Pages

Sunday, March 1, 2015

ලොව බබළවන ඉරපාන - සඳපාන සේම සසුන බබළවන ඉත්තෑපාන මහනාහිමියෝ

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියෝ ඥන වෘද්ධව, ගුණ වෘද්ධව, කීර්ති ප්‍රශංසා වෘද්ධව අභීත බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්‌ සේ සුපතලව රුක්‌මලේ ධර්මවිජයාලෝක විහාර පරිශ්‍රය මතු නොව, මුළු මහත් සම්බුද්ධ ශාසනයම නන් ලෙසින් බබලවමින් වැඩ වසන්නාහුය. මහනාහිමියන් විසින් ආඪ්‍ය කරන ලද ශාස්‌ත්‍ර ලෝකය ද ප්‍රමුදිත කරන ලද බුද්ධ වචනය ද උන්වහන්සේගේ චිරකාල පාණ්‌ඩිත්‍ය විදහා දක්‌වන අනර්ඝ ලකුණු සේ මම දකිමි.

ඉත්තෑපාන මහානාහිමියන්ගේ බුද්ධිමය විලාසයට නිසි සියලු සම්පත් සම්පාදනය වූයේ මෙලක අග්‍රගණයේ දර්ශන, සමය, ශාස්‌ත්‍ර කේන්ද්‍රස්‌ථානයක්‌ බඳු වූ විද්‍යාලංකාර පිරිවෙන ඇසුරෙන් බව උන්වහන්සේම නොයෙක්‌ වර උදාන වාක්‍ය සේ පවසා තිබෙන්නකි.

මෙලක සම්බුද්ධ ශාසනය ද ශාස්‌ත්‍ර බුද්ධි සමාජය ද ස්‌වකීය අනුපම ප්‍රඥධාරාවන්ගෙන් උඡ්වලිත කළ විද්‍යාලංකාරයේ ප්‍රඥ ප්‍රදීප ස්‌තම්භ සේ සුදිලුනු යක්‌කඩුවේ ප්‍රඥාරාම, කිරිවත්තුඩුවේ ප්‍රඥසාර, හැඩිපන්නල, පඤ්ඤාලෝක, කොටහේනේ පඤ්ඤාකීර්ති, බඹරැන්දේ සිරි සීවලී බඳු සිංහල භාෂා සාහිත්‍යම්බරයෙහි සුධවල ඕෂධී තරු පෙළක්‌ සේ සදෘශ වූ සුජාත බුද්ධ පුත්‍ර සමාගමක සෙවන, ඇසුර, උපදේශය, ලැබීමට තරම් අප මහනාහිමියෝ භාග්‍යන්ත වූහ. ඒ පරමාදර්ශී ශාස්‌ත්‍ර මණ්‌ඩලවලින් ලද උද්දීපනය ද උන්වහන්සේ තුළ වූ අප්‍රමාණ ධෛර්ය හා උට්‌ඨාන වීර්ය ද ඉත්තෑපාන මහනාහිමියන්ගේ ධර්ම ශාස්‌ත්‍ර විජයග්‍රහණයට හේතු විය.

සිංහල, පාලි, සංස්‌කෘත ඈ පෙරදිග භාෂාවන්ද සමය, දර්ශන යනාදිය ද අතැඹුලක්‌ සේ පිරිසිඳ දත් මහනාහිමියෝ විදුලකර සම්ප්‍රදායේ මහරු පඬිරුවනක්‌ සේ අදත් සුදිලෙති. සම්භාව්‍ය භාෂා සාහිත්‍යයෙහි පාරප්‍රාප්ත වූ උන්වහන්සේගේ ලේඛනය ද භාෂණය ද ඖදාර්යෙන් සුඝටිතය. ස්‌වකීය වාගාඩම්බරයෙන් පරවාද ඛණ්‌ඩනයෙහි සුනිශිත වූ මහනාහිමියෝ දේශ දේශාන්තරයෙහිද සිය කිතුගොස විදහා දැක්‌වූහ. 

මහනාහිමියන්ගේ ප්‍රඥපාටවය විශද කරන්නා වූ ද ඥන ගාම්භීර්ය පළ කරන්නා වූද අපූර්ව නිර්මාණ ක්‍ෂේත්‍රයක්‌ ලෙස උන්වහන්සේ විසින් සුපුෂ්පිත කරන ලද චරිතාපදාන සාහිත්‍ය මෙරට සියලු සත්ජන ප්‍රසාදයට ද පැසසුමට ද පාත්‍ර වූවකි. සිංහල සම්භාව්‍ය සාහිත්‍ය සාගරයෙහි සිත් සේ කිමිද තෝරා බේරා ගත් වදන් මුතු නවමු අරුතින් ද ඔප කර සහෘද සිත් ප්‍රකම්පිත කරවන සුභාවිත ලකුණින් අපට පෑ රමණීය චරිත කතා මාලාව ම මහනාහිමියන්ගේ කවිත්වයට, පාණ්‌ඩිත්‍යයට සාක්‍ෂි වේ. විටෙක ඔදවත්ව තෙදවත්වද විටෙක සුලලිත සුමිහිරි සරින් ද ගලා හැලෙන ගඟුලක පරම ශාන්තිය ඒ චරිතාපදාන කියවූවෝ ඒකාන්තයෙන්ම ලැබූහ. හෙළ බසින් පෑ ඒ පෙළහර ගුරුළුගෝමී, විදුසක්‌විති, මයුරපාද, ධර්මසේන යනාදී හෙළ පඬිවරුන් පරපුරෙහි නූතන පිළිබිඹුව අපට සිහි නොකරත් ද?

ඉත්තෑපාන මහනාහිමියෝ මේ සා සුවිශිෂ්ට පඬිමිණිරුවනක්‌ සේ සුදිලෙන්නාහු උන්වහන්සේ ජන්මයෙන් ලද අභීත, උදාර චරිත ස්‌වභාවයත් සියුම් හා ගැඹුරු සමාජ විඥනයත් අසාමාන්‍ය මානව දයාවත් නිසා යෑයි මම සිතමි. පස්‌දුන් කෝරළයේ අගලවත්ත ප්‍රදේශයේ පවුල් දහයකට දොළහකට පමණ සීමා වූ කොටපාත නම් ගම්මණ්‌ඩියේ ගොවි පවුලක ජන්ම ලාභය ලබන කුඩා දරුවකුගේ දෛවය මෙබඳු හාස්‌කම්වලින් සපිරුණු බුද්ධ පුත්‍රයකුගේ විලාසයක්‌ දක්‌වතැයි කවුරු සිතුවෝද?

ඉත්තෑපාන ග්‍රාම නාමය ශාසනවංශයට එක්‌ කළ මහනාහිමියන් විසින්ම ස්‌වකීය උපන්ගම පිළිබඳව කරන ලද ධාරණාවන් මෙවේලෙහි මා හද පිබිදෙයි.

"අපේගම තමයි පස්‌දුන් කෝරළයේ අගලවත්තෙ මැතිවරණ කොට්‌ඨාසයට අයිති ඉත්තෑපාන, පොඩි ගම්මණ්‌ඩි 18 ක්‌ එකතුවෙලා හැදිල තියෙන්නේ. මං උපන්නෙ කොටපාත ගම්මණ්‌ඩියෙ ඒ කාලෙ පවුල් දහයකට දොළහකට වැඩිය තිබුණේ නෑ.

වපුරන්න බැරි කුඹුරු, වැඩිපුර ප්‍රයෝජනයක්‌ ගත්තෙ නැති ඉඩම්, ගංවතුර බහුල පොල් ඉඩම් බහුල ගමක්‌ තමා ඉත්තෑපාන. බෙන්තර ගඟේ අත්තක්‌ තිබුණා මී ගඟ කියල අපේ ගේ අද්දරින් වගෙයි ගලා ගියේ."

දෙවන ලෝක යුද්දයේ අඳුරු සෙවණැළි ද එකල ඉත්තෑපාන ගම්දොරටද වැටී නොතිබුණා නොවේ. එහෙත් එගම්වැසියෝ ඔවුනොවුන් කෙරෙහි බැඳෙමින් ද ගොවිතැනින් හා කුඹුරෙන් ද ගව සම්පත්වලින් ද පොහොසත් වූහ. එගම්වැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ ජී. ජී. අප්පුහාමි හා මීගහපොළ දොන් ලැයිසහාමි දම්පතීන්ට දෙවියන් විසින් දුන් පඬුරක්‌ ලෙසින් එක්‌ පිරිමි දරුවෙක්‌ ලැබිණි. සිය කුටුම්බයෙහි බඩපිස්‌සා බවට පත්වු ඒ දරුවාගේ ඉරණම් ගමනට සුපින්වත් මවුපියෝ ද අනුබල අනුග්‍රහ දක්‌වන්ට ම වූහ. "මපුතු බුදු සසුන බබළවාවා" යන උදාර ප්‍රාර්ථනයෙන් ප්‍රමුදිතව පියාණෝම ඔවුන් සුරතින් රැගෙන පන්සල් කරා පිය එසවූහයි අප මහනාහිමියෝම උදන් අනති.

"මං මහණ උනේ 1948 දී විතර. මාව එක්‌කරගෙන ආවෙ අපේ තාත්තයි අයියයි, ගමේ ඉඳල ඔරුවෙන් ඇවිල්ල අලුත්ගම ඉඳන් කෝච්චියෙ ඇවිත් මරදානෙන් බැහැල ආපහු බස්‌ එකේ පැලැන්වත්ත දිගන සිරි ධම්මකිත්ති මංගලාරාමයට ගියේ. මාව පන්සලට බාරදීල තාත්තයි, අයියයි යද්දි මට හරිම දුකක්‌ දැනුණා. හැබැයි ඒ කාලෙ මහණ වෙන දරුවන්ට ගම්වල තිබුණෙ විශාල ගෞරවයක්‌. ඒ පවුල් මහා පුන්‍යවන්ත පවුල් විදිහටයි සැලකුවෙ."

බුදුන් වහන්සේ විසින් පුත්‍ර ස්‌නේහය පිළිබඳව වදාළ සනාතන සත්‍යයේ ආලෝක ධාරාවන් මෙවේලේ මා හද තුළ නැඟෙයි. පුත්‍ර ස්‌නේහය සම්, මස්‌, නහර ඇට, ඇට මිදුලු සිඳ සදාකල් දුක්‌ දෙන බව ඒ බුදුවදන රමණීය කවි බසට පෙරලූ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ලියූහ. අප මහනාහිමියන්ගේ පියාණෝ ද පිතු සෙනෙහස මැඩ පෙරළා ගම බලා ගොස්‌ යළි සියලු දෙනාත් කැටුව 'අපි අපගේ පුතුන් සසුන් වැඩ පිණිස පිදුවෙමු'යි පින් අනුමෝදන්ව සාධුකාර දුන්නාහු නිසැකය. සැබැවින්ම උන්වහන්සේ සිය දෙමවුපියන් ප්‍රමුඛ ඥතිවර්ගයාටද සිය ජන්ම භූමිය වන ඉත්තෑපානට ද එමතු නොව අනේක ජනයන්ටද මහත් අර්ථ සිද්ධි ක්‍ෂාත් ක්‍ෂාත් කර දුන් විරල ගණයේ සංඝ පීතෘවරයකු බවට පත්ව සිටිති. ඉරපාන සේ ඔද ගුණයෙන් ද, සඳපාන සේ සොමි ගුණයෙන්ද වොරැඳි උතුම් නාමයක්‌ බවට ඉත්තෑපාන ග්‍රාම නාමය පත්ව නොතිබේද? ඒ නම දෙසවන් වැකෙන කල්හි මැවෙන අසිරිමත් බුද්ධ පුත්‍රයකුගේ විලාසය කෙබඳු ශාන්තියක්‌ ද?

අප මහ නාහිමියන්ට සිය ගුරුකුලය වූ විදුලකර තුළින් ශාස්‌ත්‍ර ධනයට අමතරව තවත් මහා ධනයක්‌ උරුම විය. ඒ වූ කලී ශ්‍රී ලාංකික ජාතිකත්වය මෙන්ම ඒ හා බැඳුණු සාඩම්බර උරුමයන් සුරැකීමේ අභීත ශක්‌තියයි. පෙර මහ යතිවර සම්ප්‍රදාය මත පිහිටා අපේ ජාතික උරුමය හා අභිමානය සුරැකීමේ අභිලාෂයන් උන්වහන්සේගේ හද තුළට කාවද්දන ලද්දේත් විද්‍යාලංකාර පරිශ්‍රය බව නිසැකය. 1956 වසරේ සිදුවූ සමාජ, සංස්‌කෘතික හා දේශපාලන පෙරළියට සක්‍රීයව දායකවූ අප මහනාහිමියෝ එකල භද්‍ර යෞවනයෙහි පසු වූ හිමිනමක්‌ වූහ.

යක්‌කඩුවේ නාහිමි, කිරිවත්තුඩුවේ නාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමි මෙන්ම බද්දේගම විමලවංශ හා කොටගම වාචිස්‌සර හිමිවරුන්ගේ ජාතිමාමක සටන් ඇසින් දැක එයින් ප්‍රමුදිතව ඒ මග ඔස්‌සේම ජාතික සටන්වලට යොමු වූ අප මහ නාහිමියෝ අද ශ්‍රී ලාංකික සමාජ දේශපාලනයේදී ප්‍රමුඛ හා ප්‍රබල චරිතයක්‌ බවට පත්ව සිටිති. උස්‌තැන් දැක හැකිලෙන මිටිතැන් දැක පුප්පන අනුකාරක නායකයන්ගේ දුගුණ නොඉවසන්නට තරම් ඉත්තෑපාන මහනාහිමියෝ අභීත වූහ. ජාතික විපත් දැක සලිතව නැඟී සිටි උන්වහන්සේ ජනතාවට සුමග දක්‌වාලූහ. එවන් ජාතිභ්‍රෂ්ටයන් සමඟ වාග් සංග්‍රාමයට ගොසින් ඔවුන් දුර්මුඛ කළහ. සිය ජීවිත අවදානම් පවා නොතකමින් සත්‍යය උදෙසාම කැපවූහ.

ජාතික සංවිධානවල ක්‍රියාකාරී ප්‍රමුඛ චරිතයක්‌ බවට පත්වූ ඉත්තෑපාන මහනාහිමියන්ගේ ජාතික මැදිහත්වීම් අරභයා මෙබඳු ලිපියකින් දැක්‌වීමට තැත් කිරීම පවා බොළඳ ක්‍රියාවකි. අනුවණ ප්‍රයත්නයකි. එසේ වුවද මෙවේලේ මා සිත නැගෙන එක්‌ ත්‍රාසජනක සිදුවීම් පෙළක්‌ වෙයි. ඒ සිංහල බල මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද රැස්‌වීමකදී මාදුළුවාවේ සෝභිත හිමියන්ට හා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට මැර ප්‍රහාරය එල්ල වෙද්දී අප මහනාහිමියන් ද ඒ සභාවේ මුලසුන හොබවමින් වැඩ සිටි සිද්ධියකි. එදින සබා මැද මැර ප්‍රහාරයන්ට නොබියව මුහුණ දෙමින් මහනාහිමියෝ සෝභිත හිමියන් සහ සරච්චන්ද්‍රයන් රැකගත් විලාසය එදා එහි සිටි සියල්ලන්ගේම ලොමු දැහැ ගැන්වූ අත්දැකීමක්‌ විය.

ශ්‍රී ලාංකික සමාජ, දේශපාලන සංස්‌කෘතික මෙන්ම ආර්ථික අර්බුද විසින් පීඩනයට පත් කරන ලද ජන ජීවිත සුත මුදිත කිරීමට මෙන්ම මෙම මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් කැප කිරීම් කළ බුදු පුතුන් වහන්සෛaලා අතර අප මහනාහිමියෝ මුලින්ම වැඩ සිටිති. ජන අරගල බල ගැන්වීමට උන්වහන්සේගෙන් ලැබුණු අනුබල බොහෝ විය. භික්‍ෂුව යනු සිංහයෙක්‌ මැයි යන බද්ධ වචනයට අප නාහිමියෝ පරමාදර්ශයක්‌ම වූහ.

ඉත්තෑපාන මහනාහිමියන්ගේ ධර්ම ශාස්‌ත්‍රීය මෙහෙවරද ජාතික සංස්‌කෘතික සේවාවන්ට ද අමතරව තවත් සේවාවක්‌ වෙයි. ඒ ආගමික සහජීවනය සඳහා වූ කැපවීමය. දෙමළ ඊළම් වාදය විසින් සිංහල ජනමනස තුළට කවන ලද දෙමළ විරෝධය මෙන්ම දෙමළ ජන මනසට කවන ලද සිංහල විරෝධය ද මුලිනුපුටා දමන තෙක්‌ මෙරටේ ජාතික සමගිය තහවුරු නොවන බවද මහනාහිමියෝ දක්‌වති. ජාතිවාදයේ ගිනි පුපුරු දල්වමින් රට අවුළුවන සිංහල - දෙමළ, මුස්‌ලිම් යනාදි සියලු නායකයන් මානව සංස්‌කෘතියට විපත් සාදන්නන් බව මහ නාහිමියන්ගේ අනුශාසනයයි.

ශ්‍රී ලංකාව තුළ සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමට මෙන්ම තම තමන්ගේ ආගමික සංස්‌කෘතික අභිලාෂයන්ට ගරු කරමින් ක්‍රියා කිරීමට ද අවකාශ තිබිය යුතු බව මහනාහිමියන්ගේ අවධාරණයයි. නූතන ශ්‍රී ලාංකික සමාජය මුහුණ දී සිටින ශාස්‌ත්‍ර පරිහානියද ජාතික සම්පත් හා පොදු දේපල විනාශය ද අනුකාරක පරපුටු දේශපාලනය ද පිළිබඳ උන්වහන්සේ සංවේගයට පත්ව සිටින බව ද මම ඉඳුරා දනිමි. මේ සියලු විපත් දුරලිය හැකි යහපත් දේශපාලන වෙන සක්‌ සියෑසින්ම දැකීමේ අපේක්‍ෂාවෙන් අද මහනාහිමියෝ වැඩ වසති. ඒ සමාජ ප්‍රතිසංස්‌කරණයට මැදිහත්වීම භික්‍ෂුවගේ ද කාර්යභාරයක්‌ බව නාහිමියෝ තිරසරව සඳහන් කරති.

ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමගී්‍ර ධර්ම මහ සංඝ සභාවේ මහනායක පදවියෙහි පිහිටුවාලමින් උන්වහන්සේට දක්‌වන ලද ගෞරවය, අභිමානය ඒ උතුම් ධුරය බැබලවීමක්‌ වැන්න. දැන් සඟ සසුනද විනාශ මුඛයට ඇද දමන ධර්මය විලෝපනය කරන සිවුරු දරා ගත් අල්පශ්‍රැත පිරිසක්‌ ද සිටින බව කියනු ඇසෙයි. එබඳු කසාවකණ්‌ඨකයන්ගෙන් සම්බුද්ධ ශාසනය බේරා ගැනීමේ බලය හා ශක්‌තිය ඇත්තේද අප මහනාහිමියන් වැනි උජුපටිපන්න සුපටිපන්න යතිවරුන් වහන්සේලාට පමණි. උන්වහන්සේගේ සියලු ජව, බල, බුද්ධි බල මහිමයෙන් සියල්ලන්ටම යහපත උදාවේවායි ද මම අප්‍රමාණ ගෞරව භක්‌ති පූර්වක නමස්‌කාරයෙන් මේ සටහන සමාප්ත කරමි. එලෙසම මගේ මේ දිළිඳු සංක්‍ෂිප්ත ප්‍රසංශනයඅප මහනාහිමියන්ගේ නිර්ව්‍යාජ ශාස්‌ත්‍ර මාමකත්වයටද ධර්ම ඥානයට ද අනූපම මානව දයාවට ද පිදෙන වනපස මලක්‌ මැයි.

- ගාමිණි සුමනසේකර
http://www.divaina.com/2015/03/01/feature08.html

0 comments: