Pages

Friday, March 27, 2015

යළි ඉතිහාසය ඉගැන්වීම - නිවැරදි පෙළ පොත් සම්පාදනයක අවශ්‍යතාව

තම රටේ ඉතිහාසය ඉගැන්වීම ලෝකයේ බොහෝ රටවල පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක්‌ වෙයි. එක්‌ කලෙක ලක්‌දිව පාසල්වල මෙන් ම සරසවිවල ද අනිවාර්ය නො වුව ද ඉතිහාසය ඉතා ජනප්‍රිය විෂයක්‌ බවට පත්ව තිබිණි. එහෙත් ඇතැම් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලින් විශ්වවිද්‍යාල පාඨමාලාවෙන් ඉතිහාසය කප්පාදු වී ගිය අතර එය උගැන්වීම පිළිබඳව පාසල්වල තිබූ උනන්දුව ද ක්‍රමයෙන් හීන වී ගොස්‌ අන්තිමේ දී පාසල් විෂය ධාරාවෙන් එය සහමුලින්ම තුරන් වී ගියේ ය. මෙය නිවැරදි කළ යුතුබවට නො කඩවා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් 1983 දී එය නැවත වරක්‌ පාසල් විෂයයක්‌ කළ යුතු ය යන්න ප්‍රතිපත්තියක්‌ වශයෙන් පිළිගන්නා ලදුව දැන් එය පාසල් විෂය ධාරාවේ හර විෂයක්‌ බවට පත්කර තිබේ. එය ජාතිය වෙනුවෙන් ගත් තීරණයක්‌ හැටියට සැලකිය යුතු වෙයි.

දැන් තිබෙන බරපතළ ම ප්‍රශ්නය වනුයේ ඉතිහාස පෙළ පොත් හා අතිරේක කියවීම් පොත් නොමැති වීම හා විෂයානුබද්ද දැනීමෙන් හා ඊට සමාන පරිචයෙන් සන්නද්ධ ගුරුවරුන් විරල වීමයි. මේ ගැටලුව විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවශ්‍ය පියවර කීපයක්‌ ම වරින් වර ගෙන තිබෙන බව සතුටෙන් සඳහන් කළ යුතුය. පෙළ පොත් සම්පාදනය ඒ අතර වැදගත් තැනක්‌ ගනියි. මේ අතර 10 ශ්‍රේණිය ඉතිහාස 2015 සිට ක්‍රියාත්මක වන අ.පො.ස. සා.පෙළ පළමු වසර ඉතිහාස විෂය නිර්දේශය අලලා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පළ කළ පෙළ පොත් අලුත්ම කෘතිය වේ. මෙම මහඟු කාර්යයට දායක වු සියලු දෙනාට අප ස්‌තුතිවන්ත විය යුතු අතර එහි ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වේ යෑයි හැඟෙන අදහස්‌ කීපයක්‌ ඉදිරිපත් කිරීමේ හා එම ග්‍රන්ථයේ පෙනී යන අඩුපාඩු පෙන්වා දීමේ හා වැරදි කීපයක්‌ නිවැරදි කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපිය ලියනු ලැබේ. මේ කරුණු අදාළ පාර්ශ්වවලට පෞද්ගලික ව යොමු නොකොට පුවත් පතකට නිකුත් කරනු ලබන්නේ දැනටමත් මෙය පාසල්වලට බෙදා හැර ඇති නිසා වැඩි දෙනාගේ ප්‍රයෝජනය සලකා මිස වෙහෙස මහන්සියෙන් එය සම්පාදනය කළ නිලධාරි මහත්ම-මහත්මීන් හෝ වියත් සංස්‌කාරක මණ්‌ඩලය ඇතුළු ලේඛක මණ්‌ඩලය ප්‍රසිද්ධියේ අපහසුතාවකට පත්කිරීම සඳහා නොවන බව ඔවුනට ඇති ආදරයෙන් හා ගෞරවයෙන් අවංකව ම කිය යුතුය. තවද මෙය ඉතිහාසය ඉගැන්වීම නැවත ආරම්භ කිරීම පමණක්‌ මදි බවද නිවැරදිව හා නිසි ලෙස එය ඉගැන්විය යුතු බවද විවිධ මාධ්‍ය මගින් බොහෝ කලක පටන් අප පෙන්වා දෙන කරුණක්‌ තවදුරටත් ඉදිරියට ගෙන යැමක්‌ පමණක්‌ වශයෙන් සලකන ලෙස ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.

පොතේ සැලැස්‌ම හා පාසල් පොත් ලිවීමේ ආචාර ධර්ම

මෙම පොත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පළ කළ පෙළ පොතක්‌ මිස ඊට පහළ මට්‌ටමේ සිසුන් සඳහා හෝ වියත් ලෝකය සඳහා සපයන ලද්දක්‌ නොවන බව අප අමතක නොකළ යුතු ය. ඊට අනුරූප වන පරිද්දෙන් සැලැස්‌ම සකස්‌ විය යුතුවා සේ ම අන්තර්ගතය මතභේදයට තුඩු දෙන කරුණුවලින් තොර විය යුතු අතර ම මුළුමනින් ම නිවැරදි විය යුතුය. එසේ ම වචන ලිවීමේ දී ඒකාකාරී විය යුතුය. නිවැරදි විය යුතුය. සිංහල භාෂාවෙන් එබඳු ග්‍රන්ථයක්‌ රචනා කිරීමේ දී නල, ණල ල ල ළ භේදය හා පද බෙදීම ආදිය ගැන ද සැලකිලිමත් විය යුතු වේ.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන හා අශෝක අධිරාජ්‍යයේ ආගමික දේශපාලන හා සමාජික බලපෑම් ගැන කිසිදු සඳහනක්‌ මෙහි නො වීම ග්‍රන්ථයේ සැලැස්‌මෙහි වූ අඩුපාඩු නිසා සිදු වූවක්‌ සේ පෙනේ. ශ්‍රී ලංකාවේ සමාජය නමින් ඇති හතරවන ඒකකය යටතේ ඇති 4.3 සංස්‌කෘතිය නම් වූ අනුමාතෘකාව තුළ බුදුසමය පිළිබඳ යම් විස්‌තරයක්‌ ඇති බව සැබෑ වුවත් දිවයිනේ ඉතිහාසයට අසීමිත බලපෑම් එල්ල කළ බුදුසසුන පිහිටුවීම විශේෂයෙන් සංඝ සංස්‌ථාවේ ආරම්භය හා විකාශනය විස්‌තර කිරීම වෙන ම ඒකකයක්‌ වශයෙන් සැලසුම් කළ යුතුව තිබුණි. එසේ නොමැති නම් අශෝක අධිරාජ්‍යයේ බලපෑම කියා දීම සඳහා වෙන ම ඒකකයක්‌ හෝ කොටසක්‌ සැලසුම් කොට ඒ යටතේ එය කළ යුතුව තිබිණි. දිවයිනේ ඉතිහාසයෙහි අනන්‍යතාවට බල පෑ සිංහල බුද්ධාගමට හිමි තැන පෙළ පොතේ දී ළමයාට කියා දිය යුතුය.

ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය යනුවෙන් ඇති පළමුවන ඒකකය නිරවුල් නැත. එම මාතෘකාව දකින විට ම හැඟී යන්නේ පොදුවේ ඉතිහාස විෂය හැදැරීම සඳහා ඉවහල් වන මූලාශ්‍රය පිළිබඳ සාකච්ඡාවක්‌ එහි ඇතුලත් වන බවය. එහෙත් කියවන විට පෙනී යන්නේ මූලික වශයෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය පිළිබඳ සාකච්ඡාවකට එය සීමා වී ඇති බවයි. එහි වරදක්‌ නැති නමුත් එම මාතෘකාව අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය යනුවෙන් සංශෝධනය විය යුතුය. අන් සෑම ඒකකයක්‌ ම උචිත පරිදි ශ්‍රී ලංකාවේ ජනාවාස ආදි වශයෙන් ශ්‍රී ලංකා යන්න ද සහිතව සඳහන්ව තිබීම නිසා ඊට අනුව මාතෘකා යෙදීමේ ඒකීය බවක්‌ ද ඒ අනුව රැකේ.

දිවයිනේ ඉතිහාසයට තීරණාත්මක බලපෑම් එල්ල කළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන කිසිවක්‌ මෙහි සඳහන් ව නැත්තේ ඇයි ද යන්න නො තේරේ. එසේ වූයේ එය වෙනත් ශ්‍රේණිවල දී කියා ඇති බැවින් ද ඉදිරි පොත්වල දී කියන්නට බලා පොරොත්තු වන බැවින් ද? එසේ නම් එය හැඳින්වීම යටතේ සඳහන් කළ යුතුවන්නේ එය ඉහත දැක්‌ වූ ලෙස දිවයිනේ ඉතිහාසය හා තදින් බැඳී පවතින බැවිනි. මා සිතන විදියට නම් එය සඳහන් කළ යුතු සුදුසු ම තැන මෙතැනයි. මේ කරුණු අනුව ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම එහි ඉතිහාසයට බල පෑ අන්දම හා ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීම මූලාශ්‍රය යනුවෙන් පළමුවන ඒකකය නම් කළා නම් හොඳ යෑයි සිතේ. වෙනත් ඒකක නම් කිරීම පිළිබඳව ද ප්‍රශ්න තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම යන්නේ ඇති විකාශය යන වචනය විකාශනය විය යුතුය. අන්තර්ගතයේ එය නිවැරදි ව ලියා ඇත. (36 පිට) සමහරුන් විසින් පටලවා ගන්නා මේ වචනය මෙසේ දෙවිදියකට ලියූ විට ශිෂ්‍යයන් පමණක්‌ නොව ආධුනික ගුරුවරු ද නොමග යති. සිවුවන පාඩම් ශීර්ෂයේ ඇති සමාජය යන්න අන්තර්ගතය හා ගැලපේදැයි සිතා බැලියයුත්තේ එහි අන්තර්ගතයේ ඇත්තේ සමාජයට අයත් කරුණු පමණක්‌ නොව සභ්‍යත්වයට හෝ ශිෂ්ටාචාරයට අයත් පුළුල් කරුණු නිසාය. තවද සමාජ සංවිධානය පිළිබඳව හයවැනි හා අටවැනි ඒකකවල ද විස්‌තර වේ. වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නිරිතදිග නව රාජධානි බිහිවීම යන්න අනුරාධපුර හා පොලොන්නරු රාජධානි බිඳවැටීම හා නිරිතදිග රාජධානි බිහිවීම යනුවෙන් සංශෝධනය විය යුතු යෑයි සිතේ.

මෙලෙස පළමුවැනි පාඩම මගින් මූලාශ්‍රය හඳුන්වා දීමෙන් පසුව දෙවැනි, තෙවැනි හා සිවුවැනි ඒකක පිළිවෙළින් ශ්‍රී ලංකාවේ ජනාවාස හා දේශපාලන විකාශනය කියා දීමේ අරමුණෙන් ගොනු කොට ඇති බව පෙනෙන අතර ඒවා අතරත් පළමුවැනි ඒකකය අතරත් පූර්වාපර වශයෙන් සම්බන්ධයක්‌ ඇති බැවින් ඒ පෙළගැස්‌ම හොඳය. එහෙත් ඊළඟ ඒකක තුන පිළිවෙලින් සමාජ තත්ත්වය හා ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳව හා ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය කියා දීම සඳහා යොදා ගැනීම සුදුසු නොවෙන්නේ නැවත වරක්‌ මුඛ්‍ය වශයෙන් දේශපාලන ඉතිහාසය කීම සඳහා හත්වැනි අටවැනි හා නවවැනි පාඩම් පිළිවෙලින් අනුරාධපුර, පොලොන්නරු රාජධානි දෙකේ බිඳ වැටීමත් නිරිතදිග රාජධානි බිහිවීමත් මහනුවර රාජධානිය විස්‌තර කිරීමත් අරමුණු කර ගනිමින් පෙළ ගස්‌වා තිබීම නිසාය. මේවා අතර හා ඊට පෙර පාඩම් අතර සම්බන්ධයක්‌ නැති අතර දේශපාලන ප්‍රවාහය මහනුවර රාජධානිය දක්‌වා නො කැඩී ගලා යන්නට ඉඩ නොදී සියලු රාජධානිවලට පොදු කරුණු වන සමාජ තත්ත්වය, පැරණි විද්‍යාව හා තාක්‍ෂණය හා ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය වැනි දේ ඒ අතරට රිංග වීම ඉතිහාසය නිරවුල්ව හා අනුක්‍රමික ව ඉගෙන ගැනීමට ශිෂ්‍යයාට ඇති ඉඩකඩ අහුරයි.

අසංවිධාන ස්‌වරූපය

අසංවිධානාත්මක ස්‌වරූපය මූලාශ්‍රය ඒකකය තුළ වැඩිපුර දක්‌නට ලැබීම එහි ඇති තව අඩුපාඩුවකි. සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳ පොදු හැඳින්වීමක්‌. සාහිත්‍ය මූලාශ්‍රය යටතේ කර ඊළඟට දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ග්‍රන්ථ හඳුන්වා දී ඊට පසුව නැවත වරක්‌ සාහිත්‍ය මූලාශ්‍රවලට අදාළ පොදු කරුණු කියා ඊළඟට විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය (මෙහි අනුමාතෘකාව ඇත්තේ විදේශීය මූලාශ්‍රය යනුවෙන් පමණක්‌ මිස විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය යනුවෙන් නො වීම අඩුපාඩුවකි) හඳුන්වා දී නැවතත් සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන යන මාතෘකාවක්‌ යටතේ පොදු හැඳින්වීමක්‌ කර තිබේ.

සාහිත්‍ය මූලාශ්‍රය හා පුරාවිද්‍යා මූලාශ්‍රය යනුවෙන් මූලාශ්‍රය වර්ග දෙකකට බෙදෙන බව නිවැරදිව පළමුව පවසා ඊට පසුව මූලාශ්‍රය වර්ග වශයෙන් සන්දේශ (සන්දේශ යන්න සමහර තැන්වල ලියා ඇත්තේ සංදේශ යනුවෙනි. ලන්දේසි යන්න ද ලංදේසි යනුවෙන් ලියූ තැන් ඇත) ප්‍රශස්‌ති කාව්‍ය හා හටන් බෙදා දක්‌වයි. මේවා වර්ග නොව සිංහල සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රභේදයෝ ය. තවත් තැනක ග්‍රීක මූලාශ්‍රය හා රෝම මූලාශ්‍රය ආදිය ද වර්ග හැටියට දක්‌වයි. මේවා ද වර්ග නොව විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයවල ප්‍රභේදයෝ යි. තවත් වගුවක අභිලේඛන ලියා ඇති මාධ්‍ය වශයෙන් ශිලා ලිපි, බිත්ති, තඹ තහඩු, රන් තහඩු, දැවල් මැටි පුවරු හා භාජන දක්‌වයි. මේවායින් ශිලාලිපි මාධ්‍යයක්‌ හැටියට තර්ක කොට ගත හැකි නමුත් ශිලා ලිපි හා බිත්ති ආදිය එක්‌ ගණයකට දාන්නේ කෙසේද? කියන්නට අවශ්‍යව තිබුණේ ද ශිලා ද? එය නම් බිත්ති ආදිය සමඟ ගැලපේ. තර්ක කරමින් මේවා මාධ්‍ය හැටියට ගත හැකි වුවත් මූලාශ්‍රය විභාගයේ දී මාධ්‍ය හැටියට ගනු ලබන්නේ භාෂා යි. මේවා සලකනු ලබන්නේ අභිලේඛන ලිවීම සඳහා භාවිත කළ ස්‌ථාන හෝ ද්‍රව්‍ය හැටියට යි. මාධ්‍ය අනුව මූලාශ්‍රය බෙදා දක්‌වන්නේ නම් සිංහල, දෙමළ, පාලි හා පෘතුගීසි ආදි වශයෙන් බෙදා දැක්‌විය යුතු වේ. තවත් කරුණක්‌ නම් 1.1 මූලාශ්‍රය වර්ගීකරණය හා 1.3 පුරාවිද්‍යා මූලාශ්‍රය ආරක්‍ෂා කර ගැනීම යන දෙක අතරට 1.2 වශයෙන් ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම යන්න රිංගවන්නේ කෙසේ ද යන්න යි. මා හිතන විදියට මෙම වැදගත් මාතෘකාව කෙටියෙන් හෝ අන් සියල්ලට පෙර සමහරවිට පළමුවැනි ඒකකයේ පළමුවැනි අනුමාතෘකාව යටතේ සාකච්ඡා කළ යුතු ව තිබිණි.

අඩුපාඩු හා වැරදි කරුණු

පැරණි පොත් ගැන විවේක බුද්ධියෙන් සඳහන් කර නැති බව ඇතැම් තැන්වලින් පෙනේ. 105 පිටේ ඇති මේ වැකිය බලන්න මෙකල පාලි භාෂාවෙන් ලියෑවුණු වැදගත් කෘති කිහිපයක්‌ ද වෙයි. විශුද්ධි මාර්ග සන්නස්‌ස, සමන්තකුට වර්ණනා, රසවාහිනී, සාර සංග්‍රහ, භේස (ජ) මංජුසා නම් වෙද පොත, භත්ථවනගල්ල විහාර වංසය හා ථූප වංසය උදාහරණ වේ. (විසුද්ධිමග්ග සන්නය මෙහි ලියා ඇත්තේ විශුද්ධි මාර්ග සන්නස යනුවෙනි) පැරණි විසුද්ධිමග්ග සන්න දෙකක්‌ තිබේ. ඉන් එකක්‌ නම් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ලියන ලද විසුද්ධිමග්ග සිංහල සන්නය හා වාචිස්‌සර තෙරුන් විසින් ලියන ලද විසුද්ධිමග්ග සංෙ€ප සිංහල සන්නය යි. ඒ දෙක ම සිංහල පොත් මිස පාලි පොත් නොවේ. සමන්ත කූට වර්ණනා නමින් හෝ සාර සංග්‍රහ නමින් පාලි පොත් නම් කරන්නේ නැත. ඒවා පිළිවෙලින් සමන්තකූට වර්ණනා හා සාරසංග්‍රහ විය යුතු ය. වියත්තු මේ වෙනස දනිති. ළමෝ නො දනිති. ළමුන්ට ලියන පොත් මුළුමනින් නිවැරදි විය යුතුය. ළමා මනසට වැරදි ව්‍යවහාරයක්‌ ඇතුල් වුවහොත් එය නිවැරදි කිරීම ලේසි නොවන බැවිනි.

මෙහි ඇති සියලු අඩුපාඩු පෙන්වා දීම මෙවැනි ලිපියකින් කළ නොහැකි නිසා තව එක කරුණකට හෝ දෙකකට මෙය සීමා කරමි. පට්‌ඨානගාම (25 පිට) ඉන් එකකි. වරාය ආශ්‍රිත ගමපාලි හෝ සංස්‌කෘත භාෂාවෙන් ව්‍යවහාර කරන ලද්දේ පට්‌ඨානගාම යන්නෙන් නොව පට්‌ටනගාම යන්නෙනි. ශිල්ප ශාස්‌ත්‍ර ග්‍රන්ථවල එය හඳුන්වා ඇත්තේ නොයෙක්‌ ධන-ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ද, සාගරයෙන් වට වූවා වූ ද, සංචාරක වෙළඳුන්ගෙන් ගැවසී ගත්තා වූද (භූ භෞතික) ඒකකය පට්‌ටන යයි කියනු ලැබේ. යනුවෙනි. අපරික්‌ත ගම් (28) යනු තව එකකි. එය අපරික්‌ත ගම්විය යුතු ය. ක්‍රි. පූර්ව 250 ට පමණ අයත් සෙල්ලිපියක්‌ අභයගිරි විහාරයෙන් ලැබී ඇති බවත් එහි දෙමළ භික්‍ෂුවක්‌ ගැන සඳහන් වන බවත් 60 වන පිටේ කියෑ වේ. ක්‍රි. පූ. පළමුවැනි සියවසේ දී ඇරඹි අරමක්‌ වශයෙන් හැම ම දන්නා අභයගිරි විහාරයෙන් ක්‍රි.පූ. 250 ට අයත් සෙල්ලිපියක්‌ ලැබෙන්නේ කෙසේද? මේ කියන සෙල්ලිපිය අභයගිරි දෙමළ ගහපති ලිපිය නමින් හඳුන්වන සුප්‍රකට ලිපිය විය යුතු ය. එය අයත් වන්නේ ක්‍රි.ව. පළමුවැනි සියවසට පමණ ය. තවද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එහි ඇති ශමණෙ යන්න සලකනු ලබන්නේ භික්‍ෂුවක්‌ හැඳින්වීමට යොදන පදයක්‌ වශයෙන් නොව පෞද්ගලික නමක්‌ වශයෙනි. මතභේද සහිත මෙවැනි දේ පෙළ පොත්වල නො තිබිය යුතුය.

ඒ ඒ ඒකකවල අන්තර්ගතයේ දක්‌නට ඇති අඩුපාඩු බොහෝ ය. ශ්‍රී ලංකාවේ ජනවාස යටතේ ඇති විස්‌තරයේ අනවශ්‍ය ලෙස ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ කථාන්තරය දිග් ගස්‌සා තිබේ. ඇත්ත වශයෙන් ම එම විස්‌තරය පාසල් මට්‌ටම ඉක්‌මවා ගොස්‌ ඇත. අනවශ්‍ය සිතියම්වලින් එය ගහණය. මේ විස්‌තර සංක්‍ෂිප්ත කොට විජය, පණ්‌ඩුවාසදේව-භද්දකච්චානා හා පණ්‌ඩුකාභය පුරාවෘත්තිවලට සම්බන්ධ ජනාවාස ගැන සඳහන් කළ යුතුව තිබුණි. ඒවා ගැන කිසිදු සඳහනක්‌ නැත්තේ කුමන හේතුවක්‌ නිසාදැයි අපට නො තේරේ. ලෝක උරුමයක්‌ ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අනුරාධපුරය පිහිටුවන ලද්දේ කවුරුන් විසින් ද යන්න වත් අඩු තරමින් මෙහි සඳහන් ව නැත.

වියරණ දොස්‌

උන් වහන්සේ..... පැමිණියේ ය. උන්වහන්සේ විසින්...... තැබීය. (8 පිට) ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාග් ඓතිහාසික වැසියන් මහත් රුචියක්‌ දැක්‌වීය. (16) ගම්ප්‍රධානීන් දසදෙනෙකුගෙන් සමන්විත වූ මණ්‌ඩලයක්‌ මගින් ගම් කිහිපයකින් සැදුම් ලත් ප්‍රදේශයක පරිපාලනයට සම්බන්ධ ගැටලු විසඳීමෙහි නිරත විය. (29 පිට) පුතෙක්‌ වන (102) යනු උදාහරණ කීපයක්‌ පමණි. ඇතැම් සිංහල වචන ලියන විට ඒවායේ අක්‍ෂර වින්‍යාසය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එසේ නො වුණ බැවින් දඹදෙනිය 87 දඹදෙනිය (101 134 පිටු) ගම්පොල (101 පිට) ගම්පොළ (101 පිට) සැලළිහිණි (2 පිට) සැළලිහිණි (105 පිට නිවරැදි අක්‍ෂර වින්‍යාසය සැලළිහිණි යන්න බව වැලිවිටියේ සෝරත නාහිමියෝ වෙසතුරුදා සන්නය උපුටා දක්‌වමින් පෙන්වා දෙති. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය 1078 පිට) වැනි වචන දෙයාකාරයකට ලියෑවී ඇත. නල ණල ලල ළ භේදය හතරවන ශ්‍රේණියේ සිසුන්ට පවා උගන්වන බැවින් මෙවැනි පාඩම් පොත්වල නිවැරදි ව එය භාවිත කළ යුතු ය. පද බෙදීම ගැන ද සැලකිල්ලක්‌ දැක්‌විය යුතු ය. කළේහ (102 පිට) පැමිණියේ ය (102 පිට) පැමිණියේය (102 පිට) හා සිටිය හ (61 පිට) යනාදිය ගැන අවදානය යොමු කිරීම වටී. මේවායෙන් ඇතැම් ඒවා ගැන සම්මතයක්‌ නැති බැවින් ඒ පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමු විය යුතු ය.

මහාචාර්ය ඇස්‌. බී. හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2015/03/27/feature.html

Pic Source

0 comments: