Pages

Tuesday, May 19, 2015

තහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්‌'

ප්‍රකට පොහොර සමාගම් දෙකක්‌ මගින් ඉන්දුනීසියාවේ සිට ග්ලයිපොසේට්‌ නමැති උග්‍ර විෂ සහිත කෘෂි රසායනය අඩංගු කන්ටේනර් විස්‌සක්‌ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක්‌ හේතුවෙන් මේ වන විට යළිත් කෘෂි රසායන මාරයා පිළිබඳ සමාජ කතිකාවතක්‌ ඇරඹී තිබේ. ග්ලයිපොසේට්‌ යනු මෙරට තුළ තහනම් කෙරුණු කෘෂි රසායනයකි.

එසේ නම් තහනමක්‌ පවතිද්දී එම රසායනය ආනයනය කරනු ලැබුවේ කෙසේද? කුමකටද? සහ තහනම් රසායනයක්‌ ආනයනය කිරීමට තරම් මෙරට ක්‍රියාත්මක පොහොර සමාගම් බලවත් වූයේ කෙසේද? යන්න විශේෂයෙන් විමසා බැලිය යුතු කාරණයකි. මෙකී ග්ලයිපොසේට්‌ නමැති කෘෂි රසායනය තහනම් කෙරුණේ කෙසේද? 

මාරයාගෙන් වරම්ගත් කෘෂි රසායන ත්‍රස්‌තවාදය අපේ ගොවියා රජ කරවන බව කියමින් ජාතියට වස කවද්දී රජරට ගොවියා වකුගඩු දිය වී මියෑදෙන්නේ උග්‍ර විෂ සහිත කෘෂි රසායන භාවිතය හේතුවෙන් බව මෙරට විද්වතුන් පිරිසක්‌ රටට අනාවරණය කරනු ලැබුවේ මීට සිව් වසරකට පමණ ඉහතදීය.

මහාචාර්ය නලින්ද සිල්වා, මහාචාර්ය ප්‍රියාණි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, වෛද්‍ය චන්න ජයසුමන, වෛද්‍ය චින්තක ඇතුළු කණ්‌ඩායමක්‌ ඒ පිරිසට අයත් වූහ. ඔවුන් මේ අනාවරණය කරනු ලැබුවේ රජරට වකුගඩු රෝගය ජාතික ව්‍යසනයක්‌ බවට පත්ව තිබියදීය. 

එහෙත් පැවතියේ ජාතියම විනාශ වීමේ තත්ත්වයක්‌ වුවද ඔවුන් සිදු කළ මෙකී අනාවරණයත් සමඟ මේ රට තුළ සිදු වන්නට වූයේ කුමක්‌ද?

කාට කෙළවුණද තමන් යෙහෙන් වැජඹිය යුතු යෑයි සිතමින් කෘෂි රසායන ත්‍රස්‌තයන්ගේ කටු ලෙව කෑ කුහකයෝ පිරිසක්‌ රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන නොවේ යෑයි කියමින් මොරදෙන්නට වූහ.

රටේ කෘෂිකර්මය භාරව ඇමැතිකම් පවා දැරූ දේශපාලන කුහකයෝද මේ අතරේ වූහ. ආචාර්ය මහාචාර්ය පට්‌ටන් දැරූ කුහකයන්ද විය. එසේම පලිබෝධ නාශක රෙජිස්‌ටාර් ආදී ලෙසින් ජාතිය රැක ගැනීමේ වගකිවයුතු තනතුරු දැරූ කුහකයන්ද වූවේය.

මුන් සැවොම එක්‌වී කෘෂි රසායන ත්‍රස්‌තවාදයට සුදු හුණු ගාද්දී තවත් පැත්තකින් මහා මාධ්‍ය මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක විය. ඒ අතරේ නිදහස්‌ අධ්‍යාපනයට පිං සිදුවන්නට ජනතා මුදලින් ලොකු පුටුවල වැජඹුණු ඇතැමුන් රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායන නොව මේ බිමේ ඇති පස යෑයි දොඩවමින් උපන් බිමට දෙස්‌ දෙවොල් තැබුවාද අපට මතකය. 

කෙසේ වෙතත් මොකා මොන දේ කිව්වද අවසානයේ සත්‍ය ජය ගත්තේය. ඒ රජරට වකුගඩු රෝගයට හේතුව උග්‍ර විෂ සහිත කෘෂි රසායන බව ප්‍රකාශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ පරීක්‍ෂණයක්‌ මගින් මෙරට විද්වතුන්ගේ සොයා ගැනීම තහවුරු කිරීමත් සමගිනි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ එකී තහවුරු කිරීමත් සමග ඊළඟට රට තුළ ආරම්භ වූයේ අදාළ මාරාන්තික විෂ ඇති කෘෂි රසායන මෙරට තුළ තහනම් කිරීමේ මෙහෙයුමය. එහිදීත් ඉහත කී විද්වතුන් පිරිස සමඟ රටට හිතැති විද්වත්හු රැසක්‌ පෙළ ගැසුණාහ.

එහෙත් කවුරුන් පෙළ ගැසුණද එවකට පැවති ආණ්‌ඩුව එහිදී හැසිරෙන්නට වූයේ කෘෂි රසායන තහනම් කිරීම යනු පණපිටින් අපාගත වන මහා කාලකණ්‌ණි වැඩක්‌ යෑයි සිතූ ලෙසිනි. මෙරට තුළ ක්‍රියාත්මක කෘෂි රසායන ත්‍රස්‌තවාදය කොතරම් බලවත් දැයි පෙන්වා දීමට පසුගිය රජයේ එකී හැසිරීම කදිම සාධකයක්‌ බවද මෙහිදී සටහන් කළ යුත්තකි.

වරෙක එවකට සිටි කෘෂිකර්ම ඇමැතිවරයා වූ සහ වත්මන් රජයේද ඇමැතිවරයකු වන මහින්ද යාපා අබේවර්ධන මහතා කෘෂි රසායන තහනම පිළිබඳ අමාත්‍යංශ කමිටුවක්‌ පත් කරනු ලැබීය. එහිදී කෘෂි රසායන තහනම් කිරීමේ මෙහෙයුමට දායකව ඒ සඳහා පෙළ ගැසී සිටි විද්වතුන් එම අමාත්‍යංශ කමිටුව වෙත කරුණු දක්‌වන්නට වූයේ සියලු කරුණු කාරණාද සමගිනි. 

මේ අතරේ එම කමිටුව ක්‍රියාත්මක වෙද්දීම කෘෂි රසායන තහනම පිළිබඳ සොයා බැලීම සඳහා ඇමැති මණ්‌ඩල කමිටුවක්‌ පත් කිරීමටද එවකට ආණ්‌ඩුව හිටිහැටියේ කටයුතු කරනු ලැබීය. විද්වත්හු එයටද කරුණු ඉදිරිපත් කළහ. එහෙත් "වැනියන් කලූ වැනීයන්" කියමින් එහෙට මෙහෙට වැනුනා මිස සිදු කෙරුණු දෙයක්‌ නම් නොවිණි.

අවසානයේ කෘෂි රසායන තහනම වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභාවක්‌ද නම් කරනු ලැබීය. විද්වතුන් එයටද කරුණු ඉදිරිපත් කළේය. මෙසේ ක්‍රියාත්මක වූ දීර්ඝ ක්‍රියාදාමයකින් පසු වසරක පමණ කාලයක්‌ ගත වී මෙරට තුළ භාවිත කෙරෙන කෘෂි රසායන වර්ග කිහිපයක්‌ තහනම් කිරීමට එවකට රජයට සිදුවිය.

නමුත් එහිදී සුවිශේෂී වූ මගහැරීමක්‌ සිදුව තිබිණි. ඒ ඉහත කී ග්ලයිපොසේට්‌ නමැති කෘෂි රසායනය තහනම් කිරීමට පියවර ගෙන නොතිබීමය. එහිදී එකී අතපසු කිරීම පිළිබඳ අවධානය යොමු කළ කෘෂි රසායන මාරායාගෙන් ජාතිය ගලවා ගැනීමේ මෙහෙයුමට උර දී සිටි විද්වත්හු යළි හඬ නගන්නට වූහ. 

එහි අවසන් ප්‍රතිඵලය වූයේ එකී කෘෂි රසායනයද තහනම් කිරීමට එවක රජයට සිදු වීමය. අවසානයේ මෙරට තුළ ග්ලයිපොසේට්‌ භාවිතයද තහනම් කෙරිණි. ඒ ඉකුත් 2013 වසරේ අප්‍රේල් මස 08 වැනිදා සිටය. මෙරට තුළ ග්ලයිපොසේට්‌ තහනම ක්‍රියාත්මක වූයේ එසේය.

නමුත් මෙලෙස ග්ලයිපොසේට්‌ ඇතුළු කෘෂි රසායන කිහිපයක්‌ තහනම් කිරීමට කටයුතු කෙරුණද එකී තහනම නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමේ යාන්ත්‍රණයක්‌ නම් ඇති නොවීය. කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා කර ගන්නා එදා මෙදාතුර රට කරවූ මෙරට බඩගෝස්‌තරවාදී දේශපාලනයේ පතෝල ක්‍රියාදාමයන් සිදු වන්නේ එසේ බව කිසිවකුටත් අමුතුවෙන් පහදා දිය යුතුද නැත.

මෙම තත්ත්වය හමුවේ ග්ලයිපොසේට්‌ ඇතුළු කෘෂි රසායන කිහිපයකට තහනමක්‌ පැනවුණද ඒවා එදා සිට අද දක්‌වාමත් මෙරට වෙළෙඳ පොළ තුළින් අපේ ගොවීන් අතට පත් කිරීමට කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් ක්‍රියාත්මක වනවාද විය හැකිය. එසේ නොවන්නේ යෑයි සහතික දෙන්නට කිසිවකුටත් නොහැකිය. 

එය දැනුදු සිදු වෙමින් තිබෙන බවට සැකසංකා මතුවන කරුණ වන්නේ අදාළ කෘෂි රසායන තහනම ක්‍රියාත්මක වී මේ වන විට වසරකටත් අධික කාලයක්‌ ගත වී ඇතත් රජරටද ඇතුළු අපේ ගොවීන් අදටත් වකුගඩු රෝගයට ගොදුරු වීමේ අඩුවක්‌ පෙනෙන්නට නොතිබීමය. 

එසේම රජරටට පමණක්‌ සීමා වී තිබූ මාරාන්තික වකුගඩු ව්‍යසනය මේ වන විට රටේ අනෙකුත් කෘෂිකාර්මික ප්‍රදේශ වෙතද ව්‍යාප්ත වී තිබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා මගින් සනාථ වෙමින් තිබීමෙන් තහවුරු වන්නේ කුමන තහනම පැනවුවත් කෘෂි රසායන ත්‍රස්‌තවාදය තවමත් ජාතිය බිලි ගනිමින් සිටින බව නොවේද?. 

අද දවසේ මෙරට ගොවි ජනතාව අතරින් වකුගඩු රෝගීන් වී මරණය ළඟා වන තුරු බලා සිටින 70000 වූ මිනිසුන්ගේ කඳුළු කතාව අපට කියන්නේ කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් තවමත් සක්‍රීය බවට වූ යථාර්ථවාදී කතාවය. 

මෙහිදී රටට අනාවරණය කළ යුතු තවත් විශේෂිත දෙයක්‌ද ඇත. ඒ අපේ සෞඛ්‍ය බලධාරින්ගේ තරම කෙසේද යත් අදටත් මෙරට සිටින වකුගඩු රෝගීන්ගේ නිශ්චිත සංඛ්‍යාව කොතෙක්‌දැයි කීමට සෞඛ්‍ය අමාත්‍යංශයට නොහැකිව තිබෙන බවය. මෙවන් බලධාරින් හමුවේ කියන්නට එක්‌ කතාවක්‌ද අපට ඇත. ඒ ජනතා මුදලින් පඩි ලබමින් මෙසේ රටට සේවයක්‌ නොකොට නිකමුන් සේ අමාත්‍යංශයේ පුටු රත්කරනවාට වඩා නුඹලා එකට එක්‌වී ගෝල්ෆේස්‌ පිටියට ගොස්‌ මාලු බෑවා නම් නරකදැයි කියාය. 

ග්ලයිපොසේට්‌ ඇතුළු කෘෂි රසායන කිහිපයක තහනම පිළිබඳ කතාව එසේ වෙද්දී ඉකුත් ජනාධිපතිවරණය සමයේදීද මෙරට වකුගඩු රෝගය සහ කෘෂි රසායන පිළිබඳ දේශපාලන වේදිකාවල හොඳහැටි රැව්පිළිරැව් දුන්නා අපට මතකය. වත්මන් රජයේ දින සියයේ වැඩපිළිවෙළ තුළද මේ සම්බන්ධව විශේෂයෙන් සඳහන්ව තිබිණි.

ඒ රජරට වකුගඩු රෝගීන්ට රුපියල් දෙදහසක දීමනාවක්‌ ලබා දීමට කටයුතු කරන අතරේ කෘෂි රසායන මෙරට තුළ භාවිතය මුළුමනින්ම නවතා දැමීමට පියවර ගන්නේ යෑයි කියමින් වත්මන් ආණ්‌ඩුවේ දින සියයට අදාළ පත්‍රිකාවේ සටහන් කෙරුණු ඡන්ද පොරොන්දුවක්‌ ලෙසින්ය.

එකී පොරොන්දුවට අනුව ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ප්‍රදේශයේදී වකුගඩු රෝගීන්ට මුදල් ප්‍රදානය කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ලැබීය. 

ගෙවීගිය 2013 අප්‍රේල් 08 වැනිදා මුලින් තහනම් කර යළිත්වරක්‌ 2014 වසරේ දෙසැම්බර් 23 වැනිදාද තහනම් යෑයි නිවේදනය කෙරුණු ග්ලයිපොසේට්‌ නැමැති මාරාන්තික විෂ සහිත කෘෂි රසායන කන්ටේනර් 20 අදාළ සමාගම් පසුගිය මැයි 09 වැනිදා මෙරටට ආනයනය කෙරෙන්නේ ජාතිය බිලි ගන්නා වකුගඩු රෝගයේ සහ කෘෂි රසායන තහනමේ නිධාන කතාව මෙසේ වී තිබියදීය. 

මේ ග්ලයිපොසේට්‌ යනු කුමක්‌ද? එය පිළිකාකාරක සහිත උග්‍ර විෂ ඇති කෘෂි රසායනයක්‌ බව ප්‍රකාශයට පත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානය එම කෘෂි රසායනය භාවිතය තහනම් කිරීමටද පසුගිය කාලයේ කටයුතු කරනු ලැබීය. 

මෙරට ගොවි ජනතාවගේ අත්දැකීම් අනුව නම් ග්ලයිපොසේට්‌ යනු කුඹුරට දැමූ විට කුඹුරේ ඇති සියලු වල් පැළ නැසී පොළව මතුපිට පමණක්‌ නොව අභ්‍යන්තරයේ සිටින ඇසට නොපෙනෙන තරමේ කුඩා කෘමීන් විනාශ කරනු ලබන බලගතු අවියකි. ග්ලයිපොසේට්‌හි විනාශකාරි බව මැන ගැනීමට එකී ගොවි අත්දැකීමම ප්‍රමාණවත්වේ.

එසේ නම් මෙවන් විෂ සහිතවූ ද තහනමට ලක්‌ කෙරුණා වූද කෘෂි රසායන ලීටර් දෙලක්‍ෂ තිස්‌හය දහසක්‌ අඩංගු කන්ටේනර් විස්‌සක්‌ අදාළ සමාගම් දෙක මගින් මෙරටට ආනයනය කරනු ලැබුවේ කුමන අරමුණකින් විය හැකිද? එකී අරමුණ තුළ ඇත්තේ හොර රහසේ ගොවීන් අතට පත් කර ශ්‍රී ලාංකීය ජාතිය වැනසීම හැර අන් කුමක්‌ද?

මෙම සිද්ධියේදී අද වකුගඩු රෝගයෙන් විශාලා නුවරක්‌ වී තිබෙන රජරට ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු ඉහතකී පොහොර සමාගම් දෙක සමග එක පෙළට සිට ගන්නා අතරේ මෙකී විෂ කන්දරාව රට තුළට ගෙන දීමට සිය දේශපාලන බලය යොදමින් දැඩි වෙහෙසක්‌ ගනිමින් සිටින බවද මේ වන විට අදාළ වගකිවයුතු අංශ වෙතින් වාර්තා වන්නකි.

එම තුට්‌ටු දෙකේ උත්සාහය හමුවේ එකී දේශපාලනඥයාට ඇසෙන්නට අපට කියන්නට ඇත්තේ මිනී මැරීමට උඩගෙඩි දෙමින් තමන්ගේම ජනතාව වනසන්නට සැරසෙන මෙවන් දේශපාලනඥයන් උචිත වන්නේ යම රඡ්ජුරුවන්ගේ කැබිනට්‌ මණ්‌ඩලයට කියා පමණි. මන්ද ඔහු ගත් සහ දැනුදු ගනිමින් සිටිනා බව කියන උත්සාහය යනු ඒ තරමටම කාලකණ්‌ණි, තුප්පහි සහ මූසල ක්‍රියාවක්‌ම වන නිසාය. 

ඉදිරි මැතිවරණයකදී මෙවන් දේශපාලන කුජීතයන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කර නිවසේ හාන්සි පුටුව උරුම කර දීමට රජරට ජනතාව වග බලා ගතයුතු බවද මෙහිදී විශේෂයෙන් සටහන් කළ යුත්තකි. එතැනින් පසු ගමන අවසන මෙවන් නාම්බන් නතර වන්නේ අපායේ දොරටුව ළඟ බවද අමුතුවෙන් කිවයුතු නොවේ. 

කෙසේ වෙතත් අදාළ සමාගම් දෙක මගින් ආනයනය කරනු ලැබූ ඉහත කී උග්‍ර විෂ සහිත ග්ලයිපොසේට්‌ කෘෂි රසායන තොගය තවමත් රේගුවෙන් මුදාගෙන රැගෙන යැමට නොහැකිව තිබෙන බව මේ සටහන තබන මොහොතේද වාර්තා වෙමින් තිබිණි. 

එම තත්ත්වය හමුවේ මඳ ප්‍රමාදයක්‌ හෝ නොමැතිව මෙකී විෂ තොගය වහාම එය ආනයනය කරන ලද ඉන්දුනීසියාවේ කැපේ මාස්‌ සමාගම වෙතටම යළි හරවා යවන ලෙස අප රජරට ගොවි පුතකු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනුයේ ජාතියේ නාමයෙනි.

එසේම මෙරට තුළ ග්ලයිපොසේට්‌ ඇතුළු කෘෂි රසායන තහනම් කිරීමේදී කොළේ වසා ගසමින් භාවිතය සහ වෙළෙඳාම තහනම් වුවද ආනයනය කිරීමේ තහනමක්‌ නොදැමීමට එම තහනම පැනවූවන් කටයුතු කර තිබෙන බවද ඒ පිළිබඳ සොයාබලා ඇති කෘෂි රසායන මාරයාගෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට වෙහෙසෙන මෙරට විද්වත්හු අද සඳහන් කරති.

එවැන්නක්‌ සිදුව තිබේ නම් එකී සියලු දොස්‌ නිදොස්‌ කොට මෙලෙස රහසේම ක්‍රියාත්මක වන කෘෂි රසායන ත්‍රස්‌තවාදයට වැට බැඳීමට පියවර ගන්නා ලෙස රටත් ජනතාවත් වෙනුවෙන් අප ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නේ යන තැනකට වැඩක්‌ කර ගැනීමට කාටත් හොඳ අවස්‌ථාවක්‌ ලැබී තිබෙන බවද සිහිපත් කරමිනි.

සමන් ගමගේ
http://www.divaina.com/2015/05/17/feature13.html

සබැඳි ලිපි -
[

පොහොර වර්ග තුනක්‌ ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: