Pages

Tuesday, May 12, 2015

සතුන්ගේ අසිරිය නිදහසේ විඳ ගන්න "පින්නවල එළිමහන් සත්වෝද්‍යානය" ට එන්න

පින්නවල ඉදිකළ එළිමහන් සත්වෝද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයනට නිදහසේ නැරඹීමට හැකිවන අයුරින් අප්‍රේල් 17 දින සිට අවස්‌ථාව ලැබී ඇත. මෙහි විශේෂත්වයක්‌ වන්නේ මෙම සත්වෝද්‍යානය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්‌තව සකස්‌ කර තිබීමයි.

මෙය නැරඹීමට එන්නා වූ මෙන්ම සතුන් ගැන අධ්‍යාපනයක්‌ ලැබීමට එන අය හට එය පහසුවෙන් තම සිතැඟි ඉටුකර ගැනීමට කටයුතු පිළියෙල වී තිබේ. අධ්‍යාපනය ලැබීමට පහසුවන අයුරින් ඉදිකර ඇති මෙම සත්වෝද්‍යානය දෙහිවල වැනි සත්වෝද්‍යානවල ඇති ඉඩකඩ ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් සතුන් එම පරිසරයට හුරුකර ඇත.

ලංකාවේ පළමු සත්ව පාලක තනතුර හිමිකරගත් උදාරි හෙට්‌ටිආරච්චි මෙනවිය ඇතුළු කණ්‌ඩායම් සතුන් පරිසරයට හොඳින් හුරුකර ඇත. පළමු අදියර යටතේ ශ්‍රී ලංකානු දිවියන් (කොටියා), මුවන්, මීමින්නන්, ගෝනුන්, හාවුන් ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික වූ සතුන් මෙම එළිමහන් සත්වෝද්‍යානයේ දී ජනතාවට නැරඹීමට පහසුකම් සලසා ඇති අතර, අක්‌කර 28 ක භූමියක්‌ පුරා විසිරී ඇති පින්නවල සත්වෝද්‍යානය අදාළ, පින්නවල සංචාරක කලාපයේ පිහිටා තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයන් අතර ජනප්‍රිය තැනක්‌ වනු ඇතැයි, එහි පාලන අධිකාරිය විශ්වාසය පළකරයි.

අඩු සීමිත ඉඩකඩ ප්‍රමාණයක දිවි ගෙවන සමහර සතුන් පින්නවල පරිසරයට නුහුරු බවක්‌ දක්‌වන බැවින් ඔවුන් පරිසරය සඳහා පුහුණු කිරීම විශාල වගකීමක්‌ බවත් ඒ සඳහා විශාල කැපවීමක්‌ කළ යුතු බවද පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ සේවකයෝ පවසති.

මෙම සත්වෝද්‍යානය අප්‍රේල් 17 දා සංචාරක ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රමුඛ පක්‍ෂ, විපක්‍ෂ දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. විද්යුත් ප්‍රවේශපත්‍රයක්‌ රැගෙන පින්නවල සත්වෝද්‍යානයට ඇතුළු විය හැකි "කුඩා දරුවන්හට" සතුටුවිය හැකි අයුරින් හාවුන්, මුවන් හා මීමින්නන්ගෙන් සපිරි උද්‍යාන පහසුකම් ද ඒ සඳහා වෙන් වූ කුටිද මෙහි ඉදිකර ඇත. 

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ එහි සත්ත්ව පාලක තනතුර දරන උදාරි හෙට්‌ටිආරච්චි මෙනවිය අදහස්‌ දක්‌වමින් මෙසේ කීවාය.

"මෙම සතුන් සමග එක්‌ව ගතකරන කාලය හරිම විනෝදයි. මේ සතුන්ට කතා කරන විට දී සතුන් විවිධ ප්‍රතිචාර දක්‌වනවා. සතුන්ට ආදරයෙන් කතා කරන විටදී ඔවුන් ඊට විවිධ අයුරින් ප්‍රතිචාර දක්‌වනවා. සමහර මිනිසුන්ට වඩා හොඳ ගතිගුණ මේ සතුන්හට තිබෙනවා" යෑයි පැවසීය.

වසර "16" ක පමණ කාලයක සිට මෙම පින්නවල සත්වෝද්‍යානයේ ඉදිකිරීම් ඇරඹී ඇති අතර එක්‌ එක්‌ විෂය භාර ඇමැතිවරුන් හරහා කලින් කලට ඉදිකිරීම් නිමකොට ඇත.

මෙම සත්වෝද්‍යානය ඉදිකළ භූමිය සබරගමු පළාත් සභාව සතු කෘෂිකර්ම ගොවිපල වූ අතර සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙම ඉඩම සත්වෝද්‍යාන කටයුතු සඳහා පවරා දීම සම්බන්ධයෙන් විශාල දායකත්වයක්‌ ලබාදී ඇත. සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා රේණුකා බණ්‌ඩාර යන මහත්ම මහත්මීන්ගේ කැපවීම මත සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ උනන්දුව මත පසුගිය අප්‍රේල් 17 දින උද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන් වෙනුවෙන් විවෘත කෙරිණි.

http://www.divaina.com/2015/05/12/feature03.html

0 comments: