Pages

Tuesday, May 19, 2015

කොටි පැරදවූ වන්නි මෙහෙයුමේ 6 වැනි සමරුව - මියගිය සංඛ්‍යාව - 6291 | තුවාල ලැබූ සංඛ්‍යාව - 29551

කොටි න්‍යායාචාර්යවරයාව සිටි ඇන්ටන් බාලසිංහම් විසින් ඊළාම් රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති ලෙස ද තමිල්නාඩුවේ කොටි හිතවාදීන් සුර්යතේවන් යනුවෙන්ද උතුරේ ඊළාම් ජාලය ද්‍රවිජ ජාතික නායකයා ලෙස ද හඳුන්වනු ලැබූ වේළුපිල්ලේ ප්‍රභාකරන් හෙවත් කිරුබා ප්‍රමුඛ කොටි ඝාතක සමාගම ශ්‍රී ලංකා හමුදාව විසින් පරාජය කර මෙම 19 දාට වසර හයක්‌ ගතවේ. ප්‍රභාකරන්ව පරාජය කළ හැකි ජගතෙක්‌ ලොව කිසිම රටෙක නැති බවට කොටි ඩයස්‌පෝරාව උදව් අනා තිබියදී නන්දිකඩාල් කලපුවේදී ප්‍රභා මරුමුවට පත්විය. කොටි සංවිධානය පරාජය කිරීම සඳහා දියත් වූ වන්නි මෙහෙයුමේදී සෙබළුන් හා නිලධාරීන් 6291 ක්‌ දිවි පිදූහ. 29551 ක්‌ තුවාල ලැබීය. මින් වැඩිදෙනෙක්‌ ආබාධිත තත්ත්වයට පත් විය. එහෙත් රට වෙනුවෙන් තම දිවි දුන් මේ ගෞරවනීය මළවුන් අද අමතක වී ඇත. කොටි ත්‍රස්‌තවාදයක්‌ තිබුණේ ද යන්න පවා අමතක කර ඇත.

වන්නි මෙහෙයුම දියත් කිරීමට පසුගිය රජය සැලසුම් කළ අවස්‌ථාවේ මෙරට සිටි ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ විගස රජයේ බලධාරීන් මුණගැසී හමුදා බලයෙන් කොටි පරාජය කළ නොහැකි බව කියා සිටියේය. හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්ද එම මතය ස්‌ථිර කළේය. ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ වී, බාලකුමාරන් කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ පුවත්පතකට ප්‍රකාශයක්‌ කරමින් සිංහලයන්ට කම්පනය වන දෙයක්‌ සිදුවන බවත් අපි මොකක්‌ද කරගත්තේ යෑයි ඔවුන්ට සිතෙන බවත් පලකළේය.

ඉන්දීය රෝ බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියා වූ බී, රාමන්ද ප්‍රකාශයක්‌ කරමින් පැවසුවේ බලසම්පන්න නාසි ජර්මන් හමුදාව ස්‌ටාලින්ග්‍රැඩ් නගරය අල්ලා ගැනීමට දරූ උත්සාහයේදී සෝවියට්‌ හමුදාවට බිලිවූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව සමූලඝාතනය වනු ඇතැයි අනතුරු ඇඟවීය. කිලිනොච්චිය ප්‍රභාකරන්ගේ කේන්ද්‍රස්‌ථානයයි. කිලිනොච්චිය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා හමුදාව උත්සාහ කළහොත් සමස්‌ත සිංහල හමුදාව ඉල්ලන් කනු නියතයි යෑයි රාමන් තවදුරටත් සඳහන් කළේය. ඉන්දීය සාම හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි කර්නල් හරිහරන් පැවසුවේ මුළු ශ්‍රී ලංකා හමුදාව ප්‍රභාකරන්ට ගොදුරු වන බවයි. අනතුරුව ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප්ද ප්‍රභාකරන් ජයගන්නා බව කීවාය. ප්‍රභාකරන්ගේ දැස්‌ මකුළුදැල්වලින් වැසී නැත. ඔහු ශ්‍රී ලංකා හමුදාව අනිවාර්යයෙන්ම පරාජය කරනවා. එවිට මා ශ්‍රී ලංකාවට අවුත් ඔහුගේ ජීවිත කතාව ලියනවා යෑයි ඇය කියා සිටියාය.

එහෙත් වන්නි මෙහෙයුම තුළින් ප්‍රභාකරන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශ ආරක්‍ෂක හමුදා අත්පත් කර ගනිද්දී ප්‍රංශ විදේශ ඇමැතිව සිටි බර්නාඩ් කුච්නර් සහ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති වූ ඩේවිඩ් මිලිබැන්ඩ් මෙරටට පැමිණ කොටි නායකත්වය බේරා ගැනීමට කළ ඉල්ලීම ආරක්‍ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ එකහෙලාම ප්‍රතික්‌ෂේප කළේය. එසේම හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ ද මැරයින් බලකායක්‌ මෙරටට එවා ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 160 ක්‌ බේරා ගැනීමට උත්සාහ දැරීය.

මාරි කොල්වින් නමැති ඇමරිකානු මාධ්‍යවේදිනිය ද අවසාන මොහොතේ එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික ප්‍රධානි විඡේ නම්බියාර් ලවා කොටි නායකත්වය බේරා ගැනීමට දැඩි බලපෑම් කළේය.

විඡේ නම්බියාර් විගස ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුට මුලතිව් වෙත යැමට ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉඩ දුන්නේ නැත. ඉන්දියාව ද මෙහෙයුම නතර කරන්නැයි ශ්‍රී ලංකාවට කීවේය.

ඇමරිකාවේ දේවගැති ඡේසි ජැක්‌සන්, දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්‌මන් ටුටු, ඉන්දීය ලේඛිකා අරුන්දති රෝයි, කැනඩාවේ හිටපු දේශපාලනඥයකු වූ බොබ්රේ සහ තමිල්නාඩුවේ නළු නිලියන්ද කොටි සංවිධානය බේරාගැනීමට උත්සාහ කරනු ලැබීය.

මේ හැර මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු රැසක්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි විය. මෙරට නෝර්වේ තානාපති හැන්ස්‌ බැට්‌ස්‌කාර් සාම්පූර් මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේය. වන්නි මෙහෙයුම යටතේ විශාල මිනිස්‌ ඝාතන සිදුවී ඇති බවට ඔව්හු ලොව පුරා ප්‍රචාරය කරනු ලැබීය.

එහෙත් මෙරට ඇතැම් මාධ්‍ය මිස්‌ටර් ප්‍රභාකරන් හෙවත් ප්‍රභාකරන් මහත්මයා යෑයි හැඳින් වූ කොටි නායකයා ප්‍රමුඛ ඝාතක කල්ලි මුළුමනින්ම පරාජය විය.

කොටි ත්‍රස්‌ත කල්ලිය ලැබූ දැවැන්ත පරාජයෙන් පසු ඩොලර් 34,426699 ක්‌ වටිනා අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ඇතුළු මෙවලම් යොදාගනු ලැබීය.

මෙලෙස සොයාගත් උපාංග අතරින් සමහරක්‌ මෙසේය.

1. මරාගෙන මැරෙන බෝම්බ කබා - 293
2. පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බ පටි 14
3. මරාගෙන මැරෙන බෝම්බ පටි - 29
4. ටී. එන්. ටී. පුපුරණ ද්‍රව්‍ය කිලෝ 3009
5. ටී. එන්. ටී, පුපුරණ ද්‍රව්‍ය කුට්‌ටි - 2971
6. සී. 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ - 6050
7. අත්බෝම්බ 18153
8. ගුවන් යානා නාශක සෑම් මිසයිල 11

මෙයට අමතරව ඇමරිකානු හමුදා භාවිතා කරන සංනිවේදන උපකරණ ප්‍රහාරක අවි රෙඩාර් සහ නෝර්වේ චන්ද්‍රිකා උපාංගද විය. සොයාගත් එම්. 16 ඒ ප්‍රහාරක අවි බල සඳහන් වූයේ එම අවි ඇමරිකානු රජය සතු බවයි. එහෙත් අද වන තෙක්‌ එකී අවි සහ උපාංග කොටි සංවිධානයට ලැබුණේ කෙසේ දැයි කිසිදු බටහිර රටක්‌ පරීක්‍ෂණ සිදු කළේ නැත.

කොටින්ට මෙම අවි ආයුධ සැපයූ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානි කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් මෙරට සිටින අතර ගිනි අවි ආඥ පණත උල්ලංඝණය කිරීම ගැන ඔහුට එරෙහිව ක්‍රියාකළ යුතුව තිබුණි. එහෙත් එවැන්නක්‌ සිදුවී නැත.

කොටි පරාජය වීමෙන් පසුව කොළඹ අවට තිබූ රුපියල් බිලියන 1.3 ක වත්කම්ද සොයා ගැනුණි.

මෙයට අමතරව කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ගුෂාන්තන්ද මැලේසියාවේ සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එනු ලැබීය.

මෙලෙස කොටි සංවිධානය පරාජය වී වසර හයක්‌ සපිරීමට ආසන්න වන අවස්‌ථාවේ ශ්‍රී ලංකා හමුදාවට බරපතළ ලෙසින් යුද අපරාධ චෝදනා එල්ල කර ඇත.

එසේම වන්නි මෙහෙයුම දෙමළ සංහාරයක්‌ ලෙසින් හඳුන්වමින් දේශපාලන සහ හමුදා නායකත්වයේ 40 කට චෝදනා එල්ල කිරීමේ මෙහෙයුමක්‌ දියත් වී තිබේ.

ජිනීවාහි යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය ඒ සඳහා සාක්‍ෂි ලබාගෙන ඇත්තේ ස්‌කයිප් අන්තර්ජාල ක්‍රමවේදය මගිනි. මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල කර ඇති පිරිස අතර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාද වේ. මේ අතර කොටි සංවිධානය පරාජය වීමේ 6 වැනි සමරුව මැද උතුරේ කොටි ක්‍රියාකාරීහු මියගිය කොටි සැමරීමට සැලසුම් කර ඇත. පසුගිය ඉරිදා යාපනයේ සිවිල් සංවිධාන සංසදය පුස්‌තකාල ශාලාවෙන් අනුස්‌මරණය කිරීමට ඇති අයිතිය නමින් සමුළුවක්‌ පවත්වා ඇත. කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක දෙදෙනෙක්‌ ද ඊට සහභාගි වී තිබේ. මෙම සමුළුව ඇතුළු කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙක්‌ මැයි 18 දා සහ නොවැම්බර් 27 දා මියගිය පිරිස සැමරීම සඳහා ඉඩ නොදීමෙන් ද්‍රවිඩ ජනතාවගේ හිමිකම් උල්ලංඝණය කර ඇති බවයි. මොහු මෙලෙස රජයට අභියෝග කරන අවස්‌ථාවේ ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මෙහෙයවන දෙමළ ජාතික ජනතා පෙරමුණ මැයි 18 දා දෙමළ ජාතික ඝාතනයේ 6 වැනි සමරුව සඳහා මුල්ලිවයික්‌කාල් සහ වාකරේ වෙත පැමිණෙන ලෙස ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත. 

මෙයට සමානව තමිල්නාඩුවේ චෙන්නායි නගරයේදී සමුළුවක්‌ පැවැත්වූ කොටි ක්‍රියාකාරීහු ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු යෑයි දක්‌වමින් අත්සන් ලක්‍ෂ 10 ක්‌ ලබාගැනීමේ මෙහෙයුමක්‌ දියත් කර තිබේ.

ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ වාර්තාව සැප්තැම්බර් 15 දා ප්‍රකාශයට පත්වන නිසා ඊට පෙර අත්සන් තබන ලෙස රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය කොටි ඩයස්‌පෝරාවෙන් ඉල්ලා ඇත.

මෙම තත්ත්වය මැද මෙයට වසර 6 කට පෙර සිදුවූයේ වන්නි මෙහෙයුමක්‌ නොව දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක්‌ බවට ප්‍රචාරයක්‌ දියත් වී තිබේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාජා පසුගියදා උතුරේ මාධය අමතමින් උතුරු පළාතේ සිදුවූයේ සංවිධානයකට එරෙහි යුද්ධයක්‌ නොව දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක්‌ බව ප්‍රකාශ කර ඇත. මෙවන් පසුබිමක්‌ මැද ඉදිරි මාස තුනින් පසු ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වේ. මෙම යුද අපරාධ චෝදනා කෙටුම්පත් කිරීම සඳහා එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා ඉදිරිපත් වී තිබේ. මෙකී යුද අපරාධ චෝදනා වාර්තාව පසුබිමේ හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත් සහ කොටි ඩයස්‌පෝරාව ක්‍රියාත්මක වී ඇත. ඔවුන් සුදු කොඩි සිද්ධිය නමින් පිටු 48 ක වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. මෙම සුදු කොඩි සිද්ධිය නම් වූ වාර්තාවෙන් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට පෙන්නුම් කර ඇත්තේ හිටපු කොටි හමුදා නායකයන් 103 ක්‌ හමුදාවට බාරවූ බවත් ඔවුන්ව මෙහෙයවන ලද්දේ කතෝලික පියනමක්‌ වූ ප්‍රැන්සිස්‌ ජෝසප් පියනම බවත්ය. 

ඇමරිකානු මාධ්‍යවේදීනි මාරි කොල්වින් කොටි හමුදා නායකයන් යුද හමුදාවට බාරවූ බව ලන්ඩන් නුවර සිට පවසද්දී සුදු කොඩි වාර්තාවේ කතෝලික පියනමකගේ නමක්‌ ඇතුළත් කර ඇත. එකී වාර්තාවේ හිටපු හමුදාපති ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස්‌ සහ මේජර් ජනරාල්වරුන්ගේ නම් දක්‌වා තිබේ.

කොටි ත්‍රස්‌තයන් සමග සබඳතා පැවැත්වූ නැගෙනහිර ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයකුව සිටි රොහන් චන්ද්‍රනේරු පිළිබඳව ද එම වාර්තාවේ සඳහන් කරමින් දක්‌වා ඇත්තේ කොටි හමුදා නායකයන් රජයට භාරවීම සම්බන්ධිකරණය කළේ ඔහු බවයි.

මෙලෙස කොටි පරාජය කිරීමේ සංවත්සරය මැයි 19 දාට යෙදී ඇති අවස්‌ථාවේ පසුගිය මැයි 10 වැනි ඉරිදා රජයේ ඉංග්‍රීසි පුවත්පතක්‌ කොටි හිතවාදියකු වූ ට්‍රෙවර් ග්‍රාන්ට්‌ නමැත්තා කළ භයානක ප්‍රකාශයක්‌ පළ කළේය. මේ ප්‍රකාශයෙන් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණි ද ඕස්‌ටේ්‍රලියන් පුවත්පතේ මාධ්‍යවේදී ග්‍රෙග් ෂෙරිඩන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යුද අපරාධ ගැන සෙවීමට අපොහොසත් වූයේ මන්ද යන්නයි. එසේම ඉස්‌ලාමීය ත්‍රස්‌තවාදීන් අවි සැපයීමට ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රියා කළ බවට ද එම පුවත්පත චෝදනා කළේ ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය පවා එවැන්නක්‌ සොයාගෙන නැති අතර ටේ්‍රවර් ග්‍රාන්ට්‌ එල්ල කළ එකී චෝදනාව එම ඉංග්‍රීසි පුවත්පත පල කළේ මන්ද?

මෙකී ටේ්‍රවර් ග්‍රාන්ට්‌ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද සාවද්‍ය චෝදනා එල්ල කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ බලන ආරක්‍ෂක ඇමැති ලෙස ක්‍රියාකරන සමයේ දහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන්ව හමුදාව විසින් ඝාතනය කර ඇති බවත් හමුදා අණදෙන නිලධාරී මණ්‌ඩලය ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විමර්ශනය කරන බවත් ග්‍රාන්ට්‌ දක්‌වා තිබේ. මේ ටේ්‍රවර් ග්‍රාන්ට්‌ කවුද? ද්‍රවිඩ සංක්‍රමණික කවුන්සිලයේ කැඳවුම්කරු ලෙස ක්‍රියාකරන්නේ ටේ්‍රරි ග්‍රාන්ට්‌ය. මේ වාතාවරණය මැද රජයේ ඉංග්‍රීසි පුවත්පතක වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම්ට සාවද්‍ය චෝදනා එල්ල කළ ටේ්‍රවර් ග්‍රාන්ට්‌ගේ ප්‍රකාශය පල කිරීම මෙරට ජාතික ආරක්‍ෂාවට එල්ල වූ බරපතළ තර්ජනයක්‌ නොවේද? මේ අන්දමට ඇමරිකානු ජනාධිපති ඔබාමා ඇෆ්ගනිස්‌ථානයේ යුද අපරාධ සිදු කළ බවට විදේශිකයකු නගන චෝදනා ඇමරිකානු මාධ්‍ය පල කරන්නේ යෑයි කිව හැකිද?

වන්නි මෙහෙයුමේ 6 වැනි සමරුව යෙදී ඇති සමයේ කොටි හඬ නැගීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යැමට ලන්ඩනයේ කොටි ක්‍රියාකාරිකයකු වූ සොක්‌කලිංගම් යෝගලිංගම් දරූ උත්සාහයද අසාරථක විය. සොක්‌කලිංගම් බ්‍රිතාන්‍යයේ එන්.එල්.පී. පක්‍ෂයෙන් පිනර් ආසනයට තරග කළ අතර ඔහුට හිමි වූයේ ඡන්ද 166 කි. මාව පාර්ලිමේන්තුවට යවන්න එවිට ඝාතනයට ලක්‌වූ කොටි සංවිධානයට යුක්‌තිය ලබා දීමට ක්‍රියාකරන්නෙමි යෑයි ඔහු කියි සිටියේය. එහෙත් ඊළාම්වාදීන් පවා ඔහුට ඡන්දය දුන්නේ නැත. ප්‍රභාකරන්ගේ ඥතියකු වූ එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ මුල්ලිවයික්‌කාල් සහ මුලතිව් වෙරළ සමීඵයට ගොස්‌ මියගිය කොටි සැමරීමට ක්‍රියාකර ඇත.

ඊට උතුරු පළාත් සභාවේ ඇන්ටන් ජෙයනාදන්, රවිකරන් හිටපු මන්ත්‍රිනී මේරි කමලා, වලිකාමම් නියෝජ්‍ය සභාපති සජීවන් සහ වැල්වැටිතුරේ නගර සභාවේ මන්ත්‍රී නගකරත්න රාජා සහභාගි වී ඇත.

මේ අතර මෙවර රණවිරුවන් සැමරීමට රජය කටයුතු යොදා ඇත. එසේම වන්නි විජයග්‍රහණයේ 6 වැනි සමරුව යෙදී ඇති අවස්‌ථාවේ සාම්පූර්හි විදුර නාවික කඳවුරද ඉවත් කිරීමට තීරණය විය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/05/17/defence01.html

0 comments: