Pages

Sunday, September 15, 2013

යාපා පටුනේ පාලනය සිංහලයන් අත තිබූ බව වල්ලිපුරම් රන්පතේ සඳහන් වෙනවා - විජමු

මානව හිමිකම් වහන්සේලා ශ්‍රී ලංකාවට ඇවිත් මොන තරම් දැඟලුවත් උතුරේ යාපා පටුනේ පාලනය සිංහලයන් අත තිබූ බව වල්ලිපුරම් රන්පතේ සඳහන්ව ඇතැයි සබරගමු පළාත් ආණ්‌ඩුකාර විජමු ලොකු බණ්‌ඩාර මහතා පෙරේදා (10 දා) සවස ස්‌වර්ණ පුස්‌තක සම්මාන ප්‍රදානෝත්සවයේදී පැවැසුවේය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් හත්වැනි වරටත් සංවිධානය කළ ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙල බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.

මෙරට නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය වූ ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙල සඳහා ඉදිරිපත් වූ නවකතා 116 ක්‌ අතරින් අවසන් වටයට තේරීපත්වූ නවකතා පහක්‌, ඒවායේ කතුවරුන් සහ ප්‍රකාශකයන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ඉතා ගාම්භීර ලෙස ඇගයීමට ලක්‌කරන ලදි.

විද්වත් විනිසුරු මඬුල්ලක්‌ විසින් අදියර තුනක්‌ යටතේ විනිශ්චයට භාජන කරමින් අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහ තෝරාගෙන තිබිණි. මෙම නිර්දේශිත කෘති පහ සඳහාම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් රුපියල් පනස්‌ දහස බැගින් මුදල් ත්‍යාගයක්‌, තිළිණයක්‌ සහ එම පොත් පහේ ප්‍රකාශකයන් සඳහා ඇගයුම් තිළිණයක්‌ බැගින්ද පුද කෙරිණි.

ඒ අනුව නිර්දේශිත කෘති වූ මහින්ද ප්‍රසාද් මස්‌ඉඹුලගේ "සෙංකොට්‌ටං" (සන්ථව ප්‍රකාශකයෝ), කීර්ති වැලිසරගේ "කාල සර්ප" (සරසවි ප්‍රකාශන), කපිල කුමාර කාලිංගගේ "කන්දේ වීදිය" (කිංකිණි ක්‍රියේෂන්), සමරවීර විජයසිංහගේ "තැප්පාසේම ගිනි" (සූරිය ප්‍රකාශකයෝ), සුමිත්‍රා රාහුබද්ධගේ "අත අත නෑර" (සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශන) මුදල් ත්‍යාග සහ ඇගයුම් තිළිණ ලබා ගන්නා ලදි.

පෙර කී කෘතීන් අතරින් ජයග්‍රාහී නවකතාව ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් පුදකරන "ස්‌වර්ණ පුස්‌තක සම්මානය" සහ රුපියල් ලක්‍ෂ පහක මුදල් ත්‍යාගය ලබා ගත්තේ සරසවි ප්‍රකාශනයක්‌ වන කීර්ති වැලිසරගේ රචිත "කාල සර්ප"ය.


ස්‌වර්ණ පුස්‌තක සම්මාන ලාභී කීර්ති වැලිසරගේ, නිර්දේශිත කෘති රචකයන් වන මහින්ද ප්‍රසාද් මස්‌ඉඹුල, කපිල කුමාර කාලිංග, සමරවීර විජයසිංහ සහ සුමිත්‍රා රාහුබද්ධ යන අය ප්‍රධාන ආරාධිත අමුත්තා වන සබරගමුව පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකු බණ්‌ඩාර මහතා සමග. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා සහ නිර්දේශිත කෘති පහේ ප්‍රකාශකයන්ද ඡායාරූපයේ සිටී. ඡායාරූපය - සජිත් ජයසේකර

සාහිත්‍යකරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙල අමතා සබරගමු පළාත් ආණ්‌ඩුකාර විජමු ලොකු බණ්‌ඩාර මහතා මෙසේද කීය.

සුලවතුන්ගේ හදවත් වසර සිය ගණනක්‌ තිස්‌සේ පිනවූ බසක්‌ තමයි හෙළ බස. අකුර තමයි නුවණ ලබාදීමේ මූලය. අකුරෙන් පද පදයෙන් වැකි වැකියෙන් ස්‌වර්ණ පුස්‌තක නිර්මාණය වෙනවා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට සදාකාලිකව ණය ගැතිවිය යුතුයි මේ සම්මාන උළෙල හඳුන්වාදීම ගැන. ස්‌වර්ණ කියන්නේ ඉහළම දේ. පොතක්‌ ලියන පුද්ගලයා මොනතරම් හොඳ හදවතක්‌ තිබෙන කෙනෙක්‌ විය යුතුද. ඒ පොතේ අන්තර්ගතය සමාජයට අනිටු පණිවිඩයක්‌ දෙනවා නම් ඒ ගැන කාට කියන්නද. ඒ පොතට සම්මානයක්‌ දෙනවා නම් ඒ ගැනත් කාට කියන්නද. සම්මානයක්‌ දෙන එක මොන තරම් වගකීමකින් කළ යුත්තක්‌ද. කොතරම් හොඳ දෙයක්‌ කළත් හොඳක්‌ නොදකින සමාජයක ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ සඳහා ඉදිරිපත්වීම කොතරම් යහපත් දෙයක්‌ද.

හින්දි භාෂාවට හෝඩියක්‌ නෑ. සංස්‌කෘත අකුරු තමයි යොදා ගන්නේ. ඉංගී්‍රසි භාෂාවටත් තමන්ගේම අකුරු මාලාවක්‌ නෑ. රෝම අක්‍ෂරයි ඔවුන් යොදා ගන්නේ. ඒත් පුංචි අප කොතරම් වාසනාවන්තද. දිවයිනක්‌ වූ නිසාදොa අපේම අනන්‍යතාවට ගොඩනැඟුණු දෙයක්‌ තමයි අපේ බස. රහතුන් වහන්සේලා නිසා පෝෂණය වූ භාෂාවක්‌ අපට තියෙන්නේ. කොතරම් රමණීය බස්‌ වහරක්‌ද සාර්වත්‍රිකයි. චීනයට භාෂාධිපත්‍යයක්‌ තිබුණා නම් ඊට දෙවැනි නෑ අපේ හෙළ බස.

බසක ශක්‌තිය තමයි ජාතියේ ජීවය. භාෂාව රැක ගැනීම යනු අපේ ජාතිය රැක ගැනීමයි. අපේ පදනම, සංස්‌කෘතික උරුමය භාෂාවයි. අද අපේ රට ත්‍රස්‌තවාදීන්ගෙන් නිදහස්‌. අපේ මුල් සොයා ඒ ඇසුරින් නව නිර්මාණ කිරීමේ වගකීම අපට තිබෙනවා.

සාහිත්‍යකරණය පිළිබඳ අද නොයෙක්‌ නිර්මාණ පළ කෙරෙනවා. කනගාටුයි. බස ගැන හැඟීමක්‌ නැතිව කරන ඇතැම් ප්‍රකාශ ගැන. නවකතා කලාව ජනප්‍රිය කතා කලාවක්‌. ඉන් සමාජයට ලබාදෙන පණිවිඩය ඒ පොතට දැත් එක්‌කර වඳින්න පුළුවන් පණිවිඩයක්‌ විය යුතුයි.

සිංහල අක්‍ෂර මාලාව පරිගණකයට සුදුසු ලෙස නිර්මාණය කළා. ෆොන්ට්‌ මාස්‌ටර් නිර්මාතෘ පුෂ්පානන්ද ඒකනායක මහතාටද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් විශේෂ ඇගයුම් තිළිණයක්‌ සහ රුපියල් ලක්‍ෂයක මුදල් ත්‍යාගයක්‌ පුද කළේය.

නැටුම්, ගැයුම් වලින් විචිත්‍රවත් වූ ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙල සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් පැවැත්විණි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/09/12/news43.html

0 comments: