Pages

Tuesday, May 19, 2015

බහුදින යාත්‍රාවකින් ආ කෝටි අටක කුඩු තොඩුවාවෙන් මතු වූ හැටි

පසුගිය කාලය පුරා අතොරක්‌ නැතිව කුඩු කතා ඇසිණි. සුළු සිද්ධි පමණක්‌ නොව, මහ විශාල සිද්ධි ද ඒ අතර විය. කන්ටේනර් පෙට්‌ටි පිරෙන්න ගෙන එන ලද කුඩු තොග රේගු දැලේ පැටලුණු අවස්‌ථා එමටය. එමෙන්ම අත්අඩංගුවට පත් කුඩු තොග පසුව පාන් පිටි, බෝල්ට්‌ ඇණ බවට පත් වූ අවස්‌ථා ද තිබිණි. එහෙත් කුඩු ඒජන්තවරු අත්අඩංගුවට ගැනීමත් සමග අයිතිකරුවන් නැති කුඩු තොග අත්අඩංගුවට පත්වීම අඩු විය. මහ 'කුඩ්ඩෝ' ගැන කතා කරනවා හැරෙන්න පොඩි කුඩ්ඩෝ ගැන කතා නොඇසෙන තරම් විය. එහෙත් ලොකු පොඩි සියලු කුඩ්ඩෝ අත්අඩංගුවට ගැනීම අඩු නොවිණි. ඒ අතරේ පසුගිය දිනක කුඩු සම්බන්ධ අලුත් කතාවක්‌ ද ඇසිණි. ඒ ඉන්දියාවේ සිට බෝට්‌ටු මගින් මෙරටට ගෙන එන ලද කුඩු තොගයක්‌ සමග පුද්ගලයන් තිදෙනකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී පොලිස්‌ අත්අඩංගුවට පත් වූ සිද්ධියකි.

වාර්තා වන අන්දමට කුඩු තොගය පොඩි නැත. කුඩු කිලෝ අටකුත් ග්‍රෑම් 528 (8.528 Kg)කි. මුදල්මය වටිනාකම කෝටි අටකි. අත්අඩංගුවට පත් සැකකරුවන් වාමාරන පරිදි බෝට්‌ටු මගින් කරගෙන යන කුඩු ජාවාරම කාලයක සිට සිදුවන්නකි. බහුදින යාත්‍රා තුළ සඟවාගෙන ගෙනෙන කුඩු තොග මුහුද මැදදී තෙප්පමක පටවාගෙන වෙරළට ගෙනැවිත් ඇති බව ද පොලිස්‌ පරීක්‍ෂණ හමුවේ සැකකරුවන් පාපොච්චාරණය කර ඇත. පසුව එම කුඩු තොගය ලඳු කැලෑවක සඟවා තිබියදී කුඩු සමග ගෝලයන්ව පොලිසියට කොටු වූ විට මහ කුඩ්ඩා ප්‍රදේශයත් අතහැර පලා ගොස්‌ ඇති බව ද සැළ වෙන්නේය. එහෙත් එකී මහ කුඩ්ඩා ද කොටු කරගැනීමට පොලිසිය විසින් දැනටමත් විශේෂ මෙහෙයුමක්‌ ආරම්භ කර ඇත. මේ ලිපිය පළ වන විට එකී කුඩ්ඩා පොලිස්‌ දැලට පැටලි තිබෙන්නට ඉඩ තිබේ.

සැළවෙන තතු මත මුහුදු රස්‌සාවට මුවා වී කරගෙන යන මේ කුඩු ජාවාරමේ 'මහ කුඩ්ඩා' තොඩුවාව වෙරෙළ ආසන්නයේ පදිංචිකරුවකු වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව කාලයක්‌ බන්ධනාගාරගතව සිට නිදහස්‌ වූවෙකි. එමෙන්ම කාලයක්‌ ධීවර ව්‍යාපාරයේ නිරතව සිටි ඔහු බහුදින යාත්‍රා හිමිකරුවකු ද වන්නේය. පසුව ධීවර ව්‍යාපාරයෙන් ඈත් වී ජාත්‍යන්තර කුඩු ජාවාරම්කාරයන් සමග ගනුදෙනු කරමින් කුඩු ජාවාරම ජයටම කරගෙන ගිය පුද්ගලයෙකි. බහු දින ධීවර බෝට්‌ටු මගින් ඉන්දියාවේ සිට ගෙන එන කුඩු තොග මුහුද මැදදී මේ කුඩු ජාවාරම්කාරයාගේ හෙන්චයියන් විසින් භාරගෙන කෙසේ හෝ ගොඩට ගෙන එනු ලැබේ. අනතුරුව මාළු වෙළෙන්දන්, එක එක 'අපතයන්' හරහා කුඩු බෙදාහැරීම සිදු කර ඇත. කුඩු ජාවාරම සරු වන විට තම දරුවන් දෙදෙනකුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට ද යවා ඇති බව වර්තා වන්නේය.

'එකී කුඩු කල්ලියට සම්බන්ධවයි, කියා අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පොලිස්‌ පරීක්‍ෂණ හමුවේ වාමාරන තොරතුරු මත කුඩු බෙදාහැරීමට සම්බන්ධව මට්‌ටකොටුව ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයන් දෙදෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා ද දෙමස්‌සිනෝය. අත්අඩංගුවට පත් සැකකරුවන් පොලිස්‌ පරීක්‍ෂණ හමුවේ ලබාදෙන තොරතුරු අනුව මීට පෙර ගෙනැවිත් සඟවා ඇති කුඩු තොගයක්‌ ගැන ද හෙළිදරව් විය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ කණ්‌ඩායමක්‌ විසින් පෙර අත්අඩංගුවට ගත් කුඩු තොගය සඟවා තිබූ කැලයේම වෙනත් තැනක සඟවා තිබූ එම කුඩු තොගය ද අත්අඩංගුවට ගෙන තිබිණි. පාර්සල් දෙකකට වෙන් වූ එම කුඩු තොගය ද කිලෝ දෙකකි. එමෙන්ම තවත් කුඩු තොගයක්‌ ගොඩබිමට ගෙනැවිත් සඟවා ඇති බවට ද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට තොරතුරු ලැබී ඇත. 

ඉන්දීය ධීවරයන් ලෙස වෙස්‌ වළාගත් 'ඉන්දීය කුඩු ජාවාරම්කාරයෝ' ලබාදෙන කුඩු තොග රට තුළට ගෙන එනු ලබන්නේ මෙරට ඇතැම් ධීවරයන් බව පොලිස්‌ ආරංචි මාර්ග කියයි. එම කුඩු තොග ගොඩබිමට ගෙනැවිත් දෙනවාට මෙරට කුඩු ජාවාරම්කාරයන් විසින් ධීවරයන්ට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබා දෙන බව ද වාර්තා වන්නේය. එසේ ගෙන එන කුඩු තොග ජාවාරම්කාරයන් විසින් තැරැව්කරුවන් හරහා රටපුරා බෙදාහරින බව ද වාර්තා වන්නේය. මේ අද ඊයේ පටන් ගත් ජාවාරමක්‌ නොවේ. කාලයක සිට අතිශය රහසිගතව, සංවිධානගතව කරගෙන ගිය කුඩු ජාවාරමක්‌ බව ලැබෙමින් තිබෙන තොරතුරුවලින් තහවුරු වන්නේය. එමෙන්ම තොඩුවාවේ සිට වෙන්නප්පුව වෙරළ තීරය දිගට හොර ජාවාරම්කරුවන්ගේ රජදහනක්‌ බව ද ප්‍රදේශවාසීන්ගේ අදහසය. රත්තරං ගාමිණී, කුඩු මැට්‌ටි, තඹ ඇන්ටන් යන නම් පටබැඳී ඇත්තේ නිකමට නොවේ, ජාවාරම්කරුවන්ගේ ජනප්‍රියත්වයටය. ප්‍රදේශවාසීන් කියන විදිහට පසුගිය දිනක අත්අඩංගුවට ගත් කුඩු තොගය ඉන්දියාවෙන් ගෙන ආ සම්පූර්ණ කුඩු තොගය නොවේ. අත්අඩංගුවට පත්ව ඇත්තේ 'බොහොම චුට්‌ටකි...' ප්‍රදේශවාසීන් කියන විදිහට සිද්ධිය මෙසේය. ඉන්දියාවේ චෙන්නායිවල සිට බහුදින යාත්‍රා හරහා කුඩු කිලෝ හැත්තෑවක්‌ පමණ ගෙනැවිත් ඇත. පසුව මුහුද මැදදී එම කුඩු තොගය පොඩි බෝට්‌ටුවල පටවා ගෙනැවිත් තෙප්පමක පටවා ගෙන වෙරළට ගොඩබසින විට තෙප්පම පෙරළී ඇත. ඒ මොහොතේ වෑන තුනක්‌ පැමිණ කුඩු පාර්සල් කිහිපයක්‌ පටවාගෙන ගොස්‌ ඇත. තව පාර්සල් කිහිපයක්‌ වැටකෙයියා පඳුරු තුළ සඟවා ඇත. මත්පැන් පානය කිරීමට පැමිණි තරුණයන් කිහිපදෙනකු ඒ පාර්සල් දැක විවෘත කර බලා ඇත. එතැනින් පැතිර ගිය කටකතාව පොලිසිය දක්‌වා දිග්ගැසිණි. සිද්ධිය පත්තු වූ විට එකී කුඩු ජාවාරමේ 'මහ එකා' ඉන්දියාවට පලාගොස්‌ ඇති බව ද පැතිර යන කතාවකි.

මුහුදු මාර්ග ඔස්‌සේ හොර බඩු ප්‍රවාහනය පටන් ගත්තේ අද ඊයේ නොවේ හැත්තෑව, අසූව දශකයේ සිටම මෙරටින් ඉන්දියාවට සහ ඉන්දියාවෙන් මෙරටට මුහුදු මාර්ග ඔස්‌සේ ඉතාම පහසුවෙන් හොර බඩු ප්‍රවාහනය කළ බව පැරැණි ධීවරයකු අපට කී කතාවකි. ධීවර බෝට්‌ටුවල සඟවාගෙන ඕනෑම නීති විරෝධී ද්‍රව්‍යයක්‌ ගොඩබිමට ගෙන ඒමට හැකියාව තිබෙන බව ද ඔවුන්ගේ මතයයි. එදාට වඩා අද තාක්‍ෂණය දියුණුය. මිනිස්‌සු දියුණුය. අද ඇතැම් ධීවරයන් මහ මුහුද මැද රාත්‍රියට විදුලි පන්දම හිසේ ගැට ගසාගෙන කිමිදෙමින් මාළු ඇල්ලීමට තරම් දක්‍ෂය. එමෙන්ම අක්‍ෂාංශ, දේශාංස ගැන සැලකිලිමත් වෙමින් හොර බඩු සීල් කර මහ මුහුදේ කොරල්පර, ගල් යට සඟවා පසුව උඩට ගැනීමට තරම් දක්‍ෂ ජාවාරම්කාරයන් සිටින බවද ධීවරයන්ගේ අදහසය. එහෙත් ධීවර රැකියාවට මුවා වූ ජාවාරම්කාරයෝ හොර වැඩ කළ ද අහිංසක ධීවරයන් නීති විරෝධී වැඩ නොකරන බව ද ඔවුහු අපට පැවසූහ.

ධීවරයන් කියන කතාව සැබෑ විය හැක. මන්ද බෝට්‌ටුවල පටවාගෙන මිනිස්‌සු පිටරටවලට ගෙන යන කාලයක ගංජා හෙරොයින් මුහුදු මාර්ග ඔස්‌සේ ප්‍රවාහනය කිරීම මහා කඡ්ඡක්‌දැයි සිතෙන තරම්ය. අසූව දශකයේ සිටම බෝට්‌ටු හරහා ඉතාලියට, ඔස්‌ටේ්‍රලියාවට ආදී එකී නොකී රටවලට මිනිස්‌සු පැටවීමට ගොස්‌ අත්අඩංගුවට පත් වූ අවස්‌ථා ඕනෑ තරම් වාර්තා වී ඇත. අදටත් ඉඳහිට මිනිස්‌සු පටවාගෙන පිටරටවලට යැමට තැත් කරන බෝට්‌ටු ආරක්‍ෂක දැලට කොටු වන බවද නොරහසකි. දවසට බෝට්‌ටු හාරපන්සීයක්‌ අපේ මුහුදු සීමාවට ඇතුළු වී මාළු ඇස්‌වැන්න සූරාගෙන යන්නේය. මේ සෑම කොල්ලයක්‌ම සිදු වෙමින් තිබෙන්නේ වෙරළ ආරක්‍ෂක බළකාය විසින් මුහුද ආරක්‍ෂා කරමින් සිටින විටය. අපව කම්පනයට පත් කරවන්නේ කොටි ත්‍රස්‌තවාදය මුලින් උපුටා දැමීමට දායක වූ නාවික හමුදාවක්‌ ආරක්‍ෂා කරන මුහුදේ මෙවැනි ජාවාරම් සිදුවෙමින් තිබෙන එක ගැනය. ධීවර බෝට්‌ටුවක්‌ වරායෙන් මුහුදට යන විට, මෙන්ම නැවත බෝට්‌ටුව වරායට එන විට ආරක්‍ෂක අංශවලින් බෝට්‌ටුව පරීක්‍ෂා කරන බව සැබෑය. එමෙන්ම මුහුදු යන බහු දින යාත්‍රාවක්‌ ආරක්‍ෂක අංශවල නීති රීතිවලට, ධීවර අමාත්‍යාංශයේ නීති රීතිවලට සහ ජාත්‍යන්තර මුහුදු නීති රීතිවලට යටත් වී රස්‌සාව කළ යුතු බවද සැබෑය. එහෙත් ධීවරයන් කියන විදිහට 'හොර බඩු පාස්‌' වන්නේ මුහුද මැදදී හොර මාර්ගවලිනි. අපේ රටේ ඇතැම්හු හොරකමට දක්‍ෂය. හොරකම සැලසුම් කිරීම අතිශය සූක්‍ෂ්මය. මීට අවුරුදු පහකට හයකට උඩදී ඉන්දියාවේ සිට කුඩු සහ ගංජා ගෙනැවිත් ඇත්තේ ඌරාගේ මාළු ඌරාගේම පිටේ තබා කපන න්‍යායටය. එනම් බහුදින යාත්‍රා ඉන්දීය සීමාවට ඇතුළු වී ඕනෑ කමින්ම ඉන්දීය වෙරළ ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වන්නේය. පසුව අත්අඩංගුවට ගෙන වරායට ගාල් කරන බෝට්‌ටුවට සැලසුම් සහගතව ජාවාරම්කාරයන් විසින් රහසිගතව හොර බඩු පටවන්නාහ. සතියෙන් දෙකෙන් නැවත බෝට්‌ටු නිදහස්‌ වන්නේය. ඉන්දීය වෙරළ ආරක්‍ෂක අංශවලින්ම බෝට්‌ටුව ගෙනැවිත් අපේ වෙරළ ආරක්‍ෂක අංශවලට ද භාර දෙන්නේය. පසුව අපේ ආරක්‍ෂක නිලධාරීන් විසින් එකී බෝට්‌ටුව අතුරු අන්ත්‍රාවක්‌ නොමැතිව වරායට ගෙනැවිත් දෙන්නේය. වරායට පැමිණි බෝට්‌ටුවෙන් කිසිදු ගැටලුවක්‌ නැතිව අවශ්‍ය තැන්වලට බඩු ටික යන්නේය. එදා වගේ අදත් එවැනි 'ඩීල්' සිදු නොවෙන්න බැරි නැත. සිදුවිය යුත්තේ එවැනි හොර මාර්ග සහ සූක්‍ෂ්මව කෙරෙන ජාවාරම් කෙරෙහි බුද්ධි අංශවල උකුසු ඇස යොමුවීමය.

මුහුද, ගොඩබිම, ගුවන යන කිනම් මාර්ගයක්‌ ඔස්‌සේ වුවද කරගෙන යන ජාවාරම්වලට සම්පූර්ණයෙන්ම තිත තැබීමට නම් අනිවාර්යයෙන්ම එම ජාවාරම් මෙහෙයවන මහ මොළකරුවන් කොටු කරගත යුතුය. එසේ නොවෙන්න උන් වටා සිටින හෙන්චයියන් කොතරම් අත්අඩංගුවට ගත්තද ඵලක්‌ නැත. පහුගිය කාලයේ සිදු වූයේ මහ මොළකරු එළියේ සිටිද්දී කුක්‌කන් ඇතුළට දැමීමකි. කුඩු ජාවාරමේ ප්‍රබලයකු යෑයි සැලකෙන වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමග මේ ආණ්‌ඩුව ඒ ක්‍රමය වෙනස්‌ කර ඇති බවට පුංචි ඉඟියක්‌ ලබාදෙන්නේය. එහෙත් මෙවැනි සිද්ධිවලින් සැළවෙන්නේ 'වෙලේ සුදාලා' හා සමාන සුදාලා තවත් සිටින බවය.

යහපත් රටක්‌ තුළ කුඩු තිබිය නොහැකිය. කේරළයේ ගංජා මෙරට අසු මුලුවල තිබිය නොහැකිය. පිස්‌සු පෙති බොන පිස්‌සෝ සිටියද, එය මත්ද්‍රව්‍ය ජාවාරමක්‌ ලෙස සිදු විය නොහැකිය. එකී නොකී සියලු ජාවාරම්කාරයන්ට මෙරට තහනම් කොදෙව්වක්‌ විය යුතුය. එසේ නොවන්නට මේ රට තුළ යහපත් සමාජයක්‌ බිහි නොවන්නේය.

තරංග රත්නවීර
http://www.divaina.com/2015/05/17/feature12.html

Pic Source

0 comments: