍යසාර සහ දුම්කොළ අධිකාරිය ඒ වගේම අනෙකුත් ඊට අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක්‌ සමගයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ නිසා මේ වර්ෂ 2015 වර්ෂය විදිහට අපි විශේෂ වැඩසටහනක්‌ සකස්‌ කර තිබෙනවා. සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න මත්ද්‍රව්‍යවලින් වැළැක්‌වීම සහ නිවාරණය කියන මේ කරුණු සම්බන්ධයෙන්.

රටක තිබිය යුතු විනය, හික්‌මීම, යහපත්කම, හැදිච්චකම මේ සියල්ලටම බරපත ල අභියෝගයක්‌ තමයි මත්ද්‍රව්‍ය, අපි දන්නවා. කායික හා මානසික සෞඛ්‍යයේදී බලපාන්නා වූ කරුණු වගේම ඒ තුළ ඇතිවන බරපතළ සමාජ ව්‍යසනය අපි හැකි තරම් අවම කිරීම සඳහා සැමවිටම කටයුතු කළ යුතුයි.

ඒ නිසා මෙහි වැදගත්කම සම්බන්ධයෙන් තමුන්නාන්සේලාට වඩා මේ ගැන කතා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් පාසල් දරුවන් මුල්කරගෙන පැවැත්වූ චිත්‍ර තරග මා ඉතාමත් අගය කරනවා. මේ රටේ ලක්‍ෂ 40 කට ආසන්න පාසල් දරුවන් තමයි සමාජයට යහපත් පණිවිඩයක්‌ දෙන්න හොඳම පණිවිඩකරුවා සහ මාධ්‍යය. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මේ සියල්ල ඒකාබද්ධව මේ ගෙනයන පුළුල් ජාතික වැඩසටහන, මත්ද්‍රව්‍ය වැළැක්‌වීම, නිවාරණය මේ සියලු කටයුතු සම්බන්ධයෙන් අපි ප්‍රධාන වශයෙන් ඉලක්‌ක කරන්නේ පාසල් දරුවන් ප්‍රමුඛව සමාජයට මේ පණිවිඩය දීමයි.

ඒ නිසා මේ කටයුතුවලදී පසුගිය කාල සීමාවටත් වඩා ඔබ සියලු දෙනාගේ සහයෝගය රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට, අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මේ වැඩසටහන කිරීමේ නායකත්වය ගත් ජාතික මද්‍යසාර සහ දුම්කොළ අධිකාරියේ වර්තමාන සභාපති විශේෂ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සහ එහි සාමාජිකත්වය, අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ඇතුළු සෑම කෙනෙකුටම මගේ ස්‌තූතිය පුද කරනවා.

http://www.divaina.com/2015/05/01/news37.html

0 comments: