Pages

Sunday, May 10, 2015

නව මැතිවරණ ක්‍රමය ජනතාවට හිතකරයි

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම රටක අනාගතයට සෘජුවම බලපාන ප්‍රධාන කාරණයකි. ජනවර්ග ගණනාවක්‌ මෙන්ම දේශපාලන පක්‍ෂ ගණනාවක්‌ද සහිත අපේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමය තෝරා බේරා ගැනිම සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ද සංශෝධන ගණනාවක්‌ මේ වනවිට එකතු වී ඇත. 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමය පිළිබඳ 'දිවයින ඉරිදා සංග්‍රහය' පහත සාකච්ඡාව පැවැත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ සමගයි. පළත් පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කිරීමේ පුරෝගාමී මෙහෙවරක නියෑලී මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ සිවිල් නියෝජිතයකු ද වෙයි.

ජනවර්ග රාශියක්‌ ජීවත්වන සහ දේශපාලන පක්‌ෂ රාශියක්‌ සහිත අපේ රටට වඩාත් ගැලපෙන ඡන්ද ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු සාකච්ඡා දැන් ආරම්භ වී තිබෙනවා? 

සමානුපාතික ක්‍රමය, කේවල ක්‍රමය සහ මිශ්‍ර ක්‍රමය වර්තමාන ලෝකයේ පවතින මැතිවරණ ක්‍රම තුනයි. විවිධ ජන කොට්‌ඨාශ සහ බහුතර දේශපාලන පක්‌ෂ සහිත රටකට වඩාත් ගැලපෙන්නේ සමානුපාතික ක්‍රමය ලෙසට සමහරු අදහස්‌ දැක්‌වුවත් එවැනි රටක්‌ වන ඉන්දියාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඉන්දියාවේ පවතින්නෙ කේවල ක්‍රමය. යුරෝපයේ බොහොමයක්‌ රටවල සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී මහා බ්‍රිතාන්‍යයේ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ කේවල ඡන්ද ක්‍රමයයි. මේ නිසා රටකට වඩාත්ම ගැලපෙන්නෙ කුමන ඡන්ද ක්‍රමයද කියන කාරණය තේරුම් ගැනීම අද අපහසු කාරණයක්‌ බවට පත්වී තිබෙනව.

ලෝකයේ සමානුපාතික ඡන්ද ක්‍රමය තිබෙන බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නෙ විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය බොහෝවිට එකිනෙක හා සමීපව යන අවස්‌ථා දෙකක්‌. අපේ රටට ගැලපෙන මැතිවරණ ක්‍රමය පිළිබඳ අද සාකච්ඡා කළත් එම සාකච්ඡාව ආරම්භ වුණේ සෑහෙන කාලෙකට ඉහතදීයි. ඡේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික ඡන්ද ක්‍රමය අපේ රටට හඳුන්වා දුන්නේ 1978 ව්‍යවස්‌ථාවෙන්. එම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එතෙක්‌ අපේ රටේ පැවති කේවල ක්‍රමය වෙනස්‌ කරල සමානුපාතික ඡන්ද ක්‍රමය ආරම්භ කිරීමේදී විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට ඔහුට සිදුවුණා. එම නිසා ඔහු 2 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවා. ඊළඟට සිදුකළ 5 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධයි. 7 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් සෘජුවම නැතත් මැතිවරණ ක්‍රමය හා සම්බන්ධයි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් ජන්ද ක්‍රමය හා බලය විමධ්‍යගත කිරීම එකිනෙක සම්බන්ධ කරමිනුයි ඉදිරිපත් වුණේ. ඉන්පසු 17 වැනි සහ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන තුළිනුත් මැතිවරණ සීමා නිර්ණ කොමිසම පිළිබඳව අදහස්‌ ඉදිරිපත් වුණා. ඒ අනුව ඡේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් ව්‍යවස්‌ථාව මේ වන විට 19 වතාවක්‌ සංශෝධනය වී තිබෙන අතර ඉන් හය වතාවක්‌ පමණ මැතිවරණ ක්‍රමය හා සම්බන්ධ සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් සමහරු අදත් අපේ රටට වඩාත්ම ගැලපෙන ඡන්ද ක්‍රමය ලෙස හඳුන්වන්නේ සමානුපාතික ජන්ද ක්‍රමයයි.

ඒ අදහස වැරදුණු තැනක්‌ තමයි 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය. 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවෙ 1988 දි. එය ඉදිරිපත් වුණේ ඡේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමයේ හැරවුම් ලක්‌ෂ්‍යයක්‌ විදියට. 15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් යම්කිසි දිස්‌ත්‍රික්‌කයකින් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රමාණය ගැන කතා කරනව. එය තිබුණේ සියයට 12.5 ක්‌ විදිහට. නමුත් එය සියයට 5 දක්‌වා අඩු කළා. සමානුපාතික ඡන්ද ක්‍රමය විකෘති වෙන්නෙ ඊට පස්‌සෙයි. කවර මැතිවරණ ක්‍රමයක්‌ සම්බන්ධයෙන් කතා කළත් එහි වැදගත් වෙන්නෙ මේ අවම සීමාවයි. ලෝකයේ ඇතැම් රටවල ක්‍රියාත්මක වෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේදී මේ අවම සීමාව එනම් කිසියම් දිස්‌ත්‍රික්‌කයකින් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රමාණය සියයට 25 තරම් ඉහළ මට්‌ටමක තිබෙනවා. එසේ නොගන්නා කිසිවෙකුටවත් මන්ත්‍රී ධුරයක්‌ හිමිවෙන්නේ නෑ. එමනිසා සමානුපාතික ඡන්ද ක්‍රමයේදී මෙම අවම සීමාව ඉතාමත් වැදගත්.

15 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක වීමට පෙර අපේ රටේ සුළු ජාතික පක්‌ෂ බොහෝවිට ක්‍රියාත්මක වුණේ මහ පක්‌ෂත් සමගයි. විශේෂයෙන් අපේ රටේ මුස්‌ලිම් ජනතාව සහ දෙමළ ජනතාවගෙන් කොටසක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය සමග වැඩි සම්බන්ධතාවක්‌ තිබුණා. එයට හේතුව වුණේ එවකට තිබුණු 12.5 අවම සීමාව කුඩා පක්‌ෂවලට තනිව ලබාගැනීමට අපහසු වීමයි. එමනිසා ඔවුන්ට හැමවිටම ප්‍රධාන පක්‌ෂ සමග බද්ධවීමට සිදුවුණා. මෙය අපේ රටේ ජාතික සමගිය ඇතිවීමටත් විශාල හේතුවක්‌ වුණා. අපේ රටේ අවසාන කේවල ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වුණේ 1977 දී. 1977 දී අවුරුදු 18 ක්‌ සම්පූර්ණ වෙන්නෙ 1959 දී ඉපදුණු පුද්ගලයින්ටයි. 1960 න් පසු අපේ රටේ ඉපදුණු කිසිවෙක්‌ කේවල ඡන්ද ක්‍රමය යටතේ ඡන්දය පාවිච්චි කරල නෑ. ඉතා සුළු පිරිසක්‌ 1982 අතුරු මැතිවරණවලදී එම ක්‍රමයට ඡන්දය පාචිච්චි කරන්න ඇති. එමනිසා 1960 න් පසු අපේ රටේ ඉපදුනු අය කේවල ඡන්ද ක්‍රමයේ හැසිරීම ගැන දන්නෙ නෑ. බොහොමයක්‌ පක්‌ෂවල නායකයින්ටත් මේ ගැන නිසි අවබෝධයක්‌ නෑ. 

සමානුපාතික ඡන්ද ක්‍රමයේ සියයට පහේ අවම සීමාව ඇතිකළාම අපේ රටේ බිහිවුණේ විකෘති වුණු පාර්ලිමේන්තුවක්‌. එම සියයට පහේ සීමාව නිසා මුලින්ම බිහිවෙන්නෙ නැගෙනහිර පළාතෙ මුස්‌ලිම් පක්‌ෂ. අෂ්රොෆ් මහතාගේ මුස්‌ලිම් කොංග්‍රසය. මෙම සීයයට පහේ සීමාව නිසා විශාල ලෙස කුඩා පක්‌ෂ බිහිවෙන්න පටන් ගත්තා. අද වන විට අපේ රටේ පක්‌ෂ 67 ක්‌ තිබෙනවා. තවත් පක්‌ෂ 100 කට වැඩි සංඛ්‍යාවක්‌ ලියාපදිංචි වීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවට අයෑදුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මිලියන 150 ක පමණ ඡන්ද ප්‍රමාණයක්‌ ඇති රටක පක්‌ෂ 150 ක්‌ පැවතීම කිසිසේත්ම පිළිගැනීමට හැකියාවක්‌ නෑ. අද අපේ රටේ එවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතු වී තිබෙන්නෙ ඉහත සඳහන් කළ අවම සීමාව සියයට 5 දක්‌වා අඩු කිරීම නිසයි. නමුත් එම අවම සීමාව එලෙස අඩුකිරීම නිසා බහු පක්‌ෂ ප්‍රජාතන්ත්‍රවාදයක්‌ රටේ ඇතිවී ඇති බවත් සෑම පක්‌ෂයක්‌ම රට තුළ නියෝජනය වන බවත් ඇතැමුන් ප්‍රකාශ කරනව.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාව ඉදිරිපත් කළ නිර්දේශ මොනවද?

2009 දී ඉදිරිපත් කළ අතුරු වාර්තාවෙන් කියා සිටියේ අපේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සිදු කළ යුත්තේ අදියර දෙකකින් හෝ තුනකින් බවයි. මුලින් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වා දී ඒ ආයතන සඳහා එය ක්‍රියාත්මක කර එහිදී ඇතිවන දුර්වලතා හඳුනාගෙන ඒවා මඟහරවා ගැනීමට පිළියම් යොදමින් පාර්ලිමේන්තු හා පළාත් සභා සඳහා එම නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවයි. නමුත් 2012 දී එම පනත සම්මත වූ පසු අයවැය පරාද කර සභාපතිවරු ඉවත් කරන්නට ඇතැම් මන්ත්‍රීවරු එම පනත භාවිත කළා. ඒ අනුව සභාපති වරු, උපසභාපති වරු තුළ විපක්‌ෂ නායකයා කෙරෙහි යම් භීතියක්‌ නිර්මාණය වීමට පටන් ගත්තා. ඒ අනුව මේ පනතේ යම් වරදක්‌ ඇත්දැයි යන අවිශ්වාසය මත එම මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමේදී යම් ප්‍රමාදයක්‌ සිදුවුණා. සීමා නිර්ණ කොමිසමේ වාර්තාවත් යම් තරමකට ප්‍රමාද වුණා.

2015 මාර්තු මාසෙ පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුව තිබුණේ නව මැතිවරණ ක්‍රමයටයි. නමුත් ජනාධිපතිවරණය නිසා එය වැළකුණා. ඇත්තවශයෙන්ම අලූත් මැතිවරණ ක්‍රමයක්‌ හඳුන්වාදීම කියන සංකල්පයක්‌ දැන් නෑ. දැන් කළ යුතුව තිබෙන්නෙ ලබාදී තිබෙන දිනේෂ් ගුණවර්ධන අතුරු වාර්තාව පදනම් කරගෙන එයට සංශෝධන ගෙනැවිත් අපේ රටට සුදුසු මැතිවරණ ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමයි. පළාත් පාලන ආයතනවලට එය සිදුකරල ඉවරයි. දැන් ආරම්භ වී තිබෙන්නේ පාර්ලිමේන්තු සාකච්ඡා. මේ සාකච්ඡාවලදී ඇතිවී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ 1976 දී සීමා නිර්ණ කොමිසමෙන් ඇතිකරපු මැතිවරණ කොට්‌ඨාශ 160 තිබෙනවා. මෙහිදී බහු මන්ත්‍රී කොට්‌ඨාශත් සමග මන්ත්‍රීවරු 168 ක්‌ තේරී පත්වෙන්න ඕන. නමුත් 1978 දී හඳුන්වා දුන් සමානුපාතික ක්‍රමයේ දී ඡේ. ආර්. ජයවර්ධන මහතාට වැරදීමකින් අර පරණ මැතිවරණ කොට්‌ඨාශ 160 එසේම තිබීමෙන් දැන් අපේ රටේ ජනතාව පුරුදුවෙලා ඉන්නෙ එම මැතිවරණ කොට්‌ඨාශ 160 ටයි. එම පරණ මැතිවරණ කොට්‌ඨාශ 160 පාවිච්චි කරල නව මැතිවරණ ක්‍රමයක්‌ නිර්මාණය කරන්න බෑ. මෙය තමයි අද මුහුණදීමට සිදුවී තිබෙන ප්‍රධාන ගැටලූව. මේ ගැටලූවට විසඳුමක්‌ ලෙස කුඩා මැතිවරණ කොට්‌ඨාශ එකතු කිරීමෙන් සහ විශාල මැතිවරණ කොට්‌ඨාශ බෙදා වෙන්කිරීමෙනුත් විසඳුමක්‌ සොයාගන්න පුළුවන්.

පසුගියදා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ නව සංශෝධන තුළිනුත් කියන්නෙ මැතිවරණ කොට්‌ඨාශ 168ක්‌ තබා ගැනීම සහ බහු ආසන නිර්මාණය කර ගැනීමයි. බහු ආසනවල වැදගත්කම වන්නේ සුළුජාතික පක්‌ෂවල නියෝජනය ඒ තුළින් ඇතිකර ගැනීමයි. කෙසේ වෙතත් බහු මන්ත්‍රි ආසන සමග 165 ක්‌ සෑදිය යුතුයි කියන සංකල්පයට හැම කෙනෙක්‌ම පාහේ එකඟ වී සිටිනවා. 

මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 ක්‌ වීමත් මතුවී ඇති තවත් ප්‍රශ්නයක්‌. 165 සහ 225 අතර තිබෙන්නේ 60 ක්‌ වැනි කුඩා වෙනසක්‌. සමානුපාතිකව බෙදීමෙදී මෙය ගැටලුවක්‌ වෙන්න පුළුවන්. 225 දක්‌වා මන්ත්‍රී සංඛ්‍යාව ගියොත් සමානුපාතික ආසන 90 ක්‌ ඉතිරිවෙනව. දිස්‌ත්‍රික්‌ හා ජාතික ලැයිස්‌තු වශයෙන් ඒ ආසන සංඛ්‍යාව බෙදාගැනීමට පුළුවන්. ඒවගේම ආසන සංඛ්‍යාව 225 දක්‌වා වැඩිවීම නිසා නව මැතිවරණ ක්‍රමයකට විරුද්ධත්වය දක්‌වන පාර්ශ්වයන්ගේ ඉල්ලීම් එයට අනුගත කරන්නටත් හැකියාව තිබෙනව. එම නිසා මන්ත්‍රී ආසන 225 දක්‌වා වැඩිවීම හරහා දිනේෂ් ගුණවර්ධන වාර්තාව පදනම් කරගෙන මේ සඳහා කිසියම් විසඳුමක්‌ ලබාදීමේ හැකියාව තිබෙනව.

නව මැතිවරණ කොට්‌ඨාශ හඳුන්වාදීමෙන් කුඩා පක්‌ෂවලට අසාධාරණයක්‌ සිදුවෙන්නෙ නැද්ද?

එයට විසඳුමක්‌ ලෙස ජාතික ලැයිස්‌තුව විශාල කර තිබෙනව. ජාතික ලැයිස්‌තුව 29 සිට 59 දක්‌වා විශාල කර තිබෙනව. ඒ හරහා කුඩා පක්‌ෂවලටත් යම් කිසි සාධාරණ නියෝජනයක්‌ ලබාදීමට හැකියාවක්‌ ලැබේවි. 

කෙසේ නමුත් මේ මොහොත වන විට බොහෝ පක්‌ෂ අතර නව මැතිවරණ සංශෝධන කෙරෙහි එකඟතාවක්‌ තිබෙනව. ඒවගෙම දැන් පවතින මැතිවරණ ක්‍රමය වෙනස්‌ වීමෙන් ඔවුන්ට අසාධාරණයක්‌ වෙයි කියල කුඩා පක්‌ෂවල වගේම විශාල පක්‌ෂ තුළත් යම් භීතියකුත් තිබෙනව. මගේ අදහස නම් එය හුඹස්‌ බියක්‌ පමණයි. මේ නව මැතිවරණ ක්‍රමය ජනතාවට විශ්වාසය තැබිය හැකි හොඳ ක්‍රමයක්‌.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක, ඡායාරූපය - සමන් අබේගුණවර්ධන
http://www.divaina.com/2015/05/10/politics01.html

0 comments: