Pages

Wednesday, September 11, 2013

රුහුණේ ගව සම්පතට කණ කොකා හඬයි!

බලධාරිනි! රුහුණේ ගව හිමියන්ගේ කඳුළු කතාවට සවන් දෙන්න... 

වර්තමානය වන විට අපේ රටේ දියර කිරි භාවිතය පිළිබඳව සහ දියර කිරි නිෂ්පාදනය පිළිබඳවත් එහි ඇති ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මක බව පිළිබඳවත් පුළුල් කථිකාවතක්‌ නිර්මාණය වී ඇත.

අතීතයේ සිට රුහුණ ප්‍රකට වූයේ පිsරිසිදු මී කිරි සඳහාය. අද වන විටත් රුහුණේ සංචාරයේ යෙදෙන ඕනෑම අයෙකු රුහුණේ නැවුම් කිරි වීදුරුවක මිහිරියාව සහ මුදවනු ලැබූ මී කිරි හැන්දක රස බැලීමට යොමු වන්නේ එහි ඇති ඉමිහිරි බවත් ගුණාත්මක බවත් මතය. රුහුණ කියූ සැනින් මී කිරි මතක්‌ වුවද රුහුණු පුරවරයම කීර්තිනාමයට පාත්‍ර වී තිබෙන්නේ තිස්‌සමහරාම සහ ලුණුගම්වෙහෙර අවට පදිංචිව කිරි ගව පාලනයේ නිරතව සිටින ගව හිමියන්ගේ මහා කැපවීම සහ ධෛර්යය මතය. කිරි ප්‍රනීත වුවද රසවත් හා ගුණවත් වුවද දකුණේ ගව හිමියාගේ ජීවිතයත් සත්ත්ව පාලනමය රැකියාවත් ඉතා දුක්‌මුසු එකක්‌ වීම කනගාටුවට කරුණකි. මෙරට රාජ්‍ය පාලකයන්ගේ අවධානය ද මේ වන විටත් ගව හිමියා දෙස යොමු වුවද අතීතයේ සිට රුහුණේ ගව හිමියා වෙලාගෙන සිටින ප්‍රශ්න අපමණය. ඒ උදෙසා ඔවුන් ගවයන් රැගෙන මහපාරේ උද්ඝෝෂණ කළ අවස්‌ථා නැත. ගව සම්පත දියුණුකර දෙන ලෙස, දියර කිරි ලීටරයකට නිශ්චිත මිලක්‌ ලබා දෙන ලෙස ඉල්ලා ගස්‌ නැගි බවක්‌ද මතකයේ නැත. අද වන විට මෙරට කිරි සම්පත වෙනුවෙන් කතා බහ කරන වගකිවයුත්තන් තිස්‌සමහරාම හා ලුණුගම්වෙහෙර අවට ගව සම්පත සමග කටයුතු කරන ගව හිමියන්ගේ අදහස්‌ ප්‍රශ්න දෙස විමසුම් ඇස හෙළා පිළිතුරු ලබාදිය යුතු කාලය පැමිණ ඇත. මේ ගව හිමියන් තමන් මුහුණ දෙන ගැටලු "දිවයින"ට ප්‍රකාශ කළ ආකාරයයි.

ඩී. ඡේ. එස්‌. වීරසූරිය (රුහුණුපුර කිරි ගොවි සංවිධානය) මහතා - අපේ කර්මාන්තය නිසයි රුහුණ මුළු ලෝකයේම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණේ. ගව හිමියා අසරණ තත්ත්වයට පත්වෙලා. ගව හිමියා දෙස ගොවියාත් වගකිවයුත්තාත් යන දෙපිරිසම බලන්නේ අපරාධකාරයෙක්‌ දෙස බලන ආකාරයෙන්. ගොවියා සමග ඉතාමත් සමීපව සිටින අපි දැන් විරසක වෙලා බොහෝ කල්. එදා තිස්‌සමහරාම හා ලුණුගම්වෙහෙර ආශ්‍රිතව ගවයෝ විසිපන්දහසක්‌ තිස්‌දහසක්‌ පමණ හිටියා. ඒ ගව සම්පත මේ වන විට අටදහසකට පමණ සීමාවෙලා. ගවයන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා ප්‍රමාණවත් බිම් ප්‍රදේශයක්‌ හෝ ආහාර නැහැ. ගවයන් ඒ සඳහා යොමු කරන්න නිශ්චිත තැනක්‌ නැහැ. මේ ප්‍රදේශවල සිටින සියලු ගවයන්ටම තිබෙන්නේ වෙන් කළ තෘණ බිම් දෙකයි. එකක්‌ කඩවර තෘණ භූමිය. අනෙක අමරවැව තෘණ භූමිය. සිටින ගව ප්‍රමාණයට අනුව මේවායේ ප්‍රමාණවත් ආහාරත් ජලයත් තිබෙන්නේ ඉතාමත් අවම මට්‌ටමක. මේ තෘණ භූමිත් විවිධ ආයතන විසින් පවරා ගනිමින් ගිනිසීරියා වගා කරනවා. ගව හිමියාට සිහින මාලිගා මවමින් තමයි මේ දේ සිදු කරන්නේ. ගවයාට ගිනිසීරියා පත්‍ර ආහාරයට ලබා දෙනවා කියලා. ඒත් ඒක ප්‍රායෝගික වෙන දවස තවම නෑ. කම්බි ගහගෙන ගවයන්ට ඇතුළු වෙන්න නොදී ඒ ආයතන ගිනිසීරියා වවනවා. ගව හිමියන් වන අපිට දැන් කර කියා ගන්න දෙයක්‌ නෑ.

නිහාල් කරුණාතිලක (51) මහතා - ගවයන් වන රක්‍ෂිත වාරිරක්‍ෂිතවලට යවන්න බෑ. බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරනවා. උසාවි දානවා. දඩ ගහනවා. රක්‍ෂිතවලට ඇතුළු වීමත් තහනම් කරලයි තියෙන්නේ. අතීතයේ කුඹුරු වගා කිරීමෙන් පස්‌සේ නියරේ තියන තණකොළ කෑමටත් පිදුරු ටික ඉපනැල්ල ආහාරයට ගන්නත් ගවයෝ කුඹුරට දානවා.

අතරමැදි කන්නයේ මුං ඇට වගා කරනවා. මාස්‌ කන්නයට ගොවීන් හේන් ගොවිතැන් කරනවා. දැන් ගවයන් නිදැල්ලේ හදන්න බැරි තත්ත්වයට පත්වෙලා. රුහුණුපුර කිරි ගොවි සංවිධානයේ පමණක්‌ ගව හිමියෝ සියයක්‌ පමණයි මේ වෙනකොට ඉන්නේ. ගව පාලනයෙන් ඉවත් වූ පිරිස අති විශාලයි. නිදැල්ලේ ගවයන් හදන ක්‍රමයෙන් අපි දැන් ඈත් වෙමින් ඉන්නේ. දියුණු කළ දෙමුහුන් වර්ගයේ ගවයන් බොහෝ ප්‍රමාණයක්‌ සිටිනවා. මේ ප්‍රදේශවල මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට අක්‌කර දහස්‌ ගණන් ලබාගෙන තිබෙනවා. අපිටත් ප්‍රමාණවත් තණ බිම් ලබා දෙනවා නම් රටේ සම්පූර්ණ කිරි අවශ්‍යතාවට පුළුල් දායකත්වයක්‌ ලබාදිය හැකි වෙනවා. වගකිවයුත්තන් තවමත් අපේ ප්‍රශ්න ඉදිරියේ නිහඬව සිටීම කනගාටුවට කරුණක්‌.

ඩී. ඒ. සුනිල් (50) මහතා - දියර කිරි ලීටරයක්‌ අපෙන් මිල්කෝ වැනි ආයතන මිලදී ගන්නේ රුපියල් 55 ටත් පහළ මිලකට. මේ රටේ වතුර බෝතලයක මිලත් රුපියල් 70 ක්‌ 80 ක්‌ විතර වෙනවා. බලධාරීන් කිsරි ගව පාලනය දියුණු කරනවා කියලයි කියන්නේ. රට දියර කිරෙන් සශ්‍රීක කරනවා කියනවා. කිසිම දෙයක්‌ ප්‍රායෝගික නෑ. ලුණුගම්වෙහෙරට පශු වෛද්‍ය කාර්යාල ගොඩනැඟිල්ලක්‌ ස්‌ථිරව නෑ. පශු නිලධාරීන්ට රථවාහනයක්‌ නෑ. ඒත් කිරෙන් රට සරු කරන්න සිදු කරන උත්සවවලට මහා ජාතික ධනයක්‌ වැය කරනවා. අපිට බොහෝ බලධාරීන් නොකියා කියන්නේ ගවයෝ ටික මස්‌ කඩයට විකුණන්න, රටින් ගේන පිටි කිරි බොන්න හුරු වෙන්න කියලා. අපේ ගව හිමියන්ගේ ප්‍රශ්නවලට කවදාවත් නිසි විසඳුමක්‌ නොලැබෙන බව අපි දන්නවා. ඒත් සතුන් මසට දෙන්න බැහැ.

දියර කිරිවල වටිනාකමත් අපේ රටේ කිරිවල පවතින පිරිසිදු බව හා ගුණාත්මක බව පිළිබඳවත් වර්තමානයේ තරම් කතා බහට ලක්‌ වූ කාලයක්‌ නැති තරම්ය. මේ මොහොත වන විටත් මෙරට ගව හිමියන්ගේ කිsරි නිෂ්පාදනය නැංවීම සඳහා වගකිවයුතු අංශවල බලධාරීන් හා නිලධාරීන් සැලසුම් සකස්‌ කරමින් සිටිති. එහෙත් ඒවා කොපමණ ප්‍රායෝගිකද යන්නත් එය ගවයාට හා ගව හිමියාටත් කිරි පරිභෝජනය කරන පාරිභෝගිකයාටත් භාර කළ යුතුව ඇත. අතීතය දෙස බලන විට පැවසිය යුතු එකම කරුණ වන්නේ තිස්‌සමහරාම හා ලුණුගම්වෙහෙර අවට කිරි ගවයන් පාලනයේ යෙදුණු ගව හිමියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස අඩු වී ඇති බවත් ගවයන් දහස්‌ ගණනින් රුහුණු රටින් සමුගෙන ඇති බවත්ය.

ගව හිමියාට ඇති ගැටලු අතීතයට වඩා වර්තමානයේ දැඩි ලෙස වර්ධනය වී ඇත. ගව ඝාතනය නතර කරන ලෙසට ඉල්ලා බෞද්ධ හිමිවරු සියදිවි නසා ගන්නා රටේ ජලය ලීටරයට වඩා පිරිසිදු කිරි ලීටරයක මිල පහත වැටී ඇති රටේ පාලකයන් ගවයන් මස්‌ කඩයට පැටවීමට අනුබල දෙන රටේ ගව හිමියා ද ගවයාද මෙරටින් තුරන් වී යැම වැඩි ඈතක නොවන බව නම් සැබෑය. උණුසුම්ව ඇති පිටි කිsරි කතාවන් වැසී යැම සඳහා වෙනත් මාතෘකාවක්‌ කරලියට පැමිණීමට පෙරාතුව රුහුණේ ගව හිමියන් මුහුණ දෙන දැවෙන ප්‍රශ්න දෙස අවධානය යොමු කරන බලධාරීන් සිටීනම් එය උතුම් පිනක්‌ සේම ජාතික වගකීමක්‌ද වනු ඇත. 

සේයා සහ සටහන - වීරවිල එල්. එච්. කුසුම් ප්‍රියන්ත 
http://www.divaina.com/2013/09/10/provin08.html

0 comments: