Pages

Tuesday, May 19, 2015

පිරිත් කියන්නටත්, අසන්නටත් සැමට ඉඩ සැලසෙන අනුරපුර පිරිත් පිංකම ලබන 30දා

<--- පසුගිය වසරේ පිරිත් පිංකමේ අවස්‌ථාවක්‌

අනුරාධපුර ඓතිහාසික අසදෘශ ස්‌වර්ණමාලි මහ සෑ රදුන් වහන්සේ අබියස සෙත්සිරි පදනම මගින් වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනා පිංකම ඇතුළු සමගාමී පිංකම් මාලාව මෙවර මේ මස 30 වැනි සෙනසුරාදා සවස 4.30 ට පැවැත්වේ.

මෙම වැඩසටහන යටතේ පිරිත් සඡ්ජාධායනය පැවැත්වෙන දිනයේ දහවල් පනස්‌ නමකට අධික මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක්‌ පිරිනැමීම ද, සවස අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව පැවැත්වීම, රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත කප්රුක්‌ චීවර පැළඳවීම ද පසු දින උදැසන කිරි ආහාර පූජාවන් පැවැත්වීමද ඇතුළත් වේ.

පිරිත් සඡ්ජාධායනයෙහි හුරු පුරුදු ප්‍රවීණයන්ට මෙන්ම ආධුනික සැමට ද සිය සවි පමණින් මෙම පිංකමට දායක විය හැකිය. මීට වසර කීපයකට පෙර විසි දෙනකු පමණ වූ ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අරඹන ලද මෙම පිංකම පසුගිය වසරේ දී දහස්‌ සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව මහත් හරසරින් පැවැත්විණි.

මෙම පිරිත් සජ්ඣායනා පිංකම සඳහා සහභාගි වන සියලුම පිංවතුන් ආරම්භයේ සිට අවසානය දක්‌වාම පිරිත් සඡ්ජාධායනයේ යෙදෙනු ඇතැයි බලාපොරොත්තු වන නමුදු යම් හෙයකින් එසේ කටයුතු කිරීම අපහසු වන්නේ නම්, කැමති තාත් පිරිත් සඡ්ජාධායනයේ යෙදීමට හෝ නිහඬව ශ්‍රවණය කිරීමට හෝ නැවත පහසු විටෙක පිරිත් සඡ්ජාධායනයට එකතු වීමට අවස්‌ථාව ලබා දී ඇත. එමෙන්ම තම තමන්ට රිසි පරිදි නොව සියලුම දෙනා එකට එක්‌ව එක හඬින් පිරිත් සඡ්ජාධායනයේ යෙදිය යුතු අතර වචන හැකිතාක්‌ නිවැරැදිව උච්චාරණය කිරීමට උත්සුක විය යුතුය. පිරිත් සඡ්ජාධායනය සඳහා නුහුරු ආධුනිකයන් මේ සඳහා පැමිණීමට පෙර පිරුවානා පොත් වහන්සේ (සත බණවර සහිත) කිහිප වරක්‌ හෝ හොඳින් කියවා බලා පරිශීලනය කොට පැමිණෙන්නේ නම් ඉතා උචිත බව සෙත්සිරි පදනම නිවේදනය කර තිබේ.

ඉදිරියේදී රුවන්වැලි මහ සෑ රදුන් වහන්සේ කේන්ද්‍ර කොට ගෙන අටමස්‌ථාන, සොළොස්‌මස්‌ථාන ඇතුළු පූජනීය ස්‌ථාන ගණනාවක්‌ම ඒකාබද්ධ කොට මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් මෙම පිරිත් සජ්ඣායනා පිංකම ජාතික මට්‌ටමින් පැවැත්වීමට ද අදහස්‌ කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිත් සඡ්ජාධායනය සඳහා හැකියාවක්‌ ඇති මෙන්ම, මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සැබෑ උනන්දුවක්‌ දක්‌වන පිරිස්‌ සම්බන්ධකර ගැනීමටද එම පදනම අදහස්‌ කරයි.

එමෙන්ම එදා සිට අද දක්‌වාම මෙම උතුම් පිංකම් මාලාව සාර්ථකව පවත්වාගෙන යැම පිණිස නන් අයුරින් සහයෝගය ලබාදුන් අටමස්‌ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ටත්, පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ටත්, සෝභිත පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු මහ සඟරුවනටත් සෙත්සිරි පදනම කෘතවේදය පුදකර තිබේ.

සෙත්සිරි පදනම - 071-0111133, 077-8035006 වෙතින්ද මේ පිළිබඳව ඔබට දැනගත හැකිවේ. 

http://www.divaina.com/2015/05/18/news17.html

0 comments: