Pages

Monday, March 16, 2015

තරුවක්‌ වටා පළඳන තරු පහ... ෆීල්ඩ් මාර්ෂල්, මාර්ෂල් ඔෆ් ද ෆිලීට්‌, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස්‌

උගන්ඩාවේ තෙවැනි ජනාධිපති ඉඩි අමීන් තමා වෙත ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබාගත් ආකාරය පිළිබඳව රසවත් කතාන්දරයක්‌ තිබේ. ෆීල්ඩ් මාර්ෂල්වරයකු වීම සඳහා, සැපිරිය යුතු හමුදා නිර්ණායක නොමැති තත්ත්වයක්‌ තුළ අමීන් සිය ආශාව අත්නොහළේය. නිර්ණායක සපුරා ගැනීම පසෙක තබා, වාත්තුකරුවකු කැඳවූ ඒකාධිපති නායකයා ඔහු ලවා තම උරහිස්‌ පළඳනාව සඳහා තව තරුවක්‌ සාදවා ගත්තේය. හමුදාවේ ඉහළම තනතුර සඳහා අමීන් එලෙස හිමිකම් පැවද ඔහුට එරෙහිව යන්නට උගන්ඩාව තුළ කිසිවකු සිටියේ නැත. හමුදා ක්‌ෂේත්‍රයේදී වංගු දමා කවුරුන් හෝ පදක්‌කම් පළඳනා ගසා ගතහොත් ඉඩි අමීන්ගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය වගේ යන්න මේ නිසා අදටත් භාවිත වේ. 

ෆීල්ඩ් මාර්ෂල් කතාවක්‌ මෑතකදී පැතිරී යන්නට පටන් ගත්තේ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා වෙත එම නිලය පිරිනමන්නට වත්මන් ආණ්‌ඩුව කටයුතු යොදන බව සැළවීමත් සමගය. ශ්‍රී ලංකා යුද හමුදාවේ දහ අටවැනි යුද හමුදාපති ලෙස පත්වූ සරත් ෆොන්සේකා, යුද ජයග්‍රහණය සඳහා යුද හමුදාවට නායකත්වය දෙන අතරේම දේශපාලනය සඳහා ඔහු පිවිසීමත් සමග අලුත් තත්ත්වයන් මතු වන්නට විය. හමුදාවේ සිටියදී දේශපාලනය කිරීම ඇතුළු චෝදනා ගණනාවකට ඔහු, යුද්ධාධිකරණයෙන් මෙන්ම මහාධිකරණයෙන් ද වරදකරු බවට පත් විය. එහි ප්‍රතිඵලය වූවේ විශ්‍රාම වැටුප ඇතුළුව, දරන ලද සියලු පදක්‌කම් ඔහුට අහිමි වීමය. යහපාලන ආණ්‌ඩුව බලයට පත්වීමත් සමග, සරත් ෆොන්සේකාටද අවස්‌ථාවක්‌ උදා විය. තමන් ද "මල් වට්‌ටියට" අත ගැසූ නිසා, තමන්ට අහිමි වී ගිය සියල්ල අලුත් ආණ්‌ඩුවෙන් ලබා ගන්නට සරත් ෆොන්සේකා වෙත මඟ පෑදුණේය. යුද හමුදාපති නාමාවලියෙන් පවා විසි වී සිටි ෆොන්සේකා, ජෙනරාල් තනතුරට පත්වූයේ විශේෂ ජනාධිපති සමාවකට භාජන කරමිනි. මේ වනවිට ජෙනරාල් ෆොන්සේකාගේ ඉල්ලීම වී ඇත්තේ තමන් වෙත ෆීල්ඩ් මාර්ෂල් ධුරයක්‌ ලබා දෙන ලෙසය. ඒ ලබාදීම තරු පහකට සීමා නොකර, අමතර වරප්‍රසාද ගණනාවකට ලක්‌කරන ලෙසද ඔහු විසින් ඉල්ලා ඇතයි වාර්තා වේ.

නිලධාරීන් පහක්‌ සමග එකසිය පනහක හමුදා බලඇණියක්‌, ජීවිතාන්තය දක්‌වා හිමි වන හා ඔහුගේ ඇවෑමෙන් භාර්යවට හිමි වන පරිදි නිල නිවසක්‌, කැබිනට්‌ ඇමැති ධුරයට සිය ධුරය සමාන කිරීම මෙහිදී ඔහුගේ ප්‍රමුඛ ඉල්ලීම් වී තිබේ. යළිත් සක්‍රීය සේවයට පත්වීම, ජීවිතාන්තය දක්‌වා ලබාදෙන කාර්යාලයක්‌ සේම මරණයේදී වෙඩි විසි එකක සම්මාන අචාර මුරයක්‌ සහිත රාජ්‍ය ගෞරව ලබා දීමද ඒ අතර වේ. මෙයින් ලැබෙන්නේ කුමන ඒවා දැයි තවම සඳහන වී නැතත් ජෙනරාල් සරත් ෆොන්සේකා ලබන විසි දෙවැනිදා සිට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලබාදීමට යන බව සැළවීමත් සමග එල්. ටී. ටී. ඊ. ය. පරාජය කිරීමේ සටනේදී නාවික සහ ගුවන් හමුදාවට නායකත්වය ලබාදුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ද තමන් වෙත ඊට සමාන තත්ත්වයේ තම හමුදා ක්‌ෂේත්‍ර වලදී ලබාදෙන අද්මිරාල් ඔෆ් ද ෆිලිට්‌ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස්‌ යන තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබුණි. එම ඉල්ලීම් පසෙකට දමා යහපාලනයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙස සරත් ෆොන්සේකාට පමණක්‌ තරු පහේ තනතුර පිරිනැමීමට රජය තීරණය කර තිබේ. 

අසූව දශකයේ මුල් භාගයේ සිට සියලුම හමුදාපතිවරුන් සමාන තරු තත්ත්වයන් යටතේ පිහිටුවනු ලැබීය. තරු තුනේ නිලධාරින් ලෙස, යුද හමුදාපතිවරයා ලුතිනන් ජෙනරාල් ලෙස ද නාවික හමුදාපතිවරයා වයිස්‌ අද්මිරාල් සහ ගුවන් හමුදාපතිවරයා එයාර් චීෆ් මාර්ෂල් ලෙසද පත් කරනු ලැබීය. මෙය එක්‌තරා ආකාරයකින් රාජ්‍ය සේවාවේ සමාන්තර ශේ්‍රණි ක්‍රමය අනුගමනය කිරීමක්‌ වූ අතර අනෙක්‌ අතට සියලුම හමුදා සඳහා සමාන තත්ත්වයක්‌ ලබා දීමක්‌ ද විය. එය රාජ්‍යයේ ආරක්‌ෂක බල තුලනය සඳහාද වක්‍ර සේවයක්‌ විය. එක්‌ හමුදාපතිවරයෙක්‌ බලවත් වීම තුල අනෙක්‌ හමුදාපති වරුන්ටද අණ දිය හැකි තත්ත්වයකට පත්වුවහොත් හමුදා කුමන්ත්‍රණ සඳහා පහසු ඉඩක්‌ ලැබෙන්නට තිබිණි. විශේෂයෙන්ම යුද හමුදාපතිවරයා අනෙක්‌ හමුදාපතිවරුන්ට ඉහළින් සිටීම, රාජ්‍යයේ ආරක්‌ෂාව එක්‌ මිලිටරි නායකයකු යටතේ හැසිරවීමකට අවස්‌ථාවක්‌ ලබාදෙන්නක්‌ බවට පත්වන්නට තිබිණි. එවැනි බලවත් භාවයක්‌ "අහිංසකයෙකු වුවද පහසුවෙන් අංගුලිමාල කෙනෙකු බවට" පත්කරන්නට ඉඩ තිබුණි. මේ නිසා සියලුම හමුදාපතිවරුන් සම තනතුරුධාරීන් බවට පත් කිරීම සැම අතින්ම ගත්විට වැදගත්භාවයක්‌ ඉසිලීය. යුද ජයග්‍රහණයෙන් පසු දා, 

2009 වසරේ මැයි 19 දා, ජයග්‍රහනය සඳහා හමුදා නායකත්වය ලබා දුන් සියලුම හමුදාපතිවරු, සක්‍රීය තත්ත්වයේ තරු හතරේ නිලධාරීන් බවට පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ සක්‍රීය තරු හතරේ නිලධාරීන් බවට සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ සහ රොෂාන් ගුණතිලක පත්වන්නේ ඒ අනුවය. මීට පෙර තරු හතරේ නිලධාරී වූවේ, එක්‌කෝ සේවයෙන් විශ්‍රාම ලබන දිනට පෙරදා මධ්‍යම රාත්‍රියේ සිට එම හමුදාපතිවරයා, තරු හතරේ නිලධාරියකු බවට ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙනි. සේවයේදී දිවි පිදීම නිසා ද තරු හතරේ නිලය ලැබුණු අවස්‌ථා විය. අද්මිරාල් ක්‌ලැන්සි ප්‍රනාන්දු වෙත තරු හතර ලැබෙන්නේ එසේය. දේශපාලන චරිතයක්‌ වූ ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, එල්. ටී. ටී. ඊ. ප්‍රහාරයකින් මිය ගිය රන්ජන් විඡේරත්න වෙත ජෙනරාල් තනතුරක්‌ ලැබෙන්නේ ද සේවා උපහාරයක්‌ ලෙස මියගිය පසුවය. 

තරු හතරේ සක්‍රීය හෝ අක්‍රිය හමුදා නිලධාරීන් ශ්‍රී ලංකාව තුල සිටියද තරු පහේ කිසිදු නිලධාරියෙකු ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ බිහිවුයේ නැත. යුද ජයග්‍රහණයෙන් පසු, තරු පහ දක්‌වා හමුදාපතිවරුන්ට ලබා දෙන ලෙස ඉල්ලීම් ලැබෙන්නට විය. මෙහි පළමු අවස්‌ථාවේදී යුද හමුදාපති ලෙස සේවය කළ සරත් ෆොන්සේකා මහතා, ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපතිධුරයට පත් විය. ලහි ලහියේ මෙම පත් කිරීම සිදු කෙරෙන්නේ, සරත් ෆොන්සේකා සම්බන්ධ ප්‍රශ්නයක්‌, රාජපක්‌ෂ ආණ්‌ඩුවට පැන නැගීම නිසාය. සරත් වෙත ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති තනතුර ලබා දෙන විට,වසන්ත කරන්නාගොඩ සම්බන්ධ ප්‍රශ්නයක්‌ මතුවී තිබුණි. වසන්ත, නාවික හමුදාපතිධුරයට පත්වුයේ සරත් ෆොන්සේකා යුද හමුදාපති ධුරයට පත් වීමට තුන් මසකට පෙරය. මේ නිසා ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් ඡේෂ්ඨත්වය උසුලන ලද්දේ නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩය. අද්මිරාල් කරන්නාගොඩ විශ්‍රාම ගැනීමට තිබුනේද නොවැම්බර් මස විසි දෙවෙනිදා ය. එසේ තිබියදී වසන්තට ඉහළ තනතුරකට සරත් පත් කිරීම අහිතකර තත්ත්වයක්‌ ඇතිකරන බැවින්, එය සමනය කිරීම උදෙසා වසන්ත වෙත ජාතික ආරක්‌ෂක උපදේශක හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් තනතුර පිරිනැමීමට, රාජපක්‌ෂ ආණ්‌ඩුව කටයුතු කළේය. රාජ්‍ය තනතුරු ධුරාවලියේදී ලේකම්ධුරය පිහිටා තිබුණේ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුරට ඉහළින්ය. මේ නිසා වසන්ත සරත්ට වඩා ඡේෂ්ඨ වීමේ ප්‍රශ්නයට හොද විසදුමක්‌ ලැබුණේය. ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකටද තරු හතර ලැබුණු මුත් ජෙනරාල් සරත් ෆොන්සේකා සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අතර තිබු, රටම දන්නා මතබේදාත්මක තත්ත්වය නිසා තනතුරු ලබාදීමේදී නිරන්තරයෙන් මාධ්‍ය පවා විමසිලිමත් වුයේ,වසන්ත සහ සරත් පිළිබදවය. 

යුද ජයග්‍රහණයේදී හමුදාවන්ට නායකත්වය දුන් තිදෙනා විශ්‍රාම යන විටදී ඔවුන් හට තරු පහේ තනතුරු ලබාදීමට ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ විසින් සැලසුම් සකස්‌ කර තිබුණත් එය ක්‍රියාවට නංවන්නට නොහැකි වූයේ සරත් ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමග තත්ත්වය වෙනතකට හැරීම නිසාය. 

යුද ජයග්‍රහණයන්ගෙන් පසුව තරු මගින් සේනාධිනායකයන් වෙත උපහාර පිදීම ලෝක හමුදා ඉතිහාසය පුරාම දක්‌නට තිබේ. යුද සමයන්හිදී දිරි ගැන්වීම සඳහාද මෙසේ තරු ගණන වැඩි කරන අයුරු දක්‌නට ලැබේ. තරු පහ ලබාදෙමින් හමුදා නායකයන් දිරි ගැන්වූ අවස්‌ථාවක්‌ ලෝක හමුදා ඉතිහාසයේදී ප්‍රසිද්ධ වී තිබේ. ඇමරිකානු හමුදා නිලධාරීන් නව දෙනෙකුට තරු පහ ලබාදෙනු ලැබීය. තරු පහේ ජෙනරාල්වරු ලෙස ඔවුන් හඳුන්වනු ලැබීය. යුද හමුදාව සඳහා තරු පහ පිරිනැමුණේ ජෝර්ඡ් සී. මාර්ෂල්,ඩග්ලස්‌ මැකාර්ති, ඩොවයිඩ් ඩී. අයිසන්හවර් සහ ඕමාර් එන්. බ්‍රැඩ්ලී වෙතය. නාවික හමුදාවෙන් තරු පහේ අද්මිරාල්වරුන් බවට පත්වූයේ විලියම් ඩී. ලිහී,අර්නස්‌ ඡේ. කිංග්, චෙස්‌ටර් ඩබ්ලිව්. නිම්ට්‌ස්‌ සහ විලියම් එස්‌. හෙල්සි යන සිව් දෙනාය. එකල ඇමරිකානු ගුවන් හමුදාව පැවතියේද යුද හමුදාව යටතේ වීම නිසා තරු පහේ ජෙනරාල්වරයෙක්‌ බවට ගුවන් හමුදාවෙන් පත් වූයේ හෙන්රි අර්නෝල්ඩ් ය. 

මෙම පරමාදර්ශයන් අනුව යමින් හමුදාපතිවරුන්ට තරු පහ ලබාදීම සුබවාදී ලෙස දැකිය හැකි වුවද එය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ලබා දීම තුළ ලබාදෙන්නාට සේම ලබාගන්නාට ද තරු පහට අමතරව අපකීර්තිමත්භාවයක්‌ උරුම කරගත හැකිය. සරත් ෆොන්සේකාට එරෙහිව රාජපක්‌ෂ ආණ්‌ඩුව ක්‍රියා මාර්ග ගනිද්දී, එය හමුදාව දේශපාලනීකරණය කිරීමක්‌ ලෙස දුටු පිරිසම, තමන් අතේ හැන්ද තිබෙන අවස්‌ථාවේදී පංගුව බෙදන්නේ ද දේශපාලනය දෙස බලාගෙන නම්, ඔවුන් කරන්නේද තමන් එදා විවේචනය කළ පිළිවෙතේම යැමය. 

සරත් ෆොන්සේකා වෙත තරු පහ ලබාදීම කේවල ලෙස සිදුකළ යුත්තක්‌ නොවේ. මුහුදින් සහ අහසින් ද ඒ සඳහා දායක වූ පිරිසක්‌ සිටියෝය. විශේෂයෙන්ම නාවික හමුදාව එහිදී කරන ලද කාර්යභාරය අතිශයින්ම තීරණාත්මක විය. ඔස්‌ටේ්‍රලියානු සහ මැලේසියානු සමුද්‍රයන් දක්‌වා යමින් එල්. ටී. ටී. ඊ. යේ පාවෙන අවි ගබඩා අටක්‌ විනාශ කිරීම ද ත්‍රස්‌තවාදයට පරාජය උරුම කරදීම සඳහා තීරණාත්මක කාර්යයක්‌ ඉටු කළේය. ඉලක්‌කගත වෙමින්, පාබල හමුදාවට පෙර ගමන් යමින්, ගුවන් හමුදාව විසින් කරන ලද කාර්යය, යුද හමුදාවට සිය කර්තව්‍යය සඳහා පහසු කාර්යයක්‌ වුවාසේම, සංග්‍රාම භූමියට ඉහළින් පියාසර කරන ප්‍රහාරක යානා, ත්‍රස්‌තවාදීන් බියෙන් ත්‍රස්‌ත කරවන්නට සමත් විය. මේ කාර්යයන් සඳහා නායකත්වය ලබා දුන් නාවික හමුදාපතිට සහ ගුවන් හමුදාපතිට ද යුද හමුදාපතිට පිරිනැමෙන සියලු ගෞරව ලබාදීම වැදගත්වන්නේ, එය පුද්ගලික ලෙස වීරෝදාර නායකයන්ට ලබාදෙන්නක්‌ වනවාට අමතරව සමස්‌ත සේවාවටම උපහාරයක්‌ වන බැවිනි. 

යුද සමයේ සිටම විශ්‍රාම යන සියලු හමුදාපතිවරුන් තරු හතරෙන් පිදුම් ලැබීම නිසා යුද ජයග්‍රහණය සඳහා නායකත්වය දුන් හමුදාපතිවරුන්ටද සිදු වුයේ, සෙස්‌සන් හා සම වීමටය. ඔවුන් සඳහා කරන විශේෂ සැලකීමක්‌ ලෙස තරු පහ ලබාදීම සුබවාදී ක්‍රියාවක්‌ වුවත්, එතැනදී පංගුපේරුව බලන්නට යන්නේනම් සිදු වන්නේ, දුන් දේ සහ ගත් දේ ගඳ තත්ත්වයට පත්වීමය. යහපාලනය මේකද. . . යනුවෙන් ආණ්‌ඩුවේ වැරදි ක්‍රියා ගැන ජනතාව අසන තවත් ප්‍රශ්නයක්‌ බවට තරු පහ පත් නොවීමට නම් ෆීල්ඩ් මාර්ෂල් ධුරයට සරත් ෆොන්සේකා පත්කරන අතරේම මාර්ෂල් ඔෆ් ද ෆිලීට්‌ ධුරය වසන්ත කරන්නාගොඩටත් මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස්‌ ධුරය රොෂාන් ගුණතිලකටත් ලබා දීමෙන් දේශපාලන පන්දමක්‌ හෝ ෂේප් කර ගැනීම සඳහා දෙන දෙයකට වැඩි යමක්‌ බවට තරු පහ පත් කර ගැනීමට හැකිවනු ඇත. 

මනෝඡ් අබයදීර
http://www.divaina.com/2015/03/15/feature18.html

0 comments: