Pages

Friday, May 15, 2015

සිනමාවේ චණ්‌ඩියා රූපවාහිනියේ දොස්‌තර හොඳහිත වූ හැටි - දරුවන්ගේ ආදරණීය ටයි මාමා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ හඬකැවීම් මැදිරිය ටයිටස්‌ තොටවත්ත මහතා නමින් නම් කිරීම ඊයේ සිදුවිය. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

ශිෂ්‍යත්වයක්‌ ලැබ ජර්මනියට ගිය ටයි මහතා සුපුරුදු රාජකාරී කටයුතු සඳහා යළි රූපවාහිනියට පැමිණ සිටියේය. ඔහුගේ සෙවණෙහි වැඩකිරීමටම සිත තිබූ භීතිය මේ වන විට කෙමෙන් කෙමෙන් පහව යමින් තිබිණ. හඬකැවීම් අංශයක ඇති වැදගත්කම එවකට ජාතික රූපවාහිනියේ සිටි බලධාරීන්ට කියාපෑමෙන් පසුව ටයි මහතා විසින් ලබාගත් අලුත් අංශයට මා අනුයුක්‌ත කළ විට එහි රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා මා ගියේ මරන්නට දක්‌කා ගෙන යන වස්‌සෙකු පරිද්දෙනි. ''ඔය කේන්තියට කෑ ගැහුවට ඕක නිකං සෝඩ බෝතලේ ඇරිය වගේ. ඉන් පස්‌සෙ හිතේ මොකවත් නෑ" ටයි මහත්තයා ළඟට ඔහුගේ සහායක වශයෙන් සේවයට යන්නට මා මැලිවන විට එවකට නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් පුටුවේ සිටි හෙන්රි ජයසේන මහතා විසින් මා දිරි ගැන්වූයේ ඒ අයුරිනි. 

තත්කාලීනව රූපවාහිනි මාධ්‍යය ට නවමු අත්දැකීමක්‌ වූ විදේශීය වැඩසටහන් සිංහල බසින් හඬකැවීමේ ප්‍රාරම්භය එසේ සිදුවෙද්දී එහි පුරෝගාමියා වැඩ පටන් ගත්තේය. මේස පුටු ලිපිගොනු කැබිනට්‌ ලිපි ද්‍රව්‍ය ටයිප් රයිටර් වැනි භෞතික සම්පත්වලින් අලුත් අංශය පිරී ගියේය. ටයි මහත්තයා හඬකැවීම් අංශයට පිවිසෙන විටම තිබූ පුටුවෙහි විරාජමාන විය. ''කතා කළොත් වචන ඔබනවා" යන වදන් පෙළ හඬකැවීම් අංශයෙහි ප්‍රධාන දොරෙහි ඇලවිණි.

''මල්ලි මං ජර්මනියට ගිහින් එනකොට වැඩසටහන් වගයක්‌ ගෙනාව මේක අපි සිංහලෙන් ඩබ් කරල රූපවාහිනී ඇනිවසරි දවසෙ දාමු" ටයි මහතා ඹප්එසජ කැසට්‌ පට දෙකක්‌ මා වෙතට දෙන ගමන් පැවසීය. එතුමා සමහර විටෙක අප ඇමතුවේ මල්ලී කියාය. සමහර විටෙක පුතා කියාය. කේන්ති ගිය විටකදීත් ඉතා සුහද වේලාවන්හි දීත්, ඔහු අපට උඹ කියාද ඇමතුවේය. මම කැසට්‌ පට දෙක රැගෙන ප්‍රධාන පාලක මැදිරියට ගොස්‌ එහි අන්තර්ගත වැඩසටහන් දෙක නැරඹවෙමි. එය Haබි Cයරසිඑස්‌බ Aබාeරිදබ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කාටුන් වැඩසටහන් දෙකක්‌ විය. ඉතා මනරම් පසුතලයන්හි ඉංග්‍රීසියෙන් කතාකරන චරිත කිහිපයක්‌ එහෙ මෙහෙ සැරිසැරුවෝ ය. මම තේරෙන ඉංග්‍රීසියෙන් එම චරිතයන් පවසන දෙබස්‌ සටහන් කර ගැනීමට උත්සුක වූවෙමි.

''පුතා මේක ඩබ් කරගන්න හොඳ වොයිසස්‌ ටිකක්‌ ඕන කුරුවල් වෙච්ච නැති" ටයි මහතා මා පිටුපස පෙනී සිටියේය. ''මං දන්න හොඳ හඬක්‌ තියෙන යාළුවෙක්‌ ඉන්නව මිනිහට කිව්වොත් නම් මේ වැඩේ කර ගන්න පුළුවන් වෙයි.

මට එක්‌වරම සමන් ආතාවුදහෙට්‌ටි මගේ පාසල් මිතුරා සිහිපත් විය. සමකාලීනව සමන් රාජකීය විද්‍යාලයේත්, මම ආනන්ද විද්‍යාලයේත් උසස්‌ පෙළ හදාරණ සිසුහු වූවෙමු. අප දෙදෙනා එකල මුණගැසුනේ පුංචි බොරැල්ල පරණවාඩිය හන්දියේ පිහිටා තිබූ සරසවි විද්‍යාපීඨ පියස යටදිය. 

''එහෙනම් උඹ ගිහිල්ල ඒ පූසව එක්‌ක ගෙන වරෙන්" සමන්ව කැඳවා ගෙන ඒමට ටයි මහතා විසින් අවසර දෙන ලද. ටයි මහතා එක්‌වරක්‌ වත් තමාට මුණ නොගැසුනු පුද්ගලයෙකුව පූසා කියා අමතන්නට පුරුදු වී සිටියේ ය. පසු කලෙක දී ඔහු විසින් සිංහලෙන් හඬ කවන ලද කාටුන් චිත්‍රපටි මාලාවකට ''පිස්‌සු පූසා'' යනුවෙන් ද නම් තබන ලදී. මම සැනෙකින්ම රූපවාහිනි සහ ගුවන් විදුලි ගොඩනැඟිලි මායිම්වලට ඉඩදෙමින් දිවයන පාර මාරු වී සමන් සොයා ගුවන් විදුලියට ගොඩවැදුනෙමි. ඔහු එකල ක්‍රීඩා අංශයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්‌ විය. පටිගතකිරීම් කටයුතු නිමාකර ගුවන් විදුලි කොරිඩෝව දිගේ පැමිණි සමන් මා ඉදිරියේ පෙනී සිටියේය. මම ඔහුට ටයි මහත්තයාගේ අලුත් වැඩය ගැන පැහැදිලිs කර දුන්නෙමි. ඔහුගේ සුරත දෙවුර ළඟට වැටී තිබූ කෙස්‌ වැටිය වෙතට ළඟා වෙන අයුරු මම බලා සිටියෙමි.

''හරි අපේ වැඩේ කරමු. ලන්දේසි දූපතේ මගේ සඟයන් පරාක්‍රම පෙරේරා, කරුණාතිලක හඳුවලත් තව ඕන නම් ලෙස්‌ලි රාමනායකත් අපි මේ වැඩේට සම්බන්ධ කර ගමු"

මම සමන්ගේ යෝජනාව ජයග්‍රාහී ලෙසට ටයි මහත්තයාට ඉදිරිපත් කළෙමි.

ඒ 1987 පෙබරවාරි මස 14 වන දිනය විය. ''ලොකුබාස්‌ පොඩි බාස්‌" සහ අහල පහල ''සිංහල බසින් හඬකවන ලද පළමු විදේශීය කාටුන් චිත්‍රපට දෙක රූපවාහිනී සංවත්සර දිනයේ දි ජාතික රූපවාහිනියෙන් විකාශය විය. කුමරතුඟු මුනිදස්‌ ශූරීන්ගේ අනුගාමිකයකු වූ ටයි මහතා අලුත් අලුත් දෑ සොයා ගිය නිර්මාණකරුවෙකු බව තවත් වරක්‌ දැයට පසක්‌ කර දෙමින් අපූර්වතම නවමු අත්හදා බැලීමක්‌ අනාගත පරපුරට එසේ දායාද කළේය. එහි සාර්ථකත්වය සහ එයට ලැබුණු උණුසුම් ප්‍රතිචාරයන් ඔස්‌සේ පිය මැන ගිය ටයි මහතා ළමා මනසට ගෝචර වන වෙනත් භාෂාවන්ගෙන් නිෂ්පාදනය වූ වැඩසටහන් චිත්‍රපට සොයා බලමින් ඒ පිළිබඳ නිරන්තරව විමසිලිමත්ව සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ ස්‌විස්‌ නිෂ්පාදනයක්‌ වූ දොස්‌තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාව අපගේ සංස්‌කෘතියට බද්ධ කරමින් ළමා මනස ඉදිරියේ දිගෑලි කිරීමය. 

දොස්‌තර හොඳ හිත මි.මි 16 කාටුන් චිත්‍රපට මාලාවක්‌ විය. අවම පහසුකම් යටතේ වුවද විදේශීය රූපවාහිනී වැඩසටහන් ඛසච sහබජ dමඉඉසබට ධඩැර ක්‌හ dමඉඉසබට ධෙෙ ජදපපැබඒරහ යන හඬකැවීම් විෂය අරභයා සිංහල බසෙන් හඬකැවීම සඳහා එදවස ජාතික රූපවාහිනියට හැකියාව තිබුණත් මිමි. 16 මිමි. 35 චිත්‍රපට හඬකැවීමට හැකියාවක්‌ නොතිබුණි. මේ හේතුවෙන් දොස්‌තර හොඳ හිත චිත්‍රපට මාලාව හඬකැවීමේ කටයුතු සඳහා රජයේ චිත්‍රපට අංශයට අපට යැමට සිදුවිය. එම චිත්‍රපට මාලාව හඬකැවීම සඳහා තව තවත් හඬකැවීමේ ශිල්පීන් ටයි මහත්තයාට අවශ්‍ය විය. ඒ සඳහා පෙර දවස ඔහුගේ සිනමා නිර්මාණවලට දායක වූ කලා ශිල්පීහු කිහිප දෙනෙක්‌ ම හඬකැවීම් අංශයට ගොඩ වැදුණහ. ගැමුණු විඡේසූරිය, වික්‌ටර් මිගෙල්, ධර්ම ශ්‍රී මුණසිංහ, රත්නාවලී කැකුණාවෙල, එල්සන් දිවිතුරුගම ඒ අතරින් ප්‍රධාන වූහ

මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවහන තමයි
සියලු සතුන් මගේ තමයි දොස්‌තර හොඳ හිත මමයි 

පරම්පරාවෙන් පරම්පරාවට සවන්පත්හි රැඳෙන මෙම ගීතයේ පදවැල් එකිනෙකට ගලපමින් ප්‍රේමකීර්ති ද අල්විස්‌ නමැති දක්‌ෂ ගේය පද රචකයාත් එහි තනුව නිර්මාණය කළ ජාතික රූපවාහිනි සංගීත අංශයේ එවකට අංශ ප්‍රධානියා වූ සෝමසිරි ඉලේසිංහයනුත් දොස්‌තර හොඳ හිත කාටුන් චිත්‍රපට මාලාවේ මුල්ම කතාංගය වූ බෑයි කියල බෑ චිත්‍රපටය සඳහා අනූපමේය දායකත්වය ක්‌ ලබා දුන්හ. ප්‍රේම් මිය යන තෙක්‌ම ටයි මහතා ගේ බඩ බැඳගත් එකම ගීත රචකයා විය. මා බඩ බැඳගත් යනුවෙන් විශේෂණ පදයක්‌ ප්‍රේම් වෙනුවෙන් ලියා තබනුයේ ඔහු ටයි මහතා හමුවන සෑම විටකදීම පාහේ ටයි මහතා ගේ ඉදිරියට නෙරා ආ බඩ වටා අත යවමින් බැරි බරගාතේ වුව ද ඔහුව තමන් දෙසට ඇද ගනිමින් තම දත් පෙළෙ හි දෙපස පිහිටුවා තිබූ නල දත් දෙකම ප්‍රදර්ශනය වන සේ සිනහසීමට ප්‍රේම් පුරුදු වී සිටි බැවිනි. දොස්‌තර හොඳ හිත චිත්‍රපට මාලාවට අයත් සෙසු චිත්‍රපට සඳහා ද ටයි මහතාගේ අදියුරෙන් හඬ කවන ලද බොහෝ වැඩසටහන් සඳහා ද සංගීත නිර්මාණකරුවා වූයේ සෝමපාල රත්නායකයන්ය. එය ටයි මහතා ගේ සිනමා නිර්මාණයන්හි සිට සපැමිණි හෘදයාංගම සම්බන්ධතාවයේ රූපවාහිනී ආගමනය ලෙසට සැලකිය හැක.

දොස්‌තර හොඳ හිතෙන් පසුව හා හා හරි හාවා, පිස්‌සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය වැනි කාටුන් චිත්‍රපට සේම සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සේ සැලකෙන විදේශීය චිත්‍රපට පෙළක්‌ ද සිංහල බසින් හඬ කැවීම සඳහා පෙළගැසුණි. සිටුවර මොන්ත ක්‍රිස්‌තො. මල්ගුඩි දවස ඒ අතරින් ප්‍රධාන වේ. 

හඬකැවීම් ශිල්පය වෙනුවෙන් මෙසේ පුරෝගාමී මෙහෙවරක්‌ සඳහා තම නිසඟ ප්‍රතිභාව ජාතියට දායාද කරන ලද ටයිටස්‌ තොටවත්ත නම් අග්‍රගණ්‍ය කලාකරුවා ගුරුවරයා සිහිපත් කර අතුල රන්සිරිලාල් මහතාගේ පුරෝගාමිත්වයෙන් ජාතික රූපවාහිනිය සතු හඬකැවීම් මැදිරිය ටයිටස්‌ තොටවත්ත හඬකැවීම් මැදිරිය යනුවෙන් නම් කිරීම ප්‍රශංසනීය කරුණකි. එම උත්සවයට ටයි මහතාගේ නිර්මාණකරණයේ යෝධ සෙවණැල්ල සුජාතා තොටවත්ත මහත්මියට ඇරයුම් කිරීම ද එතුමා වෙනුවෙන් මේ භවයේ දී කළ හැකි මහා පුණ්‍යකර්මයකි. මේ පුණ්‍ය කර්මය සඳහා හඬකැවීම් ශිල්පය සමාජගත කිරීම වෙනුවෙන් තමන්ගේ ප්‍රතිභාව විහිදුවා ලූ එහෙත් අද අප අතහැර ගොස්‌ සිටින කරුණාතිලක හඳුවල, ගැමුණු විඡේසූරිය, ධර්ම ශ්‍රී මුණසිංහ, වික්‌ටර් මිගෙල්, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ, නිහාල් ජයවර්ධන, ලෙස්‌ලි රාමනායක, රෝයි ජයවර්ධන, ඇනස්‌ලි ඩයස්‌, සැමුවෙල් රුද්‍රිගු සමඟ ප්‍රේමකීර්ති ද අල්විස්‌ යන ශ්‍රේෂ්ඨ කලාකරුවන් ටයි මහතා සමඟ මදු විතක්‌ තම සුරතෙහි රඳවා ගෙන එලොව සිට බලා සතුටු වෙනු නියතය. 

අනුර මාධව ජයසේකර - ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‌ෂක
http://www.divaina.com/2015/05/15/cineart05.html

Pic Source

0 comments: