Pages

Sunday, September 15, 2013

නොනිමි මෙහෙවරක කන්නන්ගර දැක්‌ම

ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. නූතන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එවන් යුග පුරුෂයන් අතර ප්‍රමුඛස්‌ථානයක්‌ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ට හිමි වන බැව් නොපැකිළ සඳහන් කළ හැකිය. ඔහු විසින් මතු පරම්පරාවට උරුම කළ මාහැඟි දායාදයක්‌ වූ මධ්‍ය මහා විද්‍යාල පද්ධතියේ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වන කන්නන්ගර ගුණ සමරුව මෙවර මුල්ම මධ්‍ය මහා විද්‍යාල පද්ධතියෙන් එකක්‌ වූ ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වීමට ඉඩ ලැබීම පිළිබඳව එහි ආදි සිසුවකු වශයෙන් මම සතුටු වෙමි.

කන්නන්ගර ශ්‍රීමතාණන් සැබැවින්ම නූතන ශ්‍රී ලංකාවේ දැවැන්ත යුග පුරුෂයෙකි. ඔහුගේ වැදගත්කම වඩාත් දැනෙන්නේ එදාටත් වඩා අදටයි. ඔහුගේ දැක්‌ම වඩාත් වලංගු වන්නේ වර්තමානයටයි. ඔහු ජීවත් වූයේ යටත්විජිත යුගයේ අවසානය හා පසු-විජිත යුගයේ අරුණෝදය මුසු වූ පරිවර්තනීය විජිතහරණ යුගය තුළයි. එම යුගයේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් නව ශ්‍රී ලංකාවක්‌ ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැක්‌ම හා ප්‍රතිමාන පිළිබඳ කන්නන්ගරයන්ට තිබුණේ ගැඹුරු හා පැහැදිලි දැක්‌මකි. බලය පැවරීමෙන් පසුව පසු-විජිත රාජ්‍යය සකස්‌ කිරීම හා ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීම පිළිබඳ බැරෑරුම් ක්‍රියාදාමයෙහි දී අධ්‍යාපනය ඉටුකළ භූමිකාව පිළිබඳව කන්නන්ගරයන්ට විනිවිද ගිය දැක්‌මක්‌ තිබිණි. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඔහුගේ මෙහෙවර වැදගත් වන්නේ අධ්‍යාපනය හා රාජ්‍යය සකස්‌ වීම අතර පවතින අෙන්‍යාන්‍ය සබඳතාව ග්‍රහණය කරගනිමින් ඔහු විසින් දියත් කළ වැඩපිළිවෙල නිසාය.

තිස්‌ වසරක්‌ තිස්‌සේ ඇදී ගිය බෙදුම්වාදී යුද්ධය නිමාවීමෙන් පසු අද අපි පසු-විජිත ඉතිහාසයේ පැහැදිලි සංධිස්‌ථානයකට එළඹ සිටිමු. යුද්ධය නිමා වීමෙන් පසු අප ගමන් කළ යුතු මග කුමක්‌ද? ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සියලු ජනවාර්ගික කොටස්‌ වලට ස්‌වකීය ගරුත්වය හා සංස්‌කෘතික උරුමයන් රැකගනිමින් ජීවත් වීම සහතික කරනු වස්‌ එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ගොඩනඟාගන්නේ කෙසේද? ඒ සඳහා සුදුසු රාජ්‍ය ව්‍යqමය කුමක්‌ විය යුතුද? යන්න පිළිබඳ පුළුල් සංකථනයක අවශ්‍යතාව අද පැනනැඟී තිබේ. මෙම පසුබිම තුළ කන්නන්ගරයන්ගේ දැක්‌ම නැවත කියවීම මගින් අද අප මුහුණදෙන අභියෝග ජයගැනීමට අවශ්‍ය ආලෝකය ලබාගැනීමට අවකාශ ලැබේ.

1931 ඩොනමොර් ආණ්‌ඩුක්‍රමය හඳුන්වාදීම ශ්‍රී ලංකාව නිදහස කරා යන ගමනේ පැහැදිළි කඩඉමක්‌ විය. මෙමගින් සර්වජන ඡන්ද බලය මගින් තෝරාගත් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත රාජ්‍ය මන්ත්‍රණ සභාවක්‌ ස්‌ථාපිත කෙරිණි. ඉන් විධායක කාරක සභා හතක්‌ තෝරාගෙන දේශීය නියෝජිතයන්ට ක්‍ෂේත්‍රයන් හතක අර්ධ වගකීම ලැබිණි. ඉන් එක්‌ ක්‍ෂේත්‍රයක්‌ වූයේ අධ්‍යාපනයයි. කන්නන්ගර මැතිතුමා 1931 සිට 1947 දක්‌වා මුළු කාලපරිච්ඡේදය පුරාම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. මෙම යුගය පූර්ණ නිදහස සඳහා ශ්‍රී ලංකාව සූදානම් වන අවධිය වශයෙන් එහි වගකීම පිළිබඳ මනාවැටහීමක්‌ කන්නන්ගර මැතිතුමාට තිබිණි. මෙම පරිවර්තනය සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පෙළගැස්‌වීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් හිමිවූයේ ඔහුටයි. එහිදී ඔහුට හොඳින් හඳුනාගත හැකි ඉලක්‌ක ගණනාවක්‌ තිබිණි. එම ඉලක්‌ක කරා ගමන් කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ තිබිණි. එමෙන්ම ඔහු මුහුණ දුන් අභියෝගයන්ද ඉමහත්ය. නිදහසින් පසු දශක කිහිපය තුළ සිදු වූ සීග්‍ර සමාජ සචලතාවයේ ප්‍රධාන කාරකය වූයේ අධ්‍යාපනයයි. එයට මඟ පාදනු ලැබුවේ කන්නන්ගර මැතිඳුන් දියත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයන්ය.

අධ්‍යාපන පද්ධතියේ පැවැති යටත්විජිත උරුමය වෙනස්‌ කිරීම හා අධ්‍යාපනය වඩාත් ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම ඔහුගේ මුල්ම ඉලක්‌කය විය. ඒ වන විට විශේෂයෙන්ම ද්වීතීයික අධ්‍යාපනය නාගරික ඉංග්‍රීසි පාසල් වලට සීමා වී තිබිණි. නව ශ්‍රී ලංකාවක්‌ ගොඩනැඟීම සඳහා අධ්‍යාපන අවස්‌ථා පුළුල් කිරීම හා සම අවස්‌ථා ලබාදීම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස ඔහු දුටුවේය. මෙහිදී අධ්‍යාපන අවස්‌ථා පුළුල් කිරීම සඳහා රජය සෘජු ලෙසින් මැදිහත් විය යුතු බව කන්නන්ගර මැතිතුමා දැඩිව අවධාරණය කළේය. ඒ සඳහා උචිත ආයතනික රටාව ලෙස ඔහු ඉදිරිපත් කළේ මධ්‍ය මහා විද්‍යාල පද්ධතියයි. එසේම අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේ වැදගත්කම තේරුම් ගත් එතුමා ඒ සඳහා වාහකයක්‌ ලෙස යොදාගත්තේ ද මෙම මධ්‍ය මහා විද්‍යාල පද්ධතියයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඔහු 'මිල අධික දෙයක්‌ව පැවැති අධ්‍යාපනය අපි ලාභ කළෙමු, එසේම ධනවතුන්ගේ ප්‍රවේණියක්‌ව පැවැති එය නිර්ධනීන්ගේ උරුමයක්‌ බවට පත්කළෙමු' යනුවෙන් ප්‍රකාශ කළේ එබැවිනි.

ගුණාත්මක ද්වීතීයික අධ්‍යාපනයක්‌ ලැබීමේ අයිතිය වරප්‍රසාද ලත් සීමිත සමාජ තීරුවකට පමණක්‌ සීමා වීමේ අනතුර තේරුම් ගත් ඔහු දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ තුළ ශක්‌තිමත් ලෙස ස්‌ථාපිත කිරීමට නම් ග්‍රාමීය ලෝකයේ දීප්තිමත් දරුවන්ට ද පාලනයේ හා පරිපාලනයේ අවස්‌ථාවන් ලබාගත හැකි අයුරින් අධ්‍යාපනය පුළුල් කිරීම යුගයේ අවශ්‍යතාවක්‌ ලෙස සැලකීය. ඔහු සැලසුම් කළ මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය දිවයින පුරා ස්‌ථාපිත කිරීමට අමතරව ඒවා නාගරික ඒකකයන්ගෙන් දුරස්‌ව ග්‍රාමීය ලෝකයේ දරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ආකාරයට ස්‌ථාපිත කිරීමද වැදගත්ය. සම අධ්‍යාපන අවස්‌ථා සහතික කරනු වස්‌ මධ්‍ය මහා විද්‍යාල හා බැඳි නේවාසිකාගාර ඇතිකොට ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ හඳුන්වාදී ගම්බද දීප්තිමත් දරුවන්ට ද්විතීයික අධ්‍යාපනයක්‌ ලබාගැනීමේ දොරකවුළු වඩාත් පුළුල් කිරීමට කටයුතු කළේය. එමගින් සම අධ්‍යාපන අවස්‌ථා සහතික විය. බලය පැවරීමෙන් පසුව නිදහස්‌ ශ්‍රී ලංකාවේ නිලබල පද්ධතිය නාගරික පාසල් මගින් පැමිණෙන වරප්‍රසාද හිමි පංතියේ සීමිත කොටසකට සීමා වීම සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බාධාවක්‌ බැව් තේරුම් ගත් ඔහු නිලබල පද්ධතිය පුළුල් කරමින් එයට පුළුල් සමාජ පදනමක්‌ ලබාදීම සඳහා අධ්‍යාපන අවස්‌ථා පුළුල් කිරීමට මධ්‍ය මහා විද්‍යාලයන්ට විශාල භූමිකාවක්‌ ඉටුකළ හැකි බැව් දුටුවේය. එ

අධ්‍යාපනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වන ආචාර්ය ස්‌වර්ණා ජයවීර පෙන්වා දෙන පරිදි නිදහස ලබාගැනීමෙන් පසු දශක දෙකක පමණ කාලය තුළ අධ්‍යාපනයේ සීග්‍ර ප්‍රසාරණයක්‌ සිදු විය. එයට හේතුව වූයේ කන්නන්ගර ප්‍රතිසංස්‌කරණ නිසා අධ්‍යාපනය සඳහා ජනිත වූ සමාජ ඉල්ලුම හා අධ්‍යාපනයේ සම අවස්‌ථා පුළුල් කිරීමයි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ආසියාවේ ඉහළ මානව සංවර්ධන දර්ශකයකට හිමිකම් කිව හැකි රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්විය.

කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන මෙහෙය වැදගත් වන්නේ මධ්‍ය මහා විද්‍යාල පද්ධතිය මනා සැලසුමක්‌ සහිතව ස්‌ථාපිත කිරීම, ගම්බද දීප්තිමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ ඇතිකොට අධ්‍යාපනයේ සම අවස්‌ථා ප්‍රායෝගිකව පුළුල් කිරීම නිසා පමණක්‌ නොවේ. නිදහසින් පසු වේගයෙන් ප්‍රසාරණය වූ උසස්‌ අධ්‍යාපනයේ පදනම වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය 1942 දී ආරම්භ වන්නේ කන්නන්ගර අධ්‍යාපන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙනි. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම පිළිබඳ සාකච්ඡා හා සැලසුම් එම සියවසේ මුල සිටම දක්‌නට ලැබුණ ද, ඒ සඳහා යම් යම් පියවර ගෙන තිබුණ ද, එය යථාර්ථයක්‌ බවට පත්ව ස්‌ථාපිත වූයේ 1942 දීය. මීට පෙර තිබුණු ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ තවදුරටත් පැවැති යටත්විජිත රාමුවෙන් මිදී නව තත්ත්වයන්ට අනුකූලව ජාත්‍යන්තර දැක්‌මක්‌ හා ප්‍රමිතියක්‌ සහිතව දේශීය අනන්‍යතාවන්ට උචිත ලෙස ලංකා විශ්වවිද්‍යාලය සැලසුම් කිරීමේ නියමුවෙක්‌ ලෙස කන්නන්ගරයන්ට ගෞරවය හිමිවිය යුතු වේ.

නිදහස්‌ අධ්‍යාපනය අර්ථවත් වීමට නම් අධ්‍යාපනයේ සම අවස්‌ථා සහතික කරනා රාජ්‍ය පාසල් පද්ධතිය මගින් ලබාදෙන අධ්‍යාපනය ඉහළ ගුණාත්මක එකක්‌ විය යුතුය. අධ්‍යාපනයේ ගුණාත්මක බව අත්කර ගැනීමේ මූලික කොන්දේසියක්‌ වන්නේ ගුරුවරුන් නිවැරැදිව තෝරාගෙන අදාළ ක්‍ෂේත්‍රයන් ට අනුකූලව ඔවුන්ට මනා පුහුණුවක්‌ ලබාදීමය. අධ්‍යාපනය සඳහා වූ සමාජ ඉල්ලුම වේගවත් වන පරිමාණයට අධ්‍යාපනයේ සම අවස්‌ථා පුළුල් කරමින් නිදහස්‌ අධ්‍යාපනය රාජ්‍ය වගකීමක්‌ බවට පත්කිරීම සමඟ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වූ ගුරු පුහුණු විද්‍යාල ඇතිකොට වඩාත් පුහුණු ගුරු පරපුරක්‌ බිහිකිරීම සඳහා ද කන්නන්ගර තුමන් පියවර ගත්තේය. ගුරුවරුන් සඳහා මාසික වැටුප් ක්‍රමයක්‌ ඇතිකොට වැටුප ක්‍රමවත්ව ගුරුවරුන් අතටම ලබාදීමේ ක්‍රමය ආරම්භ කිරීම මෙන්ම දිවයින පුරාම එකම අධ්‍යාපන වර්ෂයක්‌ හඳුන්වා දීම ද මෙහිදී සඳහන් කළ යුතුය. ස්‌වභාෂා මාධ්‍ය පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම අනිවාර්ය කිරීම එතුමා ගත් තවත් පියවරක්‌ විය. අධ්‍යාපන අවස්‌ථා පුළුල් කිරීම, පාසල් පද්ධතියක්‌ ගොඩනැඟීමෙන් පමණක්‌ කළ නොහැකි බවත් ඒ මගින් ගුණාත්මක අධ්‍යාපනයක්‌ ලබාදීමට නම් තවත් බොහෝ කටයුතු සම්පාදනය කළයුතු බවත් දැන සිටි ඔහු ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය. විෂය මාලා සංවර්ධනය සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක්‌ සකස්‌ කිරීම ඒ අතරින් වැදගත්ය.

මේ සැමටම වඩා කන්නන්ගර මැතිතුමන් වැදගත් වන්නේ පරිවර්තනීය හා උන්නතිකාමී යුගයක අධ්‍යාපනය පිළිබඳ ඔහුගේ දැක්‌ම සහ ශ්‍රී ලංකාවේ සමාජය හා දේශපාලනය පිළිබඳ ඔහු තුළ වූ පුළුල් දර්ශනය නිසාය. ඔහු ශක්‌තිමත් හා භක්‌තිමත් ප්‍රජාතන්ත්‍රවාදියකු විය. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ කළ ප්‍රකාශ වලින් පෙනී යන්නේ ඔහුට ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු දේශපාලන ක්‍රමයක්‌ පමණක්‌ නොව පුළුල් සමාජ දර්ශනයක්‌ මෙන්ම ජීවන විලාසයක්‌ ද වූ බවයි. අවසාන විග්‍රහයේ දී එය සමාජ සංස්‌කෘතියකි. සමාජගත ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතියකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යා නොහැකි බවත් එවන් හර පද්ධතියක්‌ සමාජගත කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපනයට බවත් ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. ශ්‍රී ලංකාවේ බහු ආගමික හා බහු සංස්‌කෘතික උරුමය අභිමානයෙන් යුතුව සැලකීම, අනෙකුත් සංස්‌කෘතීන්ට හා ජනවර්ගයන්ට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සංස්‌කෘතියේ මූලික හා අත්‍යවශ්‍ය අංග වන බවත් මේ සඳහා සිසු පරපුර සූදානම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස සඳහා අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් අධ්‍යාපන ආයතනයන්ට ඇති වගකීම එතුමා අවධාරණය කළේය. 

බහුවාර්ගික සමාජයක අධ්‍යාපනය දෙපැත්ත කැපෙන ආයුධයක්‌ වැනිය. එක්‌ අතෙකින් එය සිසු දරුවන්ට විවිධත්වයට ගරුකිරීමට, විසංවාදය ඉවසීමට හා එමගින් ජනවාර්ගික සමගිය ගොඩනැඟීමට සූදානම් කළ හැකිය. එසේම අධ්‍යාපනයට අනෙකුත් ජනවර්ග සුළු කොට තකා හෙළා දැකීමට ජනවාර්ගික බිය හා සැක ජනිත කිරීමට සිසුන් ඉතා සියුම් ලෙස සූදානම් කළ හැකිය. ඒ නිසා අධ්‍යාපන විෂය මාලා හා පෙළපොත් සකස්‌ කිරීම ඉතා ක්‍රමවත්ව කළ යුතු දෙයක්‌ බව තේරුම් ගැනීම කන්නන්ගර උරුමය අත්කර ගැනීම වේ. පන්ති කාමරය තුළ ගුරුවරයාගේ භූමිකාව අවසාන විග්‍රහයේදී තීරණය වන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේ දැක්‌මට අනුකූලවයි. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය නිවැරැදි පදනමක්‌ මත පිහිටුවීමට නම් ජාතික ඒකාබද්ධතාව හා රාජ්‍යය සකස්‌ කිරීම පිළිබඳ පුළුල් හා වර්ගවාදී නොවන දැක්‌මක්‌ අවශ්‍ය වන්නේ එබැවිනි.

අද වේගවත් ලෙස පැතිර යන ගෝලීයකරණ ක්‍රියාදාමය තුළ අධ්‍යාපන ක්‍රමය පොදුවේ ගැඹූරු පරිවර්තනීය වෙනසකට පත් වෙමින් තිබේ. දැනුම යන සංකල්පයම වෙනස්‌ වී තිබේ. දැනුම ගොඩනැඟීම, දැනුම සම්ප්‍රේෂණය කිරීම හා දැනුම සංරක්‍ෂණය කිරීම අරභයා සංවිධිත පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල වැනි ස්‌ථාපිත ආයතනයන් මේ දක්‌වා හිමි කරගෙන තිබූ ඒකාධිකාරී අයිතිය වේගයෙන් බිඳවැටෙමින් තිබේ. ඒ සමඟම ඊට සමාන්තරව හා පරිබාහිරව නව ආයතන ගණනාවක්‌ එම ක්‍ෂේත්‍රයට වේගයෙන් ඇතුළත් වෙමින් සිටී. තත්කාලීන සන්නිවේදන විප්ලවය, සයිබර් අවකාශය ඉස්‌මතු වීම හා තොරතුරු අධිවේගී මාර්ගය වැනි වර්ධනයන් විසින් ඉගෙනීමේ හා ඉගැන්වීමේ ක්‍රියාදාමයන්හි තීරණාත්මක වෙනස්‌කම් සිදු කරමින් තිබේ. ගෝලීයකරණය ලෝකය වඩාත් සංකෝචනය කරමින් සමස්‌ත ලෝකයම විශ්ව ගම්මානයක්‌ බවට පත් කොට තිබේ. ප්‍රාග්ධනය, ශ්‍රමය, භාණ්‌ඩ හා සේවා මෙන්ම අදහස්‌ හා ප්‍රතිමාන ජාතික රාජ්‍යයේ සීමාවන් වේගයෙන් විනිවිද යමින් එකිනෙකා අෙන්‍යාන්‍ය වශයෙන් බැඳ දමා දැනුම ගොඩනැඟීම හා එය සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාදාමය ගෝලීය තලයකට හා ගෝලීය ප්‍රමිතියකට නතු කර තිබේ. මෙම තත්ත්වයන් යටතේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පරිපාලන රටාවන් මෙන්ම පාසල, පංති කාමරය, ගුරුවරුන්ගේ භූමිකාවන් හා සිවිල් සමාජයේ වගකීම නැවත නිර්ණය කළ යුතුව තිබේ. අද සමස්‌ත ලෝකයම එක්‌ ඓතිහාසික අවධියක සිට තවත් ඓතිහාසික අවධියකට මාරුවෙමින් සිටී. 16 වැනි සියවසේ පමණ බටහිර කේන්ද්‍රගතව ආරම්භ වී යටත් විජිතවාදය හරහා මුළු ලෝකය පුරාම පැතිර ගිය නූතනත්වයේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්‌කෘතික පදනම් හා රටාවන් ගැඹුරු අර්බුදයන්ට ලක්‌ව වේගයෙන් අභ්‍යන්තරිකව වෙනස්‌ වෙමින් නව ඓතිහාසික අවධියක පෙරමඟ ලකුණු දක්‌වමින් සිටී.

මෙම නව ඓතිහාසික තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාව වැනි රටක අධ්‍යාපන ක්‍ෂේත්‍රය හමුවේ ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ රජයේ භූමිකාව කුමක්‌ විය යුතුද? එය නැවත නිර්ණය කරන්නේ කෙසේද? යන්නයි. කන්නන්ගරයන්ගේ දැක්‌ම නැවත ග්‍රහණය කරගනිමින් එය නිර්මාණාත්මක ලෙස ඉදිරියට ගෙනයැම වැදගත් වන්නේ මෙම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දීම සඳහාය.

අධ්‍යාපනය, ප්‍රාග්ධනය මගින් හසුරුවන වරප්‍රසාදයක්‌ නොව මානව අයිතියකි. කන්නන්ගර දැක්‌මේ පදනම වූ සම අධ්‍යාපන අයිතිය සහතික කිරීමේ වගකීම රජය පැහැදිලිව භාරගත යුතු අතර නව ඓතිහාසික තත්ත්වයන් යටතේ ඒ සඳහා නව දැක්‌මක්‌ හා නව ප්‍රවේශයක්‌ අවශ්‍ය වේ. අද වේගයෙන් දේශීය හා ගෝලීය ප්‍රාග්ධනය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඇතුළු වී තිබේ. තාක්‍ෂණික විප්ලවය, සයිබර් අවකාශය හා ගෝලීයකරණය නිසා රජයට එය කිසිසේත්ම වැළැක්‌විය නොහැකිය. මෙහි අනිටු ප්‍රතිඵලය අධ්‍යාපනය වේගයෙන් වෙළෙඳපොළේ අලෙවි වන භාණ්‌ඩයක්‌ හා ලාභ ලැබිය හැකි ආයෝජන ක්‍ෂේත්‍රයක්‌ බවට පරිවර්තනය වීමයි. අධ්‍යාපනයේ දිශානතිය තීරණය කිරීමට සෘජු ලෙසින් දේශීය හෝ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට ඉඩදීම මගින් අනාගතයේ ජනිත විය හැකි සමාජ, දේශපාලන ප්‍රතිවිපාකයන් ඉතා බැරෑරුම් විය හැකිය. එසේම සැමට අධ්‍යාපනය හා සම අධ්‍යාපන අයිතියට සැබෑ අරුතක්‌ ලැබෙන්නේ එම අධ්‍යාපනය ගුණාත්මක අධ්‍යාපනයක්‌ බවට පත්වුවහොත් පමණි. ගෝලීය හා දේශීය ප්‍රාග්ධනය මගින් හසුරුවන අධ්‍යාපන ආයතන සමඟ තරග කළ හැකි හා එය පරාජය කළ හැකි අයුරින් රාජ්‍ය පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල පද්ධතිය රැක ගැනීම සඳහා වන දැක්‌මක්‌ අවශ්‍යය. මධ්‍ය මහා විද්‍යාලවල ලාභ අනුරූප ලෙස නවෝද්‍යා පාසල් හෝ සපිරි පාසල් ලෙස පාසල් වල නාමපුවරු වෙනස්‌ කිරීමෙන් පමණක්‌ ගුණාත්මක අධ්‍යාපනයේ සම අයිතිය තහවුරු කළ නොහැක. පංතිකාමරය, ඉගැන්වීමේ ක්‍රමවේද සැලසුම් කිරීම, ගුරුවරුන් බඳවා ගැනීම හා පුහුණු කිරීම වෘත්තීයමය පදනමකින් හා දේශපාලනීකරණයකින් තොරව සිදු විය යුතුය. සැබෑ කන්නන්ගර දැක්‌ම එයයි.

අවසාන වශයෙන් තවත් කරුණක්‌ අවධාරණය කළ යුතුය. අද අධ්‍යාපන බලධාරීන් වත්මන් අධ්‍යාපන අර්බුදය සඳහා ඉදිරිපත් කරන ජනප්‍රිය පිළියම් වට්‌ටෝරුව වන්නේ අධ්‍යාපනය වෙළෙඳපොල අවශ්‍යතාවන් සන්තර්පණය කිරීම සඳහා ඉලක්‌ක විය යුතුය යන නිර්දේශයයි. ශ්‍රී ලංකාව වැනි රටක වෙළෙඳපොළ ශත්තිමත් නැත. වෙනස්‌ වන ආර්ථික වලවේගවලට අනුව වෙළෙඳපොළ වේගයෙන් වෙනස්‌ වේ. අධ්‍යාපනය වෙළෙඳපොළ ඉලක්‌ක කර ගැනීම අර්බුදයට විසඳුමක්‌ නොවේ. එය පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම වැනිය. අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමයි. දැනුම, ආකල්ප හා කුසලතා තීරණය කළ යුත්තේ පුළුල් සමාජ දේශපාලන දැක්‌මකින් යුතුව බව තේරුම් ගැනීම කන්නන්ගරයන්ගේ නොනිමි මෙහෙවර ඉදිරියට ගෙනයැමේ පූර්ව කොන්දේසියක්‌ වේ.

මහාචාර්ය ගාමිණී කීරවැල්ල
http://www.divaina.com/2013/09/14/feature01.html

0 comments: