Pages

Monday, March 2, 2015

කසළ සම්පතක් කර ගැනීම

කසළ යනු අපට අනවශ්‍ය ලෙස සලකා බැහැර කරනු ලබන දේවල්ය. නමුත් මෙහිදී සැලකිය යුතු කරුණක්‌ වනුයේ අපට ප්‍රයෝජනවත් නැති දෙයක්‌ වෙනත් අයකුට ප්‍රයෝජනවත් විය හැකි වීමයි. ඒ අනුව එක්‌ පුද්ගලයකුගේ කසළ තවත් පුද්ගලයකුට සම්පතකි. එහෙයින් අපට අනවශ්‍ය සියල්ල කසළ ලෙස ඉවත නොදැමිය යුතුය.

කසළ සම්පත් බවට පත්කර ගැනීම අපේ නිවස තුළින්ම හෝ වැඩකරන ස්‌ථානය තුළින් ආරම්භ කළ හැකි වේ. එහිදී වැදගත් වනුයේ ඒවායේ ස්‌වභාවය අනුව කසළ විවිධාකාරයෙන් වෙන්කිරීමයි. මූලික වශයෙන් එම වෙන් කිරීම දිරන කසළ හා නොදිරන කසළ ලෙස කළ හැකි වේ. එය කසළ වෙන් කිරීමේ පහසුම ක්‍රමයයි. අපගේ මුළුතැන්ගෙයින් බොහෝ විට බැහැර කරන කසළ දිරන කසළ ඝනයට අයත්ය. නොදිරන ඝනයට කඩදාසි, ප්ලාස්‌ටික්‌, පොලිතීන් ආදී සියල්ල ඇතුළත් වේ. ගෘහීය මට්‌ටමින් වැඩිපුර දැකිය හැකි වන්නේ දිරාපත් වන කසළය.

අපගේ මුළුතැන්ගෙය තුළ බඳුන් දෙකක්‌ තබා ගැනීමෙන් මේ වෙන් කිරීම පහසුවෙන් කළ හැකි වේ. දිරන කසළ නිවාස තුළින් දිනපතා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනුයේ එහි දුර්ගන්ධය, කෘමි සතුන් එකතු වීම ආදී හේතූන් නිසාය. මෙහිදී එය ක්‍රම දෙකකට ඉවත් කළ හැකි වේ. එහි ප්‍රයෝජනවත්ම ක්‍රමය වනුයේ, නිවස තුළම කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනයට එය යොදා ගැනීමයි. පෙරදී අප රටේ ප්‍රචලිත කොම්පෝස්‌ට්‌ නිෂ්පාදන ක්‍රමයක්‌ වූයේ "වළ" ක්‍රමයයි. එහිදී නිවසට නුදුරින් කපාගත් වළකට දිරන කසළ ගෙන ගොස්‌ දමා ඒවා දිරාපත් වූ පසු වගාවන්ට යොදා ගැනිණි. වැඩි ඉඩකඩ ඇති ග්‍රාමීය ප්‍රදේශවල අදටත් මෙම ක්‍රමය පවතී. නමුත් නාගරික වැසියන්ට පවත්නා ප්‍රායෝගික ගැටලු හේතුවෙන් ඔවුන් අතර මේ ක්‍රමය ජනප්‍රිය නැත. අද බොහෝ නාගරික නිවාස ඉදිවී ඇත්තේ පර්චස්‌ 7 ක්‌ 8 ක්‌ හෝ එයට අඩු ඉඩමක්‌ තුළ වන අතර කුණු වළක්‌ කපා ගැනීමට ඉඩකඩ නොමැත. ඒ හා සමඟම ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල තට්‌ටු නිවාස ක්‍රමයද අද ප්‍රචලිත වෙමින් පවතී.

මෙම ගැටලුවට අද විසඳුම් දෙකක්‌ එම පළාත පාලනය කරනු ලබන මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා විසින් ලබා දී ඇත. මින් පළමුවැන්න වනුයේ සතියේ නියමිත දින හා වේලාවන් තුළදී මෙම කසළ එකතු කිරීමයි. පළාත් සභාවන් සිය පුරවරය සෞඛ්‍යාරක්‍ෂිතව තබා ගැනීම සඳහා මෙම ක්‍රමය අනුගමනය කරති. මෙහිදී කසළ වෙන්කර ලබාදීම තුළින් ඔවුන්ගේ කාර්යය පහසු කළ හැකිය. එසේම දිරන කසළ භාවිත කරමින් කොම්පෝස්‌ට්‌ අංගන පවත්වාගෙන යනු ලබන පළාත් පාලන ආයතන බොහොමයක්‌ ශ්‍රී ලංකාව තුළ අද දක්‌නට ලැබේ. එම ස්‌ථාන තුළින් අපට අවශ්‍ය කාබනික පොහොර පහසු මිලකට ලබාගත හැකිය.

මින් දෙවැන්න වනුයේ පළාත් පාලන ආයතන මගින් සහන මිලකට කොම්පෝස්‌ට්‌ බඳුන් ලබාදීම සහ කොම්පෝස්‌ට්‌ සකස්‌කර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස්‌ දීමයි. මේ හැරෙන්නට එම පහසුකම නොලැබෙන්නට වෙළෙඳසල්වලින්ද එම බඳුන් මිලදී ගැනීමේ හැකියාව අද පවතී. මෙහි දී ගෘහීය ලෙස කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කරගත හැකිනම් එහි වාසි බොහෝය. අප නිවසේ අලංකාරය සඳහා වවනු ලබන මල් පැළවලට හෝ කුඩා වගාවන්ට නොමිලයේම පොහොර ලබාගත හැකිවීම මින් ලැබෙන එක්‌ වාසියකි. විශේෂයෙන්ම මෙම කොම්පෝස්‌ට්‌ පොහොර වගාවන්ට යෙදීම සෞඛ්‍යයට බෙහෙවින් හිතකර වේ. වසවිස නැති එළවළුවක්‌ අපගේ එදිනෙදා ආහාරයට එක්‌කර ගත හැකිනම් එය කෙතරම් අගනේද? කෙසේ නමුත් මෙලෙසින් දිරන කසළ අප නිවස තුළදීම සම්පත් බවට පත්කර ගැනීම අපහසු කාර්යයක්‌ නොවේ.

නොදිරන කසළ පිළිබඳ සලකා බැලීමේ දී ගෘහීය මට්‌ටමින් එකතුවන ප්‍රමාණය දිරන කසළ හා සාපේක්‍ෂව අඩු අතර ඒවා එක්‌ රොක්‌ කර තබාගැනීම දුෂ්කර නැත. නොදිරන කසළ බඳුන පිරුණු පසු අපට එයද පහසුවෙන් වර්ග කරගත හැකිය. කඩදාසි. පත්තර, ප්ලාස්‌ටික්‌, වීදුරු, ලෝහ, විද්යුත් අපද්‍රව්‍ය (පිළිස්‌සුණු බල්බ, පරිහානික කොටස්‌, බැටරි පාවිච්චි කළ නොහැකි විදුලි උපකරණ) දිරීමට දිගුකලක්‌ ගන්නා පොල්කටු, පැරණි රෙදි ආදී ලෙස මේවා වර්ග කර අලෙවි කළ හැකිය. බොහෝ විට පත්තර, වීදුරු ආදිය මිලයට ගැනීම සඳහා ඔබේ නිවසටම කුඩා පරිමාණයේ වෙළෙඳුන් පැමිණෙනු ඇත. ඒවා ඔවුන්ට ලබාදීම තුළින් ඔබට අමතර ආදායමක්‌ මෙන්ම ඔබේ නිවසේ ඉඩ ඇහිරීම අඩුකර නිවස පිරිසිදුව තබා ගත හැකිය. අප සමාජයේ බොහෝ දෙනෙක්‌ මෙවැනි බඩු කිසිවක්‌ ඉවතට නොදමා කාමර පුරවා ගොඩ ගසාගෙන සිටිනු මා කොතෙකුත් දැක ඇත. ගබඩා කාමර පිරීගිය පසු, ඇඳයට අල්මාරිය උඩ මෙන්ම සිය වාහනය ගාල්කර තබන ගරාජය තුළත් ඔවුන් මෙම ද්‍රව්‍ය ගොඩ ගසා සිටිනුයේ කෘමි සතුන් කෙරේ අනුකම්පාවෙන් දැයි සිතේ. එසේනම් දැන් එම යුගය අවසන් කිරීමේ කාලය පැමිණ තිබෙන බවත් එයින් අමතර ආදායමක්‌ මෙන්ම නිවසට පිරිසිදු බවක්‌ ද ලබාදෙන බවත් මතක්‌කර ගත යුතු වේ.

වර්තමානය වන විට බොහෝ පළාත් පාලන ආයතන නොදිරන කසළ මිලදී ගැනීම සඳහා විශේෂිත ස්‌ථාන සිය ප්‍රදේශ තුළ පිහිටුවා තිබේ. "සම්පත් පියස" එවැන්නකි. වීදුරු කටුවේ සිට පොල්කටුව දක්‌වා වූ අපද්‍රව්‍ය එම ආයතනවලින් අද මිලදී ගනී. විශේෂයෙන් පසුගිය වකවානුව තුළ ප්‍රබල ගැටලුවක්‌ වූ ප්ලාස්‌ටික්‌ වතුර බෝතල් පවා එම ආයතන දැන් මිලට ගනු ලැබේ. නිදසුන් ලෙස මහනුවර නගර සභාව විසින් පිහිටුවා ඇති සම්පත් පියස දැක්‌විය හැකිය. එසේ මිලදී ගත් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ සඳහා යොමු කරවීමට අද බොහෝ පළාත් සභා කටයුතු කරයි. එසේ මිලට ගනු ලබන දේවල් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ආයතන රාශියක්‌ අද ශ්‍රී ලංකාව තුළ දැකිය හැකිවීමත් නව ප්‍රවණතාවයකි.

සමහර පුද්ගලයන්ට අදහසට අනුව මේවා නිවසේ දී විකිණීම හෝ විකිණීමට ගෙනයැම සිය සමාජ තත්ත්වයට නොගැලපෙන ලැඡ්ජා සහගත දෙයක්‌ ලෙස සැලකේ. නමුත් ඔවුන් ලැඡ්ජාවිය යුත්තේ මේවා නොවිකුණා කුණු භාජන තුළට දැමීම තුළින් අප පරිසරයට කරනු ලබන හානිය පිළිබඳවයි. එයින් පළමුව මෙවැනි පුහු ආකල්ප අප වෙනස්‌කර ගත යුතුය. විශේෂයෙන් නිවෙස්‌ වල සිටින දරුවන් මේ කාර්යය සඳහා පහසුවෙන් සහභාගි කරගත හැක. එලෙස නොදිරන අපද්‍රව්‍ය එක්‌ රොක්‌ කිරීමට ඔවුන් පොළඹවා ඉන් ලබන ආදායම දරුවන්ගේ කැටවලට එකතු කළ හැකිය. නොඑසේ නම් ඔවුන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට ඒවා යෙදවිය හැකිය. මේ තුළින් මෙම කාර්යය සඳහා ඔවුන් උනන්දු කළ හැකිය. ඔබ නිවසේ අත්උදව්වට සේවිකාවක්‌ හෝ සේවකයකු ඇත්නම් මෙලෙස කසළ වෙන්කර අමතර ආදායමක්‌ ලබාගැනීමට ඔවුන් නැඹුරු කිරීමද තවත් කළ හැකි දෙයකි.

අදවන විට බොහෝ පළාත් පාලන ආයතන කසළ සම්පත් බවට හැරවීමට මෙන්ම කසළ කළමනාකරණ කාර්යය සඳහාද දැඩි වෙහෙසක්‌ දරමින් සිටී. විවිධ අපද්‍රව්‍ය සඳහා විවිධ වර්ණ මලු හෝ බහාලුම් ලබාදීම, නියමිත දිනට පැමිණ ඒවා එකතු කර ගෙන යැම, ප්‍රජාව මේ පිළිබඳ දැනුවත් කිරීම, පාසල් දරුවන් සඳහා වැඩසටහන් පැවැත්වීම, ආදිය මින් සමහරකි. සමහර පළාත් පාලන ආයතන වෙන් නොකරන අපද්‍රව්‍ය එකතු කිරීම ප්‍රතික්‍ෂේප කරන අතර කසළ මඟ දමායන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පවා කටයුතු කරති. එසේම අධික ලෙස කසළ උත්පාදනය කරන වාණිජ අංශවලින් "කසළ ගාස්‌තු" අයකිරීමද කරති. මහනුවර මහ නගර සභාව දැනටමත් මෙම නීති ක්‍රියාත්මක කරමින් සිය කසළ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුකරගෙන ඇත.

නාගරීකරණය, තාක්‍ෂණ දියුණුව, කර්මාන්ත ශාලා වැඩිවීම, යටිතල පහසුකම් වැඩිදියුණු වීම මෙන්ම ජනගහනයේ ශීඝ්‍ර වර්ධනය සමඟ කසළ ප්‍රමාණය වැඩි වීම වැළැක්‌විය නොහැක. එහිදී අවශ්‍ය ඒවා උත්පාදනයේ සිට අවසාන බැහැර කිරීම දක්‌වා වූ ක්‍රියාවලිය, පරිසර හිතකාමී ලෙස කිරීමය. මෙහිදී බොහෝ රටවල වැඩි අවධානය යොමුකර ඇත්තේ කසළ අවම කිරීම කෙරෙහිය. මේ සඳහා කසළ වෙන්කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඉන්පසු දිරන කසළ කොම්පෝසට්‌ නිෂ්පාදනයටත්, නොදිරන කසළ බොහොමයක්‌ ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් යොදා ගැනීම තුළින් කසළ ප්‍රමාණය අඩුකරගත හැකි වේ.

විශේෂයෙන් අප රටේ පවත්නා ප්‍රබල ප්‍රශ්නයක්‌ වනුයේ කසළ අවසාන ලෙස බැහැර කිරීමට සුදුසු ස්‌ථාන නොතිබීමයි. බොහෝ විට විවෘත හිස්‌ භූමිවලට හෝ පාරිසරික ලෙස සංවේදී ස්‌ථානවල එනම් ගං ඉවුරු වලට යනාදියට මෙම බැහැර කිරීම සිදු කෙරේ. මින් සිදුවන පාරිසරික විනාශය අතිමහත් වන අතර එය නොයෙකුත් සෞඛ්‍ය ප්‍රශ්නවලට මෙන්ම සමාජ ප්‍රශ්නවලටද මුල්වේ. මේ හේතුවෙන් බොහෝ කසළ බැහැර කරන ස්‌ථානවලට විරුද්ධව ප්‍රදේශයේ ජනතාව විසින් නඩු පවරා තිබීම දැකිය හැකිය. අද වන විට කසළ බැහැර කරන ස්‌ථාන ආසන්නයේ ඉඩම් මිල පවා පහත බැස තිබේ. ඒ හැරෙන්නට බොහෝ විට එම කුණු බැහැර කරන ස්‌ථානවලට ආසන්නව ජීවත්වන පුද්ගලයන් ඒ බව අන් අයට කීමට පවා මැලි වේ. එවැනි ගම්වල නම කියන විට බොහෝ පුද්ගලයන්ට සිහියට නැඟෙනුයේ "කුණු ගොඩක" දර්ශනයකි. මේ අනුව මෙම කසළ ප්‍රශ්නය සඳහා සියල්ලන්ට එක්‌ව විසඳුමක්‌ නොඑසේනම් කසළ නිසි ලෙස කළමනාකරණයන් නොකළහොත් අනාගතයේ මෙම ගැටලු තවත් තීව්‍ර විය හැකිය.

මේ සඳහා රටවැසියන් වන අපට විශාල කාර්යභාරයක්‌ කළ හැකිවාක්‌ මෙන්ම කළ යුතු ද වේ. මන්ද කසළ උත්පාදනය කරන්නන් වනුයේ ද අපම නිසාය. මේ හා සමඟම පළත් පාලන ආයතනද මේ සඳහා වැඩි අවධානයක්‌ යොමු කිරීමේ අවශ්‍යතාව පවතී. බොහෝ පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වෙන්වූ ඒකකයක්‌ හෝ නොපැවතීම කනගාටුවට කරුණකි. එය සෞඛ්‍ය අංශය යටතේ සිදු කෙරෙන එක්‌ කාර්යයක්‌ ලෙස පමණක්‌ දැකිය හැකි වේ. 

ආචාර්ය මල්ලිකා පින්නවල - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
http://www.divaina.com/2015/03/02/feature01.html

0 comments: